About

Related Posts Plugin for WordPress, Blogger...

පිටස්තරයා



31 අදහස්

මම දුවමි...
මුලින්ම ගේ දොර හැර දමා කඩිනම් ඇවිදීමකින් ගෙවත්තටද ඉන්පසු පාරටද බටුයෙමි. හන්දියේ ත්‍රීරෝද රථ නැවතුම පසු කල ගමන්ම මම මහා මාර්ගය ඔස්සේ දුවන්නට පටන් ගත්තෙමි. මේ හරියේ මා අදුරන මුහුණු වැඩිපුර නැත.
ගෙවල් දොරවල්,යාන වාහන වතුපිටි මිනිස්සු වේගයෙන් මා පසුපස නොපෙනී යයි.
කොතෙක් වේලාවක් පුරා දිවුවාදැයි මට මතක නැත. මා ගෙවමින් යන මග දෙපස රැයද දවාලද ඇසිල්ලකින් වෙනස් වන හෙයින් මා ආලෝකයේ වේගයට ළගා වී හෝ ඇතැම් විට එයද අබිබවන වේගයකින් දුවමින් සිටිතැයි මට සිතේ.
මොහොතකට පෙර ළදැරියකගේ මුහුණක සිනාවක් පසු කර ආයෙමි. දහඅට වසකට පෙර මියගිය තාත්තාගේ වැඩට යන රුවද මට හමුවිය. කඩයප්පන් තැටියත් රැගෙන ජෝන් කඩේට යන අම්මාගේ සිනහව මේ මොහොතේ රිදී ඉරක් සේ මා පසු කර යයි.
නවතින්නට මට වේලා නැත. නැතහොත් අවශ්‍ය නැත. අතීතයද වර්තමානයද අනාගතයද නොනිමි අතු පාරවල් වලින් හෙබි මහා මාර්ගයක් සේ මා ඉදිරිපස දිග ඇරී ඇත. මම ඒ තුළ සැරිසරමි. අනන්ත වූ වේගයකින් විටින් විට විවධ කාලයන් විසින් කණින ලද විවිධ ස්වරූප‍යන්ගෙන් හෙබි මගේම රුවද පසු කරමින් මම දුවමි.
මට බොහෝ සේ වෙහෙස මහන්සි දැනේ. ගතට වඩා සිත තෙහෙට්ටුය, බීමත් තැනැත්තෙක්ගේ සේ ම හිස බමයි.
මට සැගවෙන්නට තැනක් ඕනෑ වී ඇත. ඉතාම ඉක්මනින්...
සුපුරුදු සුවපහසු නිවහනට රුදුරු පිටස්තරයෙක් පැමිණ ඇති කල මා වෙන කුමක් කරන්නද?
මේ හැම අකරතැබ්බයක්ම ඇරඹුනේ පෙ‍රෙයිදා සවස පටන්ය.

හැමදාම සවසට පුරුද්දක් හැටියට මම ඇවිදින්නට පුරුදු වී හිදිමි. ශරීර සෞඛ්‍යයට සුභ නිසාවට වඩා අවට සිරි නරඹමින් හෙමිහිට බොහෝ දුර ඇවිදින්නට මම ප්‍රිය කරමි. කාර්යයබහුල දිවි පෙවෙතකට මැදිවී හිදින මම දවසේ වැඩිමනක්ම ආශ්වාදනය කරන වේලාව මේ සවස් භාගයයි. හැමදාම එකම මාර්ගයේ ගමන් කිරීම මගේ පුරුද්ද නොවේ. විටෙක අධිවේගී මාර්ගයක කෙළවර පදික වේදිකාවේ ඇවිද යන ගමන් තොරතෝංචියක් නැතිව ඉදිරියට ඇදෙන වාහන සහ මිනිස්සුන්ගේ කලබලකාරීත්වයට මම ප්‍රිය කරමි. තවත් දවසක කොහේ හෝ මාවතක් අද්දරකින් අහම්බෙන් මතුවන නෙක වෘක්ෂලාතාදීන්ගෙන් සහ අතුපතර වලින් සෙවන වන කුඩා ගුරු පාරක් දිගේ ඇවිදිමි. කලබලකාරීබව මෙන්ම නිස්කලංකයත් වෙනස් වෙනස් ආකාර වලින් මුත් එක පමණට මා සිතට මත්බව පුරවයි. එහෙමත් දවසක මම සීරුවෙන් දුම්වැටියක් දල්වා මුවග රුවාගමි. දුම්වැටිය දුරගමන් යාමට හොද සගයෙකි.
පෙරෙයිදාද වෙන හැමදාමත් වාගේම දවසකි. සිදුවීම් කිහිපයක් හැරෙන්නට...
එදිනද වෙනදා මෙන්ම නිවී හැනහිල්ලේ මම ඇවිද ගියෙමි. මම තෝරාගත්තේ මම නිතර ගමන් නොගන්නා මාවතක් වූවද එය මට නුහුරු මාවතක් නොවීය. මීට පෙර කීප විටක්ම ගමන් ගෙන තිබූ ඒ මාවත ගස් කොලන් වලින් සෙවන වූද වන ලැහැබකින් මායිම් වූද පටු මාවතකි. නිවාස කිහිපයක් හැරුණුකොට වටපිටාව ගස් කොලන් වලින් පිරී ඇති හෙයින් ඒ පෙදෙස මද අදුරක් කැටිවූ මහත් නිස්කලංකතාවයක් උසුලයි. පැය බාගයක් පමණ නොනවත්වා ඇවිදීමේ නිරත වී ක්‍රම ක්‍රමයෙන් මාවතේ අන්තයටම මම සේන්දු වීමි. වන ලැහැබ වඩාත් පැතිර පවතින්නේ මේ ඉසවුවේය. එවිට වේලාව හැන්දෑවේ හය පසුවී නොතිබුණත් පෙදෙස වඩාත් අදුරු බවක් ඉසිලීය.
වෙනදාට ආපසු හැරී නිවෙස බලා යාමට සුදුසු වේලාව වුවත්. එදින මොනයම්ම හේතුවකට හෝ මට ආපසු ගමන් කරන්නට හදිස්සියක් නොදැණුනු හෙයින් දුම්වැටියක් මුවග දල්වා ගනිමින්ම මම හාත්පස පරිසරය දෙස නෙත් යොමු කරන්නට පෙළඹුනෙමි. අවට ගහ කොලද පරිසරයද අලු පැහැති නිසලතාවයක සැතපෙයි. කුඩාම පදුරක වුව සෙලවීමක් නැත. මා හැර අන් සියල්ලම නිදි ගත් සේය.මා පමණක් චලනය වන වස්තුවක්ව...
හිටි වනම, නොසිතාම යාන්ත්‍රිකව මෙන් මම පියවරක් දෙකක් ඉදිරියට තබන්නට පටන් ගත්තෙමි. මා ඉදිරිපස තරමක් කෙටි පදුරු යායකි. ඒවා අතින් එහා මෙහා කරමින් ක්‍රම ක්‍රමයෙන් මම වෘක්ෂලතාදියෙන් සහ වල් පදුරු වලින් ගැවසුන වන ලැහැබ තුළට ඇතුලු වන්නට වීමි.
මේ සියලු දුක් කම්කටොලු වලට මුල වූයේ මා අහේතුකව ගත් ඒ අදූරදර්ශී තීරණයයි.
ගස් වැල් කටු පදුරු දෑතින් එහා මෙහා කරමින්, විටෙක උදුරා දමමින් මම උමතුවෙන් මෙන් කුඩා වන ලැහැබේ ඇතුලටම ගමන් කළෙමි. දෙපා වල වේදනාවද අත් පා වල සීරුම්ද නොතකමින් අඩක් උමතුවෙන් අඩක් යාන්ත්‍රිකව එවෙලේ මා හැසිරුණු ආකාරය සිහිවත්ම දැනුදු මට දැනෙන්නේ විමතියකි. බොහෝ වේලාවක් ගත වන්නට ඇත. මට යමක ඉව වැටී තිබුණි. එසේත් නැතිනම් මම යමක් බලාපොරොත්තුවෙන් එය සොයමින් සිටියෙමි. වාතය එන්න එන්නට තදබද වන්නාසේ නාස් පුඩු හිර කරන්නට විය. මම මංමුලාව එහෙමත් නැතිනම් සිහිසන් වන්නට ආසන්නව උන් නෙමි.
හිටිවනම මට එය හමුවිය.
එය වියළි පරඩලා කොල වලින් සහ අන්ධකාරයෙන් වැසී ගිය නොසැලකිල්ල විසින් අත්හැර දමනු ලද මාවතකි. අවසන් මිනිස් පිය සටහන වුවද කල්පයකට පමණ පෙර තබන ලදැයි සිතිය හැකි තරම් වියලි කොළ රොඩු බොඩු ඇතිරිල්ලකින් වැසී ගිය මගකි. මාවතේ හුරු පුරුදු බව ගැන මට කිසිදු සැකයක් ඇති නොවුණි. කවදාක හෝ එහි මා ගමන් කර ඇති වගටද මසිත මට දෙස් දෙන්නට විය. සිහිනයක් වන් මතකයක් දෙකක් අකුණු සැරයක් සේ ග්‍රහණය කරගන්නටත් පෙර අකූණු ගසා පෙනී නොපෙනී ගියේය.
මොහොතක්වත් එහි නොරැදී මම ආපසු නිවස වෙත ආවෙමි.ගියාටත් වඩා කඩිනමින්...

මම නිවසට ළගා වන විට නිවසේ දොර හැර දමා තිබෙනු ඈතදීම දුටුවෙමි. නිවෙස සොරු බිද දමා ඇතැයි යන බියෙන් මම වහ වහා දිව ගොස් නිවසට ඇතුලු වීම.
පිටස්තරයා නිවසට කඩා වැදී හිදිනු මා නෙත ගැටුනේ එවිටය.
ඔහු පෙනුමෙන් ශාන්තය, කාලවර්ණ සිරුරෙන් හෙබි මැදි වයස් ඇත්තෙකි. වසර විස්සක් ගතව තිබු මුත් එකදු කෙස් කැරැල්ලක ‍හෝ එකදු හමේ රැල්ලකින් ඔහු වෙනස් වී නොසිටියේය. හරියටම මීට විසි වසරකට ප්‍රථම මුල් වරට ඔහු හමුවූදා මෙන්ම යෝධ සිරුරෙන්, සමහර විට පෙරටත් වඩා සුවිසල් ලෙසින් ඔහු මා ඉදිරියේ ප්‍රාදූර්භූත වී සිටියේය.
ඔහු මා හා සිනාසුනේය. එය සිනාසීමකට වඩා දත් විලිස්සීමක් විය. හරියට මතුවට උදාවන දවස් ගැන කරන මතක් කිරීමක් වැන්න.
එදින රාත්‍රිය මා ජීවිත කාලයේ ගෙවූ දිගම රාත්‍රිය විය..
රැය පුරා මට නින්දක් නොවීය. පිටස්තරයා රැය පුරා බර අඩි තබමින් නිවස පුරා ඇවිදින හඬ රැවුදෙන්නට පටන් ගත් හෙයින් සයනයේ ඒ මේ අත පෙරලෙමින් සුවපහසුවක් සොයනු විනා මා හට අන් පිළියමක් නොවීය. හදවත මහත් බර පොදියක් දරා හිඳින්නාක් මෙන් ඇදුම් කන්නට විය..වැරදීමකින් හෝ සවස මා ගියේ යා යුතු ගමනක් නොවේ..රැය පහන් වන තෙක් මම මටම දොස් පවරා ගත්තෙමි.
දෙවැනි දවසද උදාවිය. පිටස්තරයා වදනක් වත් නොදෙඩීය. ඒ ඔහුගේ හැටිය. නමුත් හැම විටම ඔහුගේ පැවැත්ම මා තුල දනවන්නට ඔහු වග බලාගත්තේය. විටෙක ඔහු මගේ පරණ පොත් ගොඩ ඇවිස්සීය. පරණ ලියුම් කරදහි පරණ ලාච්චු තුළින් එළියට ඇද ඒවා කියවන්නට විය. උදෑසන මම රැවුල බාන අතර නාන කාමර කොණකින් එක් වරම ඔහු මතු වූයෙන් මගේ වම් කම්මුල කැපී ගියේය. දහවල් කාලය පුරා ඔහු සාලයේ හිදගෙන උරුවම් බෑ අතර මගේ දෛනික ගිණුම් සටහන් වැරදී ගියේය. සැන්දෑ ඇවිදීම පිණිස මම පිටත්වද්දී ඔහුද මා පසුපස ඇදෙන්නට වූ විට අවට මිනිසුන් නෙත ගැටෙයි යයි බියෙන් මම පෙරලා නිවස කරා ආයෙමි. රාත්‍රී වත්ම ඔහු මාගේ පැරණී ගී තැටි එකතුවෙන් අහක දැමූ තැටි කිහිපයක් කොහෙන්දෝ සොයාගෙන මහත් ශබ්දයෙන් වාදනය කරන්නට විය.
පිටස්තරයා මට නියපොතු තුඩගින්වත් හානියක් නොකලේය. මා දෙස කුරිරු බැල්මක් වත් නොහෙලීය. එහෙත් මම හැමවිටම සිහිසන් වීමට හෝ උමතු වීමට ආසන්නයේ පසුවීමි.
පිටස්තරයාට යන්නට කීමෙන් පලක් නැති බව මම අද්දැකීමෙන් දත්තෙමි. වරක් ඔහු මා සොයා ආවේය. ඔහු එළවීමට මම නොකල දෙයක් නැත.එකල පුරා වසරක් මුලුල්ලේ ඔහු මා හා එක්ව නවාතැන් ගත්තේය. මම ඔහු එළැවීමට යකැදුරු කම් කලෙමි, මධුවිතෙහි ගිලී ඌ හට වහසි බස් චණ්ඩි බස් දෙඩෙවුවෙමි, අතට අසුවන දෙයින පහර දුන්නෙමි. එහෙත් ඔහු නොසැලී සිටියේය. හරියටම වසරකට පසු එක් දිනක රහසින්ම පිටව යනතෙක් ඔහු මගේ දෛනික ජීවිතයේ විශාල කොටසක් අත්පත් කර‍ගෙන එය බි‍‍දෙන් බිඳ කඩා කමින් සිටියේය.
එදා විසි වසකට පෙර ඔහු පිටව ගිය සැනකින් මම විවාහ වූයෙමි. වෙළද ව්‍යාපාරයක් පටන් ගත්තෙමි. ගම් ප්‍රදේශයෙන් පිටව නගරයට විත් පදිංචි වූවෙමි. මිල මුදල් බොහෝ සෙයින් හරි හම්බ කලෙමි.
අසාර්ථක විවාහ දෙකකට පසු. ජීවිතේ හැල හැප්පීම් බොහොමයකට මුහුණ දීමෙන් අණතුරුව. මැදිවියේ තරබාරු කයටත් තට්ට හිසටත් උරුමකම් කියමින් සිටින අතර පිටස්තරයා නැවත පැමිණියේය. මාගේම වරදින්..වසර විස්සකට පසු.... එකල මම නාඹර තරුණයෙක් වීමි. දැන් සවිබල සිදුණු මැදිවියේ පුද්ගලයෙක්මි. සටන් කරන්නට මට වෙර වීරිය නැත.
පෙරදා රාත්‍රියේ පටන් ඔහු මුවහත් කඩුවක් ගෙන එය ඔප දැමීමටත් තව තවත් තියුණු කිරීමටත් පටන් ගෙන සිටියේය. දත් හිරිවට්ටන යකඩ සීරෙන හඩට කන්දෙමින් මම නිදිවර්ජිත දෙවැනි රාත්‍රියත් ගෙවා දැම්මෙමි.
උදෑසන හිතේ ඇති සියලු වෙර වීරිය ගෙන. පිටස්තරයා අහක බැලූ අසුරු සැනෙකින් ගෙයින් පිටවී දුව ආවෙමි. මම තවම දුවමි. පිටස්තරයාත් තවම මා පසුපස ලුහු බඳිනු මට දැනේ...

31 අදහස්:

RanDil at: 3/19/2010 10:32 AM said...

කියෙව්වා මල්ලී. මට හිතෙන්නේ කථානායකයා දුවන්නේ ඔහුගේම හිතෙන් ගැලවෙන්න කියලායි. ඔයා ඉතින් හිතන්නේ හරිම වෙනස් විදියකටනේ. මම දන්නේ නැහැ මම හරිද කියලා. කොහොම වුනත් කුතුහලයෙන් යුතුව මුල සිට අගටම කියෙව්වෙමි.

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 3/19/2010 10:39 AM said...

අමුතුම කතාවක් ඔය වගේ අත්දැකීම් තියෙනවා අපි හමෝටම අඩු වැඩි වශයෙන්...

දිල් at: 3/19/2010 12:02 PM said...

මේ පිටස්තරයා කවුද ? තමාගෙම හදවතද ?
මට හිතෙන්නෙ එහෙමයි....
නැත්තම් තනිකමද ?

චේජනා at: 3/19/2010 12:20 PM said...

රේවන්, හරියටම මුකුත් තේරුනෙ නෑ මල්ලි, තමන්ගෙම හිතෙන්ම ගැලවෙන්න දුවනව කියලත් හිතන්න අමාරුයි නේ කියන විදියට.

Raven at: 3/19/2010 2:55 PM said...

කට්ටිය සෑහෙන දුරක් ගිහින් වගේ මේකත් එක්ක.
ස්තූතියි අදහසක් පල කලාට. මම පහුවෙලා මේක ගැන තව කියන්නම්.
පිටස්තරයා ඔහු තුළම සිටින්නෙක් කියල විතරක් දැනට කියන්නම්.

kanchana waduge at: 3/19/2010 3:46 PM said...

කට්ටිය ගොඩක් දුර ගිහින් වගේ

දිල් at: 3/19/2010 5:03 PM said...

හ්ම්ම්ම්ම් ! ඒ කියන්නෙ තමන්ගේම හෘදසාක්ෂිය වෙන්න ඕනා.....

රවා at: 3/20/2010 1:15 AM said...

රෙවන් මම දැක්ක... මම එන්නම් ආපහු. අද මෙක ගැන හිතන්න බැහැ මහන්සි වැඩියි අපි හිමිට කතා කරමු.. මටත් ආසයි මෙ වගෙ ලියන්න... ටිකක් කල්පනා කරලා....

sansarasidu at: 3/20/2010 1:43 AM said...

Raven,
මචං, කථානායකයා මේ දුවන්නෙ තමන්ගෙ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න නේද? ජීවිතේ විවිධ හැලහැප්පීම් නිසා යටපත් වෙල තිබුණු කිසියම් වරදකාරී හැඟීමක් අවුරුදු 20 කට පස්සෙ කථානායකයගේ හිතේ ආයෙමත් හොල්මන් කරන්න අරගෙන නේද ? පිටස්තරයා කියන්නේ ඒ හැඟිමට කියලයි මට නම් හිතෙන්නෙ. මං හරි ද මන්දා..

Raven at: 3/20/2010 6:34 AM said...

රවා- එල මචන්. කතා කරමු

සන්සරසිදු- යටපත් වෙලා තිබ්බ හැගීමක් නම් තමයි මචන්. වරදකාරීම කියලත් ගන්න බැහැ හැබැයි. එහෙම අරන් රස වින්දත් අවුලක් නැහැ මචන්. ඒකයි මම මේක ගැන වැඩිය විස්තර කරන්න යන්නෙ නැත්තෙ.

ස්තූතියි මචන්ලා.

- නිල් අහස - at: 3/20/2010 4:52 PM said...

මේ දවස් වල ඉන්න මානසික විඩාව..හන්දද මන්දා, හිත හරිම අවුල්...මචං.
මේක සම්භාව්‍ය මට්ටමේ කතාවක්.ලස්සනට ලියලා..Raven.
මට නම් තාම හිතා ගන්න අමාරුයි...අන්තර්ගතය.

රවා at: 3/20/2010 5:32 PM said...

බුද්ධිය නිසා ඇතිවෙන්නා වු ජිවිත සංසිද්ධින් මතකය අභිමුවෙහි හදවත විසින් කරන ලද පශ්චාත්තාපය,බිය ඔබ මෙහෙදි මැනවින් ඉදිරිපත් කරනවා. බුද්ධිය විසින් මතකය තනිකර දමා හදවත කෙතරම් ඈතට රැගෙන ගොසින්ද කියතොත් මතකය යන්න හදවත විසින් දකිනුයෙ පිටස්තරයෙකු වශයෙනි....රෙවන්... ලොකු කලු කපුටා... ඔයාගෙ තවත් විශ්මියෙක් තමයි මෙ ඔයා මෙහෙම අකුරු කරන්නෙ....රෙවන් මම අද ලෙඩින් ඉන්නෙ..අමාරුයි.. එ උනත් හරිම ලස්සන ජිවන දැක්මත්, ඔයා මෙතන දි කියන මාවත් ඔස්සෙ තවදුරටත් කල්පනා කරද්දි මගෙ තියන වෙදනාව ටිකකට අඩු වෙනවා වගෙ දැනෙනවා. හරිම ලස්සන වචන ටිකක්.... සැහෙන දෙවල් මට කියලා දුන්නා....

රවා at: 3/20/2010 9:52 PM said...

මොකද රෙවන් කියන්නෙ මම විඳින දෙද ඔයා අදහස් කරෙ.. මම හිතන තැනිනුත් යන්න පුළුවන් නෙද...?

Raven at: 3/21/2010 8:17 AM said...

නිල් අහස- හිත එකලාසයක් වෙච්ච වෙලාවක ආපහු සැරයක් කියවලා බලන්න මචන්. ස්තූතියි මචෝ අදහස් දැක්වීමට

රවා- මතකය..සහ බුද්ධිය අන්න හරි. ‍අපේ ජීවිතේ අපි විසින්ම සගව ගත් සහ සැගවී තිබෙන මාවත් බොහොමයක් තියනව මචන්. සමහර වෙලාවට අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව එහෙම මාවත් අපිට විවර වෙනව.

උඹ හරි මචන්. එහෙම දෙයක් තමයි මම අදහස් කලේ.
තවත් විශ්මියෙක් කතාව නම් තේරුණා මදි බන්. :|

උඹට ඉක්මන් සුවය පතනවා මිත්‍රයා.

ඩෝසන් at: 3/21/2010 9:03 AM said...

මේ කතාවේ ශෛලියට වගේම එහි අන්තර්ගත මනෝ විශ්ලේෂණාත්මක ආකෘතියට ද මම අතිශය ප්‍රිය වෙමි. ඩේවිඩ් ලින්ච් ගේ ලොස්ට් හයිවේස් චිත්‍රපටය ගැන මම මේ දවස්වල කියවමින් සිටිනා බැවින් එහි ඇති ලැකානියානු රූපකයන් මට නැවතත් මේ කතාව තුල හමු වීම කතාව රස විඳීමේ ඉවුරු දෙදරා ගියා.

ඔබ දක්ෂකතාකරුවකු බව මට හැඟී යයි. මම ඔබේ පාඨකයකු වෙමින් ඉන්නා බව ඊටත් වඩා තදින් හැඟී යයි.

wath at: 3/21/2010 9:58 AM said...

මට නමි කියවන කොට හිතුනේ පිටස්තරයා කියන්නෙ මාරයා කියල (අපේ blog ලියන මාරයා නෙමෙයි) කියල බැලූවම හාත්පසින්ම වැරදි

Raven at: 3/21/2010 2:06 PM said...

@ඩෝසන්- ස්තූතියි අයියා මෙහි ගොඩවැදිල අදහසක් ප්‍රකාශ කලාට. මම එය අගය කොට සලකමි.

ලින්ච් ගේ චිත්‍රපට මාත් ආශාවෙන් නරඹනවා. ලොස්ට් හයිවේ චිත්‍රපටය මම දෙවරක් නැරඹුවා. ඊට පස්සේ අන්තර්ජාලය ඇසුරින් කියවීම් කිහිපයකුත් කරල තමයි චිත්‍රපටය ගැන යම් වැටහීමකට එන්න හැකි උනේ.ලින්ච්ගේ චිත්‍රපට කොහොමත් මනස වෙහෙසවා රසවිදිය යුතු ඒවනෙ.

වත්- කියවලා අවසානයේදී හරි පිටස්තරයා ගැන අදහසක් ලබා ගත්ත එක ගැන සතුටුයි අක්කේ. ස්තූතියි ඔයාටත්.

තිස්ස දොඩන්ගොඩ at: 3/21/2010 2:41 PM said...

" කවුද ආවේ, කවුද ආවේ...
ඔබට හොරා, ඔබ හදේ ‍රැඳී උන්, මිනිස් රුවයි ආවේ..."

අබේවර්ධන / නිරංජලා

Raven at: 3/21/2010 7:03 PM said...

මේ කියලා තියෙන්නෙ ගීයෙන්ම.
දැකීමත් සතුටක් තිස්ස අයියා. මම මේ දැන් හද ගී පොත පැත්තට ගිහින් ආවා විතරයි මේක දැකල.

sansarasidu at: 3/21/2010 7:42 PM said...

මාතෘකාවට අදාළ නැති දෙයක් ලියනවට සමා වෙන්න..

අපේ සහෘදයෙකුට හරිම අවාසනාවන්ත සිද්ධියකට මුහුණපාන්නට සිදුවෙලා..
ආදරය, විරහව සහ කදුල ලියන චන්දික මලයට...
හැමොගෙම අවධානය මේකට යොමු වෙනවා නම් හොඳයැයි සිතනවා..
මේක බලලා ඔබේ අදහසත් ලියල එන්න..
http://love-hurt-tears.blogspot.com/2010/03/blog-post_6649.html

Raven at: 3/21/2010 7:55 PM said...

අඩෝ මේ අදාල නැති දේවල් දාන්න ඔට්ටු නෑ හරිද :P

එල එල මචන් මාත් ඒ පැත්තෙ ගිහින් ආවෙ.

රවා at: 3/21/2010 8:38 PM said...

බලපන් රෙවන් මට හරිම අමාරුයි...හිතෙ අමාරුව ගොඩක් වැඩි උනා.. චන්දික මල්ලිගෙ කවිය කොපි කරලා තියන්නෙ වඩුගෙ කෙනෙක් නෙ මටත් හරිම දුකයි වැඩෙට... හැබැයි මට හරිම සතුටු හිතුනා...බුද්ධිය විසින් හදවත දුව වද්දි මතකය ආපසු ඇවිල්ලා ගෙදර ගෙදර බලන් ඉද්දි හදවතට දැනුන දෙ මටත් විඳගන්න හම්බුනු එකට... එක නෙමෙ මම ආසයි දැන ගන්න ඔබෙ පාසල් කාලය ගැන...මම මගෙ email එක උබෙ inbox එකෙ ඇති... මමත් ආසයි මෙහෙම ලියන්න... මෙහෙම ලියන මනුස්සයෙක්ගෙ ඇතුලාන්තය ගැන මට හොද වැටහිමක් තියනවා කියලා මම හිතනවා..ඔබ කැමතිනම් මට එක කියන්න මට රිප්ලයි එකක් එවන්න....

රවා at: 3/21/2010 9:23 PM said...

මචන් මම විශ්මියෙක් කියන එක ඔබට තෙරුනෙ නැහැ... එක වෙන්න බැහැ ඔබ එහෙනම් එ ගැන කල්පනා කරලා නැහැ.. ඔබ කල්පනා කරන්න... ඇයි ඔබ ඇතුලෙන් මෙ නිර්මාණ එන්නෙ කියලා... මට හිතෙන හැටියට ඔබෙ උපතිනුත් යම් දෙයක් ඔබට හම්බ වෙන්න ඔනා...නමුත් ඉට වැඩිය ඔබ ගැටෙන දෙ තමයි මෙතනට ඉවහල් වෙන්නෙ.....නිර්මාණයක් ඉබෙ බිහිවෙන්නෙ නැහැ.. හැබැයි මම කිසිම නිර්මාණයක සම්පුර්ණ ගෞරවය නිර්මාණකරුවට දෙන්නෙත් නැහැ.

Raven at: 3/21/2010 10:08 PM said...

රවා- මචන් ම‍ට උඹේ මේල් එක ඇවිත් නැහැ. මට මේකෙ මැසේජ් බලන එක ටිකක් පැටලිලි සහගතයි. දන්නෙ ‍නැහැ වැඩිය.
මේකට උඹේ මේල් ඇඩ්රස් එක එවපන් මචන් මම උඹට මේල් කරන්නම්.
darshana.demel@yahoo.com

දුකා at: 3/22/2010 7:11 PM said...

උඹේ කතා මේ මම දැන් ඉන්න දඩි බිඩි මූඩ් එකේ බලන්න බෑ මලේ. එව්ව අය යෝගියාගේ ඒවා වගේ ම හරිම අමුතුයි. හර්ද්‍යාංගමයි. ඒවා බලන්න ඕන නිවී සැනසිලේ.

ඉතිං උඹට මෙග කමෙන්ට් එක ලැබෙන්නේ පරක්කු වෙලා කමක් නෑ නේ තව දවස් 3කින් විතර?

Raven at: 3/22/2010 7:42 PM said...

කිසි අවුලක් නෑ දුකා අයියා. කල් වෙලා ලැබුණම කියවලා ගුණ දොස් කියන්නකො. :)

මිස්සක at: 3/22/2010 10:43 PM said...

ආත්මය ගැනද කථා කලේ. මට දැනුනේ නම් ඒ වගේ.

Raven at: 3/23/2010 8:27 AM said...

මිස්සක- මතකය කිවුවොත් වඩාත් නිවැරදියි ආත්මයට වඩා :)

තනෝජා රාජපක්‍ෂ at: 3/25/2010 3:32 PM said...

හොඳ මතකයන් පස්සෙන් එනකොට ආසයි, ඒත් නරක මතකයන් පස්සෙන් එනකොට දුකයි, බයයි....

නරක මතකයන් අමතකම වෙලා යනවනම්...

ඒත් එතකොට ආයෙත් සැරයක් අපේ අතින් ඒ නරකම, ඒ වැරැද්දම වෙයි නේ...

ඒක නිසා හැම මතකයක්ම පස්සෙන් ආවාවේ, අපි ඉස්සරහින් යමු..

nimanthi at: 3/25/2010 4:56 PM said...

හැමෝටම වගේ මේ දවස් වල මටත් පරිසරය නම් හරිම කටුකයි...ඒ නිසාමද කොහෙද? අමතකවීම් නම් බොහෝමයි..
ඔන්න අද තමා එන්න ලැබුනේ..එක පාරටම සමහර තැන් වලදී Dr.ජෙකිල් & Mr.හයිඩ් ව මතක් උනා.
දතුත් හිරි වැටුනා අඳුරු කලුවර දොර මතක් වෙලා.තව ඇදවුනු යතුර..මකුලු දැල් බැදි කාමරය...
ඒත්..තමාගේ සැබෑම ස්වරූපය සොයා දිවයන මිනිසෙක් මට නම් පෙනුනා ..
ඔන්න ඔයාලගේ පිලිතුර ලැබෙන කම් මම බලාගෙන ඉන්නවා...!!!

Raven at: 3/25/2010 5:29 PM said...

තනෝජා- සමහර මතකයන් අපි විසින්ම ආපස්සට තල්ලු කරනවා නැවත කවදා හරි වැරදීමකින් හරි අපට හමුවෙලා උඩට මතුවෙනකම්.
මේ කතාවෙ පුද්ගලයට උනෙත් එවැනි සිදුවීමක්.
බොහොම ස්තූතියි අක්කේ මෙහි ගොඩවැදිල අදහස් දැක්වුවට.

නිමන්ති- සැබෑම ස්වරූපය සොයා දිව යනවාට වඩා මතකයන්ගෙන් පලා යාමක් තමයි මෙතනදී සිදුවන්නෙ.
ස්තූතියි අක්කෙ පමා වෙලා හරි ආවට සහ අදහස් දැක්වුවට.

Post a Comment

newer post older post