About

Related Posts Plugin for WordPress, Blogger...

පසුබිම



37 අදහස්






"මයි..චිත්‍රපොත් අතට ගන්න".

උදුලා ටීචර් පන්තියට අණ කරයි. නිමල් උදුලා ටීචර්ට කැමතිය. ඇය එකේ පන්තියේ කොඩිකාර ටීචර් මෙන් සැරපරුෂ තැනැත්තියක් නොවීම ඊට හේතුවයි. උදුලා ටීචර් කිසි දවසක කිසිවෙකුට වේවැලෙන් නොතලයි. චණ්ඩිකම් වලට ප්‍රසිද්ධ සනාට වුව ඇය කිසිදාක වේවැල් පහර නොදුන්නාය.

"අද අපි අඳින්න යන්නෙ ගමරාල කෙනෙක්ව. පුතාල ගමරාලලව දැකල තියනවද? කෝ අත් උස්සන්න බලන්න.."

තාත්තා නත්තලට ගෙනැත් දුන් දෙවුලොව ගිය ගමරාල පොතේ ගමරාලගේ හැඩරුව නිමල්ගේ සිහියට ඒ. නිමල් අතක් උස්සයි. ඒ ගමන්ම පන්තියේ අනිත් යාලුවන්ද අත් ඔසවා ඇද්දැයි බැලීමට පුටුවෙන් මදක් ඉස්සී වට පිට බලයි. අනිත් ළමයි සියල්ලගේම අත්ද ඉහලට ඉස්සී ඇත..

"බොහොම හොදයි. එහෙනම් දැන් අපි අඳින්න පටන් ගමු. ගන්න පැස්ටල් පෙට්ටිය එළිය‍ට. හැමෝම ලස්සනම ලස්සන චිත්‍රයක් අදින්න ඕනෙ හොඳඳ. හොදම චිත්‍රය තෝරලා මම පන්තියේ ඉස්සරහින් එල්ලනවා හැමෝටම පේන්න."

නිමල් පාට පෙට්ටියද පැන්සල හා ඉරේසරයද ගෙන චිත්‍රපොත උඩ තබා ගත්තේය. ඔහුට හරි සතුටුය. නිමල් චිත්‍ර ඇදීමේ රුසියෙකි. සමීරලා, සුරංගලා තවම අදින්නේ කෝටු බබ්බුය. ඒ අතින් හොද හැඩ ඇති රවුම් මුහුණු වලින් සහ මස්පිඩු සහිත අත් පා වලින් යුතු මිනිස් රූප ඇදීමට නිමල් සමතෙකි. සතිපතා කියවන චිත්‍රකතා පත්තරවල චරිත නිමල්ගේ මේ සමත් කම වැඩි දියුණු වීමට රුකුල් දුන් හේතුවයි. ටෝගා සහ නිවුරෝ නිමල්ගේ ප්‍රියතම චරිතය. හෑම සතියකටම වරක් අක්කලා විසින් මිලදී ගන්නා සිත්තර සත්සිරි වැනි චිත්‍රකතා පත්තර අක්කලා නිවසේ නැති අතරතුර ඔවුන්ගේ මෙට්ටය යටින් ගෙන හොරෙන් කියැවීම නිමල්ගේ විනෝදාංශයකි. එය අක්කලාට රහසක් නොවූවද ඔවුන්ද ඒවා කියවන්නේ නිවසට හොරෙන් බැවින් අක්කලාද ඒ පිළිබද නොදත් සේ හිඳිති. මුලින්ම ටෝගා සහ නිවුරෝ කතාද ඉන්පසු ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් සහ ගජමෑන් ද ගැටයාවද නිමල් කියවයි. ඉඩ ඇති හැම විටකම යෝධ සිරුරෙන් සහ පිරුණ මස්ගොබ වලින් පිරිපුන් දැවැන්ත කඩුවක් අතේ දරාගෙන බ‍දේ කඩු කොපුවක් පැළද සිටින වීරයන් සිත්තම් කිරීමට නිමල් ඉතා කැමතිය. එකේ පන්තියේදී භාවිතයට ගත් පොත් වල ඉතිරි වූ හිස් පිටු පුරා නිමල් සිත්තම් කර ඇත්තේ එවන් වීරයන්වය.

නිමල් චිත්‍රපොතේ පලමු පිට පෙරළයි. සුදු හිස් කොළය අලුත්වට දිළිසෙයි. ඔහු එය අත්ලෙන් පිරිමදියි.

ගමරාලට අන්දවන්නේ සරමක්ද අමුඩයක්ද යන්න නිමල්ට පැණයකි. අමුඩයක් අදින්නට නම් කුඹුරට යා යුතුයි. ඒ සමග උදැල්ලක්ද ඇදිය යුතුවේ. එවිට ඔහු ගමරාල කෙනෙකුට වඩා ගොවිරාල කෙනෙකු සේ පෙනෙනු ඇත. ගමරාල කෙනෙකුටත් ගොවිරාල කෙනෙක් විය හැකි නොවේදැයි යන කල්පනාවේ ඔහු මදක් නිමග්න විය.
සරමක්ද ඇදගෙන ගෙමිදුලට වී සිටින ගමරාල කෙනෙක්ව ඇන්දහොත් ඊට පිටුපසින් ගෙයක්ද සිතුවමට නැගිය හැක. තව මල් හා එළවලු පාත්තියක්ද සතුන්වද පසු බිමෙන් ඇදිය හැකිවේ. එය වඩාත් කදිමය.එහි බොහෝ දේ ඇත.

අවසානයේදී සරමක් ඇදගත් ගමරාල කෙනෙක්ව ඇදීමට නිමල් තීරණය කළේය.

ගමරාලගේ මුහුණ මුලින්ම ඇදිය යුතුයයි නිමල් සිතාගෙන උන් බැවින් මේ වන විට රවුම් මුහුණේ තරමක් ලොකු ඇස් දෙකට, කුඩා නාසයට පහලින් තරමක් දළ උඩු රැවුලක්ද සිත්තම් වන්නට පටන් ‍ගෙන තිබුණි. ගමරාළට ඇත්තේ කාරුණික මුහුණකි. කො‍ටුවේ කුකුල්ලුන් කන්නට එන නරිරාළට හැරුණ කල අන් සියල්ලන්ටම ගමරාළ හරි කරුණාවය. නිමල් වඩාත් කැමති පාට ගැන්වීමේ ක්‍රියාවලියටය. චිත්‍රය පාට කරන තුරු නිමල්ට ඉවසුම් නැත. එහෙත් ඊට පෙර ගමරාලගේ අත් පාද කකුල්ද ගෙවත්තද සිත්තමට නැගිය යුතු වේ..


උදුලා ටීචර් පන්තියේ ඔබ මොබ සක්මන් කරනයුරුද ඒ අතරතුර ඉදහිට එකෙක් දෙන්නෙක්ගේ අඳිමින් පවතින චිත්‍ර වලටද එබිකම් කරන අන්දමද නිමල්ට පෙනේ. ටීචර් පන්තියේ පසුපසට ගිය මොහොතක් බලා නිමල් අවට මිතුරන්ගේ චිත්‍ර දෙස විමසුම් ඇස යොමු කරන්නට විය.


උපුල් තවම චිත්‍රයේ ඇඳ ඇත්තේ ස්වල්පයකි. ඔහු කෝටු අත් දෙකක් ඇද අහවර වී විශාල හිසක් අදිමින් පසුවෙයි. සුරංග හා සමීරද චිත්‍රයෙන් නිමවා ඇත්තේ ස්වල්පයකි. ඒවායේ එතරම් සිත්ගන්නාසුලු පෙණුමක් නැතැයි නිමල්ට සිතුණි. සජිත්ගේ චිත්‍රය අනික්වාට වඩා තරමක් හොඳය. නිමල් හැරුණු කල අත් පා රවුම් මිනිසුන්ව අදින්නේ සජිත් පමණකි. එසේ වුවද එය තමන්ගේ සිතුවමේ ගමරාල තරම් හැඩ ඇතිව ඇඳ නැති වගට නිමල්ට කිසිදු සැකයක් නැත.

ගමරාලට ඉරි ඉරි සරමක් ඇන්දවීමෙන් පසු නිමල් චිත්‍රයට එකතු කළ යුතු අනික් දෑ සිත්තම් කරන්නට පටන් ගත්තේය. පිදුරු සෙවිලි කල කුඩා නිවසක්ද, ළිඳක්ද, ගස් කොළන්ද සිත්තම් කර අවසන චිත්‍රයේ පසෙකින් දඩෝරියෙක්වත් සිත්තම් කලොත් හොදයැයි සිතුන බැවින් බලු නගුටෙක්ද චිත්‍රයට එකතු විය.
ඌව රතු පා‍ටින් පාට කරන්න ඕනෙ.
නිමල් සිතීය.

උදුලා ටීචර් තවමත් පන්තිය වටා සංචාරයේ නිරත වන ගමන්ය. දෙතුන් දෙනෙක් චිත්‍රය ඇඳ අවසන් කර තිබූ හෙයින් ඇය ඒවාද එකතු කරන්නට විය.

සුරංගද සමීරද මේ වන විට චිත්‍ර නිමකොට අවසන්ය. සජිත්ද ඔහුගේ චිත්‍රය සෑහෙන දුරට පාට කර අහවරය. පාට ගෑ බොහෝ තැන්වල හිඩැස් වලින් යුක්ත එය එතරම් සුන්දර එකක් නොවීම ගැන සතුටක් නිමල්ගේ සිතේ මෝදු වන්නට විය.

බල්ලාට රතුපාට ගෑමෙන් අණතුරුව තව ඉතිරිව ඇත්තේ පසුබිම පින්තාරු කිරීම පමණි. නෙක වර්ණ පැස්ටල් කූරු අතරින් පසුබිමට ඔබින වර්ණයක් තෝරාගැනීමට නිමල් මොහොතක් ගත කලේය.
අවසනදී ඔහුගේ සිත් ගත්තේ තද කොළ වර්ණයයි.

"ෂා නිමල් මාර ලස්සනයිනෙ මේක."

චිත්‍රය පාට ගා අවසන් වෙත්ම යාබද පුටුවේ සිටි උපුල් නිමල්ට රහසින් කීය. නිමල්ගේ සිත සතුටින් ඉපිල යන්නට විය.

"ඔයාගෙ චිත්‍රෙත් ලස්සනයි."

එතරම් ලස්සනක් නැති වුවත් නිමල් උපුල්ගේ සිතුවම වර්ණනා කළේය.

සිතුවමෙහි පසුපස නම ලියා උදුලා ටීචර්ට බාර දෙන්නට මත්තෙන් යළිත් වරක් අවට පෙනෙන මිතුරන්ගේ චිත්‍ර දෙසත් තමාගේ චිත්‍රය දෙසත් බලා සැසදීමට නිමල් අමතක නොකලේය. ඒ හැමකකටම වඩා තමන්ගේ චිත්‍රය කැපී පෙනෙන ලස්සනකින් යුක්තයැයි නිමල් නැවත නැවතත් සිතුවේය. උදුලා ටීචර් නිසැකවම තමන්ගේ සිතුවම පළමුවැනියාට තෝරා ගනු ඇතැයි නිමල්ට සිතුණි. කොළපාට පසුබිමේ රතුපාට බල්ලා සහ කරුණාවන්ත ගමරාළ සහිත චිත්‍රය පන්තියේ ඉදිරිපසින් රැ‍‍දෙනු ඇත. ඊට යටින් නිමල්ගේ නමද සටහන් වන්නට බැරි නැත.

දැන් හොදම චිත්‍රය තේරීමේ වෙලාවයි.

"නිමල්ගේ චිත්‍රය තමයි ලස්සනම"
ගුරුතුමිය නම් කියවන ගමන් සමග සිසුන්ගේ චිත්‍ර පන්තියට පෙන්වද්දී අවට සිටි මිතුරන් කිහිප දෙනෙක්ම එසේ කියණු නිමල්ගේ සවණ වැකිණි. සියුම් ආඩම්බරයකින් සිත පිරී යන්නට විය.


"දැන් ළමයි කියන්න බලන්න මේ දැකපු චිත්‍ර වලින් කාගේ චිත්‍රයද වඩාත් ලස්සන කියලා."
චිත්‍ර ප්‍රදර්ශනය කිරීමෙන් අණතුරුව උදුලා ටීචර් පන්තියෙන් විමසුවාය.

පන්තියේ ළමෝ එක්වරම නම් කියා කෑ ගසන්නට වූහ. වැඩිපුරම ඇසුනේ තමන්ගේ නම වග නිමල්ට සැක නැත. කිහිප දෙනෙක් සජිත් ගේ නමද කියනු යාන්තමට මෙන් නිමල්ට ඇසුණි.

"හා ළමයි දැන් නිශ්ශබ්ද වෙන්න. අපි බලමු එහෙනම් ඒ චිත්‍ර"
උදුලා ටීචර් නිමල්ගේ චිත්‍රයද සජිත්ගේ චිත්‍රය දෑතට ගෙන පන්තියට දිස්වන සේ අල්ලා ගත්තාය.

සජිත්ගේ චිත්‍රයේ සිතුවමට නගා තිබුණෙ ගමරාළ සහ ඔහුගේ නිවසයි. ගෙවත්තේ බිම කොළ පාටටද පසුබිම ලා නිල් පාටටද වර්ණ ගන්වා තිබුණි.

"කෝ දැන් සජිත්ගේ චිත්‍රෙ ලස්සනයි කියන අය අත් ඔසවන්න බලන්න."
අත් දෙක තුනක් එසවුනි. ඒ අතර සජිත්ගේ මිතුරු රුවන් හා කමල්ද වූහ.

"එතකොට නිමල්ගේ චිත්‍රෙ ලස්සනයි කියන අය අත් ඔසවන්න බලන්න."

උදුලා ටීචර් එසේ කියා අහවර වීමටත් මත්තෙන් පන්තියම වාගේ අත් එසවූහ. නිමල්ට දැනුනේ උහුලා ගත නොහැකි තරම් ප්‍රීතියක් සහ ආඩම්බරයකි. තමන්ගේ චිත්‍රයට සජිත්ද අත ඔසවනු දැක නිමල්ගේ සිත සජිත් පිළිබද මහත් මිතුරු සෙනෙහසකින් දැල්වී ගියේය.

"වැරදියි...."
නිමල්ගේ සිතේ මහත් තිගැස්මක් ඇති කරමින් උදුලා ටීචර්ගේ වදන් අනපේක්ෂිත අයුරින් රැවු දුනි.
නිමල් තුෂ්නිම්භූත විය.. පන්තියේ අනිත් ළමුන්ද මහත් පුදුමයෙන් කසුකුසු ගාන්නට විය.

"ළමයි නිශ්ශබ්ද වෙන්න.."
ළමුන්ගේ කතාබහ අතරින් උදුලා ටීචර්ගේ හඬය.

"නිමල්ගෙ චිත්‍රයේ පසුබිමට එයා ගාල තියෙන්නෙ තද කොළපාට. අපි පසුබිමක් පාට කරද්දි කවදාවත් තද පාටවල් යොදාගන්න හොද නැහැ. ඒකට යොදාගන්න ඕනෙ ලා පාටවල්. දැන් බලන්න සජිත්ගේ චිත්‍රය. ඒකට ගාල තියෙන්නෙ ලා නිල් පාට. කොච්චර ලස්සනද පැහැදිළිද කියල බලන්න. ලා නිල් කහ රෝස වගේ ලා පාටවල් තමයි පසුබිමට ගාන්න සුදුසු. ඒ නිසා මේ දෙකෙන් හොදම චිත්‍රය සජිත්ගේ චිත්‍රය.."

"ඒ උනාට නිමල්ගෙ ගමරාල ලස්සනයිනෙ"
කවුදෝ මිතුරෙක් හෙමින් කියනු සිහිනෙන් මෙන් නිමල්ගේ සවණ වැකුණි.

"නිමල් මීට පස්සෙ පසුබිම පාට කරද්දි මේ වගේ තද පාට එහෙම ගාන්නෙ නැහැ."
චිත්‍රය නිමල් අතට දෙන ගමන් උදුලා ටීචර් පැවසීය. නිමල් චිත්‍රය ඩෙස්කුව මත තබා ගත්ගමන් මුහුණ බිමට බර කර ගත්තේය. රතුපාට බල්ලාද කරුණාවන්ත ගමරාළද දුක්මුසු ඉරියවුවක් පාන්නේයැයි නිමල්ට මොහොතකට සිතෙන්නට විය

පසුබිම..

එය නිමල්ට අලුත් වචනයක් නොවූ නමුත්. එය මේ මොහොතේ දැනගත් අලුත් වචනයක් සේ හැගී යන්නට විය. චිත්‍රයේ මිනිසුන්, සතුන්, ගහකොල හැරුනු කල අන් සියල්ල පසුබිමය. වැදගත්ම දේ නම් පසුබිමයි. පසුබිමට තද පාට හොද නැත. නිමල් සිතුවේය.

කොළපාට පසුබිමද ඇතුලුව මුලු චිත්‍රයම නිමල්ගේ දෑසින් බොදව යද්දී

"සජිත්ගේ පින්තූරය හෙට ඉදන් පන්තියේ හැමෝටම පේන්න ගහලා තියනවා."
ඈතින් ගලා එන්නක් සේ ඇසෙන උදුලා ටීචර්ගේ වදන් බොහෝ දුර සේ නිමල්ට හැඟිණ.





37 අදහස්:

ගල්මල්-Coral at: 5/05/2010 8:27 AM said...

මගේ අදහස චිත්‍රය ඇහයීමේ දී ගුරුවරියගේ "පසුබිම" බලපාන බව මින් මතුකරයි. රචනයේ "...කොළපාට පසුබිමේ රතුපාට බල්ලා සහ කරුණාවන්ත ගමරාළ..." ඒපුවත අපූරුවට ඉස්මතුකරයි.

ලස්සන රචනය. උදෙන්ම අහිංසක ලමුන් පිරි පන්තියකට අරන් ගියාට බොහෝම ස්තුතියි නංගී.

``` Outsider``` at: 5/05/2010 8:56 AM said...

වෙනදට වැඩිය වෙනස් විදියක කතාවක් කියල මට හිතෙනව.
ඇත්තටම හරි හැමදේකම පසුබිම තමයි නිවැරැදි වෙන්න ඕනි. ඔබේ කතාවේ චිත්‍රය එය කියාපෑමට ආසන්න හේතුවක් ලෙස යොදාගෙන ඇති බවක් මට හැගේ. චිත්‍රයේදී පමණක් නොව ජීවිතයේදීත් නිවසේදීත් සෑම තැනකම රඵ පසුබිමක් නොව සෞම්‍ය පසුබිමක් පැවැතිය යුතුය. එවැනි පසුබිමක් තුල ගොඩනැගෙන සෑම දෙයම සොඳුරු සිතුවමක් වනු ඇත.
සාර්ථක නිර්මාණයක් විශ්මි.

චේජනා at: 5/05/2010 9:24 AM said...

නංගි, මට මේකෙ පෙනුනෙ වෙන පැත්තක්..
හරි දේ මතු කරල පෙන්නන එක teacher ගෙ වගකීමක්..
ඒත් ඒ දේ පෙන්නන්න පුංචි හිතක් රිදෙව්ව එක නම් පව්..
ඒ පුංචි හිත් රිදවල ඒක කියල දුන්නම ඒ හිත කොච්චර අඬන්න ඇද්ද...?

අනුරාධ at: 5/05/2010 10:44 AM said...

අනේ මංදා. මේ කතාව මාව කොහේදෝ දුර ඈතකට අරන් ගියා. අමුතුවෙන් විචාර ලියන්න දෙයක් නෑ විශ්මි. කතාව උපරිමයි. හැමදාමත් වගේම උපරිමයි.

විහඟිගෙ සිතුවිලි at: 5/05/2010 11:29 AM said...

ලස්සනයි අක්කෙ. ඔයාටයි අයියටයි මාරම අදහස් තියෙන්නෙ. කතාව නම් හරිම කාලෝචිතයි.

තිස්ස දොඩන්ගොඩ at: 5/05/2010 11:48 AM said...

මගේ ජීවිත කාලයටම නංගී හම්බ වුනේ එකම එක කරුණාවන්ත ගුරුවරියක් පමණයි... ඇය මගේ මොන්ටෙසෝරි ගුරුවරිය... අනෙක් සියලුම දෙනා නිසා ඉස්කෝලේ යාමත් විශ්ව විද්‍යාලයේ යාමත් එපාම කරපු වැඩක් වුණා මට... ගල්මල් අයියා යස ඉඟියක් දී තිබුනා නේ... අපට අවැසි කාගේ පසුබිමද...? දරුවාගේ මණැසේ ඇඳි චිත්‍රයේද, ගුරුවරියගේ ආකෘතික මණසේ පසුබිමද...? මම පොතක කියවා තියනවා පෘතග්ජන කියන එකේ "පෘතග්" යන සකු වදනේ තේරුම නම් "වෙන්" යන්න කියා... මිනිසුන් හිතන්නේ තමා පරිසරයේ කොටසක් නොවේ කියා... නමුත් ආකෘතික බවින් අඩු දරුවාට තමාත්, තමන් මනසේ නිර්මානය කරන (සංස්කාර) හැමෝමත් පරිසරයේ කොටස්...

මට කියවන කොටත් කේන්තියි ඒ අම්මණ්ඩී එක්ක...

නංගිගේ පරිකල්පනය බොහොම දියුණු වේගන එන බවක් මට පෙනෙනවා... මගේ සොඳුරු දාර්ශනිකයාගේ ආභාෂය තමා....

- නිල් අහස - at: 5/05/2010 1:39 PM said...

එක හුස්මට කියවගෙන ගියා.
හරියට පොඩි එකෙක් වගේ.

හරිම ලස්සනට ගෙතුන කතාවක් විශ්මි.

ගීතික දිල්රුක් at: 5/05/2010 2:33 PM said...

පසුබිම මොන පාට උනත් ගුරුවරයාට ඒක තීරණය කරන්න අයිතියක් නැති බව තමයි මගේ අදහස. බල්ලා රතු උනත් කොල පාට උනත් ,තණකොල නිල්පාට උනත් ඒක ඒ පුද්ගලයා ගේ අදහස. අද හැමෝම කොටුවකට වෙලා ඉන්නව විතරක් ‍නොවෙයි අනිත් අයත් ඒ රාමුවටම ගාල් කරන්න උත්සාහ කරන්නෙත් එහෙම දිගු කාලයක ඉදන් මොට උන අපි බිහි වෙන්නෙත් ඔන්න ඔය විධියට තමයි.

RanDil at: 5/05/2010 5:06 PM said...

පළමු වතාවට මට ලියැව්ල්ල කියවලා කවුද ලිව්වේ කියන එක පැටළුනේ අද තමයි නංගී. වෙනදා නම් කියෙව්වාම වැටහෙනවා ඔයාද මල්ලිද කියලා. අද ඔයා ටිකෙන් ටික "අළු" වීගෙන යන බව වැටහුනා.

පාට පිළිබඳ ප්‍රශ්නය නේද? ඒ ප්‍රශ්නේ ‍ලංකාවේ කොහෙද නැත්තේ නේද? ඇත්තටම යටින් දිවෙන ගැඹුරු අර්ථය පසෙක තිබ්බොත් පුංචි ළමයෙක්ගේ සිතුම් පැතුම් මනාව මතු කරලා තියෙනවා නගා. අනිත් කෙනාට වඩා හොඳ දේ කරන්න, ඒත් අනිත් කෙනාගේ සිත නොරිදවා ඉන්න වගේ ගොඩක් දේවල් මේ ලියැව්ල්ල ඇතුලේ තියෙනවා. මට ‍චිත්‍රය නිසා අපේ පාසලේ ළමයෙකුට වුනු දෙයක් මතක් වුනා.

දවසක් ටීචර් චිත්‍රයක් අඳින්න කියලා. පස්සේ කියලා තියෙනවා තමන්ගේ නමයි මාතෘකාවයි ලියන්න කියලා. මේ ළමයා ලියලා "දිමුතු දුරේෂා වෙදගේ පූසා" කියලා. පූසෙක් තමයි එයා ඇඳලා තියෙන්නේ.

තිස්ස දොඩන්ගොඩ at: 5/05/2010 7:03 PM said...

ඔපීසියේදී කඩිනමින් කියවා ගත් අරුතට පළමු කමෙන්‍ටුව දැමීමි...
දැන් දෙවැනි වර කියවීම: දියුණුවූ පරිකල්පනයක් ඇත්තී මේ කියන්නේ නූතන ලිබරල් වාදීන්ගේ එහෙටත් නැති මෙහෙටත් නැති "මෙලෙක්" චර්‍යාවන් ද...?

හුටපටයා at: 5/05/2010 7:27 PM said...

මාත් පොඩි කාලේ චිත්‍ර ඇන්ද හැටි මතක් වුනා. මටත් ඔය වගේ අතීතයක් තිබුණා. මට මතකයි මගේ ගුරුවරු චිත්‍ර අදින්න කියලා දීපු හැටි. මගේ චිත්‍රරේ පන්තියේ ඉස්සරහට ගෙනැත් පෙන්නපු දවසුත් තිබුණා. මං ඒ අතීතෙට ගියා අයිමත් . . .

විශ්මි at: 5/05/2010 9:29 PM said...

හැම කෙනෙක්ම විවිධ පැතිවලින් බලලා විවිධ අදහස් පල කිරීම ගැන සතුටුයි...... ස්තූතියි ඒ ගැන.....

මේ කතාව තුලින් මතු කරන්න හැදුව අදහස් දෙකක් තියෙනවා...... එකක් ළමා මනස පසුබෑමකට ලක් වන විදියට ගුරුවරිය හැසිරීම තුල දරුවෙකු තුල ඇතිවිය හැකි හැඟීම් සහ අවගමනය...... දෙවෙනි එක 'පසුබිම' බලපාන්නේ චිත්‍රයකට පමණක් නොවන බව.... නොසිතූ විදිහට මෙහිදී දේශපාලන අර්ථකථනයක්ද දිය හැකි බව පේනවා පලවූ අදහස් වලින්........


@ඩීන් අයියා.....බොහොම ස්තූතියි අයියේ අදහස් පලකිරීම ගැන.......



@පිටස්තරයා........ ඔබ හරි සහෝ.... මේ කතාවෙන් ඔබ කියන අදහසත් ගම්‍ය වෙනවා....ස්තූතියි අදහස් දැක්වීම ගැන......

විශ්මි at: 5/05/2010 9:29 PM said...

@චේජනා අක්කා...... ඇත්ත අක්කේ..... දරුවෙකුට ගුරුවරියක් කියන්නේ දෙවෙනි මවක්....... එවන් පදවියක් ලැබූ කෙනෙක් දරුවෙකුගේ හිත නොතලා හරි වැරැද්ද කියාදිය යුතුයි..... ස්තූතියි අක්කේ අදහස් දැක්වීම ගැන........



@අනුරාධ..... ස්තූතියි සහෝ......මේ දිරිමත් කිරීම් හුඟක් වටිනවා.....



@විහඟි........ ස්තූතියි නංගි.... හැමදාමත් වගේ අපිට දිරි දෙනවට....

විශ්මි at: 5/05/2010 9:30 PM said...

@තිස්ස අයියා........ පළමුවර කියවීම : අයියා ඔය කියපු අත්දැකීම අපි හුඟ දෙනෙක්ට තියෙනවා....... අවුරුදු 13ක පාසල් කාලය තුල කරුණාවන්ත යැයි කිවහැකි ගුරුවරුන් මුණගැහෙන්නෙ එක්කෙනෙක් හෝ දෙන්නෙක් විතරයි....අයියේ මම හිතන හැටියට ඕනෙම දෙයක් දිහා කුරුවල් නොවුන මනසකින් බලන්න හැකියාවක් තියෙන්නේ දරුවන්ට විතරයි........ සිතීමේ හැකියාව දියුණු වූ පමණින් තමන්ව පරිසරයෙන් වෙන් කරගන්නා මිනිස්සුන්ට ජීවත් වීමේදී අමතක වෙනවා අපිත් පරිසරයේම කොටසක් බව..... දරුවෝ කියන්නේ සුපිරිසිදු සිත් ඇත්තවුන්........


දෙවනවර කියවීම : අයියා අදහස් කලදේ නම් මට ඒහැටි පැහැදිලි නෑ අයියේ.... ලිබරල්වාදය ගැන පැහැදිලි අදහසක් මට නැහැ...... ඒගැන සමාවෙන්න.....මට දැනෙන දේ කියන්නම්...... ලිබරල්වාදයේ ප්‍රමාදර්ශය 'නිදහස් මතදාරී මිනිසෙක්' මට මතක විදිහට.... ඒනයින් ගතොත් නම් මේ කතාවේ ගුරුවරියගේ හැසිරීම නිසා අර දරුවාගේ නිදහස් සිතීමට නම් ලිබරල්වාදීන්ට අනුව වැටකඩොළු බැඳලා.....

විශ්මි at: 5/05/2010 9:32 PM said...

@නිල් අහස......... බොහොම ස්තූතියි සහෝ........



@ගීතික දිල් රුක්....... අනිවාර්යෙන්... මේ අධ්‍යාපන ක්‍රමය තුල සහ මේ සමාජ රටාව තුල සිද්ධ වෙලා තියෙන්නෙත් ඒකමයි සහෝ..... තම තමන්ගේ දැක්මට අනුව තමන්ට පාලනය කල හැකි කොටසට තමන්ගේ මත පැටවීම......... බොහොම ස්තූතියි අදහස් දැක්වීම ගැන......අපේ අඩවියට සාදරයෙන් පිළිගන්නවා ඔබවත්......



@රන්දිල් අක්කා...... බොහෝ විට මමද 'අළු' වීම නොවැළැක්විය හැකි කරුණක් අක්කේ....... :)

ප්‍රාථමික පාසල් ගුරුවරු හැමවිටම ළමා මනසේ මට්ටමින් හිතලා වැඩ කරනවානම් දරුවන්ට මෙහෙම වැරදීම් වෙන එක නවත්තන්න පුළුවන් අක්කේ..... මේ වගේ දේ වලින් අසරණ වෙන්නෙ අහිංසක දරුවෝ.... ස්තූතියි අක්කේ අදහස් දැක්වීමට....


@හුටපටයා..... මෙහෙම අත්දැකීම් අපි හැමෝම අඩු වැඩි වශයෙන් විඳලා තියෙනවා සහෝ...... ස්තූතියි ඔබටත්........

මිස්සක at: 5/05/2010 9:59 PM said...

මේව ලියන්න කොහෙන් අදහස් එනවද මන්දා ?.

1. නිමල්ගේ චිත්‍රය සජිත්ගේ චිත්‍රයට වඩා ආකර්ශණීය බවට සැකයක් නැහැ. මොකද බහුතර පිරිසක් ඒකට කැමතිවීම නිසා. එහෙත් සජිත්ගේ චිත්‍රයේ ගුණාත්මකභාවය වැඩි ඇති. It's a matter of the quality and the marketing....

2. කතාවෙන් එහාට ගිහින් කල්පනා කලොත්, වැඩක් කරද්දී අධිතක්සේරැවෙන් කටයුතු කරන්න යෑම හොඳ නෑ කියලයි මට හිතෙන්නේ. එතකොට තමන්ගේ වැරැද්ද, වගේම විය හැකි සියළු දේ ගැන වැටහීමක් තමන්ට ලැබෙන්නේ නෑ. කොපමණ මහන්සියෙන්, කැපකිරීම් කරලා යම් දෙයක් කලත් ජීවිතේ සෑම විටම තමන් බලාපොරොත්තු වන දේවල්ම දෙන්නේ නෑ. අපේ වැරදි හදාගන්න පුනරැත්තාපන කාලයක් අපිට දෙනවා. ඒ වඩාත් වැදගත්, හිතදායක මිනිහෙක් හදන්න. ප්‍රශ්ණ, පරාජයන්, පසුබැසීම් කියන්නේ ඒවා. ඒ දේ පිලිගැනීමයි අපි කල යුත්තේ කියලයි මම හිතන්නේ..

මේ වගේ අදහසක් තමයි මගේ හිතට ආවේ විශ්මි අක්කේ..

isimbuwa at: 5/05/2010 11:39 PM said...

කතාව කියවන්න පටන් ගනිද්දිම මගෙ මගේ මතකය දුවගන ගියේ 'අපටත් දවසක ඉර පායාදෝ' කියන කෙටි කතාව දිහාවට. ලස්සනයි විශ්මි කතාව.

Anonymous at: 5/06/2010 12:24 AM said...

සුදු, අළු සහ කළු චරිත බිහිවන්නේ ඒ ඒ පුද්ගලයා බිහිවන සමාජ පසුබිම තුළයි….පසු බිමේ ස්වාභාවය ඒ කියන්නේ තද පාටින්ද ලා පාටින්ද කියන එක මතයි…

නoගියේ…ලස්සන නිර්මාණයක්….මෙතනදී උඹ ගොඩක් සාර්ථකයි….

ඇත්තම කියනවානම් ගෙදරට හොරෙන් සිත්තර,සත්සිරි,සතුට,මධුර,අරලිය බැලුව කතාව නම් මටත් පොදුයි අයියෝ….මටනම් තහoචි දැම්මේ අම්මා නම් නෙවි…මගේ ලොකු සහෝදරී…හප්පා ඒ දවස්වල පුදුම ඇස් දෙකක්නෙ ඒ යෝධිට තිබුනේ…


සුලා..

Anonymous at: 5/06/2010 12:34 AM said...

සුදු, අළු සහ කළු චරිත බිහිවන්නේ ඒ ඒ පුද්ගලයා බිහිවන සමාජ පසුබිම තුළයි….පසු බිමේ ස්වාභාවය ඒ කියන්නේ තද පාටින්ද ලා පාටින්ද කියන එක මතයි…

නoගියේ…ලස්සන නිර්මාණයක්….මෙතනදී උඹ ගොඩක් සාර්ථකයි….

ඇත්තම කියනවානම් ගෙදරට හොරෙන් සිත්තර,සත්සිරි,සතුට,මධුර,අරලිය බැලුව කතාව නම් මටත් පොදුයි අයියෝ….මටනම් තහoචි දැම්මේ අම්මා නම් නෙවි…මගේ ලොකු සහෝදරී…හප්පා ඒ දවස්වල පුදුම ඇස් දෙකක්නෙ ඒ යෝධිට තිබුනේ…


සුලා..

ගීතික දිල්රුක් at: 5/06/2010 10:13 AM said...

හ්ම්..... මටත් කතාවක් මතක් උනා. එක වසරෙදි අපිට චිත්‍රයක් ඇදලා පාට පැන්සල් වලින් පාට කරන්න කියුවා හැමෝටම මිස් කබඩ් එකෙන් පැන්සල් අරන් දුන්නා ඒත් මට නෑ. මිස්ගෙ දුවත් හිටියෙ අපේ පන්තියෙම තමයි මම එයාගෙන් හරිම අමාරුවෙන් පැන්සල් ටික ඉල්ල ගත්තා. ඒ පැන්සල් පෙට්ටියේ මගෙ නම ගහල තිබුනා. :/

මම at: 5/07/2010 9:46 PM said...

විශ්මි අක්කේ ඔන්න මාත් කතාව කියෙව්වා.අක්කේ මට හිතෙනවා ගුරුතුමිය කරපු වැඩේ නිසා නිමල්ට සජිත් ගැන ඉරිසියාවක් උනත් ඇති වෙන්න තිබ්බා.ටිචර්ට තිබුනේ ඒ කරුණ නිමල්ගේ හිත බිදින්නෙත් නැතුව , සජිත් ගැන නිමල්ට අහිතක් , ඉරිසියාවක් හිතෙන්නත් ඉඩ නොතබා පැහැදිලි කරන්න නේද?

රවා at: 5/09/2010 4:00 AM said...

මෙහෙම තමයි ගුරුවරු ලමයින්ගෙ මොලවල් කන්නෙ.. මම දහම් පාසලෙ උගන්වනවා 8 වසර, අම්මා 1 වසරට, අම්මා එහෙට මෙහෙට ගියහම මම තමයි 1 වසරත් බලන්නෙ.. මෙ වගෙ පුංචි පුංචි සිදුවීම් වලින් එයාලගෙ හිත් ආරක්ෂාකරන නිසා පොඩි උන් මට කැමතියි.. .. කියවලා තියනවද " හරිම පුදුම ඉස්කොලෙ " ලීලානන්ද ගාමාච්චි ගෙ පරිවර්තනයක්.. පුංචි උන් ලොකු වෙද්දි කොහොමත් යමක් කමක් තෙරුම් ගන්න කාලෙ වෙද්දි ඔවා ඔක්කොම අල්ලගෙන වෙනස් වෙනවා.. හැබැයි පොඩි කාලෙදිම ඌට "උඹ වටින එකෙක්, උඹත් දක්ෂ කෙනෙක්, ඉස්සරහට වරෙන්" කියන හැගීම දුන්න හම ගොඩාක් දුරට මීට වඩා නිර්මාණශීලි පරම්පරාවක් බලාගත්ත හැකි.. මෙහෙම ඉගෙන ගන්න අය.. හැමතැනම ඉන්නවා. ගණන් වලට 98, විද්‍යාවට 95 , වැරදි කරන්නෙ නැහැ.. සම්මතයත් එක්ක ඉන්නවා.. කලින් කරලා තියන දෙවල්ම කරනවා.. දැනුම තියනවා.. පරිකල්පන හැකියාවත් යම්තාක් දුරට රදවාගෙන තියනවා.. නමුත් වැරදීම් නැහැ.. අපෙ උගත් පරපුර අමතක කරන වැදගත්ම දෙ.. එ රටවල් වල මිනිස්සු එකපාරම මෙ දියුනුව ගත්තෙ නැහැ සල්ලි දිලා.. එයාලගෙ මිනිස්සු මැරුනා, පරීක්ෂන වැරදෙද්දි, පල්ලියට පිටින් යද්දි මැරුනා,.. අපෙ මිනිස්සු හැමදෙම පිට රටින් ගෙන්ල්ලා හයි කරන්න පුරුදුවෙලා.. අතෙ සල්ලිත් නැහැ තාක්ෂනෙත් නැහැ.. මෙ වගෙ සිද්දි ගොඩකට මම මුහුන දිලා තියනවා.. " ඇයි මිස් පසුබිමට තද පාට ගාන්නෙ නැත්තෙ " කියලා අහපු කියන්නෙ " පණ්ඩිත කම් නැතුව කියපුදෙ කරපන් "...

රවා at: 5/09/2010 9:44 AM said...

පොඩි එකා ගාපු හින්දා හොද නැහැ කියයි.. හැබැයි පිකාසො ගැවානම් අපෙ ඉන්න පණ්ඩිතයො ටික විශිෂ්ඨයි කියයි.. පොඩි අයගෙ හිත් හරිම මෙලෙකයි.. එව හරිම සංවෙදීයි.. මෙ වගෙ සිද්දීන් වලින් වෙන්නෙ පුංචි හිත්වල මකන්න බැරි තුවාල වෙන එක, 1 වැනිය තොරන එක, තරගය ඇතිකරන එක.. පොඩි ලමයින් අතරින් වඩාත් දක්ශ කෙනා තෙරිම එක ලමයෙක් ව ගොඩ දාලා ඉතුරු හැමදෙනාවම ආපසු හැරවිමක් කරනවා. ඔයගෙ කෙටි කතාවට වස්තු වුන සිද්ධිය හරිම අපුරු එකක්..

සිතට දැනෙන දේ at: 5/11/2010 2:07 AM said...

මමත් කතාව කියෙව්වා විශ්මි. ලස්සනයි. ඒත් මට එක ප්‍රශ්නයක් මතු වුනා. ටීචර් දෙන්නගේ චිත්‍ර දෙස බලපු විදිය. නිමල් චිත්‍ර වලට දක්ෂ ළමයෙක් කියලා මුල ඉදලා කියවගෙන යන විට තෙරුනා. එහෙනම් නිමල්ගෙ චිත්‍රයේ පසුතලය හැරුණු කොට අනිත් දේවල් (ගමරාළගේ මුහුණේ ඇදි ඉරියවු) සජිත්ගේ චිත්‍රයට වඩා හොදට තියෙන්න ඇති නේද? චිත්‍ර ගුරුවරයෙක් චිත්‍රයේ වර්ණ අනුවම විතරක් හොද චිත්‍රය සජිත්ගේ එක කියලා තෝරයිද? මට සිතෙන්නේ කෙනෙක් චිත්‍රයකට වර්ණ යොදා ගන්නේ ඒ වර්ණ තම සිතට දැනෙන විදියට. ටීචර්ට තිබුනා එය නිමල්ට පැහැදිලි කරලා දෙන්නගෙම චිත්‍ර වල තියන හොද නරක ළමයිට පැහැදිලි කරලා දෙන එක. ගුරුවරු වුනාම ළමයිගෙ සිත් ගැන හොද අවබොදයක් තියෙන්න ඕන.විශේෂයෙන් කලා ගුරුවරයෙක්.
මගේ සිතට දැනෙන දේ කිව්වේ..
ලස්සන නිර්මානයක්, ළමයෙක්ගේ සිත ගැන කියවෙන. ගුරුවරයෙක්ට ඉගෙන ගන්න දෙයක් මේ නිර්මානයේ තියනවා..
ඔබට ජය පතනවා!

චමිල at: 5/12/2010 11:01 PM said...

අද තමයි මේක කියවන්ඩ පුලුවන් වුනේ. සුන්දර නිර්මණයක් විශ්මි.. ටීචර් නන් හරිම වැරදී මෙතනදි. චිත්‍ර කියන්නෙ ගොඩක් වෙලවට පොඩි උන්ගෙ හිත් පොත් මතට එන දෙයක්නෙ. ඒ වගේ දෙවල් වලදි ගුරුවරු මීට වඩා නම්‍යශීලී වෙන්ඩඕනෙ නේද? පොඩ්ඩ වැරදුනොත් දක්ෂ සිත්තරෙක් ලෝකෙට අහිමි වෙන්ඩ පුලුවන්. චිත්‍ර වලදි විතරක් නෙවේ හැම දේකදිම ඕක ඔහොමයි. මමත් ඔය වගේ දේවල් ගොඩක් දැකල තියනව....

nethu at: 5/13/2010 12:48 AM said...

අනේ ඔයා මේ විදියට ලියද්දි ආසාවේ බැහැ. මට නම් මේවා හිතන්න මිසක් මෙච්චර ලස්සනට ලියා ගන්න බැහැ. ගුරුවරිය ළමයාගේ පසුබිමට යොදා ගෙන තිබූ වර්ණය විවේචන කිරීම අනුමත කළ නොහැකියි. ඒ වගේම හොඳම චිත්‍රය ‍තෝරා බිත්තියේ ගැසීම ගැනත් මගේ එතරම් කැමත්තක් නැහැ. මෙතරම් කුඩා කාලයේදී නිර්මාණශීලීත්වය තුළ තරඟකාරීත්වයක් ඇති නොකල යුතු බවයි මගේ අදහස. එයින් නිර්මාණශීලීත්වයට එතරම් දස්කමක් නොදක්වන්නන් තවත් පසුබට විය හැකියි කියලා හිතෙනවා..

ඔයාගේ නිර්මාණය නම් ඉතා ඉහළයි. සුබ පැතුම් නංගි

nimanthi at: 5/19/2010 4:19 PM said...

කොහෙද ළමයිනේ ගියේ හොයාගන්නවත් බැහැනේ මේ දෙන්නව :D

RanDil at: 5/20/2010 2:31 PM said...

දෙන්නා අපිටත් නොකියා වෙඩින් එක අරගත්තාවත්ද කියලා සිතේ. කොහේ ගිහින්ද මන්දා? IF YOU CAN SEE THIS MSG REPLY PLS. AT LEAST WE CAN KNOW THAT NO HARM TO BOTH OF YOU

තිස්ස දොඩන්ගොඩ at: 5/20/2010 2:34 PM said...

දෙන්නා හොඳින් ඉන්නවා... අධික වැඩ ලු... විවේකයත් ඕනෙලු... පොඩ්ඩක් ඉන්න දෙමු නේ... ලෑස්ති වෙන්නත් ඕනෙනේ... ලොරියක් ගන්නවා වාගේ නෙමෙයිනේ... නේද රන්දිල්....

RanDil at: 5/21/2010 12:11 PM said...

හා හා එහෙනම් කමක් නැහැ. ස්තුතියි පැංග්ස්

nimanthi at: 5/23/2010 8:43 PM said...

මේ තිස්ස අයියා රොයිටර් පුවත් සේවය වගේ නේ..:D
හා ස්තූතියි බොහෝම...!!!! දැන්නුවට

Anonymous at: 5/23/2010 11:57 PM said...

හනෙ අප්පේ.....මේ දෙන්නට මක්කයි උනේ...දොරටවත් තට්ටුකරලා බලමු....ටොක්..!..ටොක්..!ටොක්...!.....ම්හු....

සුලා.....

විශ්මි at: 5/26/2010 8:41 AM said...

@නිමන්ති අක්කා, රන්දිල් අක්කා,......

මේ ටිකේ මංගල්ලෙට ලෑස්ති වෙනවා අක්කේ... මාස 3යි තියෙන්නෙ...... පොඩි විවේකයකටත් මංගල්ලෙ වැඩ නිසාත් තමයි නිහඬ වුනේ...... පුළුවන් ඉක්මණින් ආයෙමත් එන්නම්........ සමා වෙන්න නොකියම ගියාට....... :( ස්තූතියි හොයල බැලුවට ඔයාලා දෙන්නටම...



@ සුලා අයියා...... දොරට ගැහුවට ගෙදර කවුරුත් නැතෝ........ :D

ස්තූතියි අයියේ හොයල බැලුවට......


@ තිස්ස අයියා..... බොහොම ස්තූතියි අයියේ අපේ අක්කලට පණිවිඩේ කිවුවටත් අපි ගැන හොයල බැලුවටත්..... ලොකු සතුටක් දැනුනා අයියා වැඩ රාජකාරි අස්සෙත් අපිට කතා කරල හොයල බැලුවම...... ස්තූතියි ආයෙමත්....





කතාවට කමෙන්ට් කරපු යාළුවො හැමෝටමත් බොහොම ස්තූතියි...... :)

Hasitha at: 6/05/2010 6:19 PM said...

අද තමයි මට මේ කතාව කියවන්න හම්බුණේ. ඇත්තටම වෙනස්ම පණිවුඩය්ක් තමා මේකෙන් කියන්න යන්නේ කියලයි මට නම් හිතුණේ අක්කේ.

සම්මතය තුළ කොටු වෙලා ඉන්නේ නැතිව සම්මතයෙන් පිටතට යාමක් ඒත් නැත්නම් ඒ මතා පා තබමින් ඉදිරියට යාමක් වියයුතුයි වගේ අදහසක් තමයි මට නම් ආවේ :)

ඒ වගේම අක්කේ කලින් කරපු එහෙම කියවන්න අමාරුයි අකුරු පුංචි නිසා. ඒකටත් පිලියමක් කලොත් හොඳයි :)

රවා at: 6/13/2010 11:07 PM said...

හරි හරි මම මෙතනට දැනගන්න ආපු කාරනය දැනගත්තා... අපි යනවා පුළුවන් වෙලාවක ආපහු පටන් ගන්න.. බ්ලොගින් වැඩෙ...

Ansh Lucky Sri Jay at: 7/02/2010 9:09 PM said...

වෙනස් කතාවක්..
බ්ලොගේ අකුරු ටිකක් ලොකු කලොත් හොඳ නැද්ද??
කියවන්න පොඩ්ඩක් විතර ලේසි වෙන්න..
:)

ජීවිතේමල් at: 7/27/2010 9:58 AM said...

අද නිවි සැනසිල්ලෙ මේ කතාව කීප වතාවක් කියෙවුවා..
"
පසුබිම..
එය නිමල්ට අලුත් වචනයක් නොවූ නමුත්. එය මේ මොහොතේ දැනගත් අලුත් වචනයක් සේ හැගී යන්නට විය. චිත්‍රයේ මිනිසුන්, සතුන්, ගහකොල හැරුනු කල අන් සියල්ල පසුබිමය. වැදගත්ම දේ නම් පසුබිමයි. පසුබිමට තද පාට හොද නැත. නිමල් සිතුවේය."

මේ තමයි ඔබේ කතාවේ සාරාංශය! ඇත්තටම වචන නැතුව ගොලු උනා මොහොතකට ! පසුබිම ! අන්න ඒකයි අහිංසක අනාගත විනාස කරන සාධකය!

අපි දෙයක් විවේචය කරද්දි මොහොතකට හිතනව නම් අපි මේ පිට කරන්නෙ පෞද්ගලික මතය කියල මේ රටේ අනාගත පරම්පරාව ගොඩක් නිර්මාණශීලී වේවි.. ඒ වගේම , ගුරුවරයෙක් කියන්නේ ඉතාම පරෙස්සමෙන් මේ ලපටි හිත් එක්ක ගනුදෙනු කල යුතු කෙනෙක්. අහිංසක අනාගතයක් සහමුලින්ම විනාස කරන්නත් , සහමුලින්ම හොඳ අතට හරවන්නත් හැකි බලයක් ගුරු දෙවියෙකුට තියනව . දෙවිවරු වෙන්නේ ඒ වගේ දේව බැල්මෙන් ආදරය වපුරන ලපටි හිත් නොතලන ගුරුවරු! ඒත් බහුතරය! ?????? .....................????? ඔවුන්ට මේ ගැන හැඟීමක්වත් තිබේදැයි ප්‍රශ්න්යක්... !

Post a Comment

newer post older post