ඡායාරූප ශිල්පය මට විනෝදාංශයකට වඩා එහා ගිය එකක්. ඒක හරියට පවතින මොහොතෙන්, කාලයෙන් සහ ලෝකයේ අස්ථිර පැවැත්මෙන් අංශුවක් මා තුළට උරා ගැනීමක්. මහ විසාල ගඟක් මොහොතකින් මවල පෙන්නල ආයෙත් හංඟගන්න හදන කුඩාම කුඩා දිය රැල්ලක් හොරාගැනීමක්. මගේ අස්ථිර පැවැත්ම සමඟ සොරාගත් දියරැල්ල අතිනත් අල්ලාගෙන ශුන්‍යත්වය කරා ගන ගමනක්.
සේයාරුවක් කියන්නෙ පවතින ලෝකය මගේ ලෝකයේ රේඛා වලින් සහ වර්ණ වලින් යළි පින්තාරු කිරීමක්. මේ රේඛා සහ වර්ණ උනත් කාලයත් එක්ක අලුත් නැමුම් සහ කැඬුම් බිඳුම් වලට ලක්වෙද්දි ඒව පැවතුන ලෝකයක නටඹුන් බවට පත්වෙලා මගෙන් ඈත්ව යනව.
මට ඕනෙ කලේ පවතින මොහොතෙ ඉඳන් අනාගතය දක්වා දිගහැරෙන අනන්ත සේයාරූ රැගත් සිතුවමක් පින්තාරු කරන්නයි. හැකිනම් හැම දිය රැල්ලක් තුළම තව තව කුඩා මොහොතවල් මවමින් ඉන්න මිසක සේයාරුවක් තුළ අතීතයේ නටඹුන් සොයන්න නෙමෙයි.
මං හිටියෙ ටිකෙන් ටික බොහොම හිමීට නමුත් ඒ විදිහට ලෝකය පින්තාරු කරමින්.
මනුරංගය...පරය.
මිනිහ ආවෙ ඒ වගේ වෙලාවක.
මිනිහ නොහිටින්න අද ඒ චිත්‍රය බොහෝ දුරට සම්පූර්ණයි.
ඒ හින්දම අද මම මිනිහව මරණව.
මනුරංගය රැකියාව හැටියට කලේ ත්‍රීවීල් එලවන එක. කොයි වෙලේත් කටේ හපේ ගහගත්ත ගමන්මයි. මිනිහගෙ අම්ම කලේ බුලත් විට වෙළදාම.
මනුරංගය.
විට ගෑණිගෙ පුතා.
ගංජකාරය
මිනිහ උදේ හවා මගෙ පින්තාරුව උඩින් යනව. දුම් දාගෙන...ටයර්, තෙල් පාරවල් ඇඳගෙන බුළත් කෙළ විද විද.
මිනිහ මගේ පින්තාරුවට ඇතුලත් වෙලා නොහිටියත් මිනිහ හැමදාම ඒ අහල පහල ගැවසෙමින්, තාවර වෙමින් ඉඳල තියන වගක් පහු උන දේවල් කල්පනා කරල බලද්දි මට දැන් හිතෙනව.
ශාන්තිනී
ඉඳිආප්ප මේරිගෙ දුව.
කඩේ යන ගමන්, පන්ති යන ගමන් ඉඳහිට හිනාවක් හලාගෙන යන ශාන්තිනී.
දිය රැල්ලකට වඩා ලාලිත්‍යයක් ඇති සඟවාගැනුම් සහ මැවුම් දහසක් සමගින් ඈ පවතින ලෝකයටද ඊටත් ඉහලින් පින්තාරු කල මගේ ලෝකයටද උඩින් අලුත් වර්ණ සිතුවමක් මවද්දි. කාලයේ ගැබ දරාගෙන ඉන්න තවත් ලාලිත්‍යමය සඟවාගැනුම් සහ මැවීම් වල කෝටියක් සිහිනයන් අතර මං අතරමං උනා. ඒවායේ වර්ණ වලින් රේඛා හැඩතල වලින් මගේ ඇස් අන්ධ උන ගානයි.
මම වහාම අහස අලුතින් සේයාරුවට නඟන්න ගත්ත. ඒ තුළින් නැවත ලෝකය පින්තාරු කරන්න ඇරඹුවා. පියාපත් මිස දෙපා අවැසි නැති ගානට ඒ අහසෙම සැරිසැරුවා. අතරමං වෙමින් සහ මාවම සොයමින්. වෙනස්ම අවකාෂයක සහ කාලයක පැවතුන දේවල් වටා කක්ෂ ගත වෙමින්.
“ශාන්තිනී..ඔයා මොකද කියන්නෙ.?”
දවසක් මම ඇහුව. ඇගෙන්.
“ආනේ... මම මනුරංග අයියට වචනයක් දීල ඉවරනෙ.”
මනුරංගය බුලත් කෙළ හලාගෙන, තෙල් දුම් පිඹ පිඹ මගේ චිත්‍රය කාබාසිනිය කරල දාන්න ගත්තෙ එදා පටන්. මිනිහ මගෙ චිත්‍රය උඩට නැඟල වැඩි වැඩියෙන් ඒක උඩ ගැවසෙන්න පටන් ගත්ත.
දවසක් මිනිහ ශාන්තිනීවත් අතින් ඇදගෙන බස්හෝල්ට් එකේ මඩවලකට උඩින් පැන්න.
“චිරිස්” ගාල හතර වටේට මඩ විසි උනා.
තව දවසක් දෙන්න ත්‍රීවීල් එකේම ජෝඩු දාල තානායම පැත්තට කපනව මම දැක්ක. ටයර් පාරවල් වලට බිම හෑරුණා.
මනුරංගය ටිකෙන් ටික මගේ අනන්ත අපරිමාණ වූ සේයාරූ සිතුවම බිඳෙන් බිඳ බොඳ කරන්න අපවිත්‍ර කරන්න පටන්ගෙන ඇතිවා මදිවට මිනිහ ඒකට උඩින් මිනිහටම ආවේනික උන ශෛලියකින් යුතු චිත්‍රයක් මවන්න පටන් ගෙන ඇති වග ඒ අතරෙ මට වැටහෙන්න අරන් තිබුණා.
පාරවල් වල වැඩි වැඩියෙන් බුලත් කෙළ පැල්ලම්.
වාතය එන්න එන්න දුෂ්‍ය වෙනව.
2012 ලෝක විනාශය එන වගක් රේඩියෝවක රැවු දෙනව.
මම ඇවිද ඇවිද හිටියෙ මනුරංගය විසින් සිතුවමට නඟපු පාරවල් උඩ. මම හුස්ම ගත්තෙ මිනිහගෙ ත්‍රීවීලරේ දුම් පිටකරපු වාතය.
මට ඕන කලා ලෝක විනාශය වලක්ක ගන්න. නැතිවෙච්ච වර්ණ සහ රේඛා අලුතින් හොයාගන්න. අලුත් වර්ණ ගන්නල ලෝකෙ පිරිසිදු කරන්න.
කල්පනාව පිට ඇවිදල පාරෙ වාහනේකට යටවෙන්න ගිය දවසක ගෙදර දුවගෙන ගිහින් මම ආයෙත් කැමරාව අතට ගත්ත...
මෑනුව...කල්පනා කලා.
ආයෙත් ලාච්චුවට දැම්ම.
ඇරිය වෙන ලාච්චුවක්.
ගත්ත පිස්තෝලෙ.
අතපත ගාල බැලුව. කානුවට ඇහැ තියල බැලුව.
පිස්තෝලෙන් කෙරෙන්නෙ පිටකිරීමක්. හරියට ඡායාරූපයකින් කෙරෙන විරුද්ධ ක්‍රියාව වගේ. මට හිතුන.
ඒ වෙලාවෙ මට ඕනෙ කලේ ඒහා සමාන දෙයක් වග මම මටම තේරුම් කරල දුන්න.
හැඟීමක්, කෝපයක් ද්වේෂයක්. පිට කිරීමක් එක්ක සියල්ල නැවත සැකසීමේ බලාපොරොත්තුවක්. පිස්තෝලෙත් හරියට කවියක් වගේ කියල හිතිල එවෙලෙ මට හිනාවකුත් ගියා.
මට ඕනැ කලේ මනුරංගය කැත කරමින්, මගේ ඇස් වලට පේන්න ලෝකයට උඩින් අඳිමින් උන්න විකෘති චිත්‍රය කැබලි වලට කඩන්න. බිම වට්ටා දුහුවිලි බවට පත් කරල ඈත අභ්‍යවකාශෙට පාවෙලා යන්න අරින්න.
ඊට පස්සෙ පිස්තෝලෙ හංඟල කැමරාව ආයෙත් අතට ගන්න. අලුත් මොහොතවල් සොයාගන්න. ඒවායේ වර්ණ සහ රේඛා තුළින් සදාකාලිකත්වයක් සොයන්න.
*******
මම පාරට පැනල මනුරංගයගෙ ත්‍රීවීල් එකට අත දැම්ම.
මිනිහ හිනාවක් දාගෙනම ගෙවල් ඉස්සරහින් ත්‍රීවීලරේ කපල නැවැත්තුව
“සර්..කොහාටද?”
“කොටුවට යන්න. බෑග් වගයක් තියනව. පොඩ්ඩක් උදවුවක් දෙනවද මේකට දා ගන්න.”
මිනිහ මගේ පස්සෙන් ගේ ඇතුලටම එද්දි මම හිත යටින් හිනා උනා මගේ සැලැස්මෙ සාර්ථකත්වය ගැන හිතල.
බඩු හොයන මුවාවෙන් මම ලාච්චුව ඇදල ගත්ත පිස්තෝලෙ. සයිලන්සරයකුත් හයි කරපු.
“ලෑස්තිවෙයන් මැරෙන්න.”
මම පිස්තෝල මෑනුව..කොකා ගැස්සුව.
වෙඩි පිට උනේ නැහැ.
මනුරංගය එලියට පැන්න.
සැලැස්මේ වැදගත්ම හරිය හොඳටම වැදිලා තිබුණත්. මිනිහගෙ පස්සෙන් එළවාගෙන යාම හැර වෙන කරන්න දෙයක් නැති බවට අදහසක් මගෙ ඔලුව හරහා විදුලියක් වගේ ඇදීගෙන ගියා. මරණයේ සදාකාලිත්වය ජීවිතයේ පැවැත්මට වඩා වැදගත් කමක් උසුලපු තප්පරයක මම මනුරංගය පිටිපස්සෙන් එළවමින් හිටිය.
”ඩෝං!”
මගේ වෙඩි පහරින් මනුරංගය වත්ත මායිමේම ඇදගෙන වැටුන. මිනිහ ඇදවැටෙන වේගෙට අන්දර වැටිය සරස් ගෑව.
සයිලන්සරය තිබියදී අනපේක්ෂිතව පිටවූ වෙඩි සද්දය ගැනවත්. සෙනඟ ගැවසෙන මහ දවාල ගැනවත් අවදියෙන් තොරව මම මිනිහ වැටුණ දිහාවටම දුවගෙන ගියා.
මනුරංගය වැටිල. මැරිල. කට ඇරිල. ඇස් දෙක අහස දිහාවට යොමුවෙලා. මිනිහගෙ බැල්ම යොමුවෙලා තියන ඉසවුවට උඩින් කුරුල්ලෙක් පියාඹගෙන යනව.
නිශ්ශබ්දතාවය ඇතුලෙ හැමදෙයක්ම ශබ්ද නඟන්න පටන්ගෙන ඇති වගක් මට හිතෙනව. සමනළයෙක් සට සට ගාල මගේ කණ අසලින් පියාපත් ගහගෙන යනව මට ඇහෙනව.
තණකොළ ගොල්ල මනුරංගයගෙ ලේ වලින් පෙඟීගෙන අලුත් වර්ණයක් ගන්න තතනනව.
මම ගෙට දුවගෙන යනව. අරිනව ලාච්චුව.
කැමරාව අරගෙන ආයෙත් මිදුලට දුවගෙන එනව.
නිශ්චලතාවය ඇතුලෙ හැම දෙයක්ම සසළ වෙන්නටත් රැළි නඟන්නටත් පටන් ගෙන ඇතැයි පෙනෙන මොහොතක අතරමං වෙමින්, පවතින ලෝකය සහ මගේ ලෝකය දෙකක් නොව එකක්ම උන මොහොතක මම නොනවත්වා පින්තූර ගන්නව.
කදුලු වලින් බොඳවෙන ඇස් අතකින් පිහදාන ගමන්ම මම පින්තූර ගන්නව.
තණකොළ ගොල්ල, ලේ , මනුරංගයගෙ ඇස් හැමදෙයක්ම....
ඈතින් පොලිස් නළා හඬක් ඇහෙනව..
මම දිගටම පින්තූර ගන්නව..