About

Related Posts Plugin for WordPress, Blogger...

තවත් මොහොතක්..



26 අදහස්


මම නැඟිටීමි. බඩවැල් කරකවා පපුව හරහා දිවඟට පැමිණි අපුල දැන් මට නොදැනේ.

දෙනෙතින් කඩා හැලෙන බිඳු කමිස අතින් පිස දමමින් මසොයුරා සමඟ කතා කරන ඔහු මගේ පළමු බැල්මට කොටු විණි.

ඔහු ඇවිත්....... ඔහු ඇවිත්......

ඔහුගේ උරයකට අතක් තබාගෙන අයියා මොනවදෝ ඔහුට පවසමින් අස්වසයි..... දෑසින් වැගිරෙන කඳුලු බිඳු ඔසරි පොටෙහි සඟවමින් අම්මා මා අසලම අඳ විට්ටමට බරවී සිටී.....ගතට දැනෙන සැහැල්ලුව විඳිමින් මම ඔහු දෙස බලමි.....

ඔහ්..... ඔහු අපිට පිටුපා දිගු කොරිඩෝව දිග ඉක්මන් ගමනින් පියමනී. මාව දාල යනවද? .... යහනින් බට මම ඔහු පසුපස ඇදෙන්නට වීමි. කොරිඩෝවෙන් මිදුලට පිවිස එහි නවතා ඇති කාරයට ඔහු ගොඩ විය. මමද ඔහුගේ වම් පසින් ඉදිරි අසුනේ වාඩි වී ගතිමි.

" කොහෙද ඔයා යන්නෙ? "

ඔහු නිහඬය. " මාව දාල නේත්‍රා ගාවටද ඔය යන්න හදන්නෙ ? "

ඔහු පිළිතුරු නොදෙයි. " යන තැනකට මමත් එනවා " කඳුලු පිරි දෙනෙත් විටින් විට පිසිමින් ඔහු නිහඬවම රිය පදවයි. මම හොඳින් ඔහු දෙස බැලීමි.

මේ ඔහුය.... පස් වසක පෙම මල් පල ගැන්වී පෝරු මස්තකව මා විවාහ කරගත් ඔහුය.... කඩවසම් පෙනුම ඔහු කෙරෙන් පලා යන බවක් හැඟේ... තියුණු නෙත් මැලවී නෙතු යට අඳුරු රැලි මතුව පෙනෙයි...... දින ගණනක් නිදිවැරූවෙකු මෙන් ඔහු විඩාපත්ව ඇත...

නිරන්තරව පිරිසිදුව හැඳි ඔහුගේ කමිසය කිලිටි වී ගොසිනි. මනාව පිරූ හිසකේ අවුල් වී ඇත.සියුම් වේදනාවක් හිත වෙලා ගනිද්දී මම මාවතට නෙත් හෙලීමි. නේත්‍රා මා හමුවට ආ අයුරු මතකයෙන් පිලිපැන යලිත් සිත අද්දර රඟන්නට විය.


" ඔයා මගෙ හොඳම යාලුවා.... මට මේ දේවල් තවත් ඔයාගෙන් හංඟන්න බැහැ මිනුරි.....එහෙම කරන්න මට හිත දෙන්නෙ නෑ......... අද මං ආවෙ ඔයාගෙන් සමාව ගන්න.. " පොළවට බර කරගත් නෙත් ඇතිව නේත්‍රා උන්මාදයෙන් මෙන් පවසන වදන් වල අරුත මට නොවැටහිනි.


" මොනවද මේ කියවන්නෙ නේත්‍රා ? මට නම් තේරෙන්නෙ නෑ.... "

සාලය කෙලවර ඇති ධනුකගේත් මගේත් මංගල ඡායාරූපය දෙස දෙනෙත් දල්වා ගත් නේත්‍රා බොහෝ වේලාවක් නිහඬව සිට හඬ අවදි කලාය.

" ධනුකයි මායි අතර දැන් ටික කාලෙක ඉඳන් සම්බන්ධයක් තියෙනව මිනුරි"


මට සිනහා නැඟුනි. "මොකක්ද කිවුවේ ? විහිළු කරන්න එපා නේත්‍රා ...... පිස්සුද ඔයාට ? "

හැඬීමෙන් රතු වූ දෙනෙතින් මදෙස බැලූ නේත්‍රා යලිත් සිය වත බිමට බර කර ගත්තීය.

" මාව විශ්වාස කරන්න මිනුරි...... ධනුකගෙ හිතේ මං ගැන කාලයක ඉඳන් අදහසක් තිබිල.... එයා ඒ ගැන මට කිවුවේ අපි ගිය අවුරුද්දෙ නුවර එළි ගිය වෙලේ... "


සැණෙන් මසිත වසරක අතීතයට දිවයයි. නේත්‍රා මගේ මෙන්ම ධනුකගේද සොයුරියක ලෙස ලෙංගතුව සිටි අයුරු මා මතකයට නැඟෙයි. ගිය වර නුවර එළිය ගිය ගමනේදී ධනුක ගිටාරය වයද්දී ගී ගැයූ නේත්‍රාගේ කටහඬ ඔහු බොහෝසේ වර්ණනා කල අයුරු මට සිහි වෙයි.


එය එසේ විය නොහැක..... ධනුක පිළිබඳව එලෙසින් සිතන්නටවත් මට බැරිය......

" කරුණාකරල මෙතනින් යන්න නේත්‍රා "

කොහේදෝ සිට ආ ආවේගයක් මසිතට ආරූඪ විය.

" ඔයාට මාව විශ්වාස නැද්ද මිනුරි? පොඩිකාලෙ ඉඳන් එකට හිටිය මාව ඔයාට විශ්වාස නැද්ද ? "

නේත්‍රා කඳුලු පිරි දෙනෙතින් බැගෑපත් බැල්මෙන් මසිත රිදවයි.

" මට දැන් කාවවත් විශ්වාස නෑ... මෙතනින් යන්න නේත්‍රා මට ඔයාව ගෙයින් එළියට ඇදලා දාන්න ඉඩ තියන්න එපා...... " ඇගේ පියවර හඬ ක්‍රමයෙන් ඈත්ව යයි.


මොනවද මේ වුනේ ?.... ධනුක..... මගේ ධනුක මට එහෙම කරයිද? නෑ ඒක වෙන්න බෑ...... ඒත් නේත්‍රා හැමදේටම මට හිටිය මගේ යාලුවා... එයා මට බොරු කියයිද?......

අතට හසු වුන කඩදාසියක් ගෙන මම අම්මාට ලිපියක් ලීමි. සිත තෙරපා පීඩාව අකුරුවලට කැටි කර කඩදාසිය මතට දමා ගැසීමි.

ධනුක..... නේත්‍රා..... ගිටාරය.... ගායනය... සිනා හඬ...... ලෝකයම මා වටා භ්‍රමණය වන්නක් මෙන් මට දැනෙයි........... ධනුක, නේත්‍රා මෙපමණ කලක් මා රවටා ඇත...


කන අසල ඇසුනු හඬකින් මම පියවියට එලඹියෙමි.

" කොහේ බලාගෙනද මිනිහෝ වාහන එලවන්නේ? " පාපැදිකරුවෙක් ධනුකට බනිමින් රවමින් ඉදිරියට ඇදෙයි. හේ නිනවුවක් නැතුවාක් මෙන් නැවතත් වේගයෙන් රිය පදවයි.


ඔහු නිහඬය. මමද නිහඬවම මග දෙපස නෙත් එල්වීමි. මේ නේත්‍රාගේ නිවසට යන මාර්ගය බව මා මතකයට නැගෙද්දීත් රිය නේත්‍රාගේ නිවස ඉදිරිපිට නවත්වා අවසන්ය.

කෝපයෙන් රියෙන් බට ඔහු පසු පස මමද ඇදී ගියෙමි.

" නේත්‍රා !!! " මම තිගැස්සුනෙමි. ධනුක මේතරම් වියරුවෙන් කථා කරනු මා කිසි විටකත් අසා නැත. කිසිවක් කියා ගත නොහැකිව මම හිටි වනම බලා උන්නෙමි.

" නේත්‍රා !!!! " ඉහල මාලයේ සිට දඩිබිඩියේ දිව එන නේත්‍රා මා ඇස ගැටුනි.

" ධනුක ? මොකද මේ ? "

"මොකද මේ ? මෙහෙට වරෙන් පට්ට බැල්ලි මං තොට කියල දෙන්න " ධනුක යක්ෂාවේශයෙන් කෑගසයි.

" ධනුක හෙමිට කතා කරන්න අහල පහල මිනිස්සු ඉන්නවා " නේත්‍රා තොඳොල් වෙමින් ධනුක අසලට එමින් පැවසීය.

ක්ෂණයෙන් ඉදිරියට ගිය ධනුක නේත්‍රාගේ කෙස්වැටියෙන් ඇද ඇය බිම හෙලීය.

" ධනුක මොකද මේ ? " නේත්‍රාගේ විසල් දෙනෙත බියෙන්ද කෝපයෙන්ද පිරීයනු මම බලා සිටියෙමි.

" තෝ මොනවද යකෝ මිනුරිට කිවුවෙ ? මගෙ රත්තරන් ගෑණිට තෝ ඇයි කිවුවෙ උඹයි මමයි යාළුයි කියල ? " නේත්‍රාගේ බෙල්ල බිමට තද කරමින් ධනුක උමතු වූවෙකු මෙන් කෑගසයි. මට හුන් තැනින් සෙලවීමටවත් නොහැකිව බලා සිටියෙමි. දෙනෙත් පුරා රූටා හැලෙන කඳුලු පිස ගැනීමටවත් නොහැකි ලෙස මා අවසඟව ඇත.

වැරයොදා ධනුකව තල්ලු කර දැමූ නේත්‍රා වියරුවෙන් මෙන් සිනාසෙයි.


" හ හා හා හා හා........ ඔව් මම කිවුවා..... මම මිනුරිට කිවුවා අපි දෙන්න යාලුයි කියල.... ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ධනුක... මං ඔයාට ආදරෙයිනෙ.... "

"පර බැල්ලි .." ධනුක වේගවත් පහරක් නේත්‍රාගේ කම්මුල මතට ගැසීය. " කවදද යකෝ උඹයි මමයි යාලු වෙලා හිටියේ? මම කවදද උඹ දිහා ඒ විදියට බැලුවෙවත් ? උඹ නිසා මගෙ ජීවිතම කාළකණ්නි වුනා කියල තෝ දන්නවද ? "


කිසිවක් සිතාගත නොහැකිව මම බලා වුන්නෙමි. ධනුක වරදක් කර නැතිද? වැරදුනේ මටද? නේත්‍රා මට පැවසුවේ මුසාවක්ද?

" හා හාහා හාහා...... මටත් ඕන වුනේ ඒක තමයි ධනුක...උඹේ ජීවිතේ විනාස කරන එක.. මං උඹට ආදරේ කලා..... දැක්ක දා ඉඳන්ම....... ඒත් උඹ........? මිනුරි කියන දුප්පත් හිඟන්නිට ආදරේ කලා ....... කසාද බැඳ ගත්තා..... මට මොනවද ඉතුරු වුනේ... උඹල දෙන්නගෙ වැඩකට නැති යාලුකම...... තොරතෝංචියක් නැති හිනාව.... හහ්...... ඉතින් මං මිනුරිට පොඩි බොරුවක් කිවුවා......... උඹලගෙ සතුටට ගිනි තියන්න.... උඹෙන් පළිගන්න .... එච්චරයි " නේත්‍රා වස් කවියක් මෙන් කියවගෙන යද්දී ධනුකත් මමත් ගල් ගැසී අසා සිටියෙමු.


" උඹට මගෙන් පළිගන්න ඕන වුනා නම් මාව මරන්න තිබ්බ නේත්‍රා..... මගෙ අහිංසකීගෙ ඔළුව ගිනි නොතියා " ධනුක හඬා වැටේ....... හුන් තැනම දණඔබා හඬා වැටෙන ධනුක ළඟට මම දිව ගියෙමි.

" අනේ මට සමාවෙන්න ධනුක... මට සමාවෙන්න.... මම දුර දිග නොබලා ආවේගෙට වහ බිවුවෙ.... මම ඔයාව සැක කලා.. මට සමාවෙන්න රත්තරනෙ.... මට සමාවෙන්න.... මට දැන් සනීපයිනෙ... අපි ගෙදර යමු ධනුක..... මේ ගෑණිව දෑහට නොපෙනෙන තැනකට අපි යමු ධනුක..... අපි යමු.... "


ධනුක නොසෙල්වී නොනවත්වා හඬා වැටෙයි...." මිනුරි වහ බිවුවා නේත්‍රා...... උඹේ කේලම් අහල මගෙ අහිංසකී වහ බිවුවා..... රැයක් පුරා වද විඳල අද උදේ හුස්ම ටික ගියා ... ඇයි මෙහෙම කලේ නේත්‍රා..... උඹට සහගහනව මේ කරපු අපරාදෙට....... "

"මිනුරි මැරුණ ? " නේත්‍රා කපා හෙලූ කඳක් මෙන් ඇද වැටුනි.

මම මැරිල ? නෑ... එහෙම වෙන්න බෑ..... මේ ඉන්නෙ මම... දෙයියනේ ධනුක ඔයාට මාව ඇහෙන්නෙ නැත්තෙ ඇයි.......


හෙමින් හෙමින් නැඟිට ගත් ධනුක පරඬැලක් මෙන් දොර දෙසට ඇදෙනු මම බලා උන්නෙමි.


"ධනුක !!! මම මැරුණේ නෑ......"

26 අදහස්:

Missaka at: 4/19/2010 10:28 PM said...

දෙයක් කරන්න කලින් එක සැරයක් නෙවෙයි දහස් සැරයක් හිතන්න ඕනෙ.
මේ කථාව කියවනකොට ගොඩක් දේවල් හිතෙනවා. ආදරය, තමන් ගැන පමණක් සිතන ආකාරය, පලිගැනීම, මෝඩකම, අවබෝධයක් නොමැති කම හා සිතක චංචලත්වය හා දුර්වලත්වය.

හොඳ නිර්මාණයක් විශ්මි සහෝදරී.

විශ්මි at: 4/19/2010 11:12 PM said...

අදහස් දැක්වීම ගැන බොහෝම ස්තූතියි මිස්සක සහෝ..ඔයා කතාවේ චරිත ඔස්සේ හුඟක් දුර ගිහින්. අපේ පණස් වෙනි පෝස්ට් එකේ පළවෙනි කමෙන්ට් එක දැක්වීම ගැන බොහොම ස්තූතියි නැවතත් :)

Missaka at: 4/19/2010 11:27 PM said...

50 ද ?.. එහෙනම් ආයෙමත් සුබ පතන්න එපැයි. මම දැනගෙන හිටියේ නෑනේ ඒක.

සහයෝගයෙන් යන දිගු ගමනකට ඔබ දෙදෙනාටම මගෙන් උණුසුම් සුබ පැතුම්..

යෝගී... at: 4/20/2010 2:56 AM said...

විශිෂ්ඨයි !
සමාවෙන්න, වෙනත් වචනයක් මතකයට එන්නේ නෑ.

-ජය

තිස්ස දොඩන්ගොඩ at: 4/20/2010 7:35 AM said...

අනේ විශ්මි නංගියෝ.....!!!!
ඔයා මාව අද උදේම හැඬෙව්වා....
මේව්වා තනියෙන් ඉන්න අපිට දරාගන්න බෑ අප්පා... මං බොලඳ ඇති... නමුත්.......
ගව් ගනනක් ඇතින් ඉඳලා කෙනෙකුට මෙහෙම වේගයක් ඇතිකරන්න පුලුවන් විශිෂ්ඨම ලියවිල්ලකට විතරයි නේ....
මට Ghost චිත්‍රපටිය සිහියට ආවා...

Anonymous at: 4/20/2010 8:55 AM said...

අපූරු නිර්මාණයක්....50 වෙනි පෝස්ට් එකට මගෙනුත් සුබ පැතුම්....

දිල් at: 4/20/2010 9:18 AM said...

අපූරු නිර්මානයක් විෂ්මි සිස්

``` Outsider``` at: 4/20/2010 11:27 AM said...

තමන් සතු තමන් මුඵ හදින් රැකගන්නා දේ අන්සතු වීම වේදනාවක්. එසේ අසන්නට ලැබීමත් දරාගන්න බැරි වෙනව සංවේදි සිතකට. එවැනි විටෙක ජීවිතෙන් සමුගත්තද සමුගන්නේ සිරුර පමණක් නම්.... ආත්මයට සිරුරක් නැතිව නැවතත් ඒකාත්මික විය නොහැකි වීම මෙන්ම සත්‍ය වැටහෙද්දී එසේ සමුගෙන තිබීම‍....

ඉතාම විශිෂ්ඨයි විශ්මි.

චේජනා at: 4/20/2010 11:43 AM said...

විශ්මි, ලස්සනට ලියල...අන්තිම වෙනකන් ම හිතෙන්නෙ නෑ ඇය මියගියා කියල...
ඒත් ඉතින් නොවුනා කරන්න බැරි මරණය කියන සංකල්පය
මගේ හිත සසල කළා.

Anonymous at: 4/20/2010 5:27 PM said...

ලස්සනට ලියල තියෙනවා අක්කෙ. 50වෙනි පෝස්ට් එකට සුබ පැතුම්..ඔයාල දෙන්නට දස දහස් ගනනින් තවත් ලියන්න ලැබේවා කියල පතනවා. මම පොඩි යෝජනාවක් කරන්නම්. අක්කට පුලුවන් නම් ඔය ලියන කෙටි කතා එකතුකරල පොතක් වශයෙන් එලි දක්වන්න.

විශ්මි at: 4/20/2010 6:22 PM said...

@ මිස්සක.... බොහොම ස්තුතියි සහෝ සුබ පැතුමට......


@ යෝගි අයියා..... ඒ වචනෙ මට ඉහටත් උඩින් අයියේ...... බොහොම ස්තුතියි......


@ තිස්ස අයියා...... බොළඳ නෙවෙයි අයියේ.. සංවේදීයි....... නිර්මාණයකින් නෙත් තෙත් කරගන්නා ඔබ වැනි මිනිසුන් හඳුනා ගන්නට ඇසුරු කරන්නට ලැබීමත් වාසනාවක්... ඇගයීමට බොහොම ස්තුතියි තිස්ස අයියේ..... Ghost මමත් හුඟක් කැමත්තෙන් බැලුව චිත්‍රපටියක් හුඟ කාලෙකට කලින්.....

විශ්මි at: 4/20/2010 6:24 PM said...

@හසිත........ස්තුතියි මල්ලි සුබපැතුමට වගෙම අදහස් දැක්වීමටත්........


@ දිල්...... බොහොම ස්තුතියි අක්කෙ....

විශ්මි at: 4/20/2010 6:28 PM said...

@පිටස්තරයා...... ඔබ බොහොම හොඳින් නිර්මාණය රසවිඳලා සහෝ..... ස්තුතියි ඇගයීමට....


@චේජනා අක්කා..... බොහොම ස්තුතියි අක්කෙ අදහස් දැක්වීමට.... මරණය කවදත් සංවේදී හිත් සසල කරනවා....


@විහඟි...... ස්තුතියි නංගි සුබපැතුමට....... යෝජනාව ගැන සලකා බලන්න වටිනවා.. හැබැයි මගේ නෙවෙයි රේවන් අයියගේ නිර්මාණ එකතුවක් එළිදක්වන්නයි මම හුඟක්ම කැමති.......

ගල්මල්-Coral at: 4/20/2010 9:19 PM said...

විශිෂ්ඨයි, කියවන්නා අපූරුවට ඇද තබාගන්න සමත් රචනය. (එත් outside interference නිසා ඊයේ සම්පුර්ණයෙන්ම කියවන්න බැරිවිය).

සරළ භාෂා හැසිරවීම උපරිමයි

නංගී, "ක්ශනයෙන්" වචනය ක්ෂණයෙන් නේද ?

50 වන පොස්ට් එක වෙනුවෙන් සුබ පැතුම්!

nethu at: 4/21/2010 2:52 PM said...

මටත් මතක් උනෙ 'Ghost'. අන්තිම කියවද්දි නම් ඇ‍ඟේ ලොමු දැහැ ගැන්වුණා. අවසානයට පොඩ්ඩකට කලින් දැනුනු අස්වැස්ම අන්තිමේදි ඔයා නැති කලා විශ්මි. මගේ දිවියට හුඟාක් ලඟ මේ කතාව අද මගෙ නින්ද හොරා ගත්තා. නමුත් උත්කෘශ්ට නිර්මාණයක්

ස්වප්නා at: 4/21/2010 4:24 PM said...

හරිම ලස්සනයි.. ඇති යන්තන් කියල හිතෙන කොටම, හැමදේම නැති වෙලා ඇති වග පේන එක සෑහෙන ලොකු හිත් වේදනාවක් ඇති කරනවා.

විශ්මි at: 4/21/2010 8:20 PM said...

@ගල්මල්........... ස්තුතියි ඩීන් අයියේ වරද පෙන්නල දුන්නට... මම ඒක හැදුවා...... UCSC එකෙන් මම ටයිප් කරන්නේ.. ඉතින් දිග ලියවිල්ලක් ලියද්දි ඉඳ හිට වැරදීම් වෙනවා...... සමාවෙන්න ඒගැන......

නිර්මාණය ඇගයීම ගැන බොහොම ස්තුතියි අයියේ....... මේ දිරි ගැන්වීම් ඉදිරි නිර්මාණ වලට හුඟක් වටිනවා.....



@ නෙතු ..... නිර්මාණය නිසා වේදනාවක් ඇති වීම ගැන කණගාටු වෙනව අක්කේ ( අක්ක කෙනෙක් කියල හිතෙනවා) ඇගයීම ගැන බොහොම ස්තුතියි ඔබට.... සාදරෙන් පිලිගන්නවා මේ අඩවියට.....



@ස්වප්නා....... බොහොම ස්තුතියි සහෝදරී ....... ඔයාවත් මේ අඩවියට සාදරෙන් පිලිගන්නවා....

Anonymous at: 4/22/2010 2:56 AM said...

ඉස්සෙල්ලාම මගේ සුභ පැතුම්..!!! ඔයාලා දෙන්නටම 50 වෙනි POST එක වෙනුවෙන්.
පහුගිය දවස් කීපය මම ගෙදර හිටියේ නැති නිසා දැන් තමා මේ ඒ දවස් වල ලියපු දේවල් කියවන්න විවේකයක් ආවේ.
මේ ඇත්තටම සිදු උනු දෙයක් විශ්මී..ඔයා ලියලා තියන්නේ.
මම ටිකක් දන්න ගෑනු ලමයෙක් මේ විදියටම මිය ගිහිං තිබුනා.
මේ නම් ඒ කථාවමයි.ඇය පවුලේ එකම ගැහැනු ලමයා.සහෝදරයින් දෙදෙනෙකුට සොයුරියකව සිටි.
සමහරවිට ඒ අයියා හරි මල්ලී හරි මේක කියවන්නත් ඉඩ තියනවා කියලා මට හිතුනා.
ඒත් අවාසනාවට වගේ ඇගේ සැමියා නම් අදටත් සතුටින් ඉන්නවලු.ඒ යුවතිය තමන්ගේ මුලු කථාවම පොතක ලියලයි මියගිහිං තිබුනේ.
අර යෝගී කිව්වා වගේ විශිෂ්ඨයි !ඇත්තමයි.

Anonymous at: 4/22/2010 3:13 AM said...

Opss sorry විශ්මී ඔයාගේ කථාවේ මැද ටික මට ඉස්සර වෙලා පෙනුනේ නැහැ.
මම කියපු යුවතියගේ සැමියා නම් ඇත්තටම ඇයට බොරුවක් කරලා තියනවා.
ඔයාගේ මේ කථාව නම් අපූරුයි.

Chamila at: 4/22/2010 7:27 AM said...

මේක කලින් කියෙව්වත් කමෙන්ට් එකක් දාන්ඩ වෙලාවක් තිබ්බෙ නෑ. නියමයි විශ්මි..... මේ වගේ මැරුනු එක්කෙනෙක් කියන කතාවක් කියෙව්වෙ පලවෙනි වතාවට. අපූරු අදහසක්... වචන,දෙබස්,කතාව ගලාගෙන යන විදිහ නියමයි... කතාවෙ අවසානයත් මාරයි...
50 වෙනි පෝස්ට් එකට සුබ පැතුම්....!!!
දිගටම මේ වගේ කතා ලියන්ඩ.අපි බලාගෙන ඉන්නව කියවන්ඩ.

රන්දිල් at: 4/22/2010 3:11 PM said...

නංගී මගේ කොමෙන්ට් ප්‍රශ්නේ යම් තරමකට විසඳුනා.

ඔයාගේ ලිපිය කියෙව්වාම මට හිතුනේ ඒකාංගික ටෙලි නාට්‍යයක් බැලුවා වගේ හැඟීමක්. මම මේක කියෙව්වේ ඊයේ. ඒත් පෙරකි ගැටළුව නිසා කොමෙන්ට් කරන්න බැරි වුනා.

අද උදේත් මට මතක් වුනා ඔයාගේ කථාව. ඒ වෙලාවේ මට හිතුනේ ඇත්තටම මේක නාට්‍යයක් කලා නම් කොච්චර හොඳද කියලායි.

විශ්මි at: 4/22/2010 5:47 PM said...

@නිමන්ති අක්කා...... බොහොම ස්තුතියි අක්කේ සුබපැතුමට සහ ඇගයීමට....... කණගාටුයි අක්කේ ඒ ගෑණු ළමයා ගැන..... ජීවිතේ සමහර තැන් තියෙනවා අපිට වරදින..... ඒත් මරණය ඊට හොඳම විසදුම නෙවෙයි කියන එක කියල දෙන්න හෝ ඒ ගෑණු ළමයගේ හිත හදන්න කෙනෙක් නොසිටීම ගැන දුක හිතෙනවා....

අක්කට මඟ ඇරුනේ ඇයි කියල මට තේරෙනවා....... මේ හා සමානම කතාවක් ගැන දැනන් හිටි නිසා නේද?




@ චමිල ..... බොහොම ස්තුතියි සහෝ සුබ පැතුමටත් අදහස් දැක්වීම ගැනත් දිරි ගැන්වීමටත්..... මටත් ඕන වුනේ අවසානය දක්වාම කුතුහලය රඳවන්න...... මම සාර්ථකයි කියල හිතෙනවා......




@ රන්දිල් අක්කා.... සතුටුයි අක්කේ අක්කට තිබුන ප්‍රශ්නය මඟ හැරීම ගැන...... කමෙන්ට් නොකලත් අක්කා අපේ නිර්මාණ කියවන බව දන්නවා.... බොහොම ස්තුතියි අක්කේ ඇගයීමට.......

මම at: 4/24/2010 1:13 PM said...

විශ්මි අක්කේ...
මං මීට සමාන කතාවක් කොහෙදි හරි කලින් කියවලා තියෙනවා පොතක.හැබයි මෙකට වඩා පොඩ්ඩක් වෙනස්.ලස්සන දුක හිතෙන කතාවක්. අසාවෙන් කියෙව්වා.ස්තුතියි ඔයාට

අනුරාධ at: 4/27/2010 11:42 AM said...
This comment has been removed by the author.
අනුරාධ at: 4/27/2010 11:45 AM said...

ඇයි බන් විශිමියෝ මන් මේක කලින් කියෙව්වෙ නැත්තෙ. කොහේද මේක දාලා තියෙන්නෙ මන් නිවඩුවට ගමේ ගිය ටිකේනෙ. පට්ටයි කතාවනම්. තනිකර නාට්‍යයක් බැලුව වගේ. මන් දැන් ටිකකට කලින්, Raven ලියපු "මරණයට මග බැලුම" කතාවත් කියෙව්වා. වැඩි පුර විස්තර කරන්න දෙයක් නෑ. කෙටියෙන්ම කියනවනම් උඹල දෙන්නා පට්ටයි. අයෙත් වචන 2ක් නෑ. අනර්ඝයි.

විශ්මි at: 5/01/2010 8:31 PM said...

@මම ... ස්තුතියි නංඟි..... කැමතියි ඒ පොතේ නමත් සඳහන් කලානම්.... කියවන්න ආසයි...... :)


@අනුරාධ....... බොහොම ස්තුතියි සහෝ.... මේ වචන හැමදාමත් හිතට හයියක් තව තවත් නිර්මාණ කරන්න.........

Post a Comment

newer post older post