අකුරු...වචන...වාක්‍ය

ලිවුවේ Raven On 10:15 AM

"බලන්නකො මල්ලි"

මම හැන්දෑවෙ බෝඩිමට ගොඩවෙලා ඉස්තෝපුවෙ පුටුවකට බරඋනා විතරයි බෝඩිමේ අක්කා සාලෙ දිහාවෙන් මතුඋනා. ඇගේ අතේ කඩදාසි තීරු ගොඩක් එකට එතිල වෙළිල සර්පයො ගොන්නක් වගෙයි මට පෙණුනෙ.

"අපේ චූටිපුතාගෙ වැඩ........... අද දවල් ආපු ලියුම....මම එහා මෙහා උනා විතරයි කඩල...තීරු තීරු කපල.
මම දුන්න පස්ස රත්වෙන්න...අනේ සමාවෙන්න මල්ලි."


ඇය කඩදාසි තීරුටික දෝතින්ම මගෙ අතට දුන්නා. හරියට පන්සලේදි මල් පූජ කරනව වගේ ඉරියවුවකින්.  තනි අතින් කඩදාසි පටි ගන්න හදද්දි තීරුවක් දෙකක් මගේ අතින් ඉගිලිලා සාලෙ දිහාවට පියාඹගෙන ගියා.


මම කාමරේට යන ගමන් නිදහස්ව තිබුණු අතින් ඒව ගන්න පහත් උනා.
අතින් කොළකෑල්ල ඇහිඳින්නත් කළින්ම ඇස් අකුරු ඇහිඳින්න පටන් අරන්...


"නිසා අප්පච්චිත් මේ දවස් වල ගෙදර "

"ආදරණීය මල්ලී"

හදිසියේම පපුව ඇතුලෙ ඇවිලෙන ගිණිගුලියක්.
මම හනිකට කාමරේ ඇතුලට රිංගුව.





"ආවදෙන්කො තාත්ත...ඉල්ලල දෙන්නම්."
බෝඩිමේ අක්ක පොඩි එකාට තරවටු කරන හඬ හුළං පාරකුත් එක්ක දොර රෙද්ද අස්සෙන් රිංගුව. ඇගේ හඬ වෙනදාටත් වැඩිය ශබ්ද නැගෙන්නෙ ලියුම පිළිබද සිදුවීම ගැන ඇගේ පසුතැවීම නැවත නැවතත් මට ඒත්තු ගන්නන්නයැයි මට හිතුන.

මම කඩදාසි ගොඩ මේසේ උඩට දැම්ම. හැඩිඋන සිතුවිල්ලෙන්ම ලියුම පිළිවෙලක් කරන්න හිතාගෙන.

ඒ මොහොතෙම තවත් වචන කීපයක තීරුවක් ඇස් විසින් ඩැහැගත්තා..කුතුහලය ඇස් වලට ආරාධනාවක් කරද්දි මම සිවිලිම දිහා බැලුව...වචන වාක්‍යය සම්පූර්ණ කරන්න කලින් නවත්වන අටියෙන්.

ඒ පාර සිවිලිමේ සුදෙත් අකුරු.

ගිය මාසේ..
මේ මාසේ....
ණය....
සල්ලි.....
වියදම්.....

මම ඇස් දෙක වහගත්ත...

ශබ්දවිකාශන යන්ත්‍රයක් ඇතුලු සවනෙ රැවුදෙන්න පටන් අරගෙන. වචන තවදුරටත් වචන නොවී මහා පිපුරුමක කොටස් වශයෙන් මා වෙත ඇදී එන්නට පටන් ගත්තා..මගේ හිස ඉලක්ක කරගෙන. මා සොයා වේගවත්ව එන අතරේ පිළිවෙලට පෙළ ගැසෙමින්, අලුත් සම්බන්ධතා තනාගනිමින් යළි විසිරෙමින්. නොනැවතී  හුදෙකලාවේත් සාමුහිකත්වයේත් වෙස් ගෙන...

හිතුවිල්ලකට පුලුවන් ඕනෑම අන්ධකාරෙක අකුරු ලියන්න. හරියට කලු කොලේක ටිපෙක්ස් එකකින් ලියනව වගේ.
මම හිතුව.

ඇස් ඇරිය ඊළඟට.

මම පර්ස් එකට හිතින් තට්ටු කලා. රැළි වැටිච්ච දෙදහෙ කොළයක වාටියක් පසුම්බිය අස්සෙන් මතුවෙලා පෙණුන.
ගිණි රස්නෙ පහේ කාසි ගොන්නක් පපුව ඇතුලෙ සලං බලං ගාල හෙල්ලුනා.

හදිසියේම දිව ගිලෙන තරම් පිපාසයක්.
මම බොන්න වතුර වීදුරුව ගන්න නැගිට්ටා.

දොර රෙද්ද අස්සෙන් මුහුණ ඔබාගෙන ඉන්න පොඩි එකාව දැක්කෙ එතකොටයි.


"එන්න පුතා"

පොඩි එකා දොර රෙද්දත් එහා කරගෙන කාමරේට ඇතුල් උනා. සෙල්ලම් බඩු දාන ලොකු ඇන්කර් පෙට්ටියත් රෙදි පටියකින් ගැටගහල ඇදගෙන. හරියට කරත්තයක් ගෙනියනව වගේ.


"මාමි මාත්තෙක්ක තරහද"

පොඩි එකා එහෙම ඇහුවෙ ඒකගෙ නාහෙ අග වෙවුල වෙවුල තිබ්බ හොටු ධාරාවක් දිහා මගේ ඇස් නැවතිලා තිබ්බ මොහොතක.

මම මොකුත් නොකියාම ආයෙත් මේසෙ දිහාවට හැරුණා. දරුවා මා දිහා දෑස් දල්වගෙන බලා ඉඳිද්ඳි.


"නංගි කියනවා..."

තවත් වචන වැළක් ඇස් දෙකේ පැටලුණා.

හිත ඇතුලෙ වචන වැල් පැටලෙමින් සිතුවිලි ධාරා මැවෙද්දි මම කොළ තීරුව ඇගිලි දෙකකින්  ගත්තා.අනිත් අතින් මේස ලාච්චුව ඇරලා කතුර ගන්තා.

දුන්නා දෙකම පොඩි එකා අතට.


"කපන්න මේකත් තව චූටියට"

ඌ පුදුමයෙන් මා දිහා බලාගෙන

මම තව කොළ තීරු කිහිපයක් පොඩි එකාගේ ඔඩොක්කුවට දැම්මා. උගේ බය ඇරෙන්න හිනාවක් පෑවා.

පොඩි එකාගේ අත යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මකයි. වාක්‍ය වල සම්පූර්ණත්වය ගිලිහිල වචන වලටත්, වචන අකුරු වලටත්, අකුරු හැඩවලටත් හැරෙමින් යනව.

අප්පච්චී කතුරු පාරකින් දෙකට කැපිල "අප්ප" උනා. "ච්චී" තනි ආයන්නක් ගාවට පාවෙලා ගිහින් "ආච්චීහැදුන.

මා සහ මල්ලී ගෙන් කැපිච්ච කෑල්ලක් ඇහිඳපු මම ඒවා මේසෙ උඩ තිබ්බා

"මාලී..."
මම මූණට හිනාවක් නගාගෙන තව පටි තීරු කීපයක් පොඩි එකා අතට දැම්ම.


තවම අකුරු බැරි පොඩි එකා හොදටම හිනාවෙනව. කපනව..කපන ගමන් හිනාවෙනව. අකුරු සීසීකඩ පාවෙනව.

මම කකුල යටින් පාවෙලා ගිය හු යන්නක් ඇහිඳල අරගත්තා..තව අකුරු හොයල කුණු හරුපයක් හදන්න හිතාගෙන.

අන්තිම කොළ ගොන්නත් මම ෆෑන් එක දිහාවට වීසි කලා. කැපිල සීසීකඩ යන්න..ඒව හුළගට පාවෙලා එහෙ මෙහෙ ගියා විතරයි. කීපයක් අල්මාරිය අස්සටත් ඇඳ යටටත් විසි උනා.

වචන වේගයෙන් තම අනන්‍යතාවය අහිමි කරගනිමින් ඉන්න අතර ඔරලෝසුවෙ කට්ට කැරකුණා..


හදිසියේම පොඩි එකා ඔලුව උස්සල දෑස් ලොකු කරල මගෙ දිහා බැලුව.


"අම්ම බනීද."

මම උත්තරයක් දෙන්න හදද්දිම ඇඳ යටින් කොළ කෑල්ලක් දෙපා මුලට ගහගෙන ආව. මම ඒක අතට ගත්ත පොඩි කරන්න හිතාගෙන. ඒත් ආයෙමත් ඇස් ඉස්සර උනා.

"අස්කරමු නේද?"

පොඩි එකා එහෙම කියල මැල්ලුම් වෙච්ච කොළරොඩු ඇහිද ඇහිද සෙල්ලම් බඩු පෙට්ටියට දාන්න පටන් ගත්තා. මම ඒ දිහා හැඟීමක් නැතිව බලන් උන්නා.

කොළරොඩු එකතු කර අහවරව ඌ කාමරෙන් පිටවෙද්දි ඇන්කර් පෙට්ටියෙ තිබිච්ච අකුරු පේළියක් මගේ දෑස් ඉදිරිපිට මොහොතකට නැවතුනා.


"සිසිල් වියළි ස්ථානයක තබන්න."



පෙට්ටියට දමන්න බැරුව අතේ ගුලිකරගත් වචන තීරුව ඉබේටම අතින් දිගඇරුණා.


"..........  මල්ලී වියැයි අම්මා ආසාවෙන්.........."


හැඩතල අකුරු වලටත් අකුරු වචන සහ වාක්‍ය වලටත් හැරෙන්න පටන් අරන්....

ඈත අහසේ ගිගුරුම් හඬක්..

මම අසිහියෙන් වගේ ඇඳ දිහාට ගෑටුවා.





11 Responses to 'අකුරු...වචන...වාක්‍ය'

  1. malithi said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1317707882520#c8852476397110042985'> October 4, 2011 11:28 AM

    එක හුස්මට කියෙව්වා.. අපූරුයි! :)

     

  2. Anonymous said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1317710725619#c1367667039275080272'> October 4, 2011 12:15 PM

    add ur blog http://goo.gl/eXFoO

     

  3. චමිල said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1317727254457#c1458421008319965117'> October 4, 2011 4:50 PM

    මේක පපුවෙ ඇතුළටම දැනුනා ! කොහොමද මචන් මේ විදිහට ලියන්නෙ?

     

  4. yasasi said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1317742613495#c2731700530025598302'> October 4, 2011 9:06 PM

    රේවන්... අනේ රේවන්.. මම ලියන්න බ්ලොග් කලාවට ආව මුල් කාලේ ඉඳන්ම මට දිරිය දුන්න රේවන් මට කොහොම මග ඇරුනද මේ බ්ලොග් එක.. අපරාදේ අහක ගිය කාලය. කොහොම වෙතත් ඇස් අලවාගන කියවලා ඉවර කලා එක හුස්මට සේරම කවි කතන්දර.. ඔබට සුබ... දක්ශයන් අතර විශිෂ්ඨයෙක් ඔබ... එක හිතින්ම සුබ...


    මේ මගේ කට පාඩම් comment එකක්. :)
    http://yasasinirma.blogspot.com/2010/05/blog-post.html#comments

     

  5. Beetle said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1317744818230#c5824500316872638222'> October 4, 2011 9:43 PM

    වෙනදා වගේමයි... අනිත්වා වගේමයි... මාරයි... :)

     

  6. Aruna said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1317796267486#c8043937953673097280'> October 5, 2011 12:01 PM

    අපොයි දෙයියනේ මේකෙ සැර....

     

  7. ``` Outsider``` said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1317810568964#c8853529270786969645'> October 5, 2011 3:59 PM

    සමහර දේවල් අකුරක් දෙකක් කියෙව්වත් සම්පූර්ණයෙන් කියෙව්ව වගෙයි. ඒ මොකද ඒව ගැඹුරින්ම හුරු පුරුදු වූ ජීවන උරුමයන් නිසා. ඒ මතකයන් මොහොතක උමතු වින්දනයක් ගෙන දෙන තරම් කටුක වෙන්නත් පුඵවන්.
    ‍ඇත්තටම හොඳයි රේවන් උත්සාහය..

     

  8. http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1318212377735#c4385433673807105177'> October 10, 2011 7:36 AM

    රේවන් මල්ලී කාලෙකින් හදවත දියකර හරින සංයෝගයක් එක්ක ඈවිත්...
    පසුගිය දවස්වල තැබූ සමහර සටහන් වල විපරීත ගතියක් දුටුවා...ඒත් මේ සටහන...
    මට නිකං කුඩා ටෙලියක් වාගේ මැවිලා පෙනුනා මේක කියවන් යනකොට...
    පොඩි උන්ගේ ඉරියව් ගැන මෙච්චර හොඳට දන්නේ කොහොමද...?

     

  9. සෝරෝ said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1319415303540#c5256368222815445589'> October 24, 2011 5:45 AM

    මචන් රේවන් අයියේ.. උඹ ලියන මේ ස්ටයිල් එකට මම මාර කැමතියි බං.. කතාවත් එලටම තියෙනවා...

     

  10. සෝරෝ said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1319415540872#c1147160282602985322'> October 24, 2011 5:49 AM

    තිස්ස අයියට -

    මේක විතරක් නෙවෙයි මට නම් රේවන්ගේ අනිත් ඒව කියවද්දිත් නාට්ටියක් වගේ මැවෙනවා..

    මොකද, කතාවේ පොඩි සිදුවීමක් පවා ලස්සනට පෙන්නලා තියෙන නිසා.. මම හරි නේද...?

     

  11. දුකා said...
    http://sihinasewanali.blogspot.com/2011/10/blog-post_04.html?showComment=1319452437225#c8536731529686734217'> October 24, 2011 4:03 PM

    පිස්සු හැදෙනවා මලේ . . .
    මේ වගේ පපුව තුවාල කරන කෙටි කතා බ්ලොග් එකක විතරක් හිරකරලා තියන එක මහා අපරාදයක් කියලා හිතෙනවා වෙලාවකට . . .

     

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...