About

Related Posts Plugin for WordPress, Blogger...

බල්ලාගේ මරණය



32 අදහස්
-->
"ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තයෝ"
ඥාණවිමල හාමුදුරුවෝ කටහඬ අවදි කරයි

"අපේ ජීවිතත් කොයි වෙලාවෙද කියල නෑ. ඉපදුනොත් මරණය නියතයි. ඒක කොයි වෙලාවෙ කොහොම වෙනවද කියන එක වැදගත් නෑ. සේරම වෙන්නෙ පූරුවෙ කුසල අකුසල කර්ම වලට අනුව තමයි. දැන් මේ සතා උනත් ගිය ආත්ම භාවයක කරපු මොකක් හරි කරුමයක් නිසා තමයි මේ වගේ ඉරණමකට ගොදුරු උනේ"

"ඒක තමයි හාමුදුරුවනේ මාත් කිවුවෙ. කොහෙද මේ ළමය ජීවිතෙන් තැළිල පොඩිවෙලා තියන එකක්යැ. හරිම සංවේදී වැඩියි. ඊයෙ දවසත් ගෙදර ගිය වෙලේ ඉඳන් අඬා ගත්ත ගමන්මයි.කෑමක් බීමක්වත් නෑ. දැන් මේ උදේ වරුවෙ ඉඳන්ම මහන්සි උනා මේ දානෙ වැඩ කටයුතු වලට"
ලොකු අම්මාගේ වදන් මා ලැජ්ජාවට පත් කරයි. මගේ හිත තවත් බර වී යයි. හෘදය අභ්‍යන්තරය ගිනි ගන්නවා සේ හැ‍ගේ.

"දැන් මේ බලු කපුටු දානෙ පින උනත් ඒ සතාටනෙ. ඉතින් ඒ පිනෙන් ඒ සතා තව කොහේ හරි හරි හොඳ තැනක උප්පත්ති ලබයි. මොනව උනත් ඌත් පිනක් කරල තියනව මරණෙන් පස්සෙ මේ වගේ දාන මාන පින් කමක් හරි ලබන්න".
මුන් ඔක්කොම බොරු කාරයො. මම හිතමි. සතෙක්ගේ ජීවිතයක් ගැන මුන්ට ගාණක්වත් නැති හැටි.ජීවිතය ගැන උපන් මහත් තනිකම් සහගත හැඟීමකින් මම වෙළී යමි. මොවුන් කතා කරන්නේ බල්ලා මරණයට පත්කිරීම මා විසින් ඌ හට කරන ලද මහත් උපකාරයක් ලෙසිණැයි මට සිතේ. මිනිස් චිත්ත සන්තානය මහා ගුප්තය, මිනිස් ජීවිත දෙබිඩිය. මේ මොවුන්ගේ සැබෑ සිතිවිලි සහ අදහස්ද? නැතහොත් හුදෙක් මා සනසා මා හා හිතවත්කම් වර්ධනය කරගැනීමට යොදන උපක්‍රමයක්ද?

අසරණ සතා ගැන මහත් කම්පාවකින් මා ළයේ වේදනාව තව තවත් උග්‍ර වන්නට පටන් ගෙන ඇත.

බල්ලා මරණයට පත්වූයේ සහමුලින්ම මගේ වරදින් නොවේ. ඒ වග මම දනිමි. නමුත් එසේ දැන සිටීම මා හඟින වරදකාරී හැඟීම පහ කිරීමට කිසි සේත්ම ඉවහල් නොවේ. මගේ හෘද ශාක්ෂියට අනුව මම අපරාධකාරයෙක්මි. මගේ මොහොතක නොසැලකිල්ල නිසා අසරණ සතෙක් ජීවිතක්ෂයට පත් වීම කිසි සේත්ම සාධාරණීකරණය කල නොහැක්කක් සේ මම අදහමි.

"අනේද කියන්නෙ. දැන් බලන්න උතුරෙ කොල්ලො කොච්චර මැරෙනවද? ජීවිත දහස් ගණන් නැති වෙනව. ඔව ඔහොම තමයි දුක් වෙන්න හොඳ නෑ. මේවගෙ පවු මහත්තයට නෙමෙයි. බලු පැටවු පාරවල් පන්සල් ගානෙ අනාත කරල දාල යන උනටයි හෙන හතම වදින්න ඕනෙ".

තවත් උපාසිකා මාතාවක් කතාවට හවුල් වේ.
මගේ සිත බිඳුවකින්වත් නිවා දමන්නට මුන්ගේ වචන වලට බැරි හැටි. මුන් හදන්නේ මාව සුද්ධවන්තයෙක් කිරීමටැයි මට සිතෙත්ම මසිත නැගෙන්න මහත් තරහවකි.
ඊයේ සවස පන්සලෙන් පිටව යන්නට මත්තෙන් මොහොතකට මම මගේ කාරය යටට එබිකම් කර බැලුවානම් මේ නස්පැත්තිය සිදු නොවනු ඇත. මේසා අපරාධකාරී හැඟීමක් මා වෙලාගෙන මා සිත තලා පෙ‍ලා නොදමනු ඇත.

නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. නවතා තිබූ කාරය යට සැපට නිදා සිටි බලු කුක්කා රියසකට යටවී මලේය. පන්සලේ නටු බැල්ලට පැටවෙක් අහිමි විය. අනෙක් බලු කුක්කන්ට කෙළි සෙල්ලමට සඟයෙක්..
බල්ලෙකුට උනත් බැඳීම් කියා දෙයක් නොතිබෙන්නට බැරිය. නොතිබෙන්නට බැරි නොවේ එය එසේය..මියගිය බලු කුක්කා ගැන පමණක් නොව ඌගේ මරණයෙන් වියෝවට පත්ව ඇතැයි සිතන අවට බලු රැළ ගැනද මට මහත් දුක සිතේ.

බලු පැටවා මා අතින් මරණයට පත් නොවූයේ නම් මෙවන් හැඟීමක් මා සිතේ ඇතිවනු ඇද්ද? මසිත තුළ ඌ කෙරේ මේ සා බැඳීමක් ඇතී වන්නට හේතූව ඌ මා අතින් මරණයට පත් වීමද?

"පුතාගෙ අතින්ම මෙහෙම දේකට ගොදුරු වෙන්න උගෙ ඉරණමේ ලියවිලා තියෙන්න ඇති"


හිසෙන් නොනවත්වා ලේ දහරක් ගලා යන. ලේ විලක හිස තබාගත් බලු පැටවෙක් ජීවිත කාලය පුරාවටම මා මතකයේ හොල්මන් කරනු ඇත. කුහුඹුවෙක් වත් නොමරන මා අතින් මෙවන් වරදක් කෙසේ නම් සිදුවුනිද?

බල්ලාගේ මරණය හේතු කොටගෙන පසුවදාම බලු කපුටු දානයක් පිළියෙල කරන්නට කටයුතු සැකසුනේ මගේ අදහසට අනුවය.ඒ පවු සෝදා ගැනීමටවත්, සිත සනසාගැනීමටවත් වඩා ඌ වෙනුවෙන් ම හට කල හැකි යැයි මට සිතුණු එකම දෙය එය වූ නිසාවෙනි.සිත හදාගන්නට මට අවැසි නැත. සුව නොවූ තුවාලයක් නිය පිටින් පහරන්නාක් සේ මම විටින් විට මතක ගොල්ලේ මගේ වරද අභිෂේක නංවමි එක අතකට නිශ්ල යැයි සිතුණද මේ වරදකාරී බවින් මිදීමට මටද අවැසි නැති වග මට හැ‍ගෙයි. මම මාවම පෙළා ගනිමි. එය මා තුළ සැඟව පවතින ස්වපීඩා කාමුකත්වයක් නිසා වෙන්ද එසේත් නැතහොත් පවට ඇති මගේ රහස් බිය නිසාවෙන්දැයි මම නොදනිමි

දැන ගැනුමට මට අවැසිත් නැත.

"දැන් ඉතින් මේ කුසගින්නෙන් පෙලෙන අසරණ සතුන්ට දුන් දානමානාදියෙන් ඒ සත්වයා සසර ගමනේ නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙන්න කියල මහත්තයම හිතින් ප්‍රාර්ථනා කරගන්න."

හාමුදුරුවන්ගේ වදන් මා ගැලී හුන් සිතුවිල්ලෙන් ඉවතට ඇද දමනු ලබයි. තෝරා බේරාගත් සැනසුම් වචන මගින් මා බෞතීස්ම කොට මාගේ පවු බර සෝදා හරින්නට තැත් දරණ දෙවුලොව නියෝජිතයින් අතර මා නැවත උපදිමි.

"මේ දඩාවතේ යන බලු කුක්කන්ට උනත් අද මේ රසට කෑම වේලක් හම්බ උනේ මැරිච්ච බලු කුක්කා හින්දානෙ. නැද්ද අපෙ හාමුදුරුවනේ?"
මෝඩ ගැමියෙක් කසට දත් පෙන්වා හිනාවක් නගයි.හිත බර කරන නිස්සාර අප්‍රියජනක වදන් මැද අතරමන් වනු බියෙන් මම පළායාමේ දැඩි අවශ්‍යතාවයක් හඟිමි.

"ඔය ඉතිරි එළවලු මාලු අඩුම කුඩුම ටික දාන ශාලාවෙන් භාජනයක් ඉල්ලගෙන ඒකකට ඉවර කරල දැම්මොත් හොඳයි මහත්තයො. ඔය පන්සලේ වැඩ පොල කරන කෙනෙක් හරි කන්නැතෑ".

මටත් අවශ්‍ය ඉක්මනින් මෙතැනින් පිට වෙන්නටය. දාන මානාදියෙන් හෝ අනිත්‍යය පසක් කිරීමෙන් හෝ හිතවත් වදන් වලින් ම‍ගේ සිත නිවී නොයන කල තව ඇත්තේ එක් තාවකාලික පිළියමක් පමණි.
භාජන වල ඇති හොදි බත් ආදිය අහවර කොට වහා මෙතැනින් පිට වන අදහසින් මම දාන ශාලාවට පියවර ඔසවමි.

ගෙදර ගිහින් ගල් බාගයක් වත් ගහන්න ඕනෙ.


...................................

මම දාන ශාලාවට ඇතුල් වෙමි.

ශාලාවේ කෙළවරක සැත්තෑ වස් පමණවූ වයසක මහල්ලෙක් වාඩි වී සිටියි. බුලත් විටක් සපන සේ ඔහුගේ හකුපාඩා චංචලය. මහල්ලා පන්සලේ ඇබිත්තයා හෙවත් ආවතේවකරු විය හැක.

"සීයෙ මේ හොදි බත් ටික ඉවර කරන්න මට භාජන ටිකක් දුන්නම්".

ඔහු නිහඬවම බඳුන් කිහිපයක් මා අත තබයි.

ආහාර බෙදා අවසන් කර මම නැවත ඔහු වෙත හැරෙමි. ඇබිත්තයා කුසගින්නේ ඇතැයි මම සිතමි

"බත් ටිකක් කනවද?"

"එපා මහත්තයො"
ඔහු මා දෙස බලා පිළිතුරු දී නැවත බිම බලා ගනී. ඇබිත්තයා මහ නෝංජලයෙක්. මම සිතමි

හිස් බඳුන් කිහිපයත් රැගෙන මම නැවත එන්නට හැරෙමි.

"මහත්තයො"

"ඇයි?"
මම ආපසු හැරී බලමි. මහල්ලා මා දෙස බලා හිඳී. ඔහුගේ දෙනෙත් දිළිහෙයි. මුව යමක් කීමට අර අදින්නා සේ වෙවුලයි.

"ඊයෙ දවල් වරුවෙ මම පන්සලේ උන්නෙ නෑ. රෑ ඇවිත් කන්න බත්පත අතට ගත් වෙලෙයි ආරංචිය මගෙ කණ වැකුණෙ. මම බත් පත එහෙමම පැත්තකට කරල දැම්ම මහත්තයො. මම හිතින් හිතුවා මොන පොට්ට කාලකණ්ණියද අර යස අගේට හිටි සතාව යට කරල දැම්මෙ කියල".

"මම ඉන්න හැම වෙලේම මගේ වටේම දැවටි දැවටි ඉඳපු සතා. වෙලාවකට වදයක් වෙන තරමටම මට ලෙංගතුයි. මම කොහේ ගිහිල්ල ආවත් මගේ බඩ උඩට ඉස්සරහ ගාත් දෙක දික් කරල පැනලයි මාව පිළි ගන්නෙ".

මම ඔහුගේ දෑස් දෙස බලමි. ඒවා හැඟීම් විරහිතය.නමුත් ඔහුගේ මුවේ මදහසකි.

"ඊයේ ඒ වෙලේ ඉඳන් තවම මට කන්න පිරියක් නැහැ මහත්තයො".

සිතේ බර සෑහෙන පොදියක් නිදහස් වූවා සේ මට හැ‍ගෙයි. උගුර සිරවී නෙත කදුලු කැට පිරී යයි. මහල්ලා පිළිබඳ උපන් මිත්‍රශීලී ස්නේහයකින් මසිත පිරී ගොසිනි. මේ ගෙවෙන තත්පරයේ මේ ලොව මට සිටින එකම හිතවතා, මා තේරුම් ගත් එකම තැනැත්තා ඔහු වග මට කිසිදු සැකයක් නැත.මොහොතකට නැවතී මහල්ලා වැළදගෙන හැඩීමට සිත්දෙන හැගුම ආයාසයෙන් වළක්වා ගනිමින් මම දාන ශාලාවේ දොරටුවෙන් පිටවෙමි


මහල්ලාගේ වදන් දාන ශාලා ‍දොරටුවද පසු කර දෝංකාර දෙමින් තවමත් මා පසුපස ලුහුබඳියි.

මා සිත නිවී යයි.

32 අදහස්:

රවා at: 3/05/2010 9:24 PM said...

නියමයි ඔයා ලස්සනට එක කරලා තියනවා. අවංක මනුස්ස හිතක තිබෙන සියුම් ප්‍රවාහයක් ලස්සනට විස්තර කරලා තියනවා.. මෙ ඔබෙ පුද්ගලික අත්දැකිමක් නොවෙයි. මම හිතන හැටි.. ඔයගෙ හිතෙ ඇදුනු සිද්ධියක්. මම ආසයි මෙ වගෙ සියුම් කරුනක් විග්‍රහා කරන්න. පසුතැවිලිවිමත් සමග ආත්මය කැගසන හඩ මහල්ලාගෙ වචන වලින් සුවපත් වෙන්න කරුනු කිපයක් බලපානවා...මොකද කියන්නෙ....

Raven at: 3/05/2010 10:05 PM said...

ස්තූතියි මචන්. මගේ පෞද්ගලික අද්දැකීමක් නම් නෙමෙයි.

ඔවු මචන්. එකක් තමයි මේ පුද්ගලයා පෙලෙන වරදකාරී සහ පීඩාකාරී මානසික තත්ත්වය. ඔහු එක් අතකින් තමන් කල වැරැද්ද සඳහා යම් දඬුවමක් බලාපොරොත්තු වෙනවා. ඒක ඔහුට හාමුදුරුවෝ ඇතුලු අනිත් ගැමියන්ගෙන් ලැබෙන්නේ නැහැ. බැනුමක ස්වරූපයෙන් හෝ එය මහල්ලාගෙන් ලැබීමෙන් මේ පුද්ගලයා යම්තාක් දුරකට තෘප්ත වෙනවා.තමන් අතින් වූ වරද මහල්ලා පමණක් වරදක් ලෙසින් දැකීම නිසා. ඒක එකක්.

තවත් කාරණයක් තමයි තමා මෙන්ම බල්ලාට ආදරය කරන සහ සැලකිල්ලක් දක්වන තවත් කෙනෙක් හමුවීමෙන් වේදනාව පහ වීම.මේ පුද්ගලයා සැබෑ ජීවිතයේදී සතුන්ට හුඟක් ආදරය කරන පුද්ගලයෙක් වෙන්න ඇති(ඒ වගේම බොහෝවිට පවට බය පුද්ගලයෙක්). එතැනදී ගැමියන්ගේ සැලකිල්ලක් නැති කියමන් නිසා මේ පුද්ගලයා හුදෙකලා බවක් හඟිනවා.අසාධාරණයට ලක් උන සතා වෙනුවෙන් හඬක් පතනවා.
වරදකාරී හැඟීම එක්ක එන හුදෙකලා භාවය හරි දරුණු තත්ත්වයක්. එම තත්ත්වය සමනය වෙන්නෙ මහල්ලා එක්ක වෙන සංවාදෙයන්.

තිස්ස දොඩන්ගොඩ at: 3/05/2010 10:55 PM said...

මල්ලියේ උඹ ඉගෙන ගන්න කෙනෙක් කියලා මටනම් හිතෙන්නේ නෑ... මම ලොකු තියා පුංචි විචාරකයෙක්වත් නෙමෙයි... ඒ උනාට අර කේ ජයතිලකගේ කෙටි කතා වගේ මේක මට දැනෙන්නේ පරිණත ලියවිල්ලක් වාගේ... ඔයා ඉගෙනගන්නේ මේ අංසයෙන්ද... මට ඇත්තටම හිතුනේ මේක ඔයාට වෙච්චි දෙයක් කියලා...

Raven at: 3/05/2010 11:06 PM said...

තිස්ස අයියා-ස්තූතියි අයියේ ඔයාගේ අගය කිරීම මම සතුටින් පිළි ගන්නවා.
මම ඉගෙන ගන්නේ නම් මේ අංශයෙන් නෙමෙයි. ඉගෙන ගන්නවා කිවුවට ඉතින් මට දැන් විසි පහක් වයස. හෙට අනිද්දා කසාද බඳින්න ඉන්න පුද්ගලයෙක්(මේ මාසෙ 11).ඉගෙන ගන්න නියමිත වයසක් කියල එකකුත් නෑනෙ අනික.
මම CIMA ඉගෙන ගන්නවා. මේ දිනවල රැකියාවක් නොකරන නිසා තමයි profile එකේ student හැටියට දාල තියෙන්නේ.:)

තිස්ස දොඩන්ගොඩ at: 3/05/2010 11:46 PM said...

ෂහ් ඔබට බොහෝ දුර ගිය හැකි.... පවුල් පංසල් වෙලා රස්සා වලට ගිහින් රසභාවයන් සිඳ නොගනී කියලා බලාපොරොත්තු වෙනවා...

අප්පොච්චියේ... මේ හෙට අනිද්දා නේ ළමයෝ..? කව්ද අප්පා මේ මනරම් සිතුවිලි වල උල්පත... ? හරි හරි මොක වුනත් "බවතු සබ්බ මංගලම් ... රක්ඛන්තු සබ්බ දේවතා..." මම මල්ලියේ සිතින් වත් නොසිතිවත් කාටවත් රිද්දවීමක් නොකරන කෙනෙක්... එනිසා මගේ ආශීර්වාදය ඔබට නිසැකවම ලැබෙනවා... tissa1969@yahoo.com වලට සාමාන්‍ය තැපල් ලිපිනය කැමතිනම් දැම්මොත් ..සුභපැතුම් පතක් එවන්න...

Raven at: 3/06/2010 12:14 AM said...

උල්පත නම් ඉතින් මේ බ්ලොග් එකේ මගේ සහායිකාවම තමයි :)

ස්තූතියි බන් අයියේ ආශිර්වාදයට.අපට ගොඩක් වටිනවා ඒක. අනිවාර්යෙන්ම සම්බන්ධ කර ගන්නම් ඔය ලිපිනයට.

මිස්සක at: 3/06/2010 12:26 AM said...

මට පරණ සිදුවීමක් මතක් වුනා Raven. හරිම සංවේදීව ලියලා තියනවා මේක.

රවා at: 3/06/2010 1:21 AM said...

මචන් මම දකිනවා මනුස්ස හිත් තුල තමන්ට ගැටෙන සිද්ධින් නිසාවෙන් තමුන්ගෙ ඇතුලාන්තයෙන් නැගෙන, දැනෙන වරදකාරි ස්භාවය. එ මනුස්සයා එතනදි දුක් උනෙ බල්ලා මැරුනු හින්ද නොවෙ..නමුත් ඔහු ආත්මාර්ථකාමියෙකුත් නෙමෙ...ඔහු අන්තිමට සැනසෙන්නෙ මහල්ලා ඔහුට බැන්න නිසාත් නෙමෙයි...මම හිතෙන හැටි.. මෙක විස්තර කොරොත් හරිම ලස්සනයි.... මම ආපහු එන්නම් මෙ පැත්තෙ....

රවා at: 3/06/2010 1:28 AM said...

මගෙ ත් වයස 25 යි.... කාසාදෙ කියලා කියද්දිත් දණිස් දෙක වෙව්ලනවා... අපෙ තාත්තානම් 25 වෙද්දි බැදලා අයියත් ඉන්නවලු...

Raven at: 3/06/2010 6:42 AM said...

මිස්සක- ස්තූතියි මචන්

රවා- මචෝ මේක උඹ හිතන පැත්තෙනුත් දැන ගන්න කැමැත්තෙන් ඉන්නවා. ලියපන් අයෙමත් ආවහම. බල්ලා මැරුණු එකට වඩා මේ පුද්ගලයා දුක් වීමට හේතුව උගෙ පැවැත්ම ගැන අනෙක් අයගේ තිබුණ නොදැනීම නොසැලකිල්ල කියන මතයේ මම ඉන්නෙ. උඹ හිතන්නෙත් එහෙමද?

දැන් පොඩි හදිස්සියක මම. අපි අද අහුවෙලා ආයෙ කතා කරමු මේ ගැන.

කසාදෙ ගැන කියනවනම් මම 25න් තියා 30න් වත් බඳින්න හිතන් හිටපු එකෙක් නෙමේ. නමුත් දැන්නම් ඒ ගැන සතුටුයි. ලියන්නම් වෙලාවක ඒ ගැන.

KoFa at: 3/06/2010 4:06 PM said...

එල බ්ලොග් එක මචන්!
දිගටම කරන් යන්න සුභ පතනවා!

Raven at: 3/06/2010 6:02 PM said...

ස්තූතියි මචන් දිරි ගැන්වීමට. දිගටම එකතු වෙලා ඉන්න අපි එක්ක.

යෝගී... at: 3/06/2010 9:27 PM said...

‍හොඳ සටහනක්. ඇත්තටම හිත ගියා ඒකට.අර තිසා කිව්ව වගේ CIMA කරන සාහිත්‍යධරයෙක් :)
උඹල දෙන්නටම සුබම සුබ අළුත් ජීවිතයක් කියලා ප්‍රාර්ථනා කරනවා.
-ජය

Raven at: 3/07/2010 7:41 AM said...

යෝගී- ස්තූතියි මචන් අගය කිරීමට සහ සුබ පැතුමට. :)

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 3/07/2010 2:02 PM said...

මනුස්සකම තමයි මං මේ ලොකේ හැමතැනම හොයන්නේ මේ බ්ලොග් ලියන අපි හැමෝම ළග මනුස්සකම උතුරා යනවා කියලා මම හිතනවා.
Raven ස්තුතියි ඔබට මනුස්සකම වැපරුවාට

Raven at: 3/07/2010 2:26 PM said...

ජීවිතය- ඔව් සහෝදරයා. බ්ලොග් ලිවීම අරඹා කෙටි කලක් ඇතුලතදීම මටත් මනුස්සකම් අගයන සංවේදී සගයින් බොහොමයක් අදුනගන්න ලැබුණා. සතුටුයි ඒ ගැන ගොඩක්.
ස්තූතියි ඔබේ ප්‍රතිචාරයටත්.

dilz at: 3/07/2010 2:32 PM said...

ආදරය සහ මනුස්සකම මිනිසාව කොච්චර වෙනස් කරනවද?නියම කතාවක් අති විශිශ්ටයි!!!!!

- නිල් අහස - at: 3/07/2010 2:48 PM said...

Raven මාත් ආවා, ඔයාගේ නවාතැනට.
විශ්මියි, ඔයයි කරපු වැඩ දැකලා..ලොකු සතුටක් දැනුනා.

මේ සංවේදි කතාව , මාව අතීතයට ගෙන ගියා.
අපේ ගෙදර හිටිය පූසා මැරුණ වෙලේ..මායි, මල්ලියි කරපුවා මතක් වුනා.ඒ දවස් වල අපේ ගෙදර සත්තු වත්තක් වගේ. අපි ඒ තරම්ම සත්තුන්ට ආදරය කලා.

සුනාමිය ඇවිත් අපේ ගෙදර සේරම දේවල් විනාස උනාට, මම දුවලා ගිහින් බැලුවේ..මාලු ටැංකියයි..පූසයි ඉන්නවද කියලා.
කිසිම සලකුනක්වත් නොතියා..ඒ හැමෝම අපිව දාලා ගිහින් තිබුනා.

එදායින් පස්සේ..අපේ ගෙදර සතුන් ඇති කලේ නෑ..

ඔයා සංවේදීව කතාව පෙළ ගස්වලා..සතුටුයි ඒ ගැන..Raven.

Raven at: 3/07/2010 3:13 PM said...

dilz- ස්තූතියි මල්ලි ඔබේ අදහස් දැක්වීමට. ඇත්ත ආදරයට කරන්න පුලුවන් දේ බො‍හොමයි.

නිල් අහස- ස්තූතියි මිත්‍රයා ඔබේ පැමිණිමට.
මටත් මතකයි පොඩි කාලෙ මගේ සුරතල් බල්ලා මරණයට පත් උන වෙලේ අපි කන හැම රස කෑමකම කැබැල්ලක් හෝ ඌව වළලපු තැනින් තියන්න මාත් මගේ සහෝදරයෙකුත් පුරුදු වෙලා හිටියා.
මාලු ටැංකියක් මටත් තිබුණා කුඩා කල. ඒත් ඉහතකී සුරතල් සුනඛයා මියගිය පසුව ඉතිරි මාලු සියල්ලක්ම මිතුරන් අතරේ බෙදා දුන්නා. සතුන්ව සුරතලයට ඇති කිරීම එපා උනා.

සුනාමි සිද්ධිය ගැන ඇසීම කණගාටුවට කරුණක්. නමුත් සතුටුයි ඔබ වැනි හෘදයාංගම සිතක් හදුනා ගන්නට ලැබීම ගැන.

ස්තූතියි ඕබේ කමෙන්ටුවට යාලුවා.

රවා at: 3/07/2010 4:33 PM said...

raven ට

ක්‍රියාවකින් වරදක් සිදුවන විටදි එම ක්‍රියාව සිදු කරනු ලබන තැනැත්තාගෙ සිතුවිලි මෙහෙයවිම් අනුව ක්‍රියාවෙහි ප්‍රතිපලය හා හෙතුව යන කරුණු ගැන තම ආත්මය ස්ව්‍යංවිවෙචනයක් ඉදිරිපත් කරයි.
"ඊයේ සවස පන්සලෙන් පිටව යන්නට මත්තෙන් මොහොතකට මම මගේ කාරය යටට එබිකම් කර බැලුවානම් මේ නස්පැත්තිය සිදු නොවනු ඇත" මගෙ අදහස අනුව මෙයයි මුලික වන්නෙ.

හෙතුව මුලික කොට ගෙන ඔහු තම හදවත නැමති අධිකරනයෙ තමුන් වරදකිරිම සදහා ඔහු විසින්ම කරුනු කාරණ ඉදිරිපත් කරනු ලබයි. ඔහු ආත්මාර්ථකාමියෙකු නොවන්නෙ මෙ හෙතුව නිසාවෙනි
"අනෙක් බලු කුක්කන්ට කෙළි සෙල්ලමට සඟයෙක්..
බල්ලෙකුට උනත් බැඳීම් කියා දෙයක් නොතිබෙන්නට බැරිය."

මෙ අනුව ඔහුගෙ මනස තමුන් වරදකරු කලත් අවට සිටින මිනිසුන් හෙතුව ගැන නොවිමසා ඔහුන් ගනු ලබන උත්සහයන් ඉදිරියෙ සිතට තරහක් නැගෙනු යෙ ඇතුලතින් නැගෙන හඬට වඩා ප්‍රතිරොධි හඬක් නැගිමෙදි ,ගැටිමෙදි හට ගන්න මානසික පිඩනය මතය.
නමුත් අන්තිමට හදවතෙ හඩට සමාන්තරව ගමන් කරන සිතුවිලි ප්‍රවාහයක් ඔහුට හමුවෙයි.

මා දකින්නෙ මිනිස් මනසෙ ඇති පොදු ගති ලක්ෂනයකි. ප්‍රතිරොධි දිශාවන් ඔස්සෙ ගමන් කරන සිතුවිලි දාමයන් වචන් හරහා ගැටිමෙදි ඇතිවන මානසික වෙදනාව හා. සමාන්තර දිශාවන් ඔස්සෙ ගමන් කරන සිතුවිල් ප්‍රවාහයන් ගැටිමෙදි ඇතිවන මානසික වින්දනයයි...තවද ලොකයෙ පවතින යථාර්තයන් යට කර මනසින් ඇති කරගන්නා වින්දනය යෙ ස්භවය ඔබ මැනවින් ඉදිරිපත් කර තිබෙනවා...

Raven at: 3/08/2010 1:31 PM said...

රවා- එලස්. ආයෙ කියන්න දෙයක් ඉතුරු කරල නැහැ උඹ. සතුටුයි මට :)

sa(NDU)n sa(MEE)ra si(RIBAN)du at: 3/08/2010 6:29 PM said...

අපූරුයි ! හරිම ලස්සනට මිනිස් සිතක අැතිවූ මනුස්සකම ගැන අප ට කියන්න ඔබට හැකිෙවලා තිෙයනවා. ඔබට ෙබාෙහා් දුර ගමනක් යා හැකි බවට ෙම් ෙහාද ෙපර නිමිත්තක්. ඔබ ෙදපළට සුබ ම සුබ අනාගතයක් පතමි.

Raven at: 3/08/2010 7:29 PM said...

ස්තූතියි මචන් අදහස් දැක්වීමට සහ සුබපැතුමට. :)

දුකා at: 3/09/2010 10:38 AM said...

මල්ලියා,
විශ්වාස කරනවද අන්තිම හරිය මම කියෙව්වේ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන, බොඳවුනු අකුරු අතරින් මම දැක්කේ සංවේදී මිනිහෙකුගේ හදවතක් බල්ලෙකුගේ මරනයක් තුලින් එලියට ඇවිත් කියන එකයි. මේක උඹේ අත්දැකීමක් නෙමයි කිව්වනේ. ඒත් මේ අත්දැකීමට මුහුන දෙන්නේ වුනොත් උඹට මට තිස්ස අයියට හා අපි වගේ සංවේදී මිනිස්සුන්ට මීට වඩා වෙනස් විදිහකට කොහොමටවත් දැනෙන එකක් නෑ.

කරුනාසේන ජයලත් ගේ පොත් බලනකොට දැනුනු වර්ගයේ හිත ගල් වීමක් ඇස් උනුවෙලා වැගිරෙන ගතියක් මේ පෝස්ට් එක ඇතුලේ තියෙනවා. ඒ කියනෙන උඹ ඉතාම නිර්මානශීලී වගේම අර යෝගී වගේ කෙනෙකුගේ හදවතේ ගැඹුරුම තැන් වලට කතාකරන භාශාව දන්නවා.

උඹට ජය.

ප.ලි. මට උඹේ ඊමේල් එක එවපන්. මට උඹව පුද්ගලිකවම අඳුන ගන්න ඕන. (කැමතිනම් විතරක්)

RanDil at: 3/09/2010 11:51 AM said...

මට සේරම කොමෙන්ට්ස් නම් කියවන්න බැරි වුනා. ඔයාගේ බ්ලොග් එකෙත් මගේ බ්ලොග් එකේ ගැටළුව තිබේ. කොමෙන්ට්ස් වල අකුරු පොඩි වැඩි.

ඇත්තමයි මම හිතුවේ ඔබට ම සිද්ධ වෙච්ච දෙයක් කියලා. බල්ලාගේ මරණය කිව්වාම මට මතක් වුනේ අපේ අම්මලාගේ ගෙදර ඉන්න බල්ලෝ තුන්දෙනා. මම බයේ ඉන්නේ උනුත් කවදා හරි මැරෙනවානේ. එදාට අපේ අම්මා මොනවා කරයිද දන්නේ නැහැ කියලා.

කොහොම වුනත් හරිම සංවේදී ලියැවිල්ලක්. සුභ පැතුම්‍

Raven at: 3/09/2010 1:03 PM said...

දුකා අයියා- බොහොම වටිනවා මට ඔබේ දිරිගැන්වීම. මොකද මමත් උඹේ සුන්දර ලිවීම් ආශාවෙන් කියවන්නෙක් නිසා. ස්තූතියි.
නියම සංවේදී මිනිස්සු පිරිසක් අදුරගන්න ලැබුණා මේ බ්ලොග් වියමන් තුලින්ම. ඒ ගැන හිතට දැනෙන්නෙ හරි සැනසිලිදායක හැගීමක්.ලියන එකක් කෙනෙක්ගෙ හදවතකට දැනෙනවනම් ඒක මම ලබන ලොකු ජයක්.

වැඩ ගොඩක් අස්සේ හදිසියේ මෙතනට එබිකම් කලහමයි දැක්කේ මේ අදහස් දැක්වීම්. අනිවාර්යෙන්ම හවස නිවාඩුපාඩුවේ මේල් එකක් එවන්නම්. :)

RanDil- හප්පේ ඔය බය මටත් ඇති වෙලා තියනවා. මටත් ඉන්නවා සුරතල් බල්ලෙක්.
ස්තූතියි ලිපිය අගය කිරීමටත් සුබ පැතුමටත්. ඔබේ ලිවීමුත් මම ආශාවෙන් කියවනවා

අකුරු නම් පොඩියි තමයි. මොකක් හරි පියවරක් ගන්නම් ඉක්මනට. :)

RanDil at: 3/09/2010 4:58 PM said...

කොහොමද දන්නවාද කොමෙන්ට්ස් වල අකුරු ලොකු කරන්නේ. අද මම හොයා ගත්තේ කොළොම්බස් හොයා ගත්තා වගේ (ඇයි ඉතින් එයා හොයා ගත්තෙත් මීට කළින්වෙන අය හොයා ගත්ත දෙයක්නේ) :-)
LAYOUT_ EDIT HTML_
එකේ තියෙනවානේ HTML වලින් තීම් එක. CTRL+F ගහලා comments කියන වචනේ search කරන්න

එතකොට පෙනෙයි comments හා සම්බන්ධ HTML CODEs ටික. මං හිතන්නේ එතනින් එහාට ඔබට වැටහෙයි කරන්න ඕන දේ

RanDil at: 3/09/2010 4:59 PM said...

හැබැයි වෙනස් කම් කරන්න කළින් තීම් එක පරිස්සම් (save) කරගෙන ඉන්න

Raven at: 3/09/2010 6:00 PM said...

RanDil- අනේ ස්තූතියි උපකාරයට. මම උත්සාහ කරල බැලුව. ඒත් කමෙන්ට් අකුරු වල විශාලත්වය වෙනස් වෙන්නේ නැහැ. වෙන වෙන වෙනස් කම් වගයක් විතරයි උනේ. (උදාහරණයකට- අදහස් ගණන දැක්වෙන අකුරු වල විශාලත්වය).හරියටම වෙනස් කල යුත්තේ කොතැනද කියල මට අදහසක් නැහැ :(

මම ආපහු උත්සාහ කරලා බලන්නම්. ස්තූතියි මේ ගැන කියල දුන්නට.

RanDil at: 3/11/2010 4:19 PM said...

ඔව් මටත් මුලදී එහෙම වුනා. :-) Comments කියන වචනේ එතැන කීප තැනකම තියෙනවා මල්ලී. පහලට බලන්න. මටත් හරිම එක ෂුවර් නැහැ. ඒක නිසා මම Comments කියලා තියෙන හැම තැනම ෆොන්ට් සයිස් වැඩි කලා. එතකොට හරි ගියා. ඔයත් බලන්නකෝ.

malee_msg at: 3/12/2010 11:43 AM said...

සුපර්බ්...!!!
ඇස් වලට කඳුළු ඉනුවේ නැති ටික විතරයි..
මං හිතුවේ ඇත්තම ඇත්ත දෙයක් කියලා.

Raven at: 3/13/2010 5:11 PM said...

Randil- මේ ටි‍කේ හරි විවේකයක් හම්බුනේ නැහැ අක්කේ හෙටවත් බලන්න ඕනෙ :)

malee- ඇත්ත වගේ හිතුනනම් මගේ නිර්මාණය සාර්ථකයි. ස්තූතියි නංගි :)

Post a Comment

newer post older post