About

Related Posts Plugin for WordPress, Blogger...

වේදිකාවේ



9 අදහස්



ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි.

වේදිකාවෙ අඳුරු මුල්ලක වැතිර සිටින කවියා හෙමිහිට දෑස් ඇර හිස ඔසවයි.

මට මැරෙන්න බෑ

ඔහු රහසිගත ස්වරයෙන් කොඳුරයි.

වේදිකාවේ මැද ආලෝකවත් තැනක මේසයක් පසුපස වාඩිවී සිටින හොරා බරපතල රාජකාරියක නියැලෙන සෙයකි.

මේ ඕයි...ඇහුණද?.....මට මැරෙන්න බෑ


කවියා මෙවර තරමක් ශබ්ද නගා පෙරකී වචනම නැවතත් කියනු ලබයි.

හොරා තවමත් ලියකියවිලි ගොන්නක ඔලුව ඔබාගත් ගමන්ය..

මේ යකෝ! තොට බීරිද?

මට මැරෙන්න බෑ.

හොරා කිසි කලබලයක් නොමැතිව සිය උපැස් යුවල ගලවා වේදිකාවේ කවියා වැතිර සිටින අඳුරු මුල්ල දෙස බැල්මක් හෙලයි.

තමුසෙ දැන්ද ඇහැරුණේ? තමුසෙ මැරිල ඉවරයි.

එසේ කියන හොරා නැවත ලිපිගොනු ගොඩේ තම හිස සඟවාගනී.

මොකක් කිවුව? මම මැරෙන්නෙ මට ඕනෙනම් විතරයි.


ඉතින් තමුසෙමනෙ මළා වගේ වැටිල හිටියෙ. තමුසෙට ඕනෙ හින්දනෙ.

හරි එහෙම හිටිය තමයි. ඒත් දැන් මට ආපහු නැඟිටින්න ඕනෙ.

දැන් ඒකට පරක්කු වැඩියි. මේ නාට්ටියෙ තමුසෙගෙ කොටස දැන් ඉවරයි. දැන් මමයි මෙතන ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ.

තමුසෙ කවුද ඕයි මේකෙ ප්‍රධාන චරිතෙ තීරණය කරන්න?”

ඒක මම දන්නෙ නෑ. සමහර විට තමුසෙ මැරිල නැතුව ඇති. සමහර විට මැරිල උනත් තමුසෙත් පවතින්න ඕනෙ ඇති. එහෙම තමයි මේ යන විදිහෙ හැටි. කොහොම උනත් දැන් මම තමයි මෙතන ලොක්කා. ඒ කියන්නෙ සමන් අත්තනායක.

කවියාගේ ඉහමොල රත්වෙයි. ඔහු වහා නැඟී හිටගනියි.

මොකක් කිවුව? සමන් අත්තනායක? තමුසෙ මගෙ නමත් අයිති කරගෙනද?

ඒක තමුසෙට, මට, අපි කාටත් අයිති නමක් අයිසෙ? අනික නමකින් ඇති වැඩේ මොකක්ද?

එතකොට මගේ කවි? මම ලියපු කතා...

සමන්ති?

හොරා සරදම් හිනාවක් පායි.

අයිතිය කියන්නෙ මහ විකාර වචනයක් යාලුවා..තමුසෙ මගෙන් ඇහුවෙ ප්‍රශ්නයක් කියල හිතල මම තමුසෙට උත්තරයක් දෙන්නම්. ඔව්. ඒ දේවලුත් දැන් අයිති මට. තවත් පැහැදිලිව කියනවනම් තමුසෙට අයිතිය කියල තමුසෙ හිතන හැමදේකින්ම කොටහක්, තමුසෙත් ඇතුලුව මට දැන් අයිතියි.

මිනිස්සු බලාගෙනයි ඉන්නෙ මම ප්‍රේක්ෂකාගාරෙට කෑ ගහල කියනව තමුසෙ මහ හොරෙක් කියල

මෙවර හොරා හඬ නගා සිනාසෙයි.

වැඩක් නෑ අයිසෙ. උන්ට තමුසෙව දැන් ඇහෙන්නේ නෑ. තමුසෙ හොඳට බලනව ඇස් ඇරල ප්‍රේක්ෂකාගාරෙ දිහාවට. උන් අපි දිහා බලාගෙන ඉන්නව වගේ පෙනුනට උන් ඉන්නෙත් වෙන වෙන ලෝකවල. අහක බලන් ඉඳිද්දි අපිට පේන්නෙ උන් අපි දිහාවම බලන් ඉන්නව වගෙයි. ඉඳහිටක අපි දිහා බැලුවත් උන්ගෙන් බොහොමෙකට තමුසෙගෙයි මගෙයි කියල වෙනසක් පේන්නෙ නෑ. තමුසෙ තව ටිකක් උන් දිහාට ළං වෙලා බැලුවොත් පෙනෙයි අපි දිහා බලාගෙන වගේ හිටියට උන් උනුත් ඉන්නෙ වෙන වෙනම වේදිකාවල කියල.
ඒ උනාට අපිට උන්ව නැතුවත් බැහැ ඕයි. උන්ව ඕනෙ අපිට අපිව දැනෙන්න. අපේ චරිත යථාවක් කියල දැනෙන්නෙ එතකොටයි.
අපි ඔක්කොම නලුවො අයිසෙ. ඊට එහා දෙයක් නෑ

පඬි වදන් කියල තමුසෙට මාව අන්දන්න බෑ. අනිත් එක ඒ අතින් බැලුවම තමුසෙත් නලුවෙක්. එතකොට තමුසෙට විතරක් ප්‍රධාන චරිතෙ හිමිවෙන්නයි, මට මැරෙන්නයි තීරණය වෙන්නෙ කොහොමද?

ඒක මට අයිති දෙයක් නෙමෙයි යාලුවා. මම කරන්නෙ මට පැවරිලා තියන දේ. තීරණ ගන්න මට තියෙන්නෙ සීමිත ඉඩකඩක් ඇතුලෙ විතරයි. තමුසෙ කවියෙක්, මම හොරෙක්. තමුසෙ කවියෙක් වෙලා තමුසෙගෙ වැඩ කොටස කලා. සමහර විට ඉස්සරහටත් තමුසෙට වැඩ කොටසක් පැවරිලා ඇති කියල මට දැන් හිතෙනවා තමුසෙගෙ මේ නැඟිටීමත් එක්කල. මමත් හොරෙක් හැටියට මට පැවරිලා තියන කාර්යයභාරය ඉටුකරනව. තව ඉස්සරහට තව වරිත එයි සමන් අත්තනායකට පණපොවන්න. එදාට මටත් තමුසෙ වගේ මුල්ලකට තල්ලු වෙන්න වෙයි.
මේ ඔක්කොම තිරය පිටුපස කෙනාගෙ වැඩ

මොකක්? කවුද තිරය පිටුපස ඉන්නෙ?

කවුරුවත් නෑ. අන්ධකාරයි. ඒත් මට දැනෙනව කවුරු හරි ඉන්නව. මාව හසුරුවනව. සමහර විට ඒ නියම සමන් අත්තනායක වෙන්නැති. අපි ඔක්කොම මිනිහගෙ හෙවනැළි විතරක් වෙන්නැති.

ඉතින් අපිට බැරිද මිනිහව හොයාගන්න?

වැඩක් නෑ අයිසෙ. අන්ධකාරෙ අතරමං වෙනව විතරයි. මමත් කීප වතාවක් උත්සාහ කරල බැලුව ඉව අල්ලන් පුලුවන් තරම් දුර යන්න. ඒත මට වෙලාව මදි අයිසෙ..තමුසෙ දන්නෙ නැතුවට මට වැඩ රාජකාරි ගොඩ ගැහිල. මොහොතක පමාවකින් මහ විනාසයක් වෙන විදිහටයි දේවල් හැඩගැහිල තියෙන්නෙ. ඉතින් මට ආපහු හැරිල එන්න සිද්ද වෙනව..

තමුසෙට කියන්න අයිසෙ තමුසෙත් එක්ක ගතකරන මේ කාලයත් එක්කත් වෙන්නෙ මේ අවුල්ජාලාවෙ මාව තවත් හිරවෙන එක...





හදවතක් ගැන කතාවක්



12 අදහස්



නන්තවූද අන්ධකාරය රජයන්නා වූද හිස් අවකාශයක් තුළ සදාකාලයක් දක්වා ඇසී යන්නා සේ හැඟුණු දුරකථනයේ ඒකාකාරී නින්නාදයට තිත තැබිණි.

"හෙලෝ..."

ඈ එහා අන්තයෙන් සම්බන්ධ වී ඇත.


අද අපේ ප්‍රේම සම්බන්ධය බිඳී හරියටම අවුරුද්දක් ගතවූ දවසය.

එමෙන්ම දෙවැනි වරටත් ඇගේ හදවත හිමිකරගැනීමට මා වාසනාව ලද දවසය.

හදවතක් හිමිකරගැනීම වාසනාවක් යැයි දැන් මොහොතකට කළින් මා අතින් කියවුනේ හුදෙක් එය කට වහරේ එන කියමනක් නිසාවෙන් පමණකැයි මම ඔබට කියමි. ජීවිතයේ මෙතුවක් මා ‍වඩාත්ම පෙම් කළ කාන්තාව ඈය. එවන් හදවතක් හිමිවීම වාසනාවක් ලෙස මට සැලකිය නොහැකි වීමේ හේතුව මා ඇගෙන්ම දැනගත යුතුව ඇති නිසා දැනට වාසනාව යන්න හුදෙක් ශබ්දයකට, වදනකට පමණක් සීමා කරමි.

එහෙනම් ඒ කතාව බොරු ආ?
මම ඇයව අමතමි. වසරකට පසු පළමු වතාවට.

මොකක්ද?
ඈ කිසිවක් නොදන්නා සේය.

හදවතේ හිලක් කියල කියපු එක

නෑ. ඒක ඇත්ත.

එහෙම මොකුත් තිබ්බෙ නෑ

ඔයාට ඒක ලැබුණද?

ඔව්. "

සතුටුද?

දන්නෙ නෑ.

අම්ම එනව මං තියන්නම්.....

පොඩ්ඩක් ඉන්න....

බායි...

ඈ දුරකථනය විසන්ධි කරයි. ඒ සමගම දුරකථනය නින්නාද දුන් අන්ධකාර හිස් අවකාශය අතීත රැහැන්පට දිගේ ඇදී විත් මගේ හදවතේ තැන්පත් වේ.

සමහරවිට ඈ නැවත මාව අමතාවි......



පළමු වර මා ඇගේ හදවත හිමි කරගත්තේ නිරන්තරයෙන් කළ ඉල්ලීම්, ආයාචනා, උසුලු විසුලු සහ ඇඬුම් වැළපුම් මැදිනි. දෙවැනි වර ඒ කිසිත් නැතිව, නොඉල්ලාම මට ඇගේ හදවත හිමි වී ඇත.

ප්‍රාර්ථනා...ප්‍රාර්ථනා.....

අද පාන්දර මම ඇගේ නම අමතමින් හීනෙන් දිව ගියෙමි...හීනෙකින් හීනෙකට පය තබමින්. විවිධ කාල පරාස ඔස්සේ ඉදිරියට සහ ආපස්සට කළ පිළිවෙලක් නැති දිවීම් වලින් අනතුරුව මට අවසනදී මට ඈ හමුවිය.

සරසවි බිමේ කෙළවරක..වසර දෙකකට පෙර දවසක ඈ උන් ආකාරයටම.

ඈ බංකු කෙළවරක වාඩිවී උන්නාය. මම ඈ ළගින් නැවතී දණහිස් මතට අත් වාරු කරගනිමින් හති ඇරීමට පටන් ගත්තෙමි.

නිසල්...මගෙ හෘදය වස්තුවෙ හිලක්.
ඈ පැවසීය..මට හති ඇරීමටවත් ඉඩක් නොතබමින්.

මොකක්?
හීනය එතැනින් බිඳුනි.

ලබ් ඩබ් ලබ් ඩබ්....

වෙනත් අවකාශයක වෙනත් පරිසරයක මම නැවත දුවමින් පසුවූයෙමි..මෙවර සතර දිසාවටම.

සතුරු බලමුලු පහර දෙනු ඇත.... උන් ඇතුලු වනු ඇත....
භූමියේ සතර කොන් ආරක්ෂා කරගත යුතුය....
මෙපමණයි මට පොළොවකට තියෙන්නෙ පයගහල ඉන්න....

මම දුවමි..ඇගේ හදවත මතුපිට ඉහලටත් පහලටත්... ලේ කඩිති උඩින් පණිමින්. ලබ් ඩබ් හඬින් ගැස්සීමෙන් කම්පනය වෙමින්..රත්පැහැ හදවත් භූමිය සිපගත් අන්ධකාර ක්ෂිතිජ මායිම් දිහාවට....

මගේ පය ලිස්සයි...මා ඇදවැටෙයි නොනවත්වාම...කලු කුහරයකට...ඇගේ හදවතේ සිදුරෙන් පිටතට...

මම හීනෙන් අවදිව ඇත....ඇඳ පාමුල පාර්සලයක්..රන්වන් දවටන කඩදාසියකින් ඔතා මගේ නම ලියා ඇති පාර්සලයක්..

මම වහා වහා පාර්සලය ඉරා බලමි....

හදවතක්?

ලියමනකුත් එක්ක...


නිසල්ට,
මගේ හදවත් සැත්කම කලා. මාව මතක් වෙන්නටත් එක්කල ඔයා හැමදාම ඉල්ලපු මගේ පරණ හදවත ඔයාට එවන්න මට හිතුනා.
මීට ප්‍රාර්ථනා.


මම වහාම හදවත පිරික්සමි. ඒ මේ අත හරවමින්. දෙවැනි වරටත් මා හට හිමිවූ ඇගේ හදවත පිරික්සමි. අපමණක් ප්‍රේමයෙන් මා පුරවාගෙන හිඳින්නේයැයි කී හදවත මේය. දිවා රූ තිස්සේ මා සැරිසරන්නේය කියූ හදවත මේය. මගේ සිතුවිලි විසිර යයි...

කෝ සිදුර?

මම ඇගේ හදවත තුළ තිබෙන්නා කියූ සිදුර සෙවුවෙමි...එය මට සමු නොවිණි....


බීප් බීප්......

දුරකථනයේ නින්නාදයෙන් මගේ සිතුවිලි දැහැන බිඳේ...

ඈ වේවායි ප්‍රාර්ථනාවෙන් මම දුරකථනය ඔසවමි.

හෙලෝ...

නිසල්...

ඔව් කතා කරන්න...

සිදුර ගැන ප්‍රශ්නයක් අහපු නිසා මම උත්තරේ දෙන්නයි මේ ගත්තෙ. එක අතකට දැන් ඇත්ත දැනගත්තා කියල අපිට ප්‍රශ්නෙකුත් නැහැනෙ.

මොකද්ද ඇත්ත?...බොරු නේද කිවුවෙ හදවතේ හිලක් කියල ඒ දවස් වල
මම කෝපයෙන් අසමි.

නෑ. මම කිවුවෙ ඇත්ත...
ඈ පිළිවදන් දෙයි.

සිදුරක් තිබ්බා ඒ වෙද්දි...ඔයාගෙ හැඩයෙන් කැඩිල හැදෙමින් පැවතුණ එකක්.....
ආපහු මට කතා කරන්න එපා

ඈ දුරකථනය විසන්ධි කරයි.

අන්ධකාර හිස් අවකාශය දුරකථන රැහැන් දවමින් මා කරා ඇදී එනු මට දැනේ.....


ඝට්ඨනය



5 අදහස්



ස් පියවෙන්න දෙන්න එපා...

හයියෙන් තදකරල අල්ලගන්න. ලේ ගලන්න දෙන්න එපා..

අපිව ඇහෙනවද?......කතා කරන්න.....කවුද ඔයාව හප්පගෙන ගියෙ?

මගේ දෑස් පියවීගෙන එයි. වේදනාව මා තුළක සිට සිය අසිපත් වන් මුවහත් අඬු පඬු දිග හරිනු මට දැනේ. මුලින්ම පපුව ඉන්පසුව අතපය...එතැනින් හිස පුරා...උහුලන්න බැරි වේදනාව පැතිර යයි.

වාහනයේ සිටින මිනිසුන්ගේ හඬද, නලා ශබ්දයද, සෙලවීම් පැද්දීම් සියල්ලද, පුපුරා යන වේදනාවද අතරින් ඇදෙමින් සියුම් ලෙස ඒවා මගෙන් ඈත් කරමින් සිහිනයක සිනිඳු හස්තයක් මගේ ඇස් සොයයි, සියුමැලිම උකුලක හොවා මට කෘතිම ශ්වසනය දීමට තැත් කරයි.

කතා කරන්න...ඇස් පියන්න එපා..

මිනිස් හඬට බියෙන්දෝ සිහිනය යාන්තමට පසුබසී. සිය මායාවී දුහුල් අත් සගවාගනී...

ආයෙත් නළාහඬ,කම්පනය..වේදනාව...

අම්මෝ...

මට කෙඳිරි ගෑවෙන නමුත් මා මුවින් කිසිදු හඬක් පිට නොවේ..ඒ වෙනුවට වේදනාත්මක සිතුවිල්ල මහත් හඩින් ශරීරාභ්‍යන්තරයේ දෝංකාර දෙනු මට ඇසේ.. මගේම සිතුවිලි වල නැවත නැවත දෝංකාරය මට ඔක්කාරයක් කැඳවයි...

රියඳුරු ඇරුණු කොට වාහනයේ මිනිසුන් දෙදෙනක්වත් සිටිය යුතුය..ඔවුන් මේ ඉගිලෙන්නේ රෝහලක් දෙසට විය යුතුය...

සිතුවිල්ල වුවද බර වැඩිය දැන් දැන්...

හාත්පස ඡායාවල් පමණි මට පෙනෙන්නේ...සියල්ල මොහොතකට නිහඩ වී කාලයේ රිද්මයෙන් පිටතට පීලි පනී..හැකිලේ...යලි ඉමහත් වේගයෙන් ඉදිරියක් කරා දිගහැරෙයි...

හෙල්මටය හිසෙන් ගිලිහුනේ මහිස බිම වදින්නටත් පෙර වග හදිසියේ මට කල්පනාවට ඒ..... ඒ කල්පනාව හිස පුපුරවා හරින තරමේ වේදනාවට යළි පාර කියයි..

යළිත් සිහිනයක සියුමැලි පහසක් මා අවට දැවටෙන්නට පටන් ගෙන ඇතුවා සේය....

මා අවට ඡායාවන් මොනවදෝ මුමුණනු ඇසේ.

ඇ.....හෙ....න...ව...ද...... අ......පි...

ඔවුන් ප්‍රමාද වැඩිය.....

මා සිහිනයක තුරුල්ලක.....නැත.....මතකයක...ඉමහත්ම මෑත මතකයක සිහිනමය තුරුල්ලට වදිමින්.........


.................................


අඛණ්ඩ සුදු ඉර අනන්තයේ ගිණිගත් හිරු දිශාවටම දිගහැරේ...හිස්වූ ඉදිරියක් කරා මම වේගයෙන් රථය හසුරමි...ඇසිල්ලකින් ලොරියට ඉස්සර කර ධාවනතීරුවේ කෙළවරකට ඇදී යළිත් ඉදිරියට ධාවනය කරමි.

වේලාව එකයි පහයි..එකහමාරට ඉස්කෝල ඇරෙනව...වාහන තදබදය...

නිශා මග බලන් ඇති....

මේ නඩු වාරෙත් ඔහේ අහක ගියා. එක ලියවිල්ලක් ඉදිරිපත් කරන්න බැරි උන පමාවකට තව මාසෙකට.. තව දහ පහලොස් දාහක් ඉවරයි. ෂික්.

ඉදිරියේ මාර්ග සංඥා එලි දැල්වේ. මම යතුරුපැදියේ වේගය අඩු කරමින්, රතු එළි අබියස නැවතී ඇති වාහන මග හරිමින් සෙමින් ඉදිරියට ඇදෙමි.

වෙලාව එකයි දොළහයි...හොදටම පරක්කුයි දැනටමත්..

අද නඩුව ගත්තෙත් පරක්කුවෙලා. වෙනදට නම් දොළහ වෙද්දි ඉවරයි.

අද කොහොමටත් මහ මුස්පේන්තු දවසක්.

මේ..මේ...ඔතන වාහනේ නවත්තන්න එපා

හොදටම පරක්කු වෙලා උසාවි භූමිය අසලට පිවිසුන විට එහි සිටි හමුදා නිලධාරියෙක්ගේ ඝර්ජනාවට ගොදුරු වන්නට සිදුවිය.

මූසල පෙනුමක් තියන කැහැටු කොල්ලෙක්..අද ඊයේ බැඳිච්ච එකෙක් වෙන්නැති..

ඒ මොකද ඒ?

මමද නොරුස්සන හඬින් ඇසීමි.

මෙතන මැඩම්ගෙ වාහනේ නවත්තනව..ඕක ඉස්සරහකින් නවත්තගන්නව

යතුරුපැදිය ගාල් කරන්නට වූයේ සෑහෙන දුරකට එපිටිනි.

කටුකන ......

මා නැවත උසාවි භූමියට පිවිසුනේ හිතේ කේන්තිය නිලධාරියාට ඇසෙන්නට කුණු හරුපයකින්ම පිට කරමිනි..

දැන් ලොක්කොන්ට වඩා පොඩි උන්ගෙ තමයි සෛලෙ වැඩි...

බීප්...බීප්...

කොළ පැහැති මාර්ග සංඥා වැටී ඇත.... සිතුවිලි දැහැනින් මිදෙමින් මම නැවත ඉදිරියට ඇදෙමි..

ඉක්මනට හයිලෙවල් පාරට වැටෙන්න ඕනෙ..

පාර වැටිල තිබ්බෙ එතනින් නෙමේ. කලින් ලී මෝල තිබ්ච්ච තැනින්.

වයසක ගැහැණියක් පිළිතුරු දෙයි.

මම යෝජනා කරනව තමුන්ට‍ තමුන්ගේ ප්‍රකාශය අමූලික බොරුවක්ය කියල....

තරබාරු නීතිඥයෙක් ඈට ගුගුරයි.

මම වෙලාව බලමි. දොළහයි පහයි...පැයකුත් තිස්සේ වෙනත් නඩුවක එකම පැණ වැළක් ඇසෙමින් තිබේ.

ෂික් විතරක්.තාම මේ මගුල් කේස් එක

මම එහා පැත්තේ මිනිහාට ඇසෙන්නට හෙමින් කොදුරමි..ඔහුත් නොරොක් කරගත් මුහුනෙන් මට එකඟත්වය පායි.

යෝවද..තංපව...

මම සැණින් විද්‍යාල හන්දිය පසු කරමින් ඉදිරියට ඇදෙමින් සිටිමි. ගේට්ටුව අසල පොදිකන පිරිස මැකීයන දෙස පැති කණ්ණාඩියෙන් බලමින් සැනසුම් සුසුමක් හෙළමි..කොට්ටාවට දැන් ළඟය..ඇක්සලරේටරය කරකවා වේගය තවත් ඉහල නංවාගමි.

පැහැදිලි ධාවන පථය මා ඉදිරියේ ඇදෙද්දි උසාවියේ දර්ශනය මගේ මතක පථය අවුරා නැවතත් සිට ගනී..

මහේස්ත්‍රාත්වරයා විරුද්ධ පාර්ශවයට පක්ෂපාතීත්වයක් දක්වන සෙයකි. ඔවුන්ගේ නීතිඥයා මතු කරන සැම විරෝධතාවයක් හමුවේම ඔහුට සාවධානව කන් දී ඔහුගේ කරුණු වලට එකඟත්වය පල කරන ඉරියවුවක් දක්වතියි මට සිතේ.

මුන් මේ මිනිහවත් අල්ලගෙනද මන්ද..?

ඕකුන් මහ ගුරුකම් කාරයො..නඩු කාරයවත් අල්ලගනී.

අම්මාගේ වදන් ඒ සමගම මගේ සිහියට ඒ.

මම හොරැහින් යාබද බංකුව දෙස බලමි. විරුද්ධ පාර්ශ්වය අසුන්ගෙන සිටින්නේ එහිය.

මහලු යුවලක් සහ මුණුපුරෙක්... ඉදිරිය බලන් හිදින මහල්ලාගේ දුර්වල ඇස් නඩුකාරයා දෙසට යොමුව ඇත. පෙනීමේ අඩුව වසා ගන්නට මෙන මුඛයද තරමක් ඇරී ඇති සෙයකි.

අපේ ඉඩම් අල්ලගත්ත හොර හැත්ත...ඔය නාකියා ඉස්සර අපේ වත්තෙ මුරට හිටි එකා..පල් හොරා.

නිතර දෙස් තබන නැන්දාගේ කියමන් වල දෝංකාරයත් සමග මහල්ලාගේ රුව සසදන්නට ගැලපීම් සොයන්නට මම සිතින් වෙර දරමි.. මහලු සොර මුහුණක යකඩ අච්චුවක් අතුරින් බංකුවේ වාඩිගෙන සිටින මහල්ලාගේ අසරණ දිගැටි මුහුණ දියවී වැක්කෙරේ.

සිත ඇතුලටම හාරමි. මේ සියලු රස්තියාදු වීම, වියදම් හා කාලය කා දැමීම් මුන් නිසාම නොවේදයයි සිතමි. නමුත් පුදුමයකට මෙන් ඒ කිසිම සිතුවිල්ලකින් මසිතෙහි උන් කෙරෙහි කිසි වෛරයක් ක්‍රෝධයක් නොනගී.

දුප්පත් මිනිස්සු..පවු කාලකණ්නි.

ඔවුන් කෙරේ උපන් අනුකම්පාවකින් මම මටම සිතිත් කොඳුරගමි.. බිම් අගලකට මෙතරම් අරගලයක් මොකටදැයි මම සිතේ.

ඒ සමගම වාගේ උදේ මවෙතින් බැනුම් ඇසූ තරුණ නිලධාරියාගේ රුව මසිත විදුලි කොටයි. මගේ බැනුම් ඉදිරියේ ඔහුගේ දෑස් පරවුන සැටි. මුහුණ රතුවූ සැටි.

ඌත් දුප්පතෙක් වෙන්නැති. නැති බැරිකමට රස්සාවකට ආපු.

නඩුව තවත් මසකට කල් දැමුණේ එහෙම හිතද්දීමය.

සිත තුළ දරාගත් මහත් අරගලයක් සහිතවම මම උසාවි භූමියෙන් ඉවතට පියවර එසෙවුවෙමි . අරගලය ඇතුලේ විනිසකරුවන්ද, හතුරන්ද, මිතුරන්ද, හමුදා නිලධාරීන්ද, මහල්ලන්ද එකට පොරබදයි. උන් එකම ගුලියකට තෙරපෙයි ඇඹරෙයි...යළි වෙන්වයයි.

අනන්තය කරා ඇදුණු සේ හැගුණු අඛණ්ඩ සුදු ඉර හදිසියේම කෙටිවූ සෙයකි.

ක්රාස්ස්....

මා ඉදිරිපස ඇති විසල් ප්‍රාඩෝ රථය දැක මම තිරිංග තද කරමි. ඒ ග්‍රහණය නොතකමින් ඉදිරියටම මම ඉබේ ඇදීයමි..

රථය හැප්පෙන්න මොහොතකට පෙර මම රියදුරාව දකිමි...ඔහුව හඳුනාගනිමි.


..............................


හයියෙන් තදකරල අල්ලගන්න. ලේ ගලන් යන්න දෙන්න එපා..

අපිව ඇහෙනවද?......කතා කරන්න......

නැවතත් පියවිය විය යුතුය.

සිහිනය...මතකය...සිහිනමය මතකය නැවතත් හැකිල සැඟව යයි.

ඒ වෙනුවට ආපහු තදබදය...ගැස්සීම් සහ වේදනාව මා තුළද හාත්පසද අරක්ගනී..

වේගයෙන් ඉදිරියට ඇදෙන වාහනයක් තුළ මිනිස් ඡායා කැළක් මා අමතනු ඇසේ..තවම අප රෝහලට යන ගමන් විය යුතුය.

ඇස් පියන්න එපා... "

කවුද ඔයාව හප්පගෙන ගියෙ.?

මමයි.....මමමයි....

මම දෑස් පියාගමි.



newer post older post