
ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි.
වේදිකාවෙ අඳුරු මුල්ලක වැතිර සිටින කවියා හෙමිහිට දෑස් ඇර හිස ඔසවයි.
“මට මැරෙන්න බෑ”
ඔහු රහසිගත ස්වරයෙන් කොඳුරයි.
වේදිකාවේ මැද ආලෝකවත් තැනක මේසයක් පසුපස වාඩිවී සිටින හොරා බරපතල රාජකාරියක නියැලෙන සෙයකි.
“මේ ඕයි...ඇහුණද?.....මට මැරෙන්න බෑ”
කවියා මෙවර තරමක් ශබ්ද නගා පෙරකී වචනම නැවතත් කියනු ලබයි.
හොරා තවමත් ලියකියවිලි ගොන්නක ඔලුව ඔබාගත් ගමන්ය..
“මේ යකෝ! තොට බීරිද?”
“මට මැරෙන්න බෑ.”
හොරා කිසි කලබලයක් නොමැතිව සිය උපැස් යුවල ගලවා වේදිකාවේ කවියා වැතිර සිටින අඳුරු මුල්ල දෙස බැල්මක් හෙලයි.
“තමුසෙ දැන්ද ඇහැරුණේ? තමුසෙ මැරිල ඉවරයි.”
එසේ කියන හොරා නැවත ලිපිගොනු ගොඩේ තම හිස සඟවාගනී.
“මොකක් කිවුව? මම මැරෙන්නෙ මට ඕනෙනම් විතරයි.”
“ඉතින් තමුසෙමනෙ මළා වගේ වැටිල හිටියෙ. තමුසෙට ඕනෙ හින්දනෙ.”
“හරි එහෙම හිටිය තමයි. ඒත් දැන් මට ආපහු නැඟිටින්න ඕනෙ.”
“දැන් ඒකට පරක්කු වැඩියි. මේ නාට්ටියෙ තමුසෙගෙ කොටස දැන් ඉවරයි. දැන් මමයි මෙතන ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ.”
“තමුසෙ කවුද ඕයි මේකෙ ප්‍රධාන චරිතෙ තීරණය කරන්න?”
“ඒක මම දන්නෙ නෑ. සමහර විට තමුසෙ මැරිල නැතුව ඇති. සමහර විට මැරිල උනත් තමුසෙත් පවතින්න ඕනෙ ඇති. එහෙම තමයි මේ යන විදිහෙ හැටි. කොහොම උනත් දැන් මම තමයි මෙතන ලොක්කා. ඒ කියන්නෙ සමන් අත්තනායක.”
කවියාගේ ඉහමොල රත්වෙයි. ඔහු වහා නැඟී හිටගනියි.
“මොකක් කිවුව? සමන් අත්තනායක? තමුසෙ මගෙ නමත් අයිති කරගෙනද?”
“ඒක තමුසෙට, මට, අපි කාටත් අයිති නමක් අයිසෙ? අනික නමකින් ඇති වැඩේ මොකක්ද?”
“එතකොට මගේ කවි? මම ලියපු කතා...”
“සමන්ති?”
හොරා සරදම් හිනාවක් පායි.
“අයිතිය කියන්නෙ මහ විකාර වචනයක් යාලුවා..තමුසෙ මගෙන් ඇහුවෙ ප්‍රශ්නයක් කියල හිතල මම තමුසෙට උත්තරයක් දෙන්නම්. ඔව්. ඒ දේවලුත් දැන් අයිති මට. තවත් පැහැදිලිව කියනවනම් තමුසෙට අයිතිය කියල තමුසෙ හිතන හැමදේකින්ම කොටහක්, තමුසෙත් ඇතුලුව මට දැන් අයිතියි.”
“මිනිස්සු බලාගෙනයි ඉන්නෙ මම ප්‍රේක්ෂකාගාරෙට කෑ ගහල කියනව තමුසෙ මහ හොරෙක් කියල”
මෙවර හොරා හඬ නගා සිනාසෙයි.
“වැඩක් නෑ අයිසෙ. උන්ට තමුසෙව දැන් ඇහෙන්නේ නෑ. තමුසෙ හොඳට බලනව ඇස් ඇරල ප්‍රේක්ෂකාගාරෙ දිහාවට. උන් අපි දිහා බලාගෙන ඉන්නව වගේ පෙනුනට උන් ඉන්නෙත් වෙන වෙන ලෝකවල. අහක බලන් ඉඳිද්දි අපිට පේන්නෙ උන් අපි දිහාවම බලන් ඉන්නව වගෙයි. ඉඳහිටක අපි දිහා බැලුවත් උන්ගෙන් බොහොමෙකට තමුසෙගෙයි මගෙයි කියල වෙනසක් පේන්නෙ නෑ. තමුසෙ තව ටිකක් උන් දිහාට ළං වෙලා බැලුවොත් පෙනෙයි අපි දිහා බලාගෙන වගේ හිටියට උන් උනුත් ඉන්නෙ වෙන වෙනම වේදිකාවල කියල.”
“ඒ උනාට අපිට උන්ව නැතුවත් බැහැ ඕයි. උන්ව ඕනෙ අපිට අපිව දැනෙන්න. අපේ චරිත යථාවක් කියල දැනෙන්නෙ එතකොටයි.”
“අපි ඔක්කොම නලුවො අයිසෙ. ඊට එහා දෙයක් නෑ”
“පඬි වදන් කියල තමුසෙට මාව අන්දන්න බෑ. අනිත් එක ඒ අතින් බැලුවම තමුසෙත් නලුවෙක්. එතකොට තමුසෙට විතරක් ප්‍රධාන චරිතෙ හිමිවෙන්නයි, මට මැරෙන්නයි තීරණය වෙන්නෙ කොහොමද?”
“ඒක මට අයිති දෙයක් නෙමෙයි යාලුවා. මම කරන්නෙ මට පැවරිලා තියන දේ. තීරණ ගන්න මට තියෙන්නෙ සීමිත ඉඩකඩක් ඇතුලෙ විතරයි. තමුසෙ කවියෙක්, මම හොරෙක්. තමුසෙ කවියෙක් වෙලා තමුසෙගෙ වැඩ කොටස කලා. සමහර විට ඉස්සරහටත් තමුසෙට වැඩ කොටසක් පැවරිලා ඇති කියල මට දැන් හිතෙනවා තමුසෙගෙ මේ නැඟිටීමත් එක්කල. මමත් හොරෙක් හැටියට මට පැවරිලා තියන කාර්යයභාරය ඉටුකරනව. තව ඉස්සරහට තව වරිත එයි සමන් අත්තනායකට පණපොවන්න. එදාට මටත් තමුසෙ වගේ මුල්ලකට තල්ලු වෙන්න වෙයි.”
“මේ ඔක්කොම තිරය පිටුපස කෙනාගෙ වැඩ”
“මොකක්? කවුද තිරය පිටුපස ඉන්නෙ?”
“කවුරුවත් නෑ. අන්ධකාරයි. ඒත් මට දැනෙනව කවුරු හරි ඉන්නව. මාව හසුරුවනව. සමහර විට ඒ නියම සමන් අත්තනායක වෙන්නැති. අපි ඔක්කොම මිනිහගෙ හෙවනැළි විතරක් වෙන්නැති.”
“ඉතින් අපිට බැරිද මිනිහව හොයාගන්න?”
“වැඩක් නෑ අයිසෙ. අන්ධකාරෙ අතරමං වෙනව විතරයි. මමත් කීප වතාවක් උත්සාහ කරල බැලුව ඉව අල්ලන් පුලුවන් තරම් දුර යන්න. ඒත මට වෙලාව මදි අයිසෙ..තමුසෙ දන්නෙ නැතුවට මට වැඩ රාජකාරි ගොඩ ගැහිල. මොහොතක පමාවකින් මහ විනාසයක් වෙන විදිහටයි දේවල් හැඩගැහිල තියෙන්නෙ. ඉතින් මට ආපහු හැරිල එන්න සිද්ද වෙනව..
තමුසෙට කියන්න අයිසෙ තමුසෙත් එක්ක ගතකරන මේ කාලයත් එක්කත් වෙන්නෙ මේ අවුල්ජාලාවෙ මාව තවත් හිරවෙන එක...”
9 අදහස්:
මම හිතාගෙන ආවෙ කවියා පස්සෙ කාලෙක කොමර්ෂලයිස් වෙන කතාව වෙන පැත්තකින් කියලා... ඒත් මේක එතනින් පිටිපස්සෙ ඉඳන් ඒ ක්‍රමය හැඬල් කරන මනුස්සය දක්වාම විහිදිලා නේද? :D
සමන් අත්තනායකගෙ ඇතුලෙ චිත්‍රය එළියට අරන් පෙන්නල තියනවා. ඇත්තටම තිරේ පිටිපස්සෙ ඉන්නෙ කවුද? ගොඩක් අය මගහැරලා යන ප්රශ්නය නේද ඒක. ගොඩක් අය කිව්වෙ මාත් ඇතුලුව...
මෙතන `කවියත්` මගහැරපු ඒක හොයන්න ට්‍රයි කරල තියෙන්නෙ හොරා විතරයි...
ඇත්තටම... තිරේ පිටිපස්සෙ කවුරුවත් ඉන්නවද?
තිරය පිටුපස අන්ධකාරය විසින් තමයි හැසිරවීම වෙන්නෙ. අපි සජීවී නඵවන්ටත් වඩා රූකඩ නඵවෝ විතරයි.
අපිට කියල අයිතියක් කොහෙද තියෙන්නෙ. අද අපේ අයිතිය හෙට වෙනකෙකු ළඟයි. පුද්ගලයා සහ අයිතිය අතර සදාකාලික අරගලයෙන් පුද්ගලයා හැමදාම පරදිනව.
මම හිතන්නෙ මචං මේක තමයි උඹ ලියපු ලස්සනම සහ වටිනාම කෙටි සටහන කියල.
හරිම දක්ෂ විදිහට යථාර්ථය ලියලා තියනවා..
අපි කවුරුත් හරියටම ඇත්ත අපි නෙවෙයි ජීවත් වෙන්නෙ.. එක එක න්‍යායන් වලට, වෙන කාගෙහරි අවශ්‍යතාවලට හිර වෙලා..
ඕක තේරුම් ගත්තත් අපිට ඒකෙන් මිදෙන්න බෑ.. අපි එච්චරටම හිර වෙලා..
අන්ධකාරය විසින් ගිලගත් අය චරිත මෙහෙයවීම...
උපරිමයි මල්ලී ලියවිල්ල.
කියන්න දෙයක් නැත.... උපරිමයි....
ස්තූතියි සියල්ලන්ටම :)
සුපිරි..!
[සමාවෙන්න මං මේක අදයි දැක්කේ]
@ansh- පහුවෙලා හරි කියවන්න ලැබුණනෙ. :)
ස්තූතියි අදහසක් පලකලාට.
Post a Comment