About

Related Posts Plugin for WordPress, Blogger...

නිර්වාණයේ දොරකඩ හිඳිමි



5 අදහස්
කිනම් උදයකද මේ  හිරු නැගෙන
යකඩ දියවෙයි
මලකඩට පපුව හීරෙයි
කඳුළකට ඇස් තෙමෙයි
ජීවිතේ කාලෙකට පස්සේ

දෑස් පිසදාගෙන
මගට පිවිසුන තැන
පාර අතුගාන සුමනේ
හිනාවී අතුගෑව හැටි
රොඩුබොඩුත් හදවතේ අඳුරේ

හන්දියම ජන ගහනය
කාලයක් තිස්සේ දකින හඳුනන මුහුණුය
නාඳුනන මිනිසුන්ය
නගිමි බසයට
නරඹමින් පහුවයන ජීවිත

බෝගහ හන්දියෙන් බැස
ගොඩවෙමි මුදලාලිගේ කඩයට
කාලෙකට පස්සේ..
සීනි අඩු ප්ලේන්ටිය
කහට අඩු මුදලාලි
උණුසුම්ය තේ එක
ගිහින් එන්නම් මුදලාලි
හදන ගේ දිහාවට

ගඩොල් ඉවරයි මහතිය
රාජ ආවිට
නොදෙමි පිළිතුර
අසමි පැනයක් එවිට
කිසිදාක අසන්නට නොසිතුන

කොහොමද
ගෙදර අය එහෙම?

සවස තේ වේලද
බෙදාගෙන වැඩකරන උන් සමග
පිටව එමි කලුවරට පෙර
නවාතැන වෙත

නා කියාගෙන
ඇඳ උඩට වීගෙන
දල්වගමි දුම් වැටිය
පුරුද්දට
හදවතේ ඉඩකඩක් නැති හැටිය පිරෙන්නට
ලැගුම් ගෙන හිදින්නට
දුමට

විසිකරමි දුම් වැටිය
ජනේලෙන් පිටතට
ඉන් එපිට
රාත්‍රිය තරුණ

ඉර නිවුව හිතකට
පුරහඳත් කොයිතරම් සිසිලද?
නිවෙන්නට කොයිතරම් තැන් ඇතිද දිවියක?
නිවන්නට පෙර සසර

මරණයක් විය හැකිය නින්දද
සිහිනයෙන් මා මුදන

එපා කිවයුතුය එන්නට



සිකුරාදා ඇවිත්



7 අදහස්



නොදැනුනා නොවේ
උ‍ඹෙ සැලසුම
අහුකරගන්න මා උගුලට
පොත්මේසෙ අද්දරින්
එහෙ මෙහේ යනකොට

තරහකට නොවේ මග හැරියෙ මම එතකොට
නොදැනිලා නොවේ උඹෙ තනිකම

සිකුරාදාය අද
බිඳෙන ඒ මුනිවත

දොඩමලුව
අද හවස
අසා ඉමි
නුඹ වින්ද දුක
සතියක් පුරාවට








එහිතට ඇමතුවෙමි



7 අදහස්



හිතවත් ජයවර්ධන මහතාණෙනි,

මා පලමුවෙන්ම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම ලිපිය කියවීමෙන් පසු මා ඇමතීමට උත්සාහ නොගන්නා ලෙසය. ඔබටද අන් මිතුරන්ටද මුහුණ දීමට නොහැකි තරම් ලජ්ජාවකින් සහ චිත්ත පීඩාවකින් මම පසුවන්නෙමි. කිහිප දිනකට නිදහසේ තනිව ගතකිරීමට නිවසින් බැහැරව යාමට අදහස් කරගෙන සිටිමි. මතු දිනක මම නැවත ඔබව අමතන තෙක් ඔබට ආයුබොවන් කියමි.

මා ඔබට ඉතාම කණගාටුවෙන් දන්වා සිටින්නේ ඔබ ඉල්ලා සිටි පරිදි අද උදෑසන වන විට නිල් කඩදාසියක් පිළිබඳ ලිපිය නිම කිරීමට මා හට හැකියාවක් නොලැබුණු බවය. ලිපියක් තබා ඒ පිළිබඳ එකද වචනයක්වත් ලියා ගැනුමට මා හට නොහැකි විය. ඒ පිළිබඳව හද පත්ලෙන්ම ඔබගෙන් සමාව අයදින අතර ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම ගැන අතිශයෙන්ම කණගාටුවෙන් පසුවන බවද දන්වමි.

මීට හරියටම සතියකට පෙර ඔබ මා අමතා මේ පිළිබඳව පැවසූ විට මා එය එතරම් බැරෑරුම් සහගතව නොසැලකූ බව ඔබට කිව යුතුමය. දේශපාලනය, ආදරය, මිනිස් මනස ආදී බැරෑරුම් විශයයන් පිළිබඳ නොයෙක් කෙටිකථා කවි ආදිය රචනා කර පුරුදු මට මෙවන් සුලු යමක් අරඹයා වියමනක් කිරීම මහ ලොකු කජ්ජක් නොවේවි යයි සිතා කල් මැරීමි. මෙවැනි මාතෘකාවක් ගැන හරවත් සහ රසබර යමක් ලිවීමට පැයක කාලයකට වඩා ගත නොවන බවටද මා තුළ මහත් විශ්වාසයක් විය.

නිල් කඩදාසිය පිළිබඳ රචනයක් කිරීමට මා ඇරඹුවේ ඊයේ උදෑසනය. ලියන මේසය අසල හිඳගෙන පෑනක්ද අතැතිව කවි හිතට අමතමින් සිතුවිලි විසිර හැරියෙමි. කාලය ගතව යන්නට ඇත්තේ සිතුවිලිවලටත් හොරාය. උදෑසන සිට දහවල තෙක් නොයෙක් දේවල් කල්පනා කලද නිල් කඩදාසියක් හා බැඳෙන කිසිවක් මතකයට හෝ නිර්මාණයකට නගා ගන්නට අපොහොසත් වීමි. මේ තත්ත්වය මා මහත් පුදුමයකට පත් කරන්නක් විය. ක්‍රම ක්‍රමයෙන් මහත් හිස් බවක් මා තුළද පිටතද පැතිර යන්නා සේ හැගුණි.

 සිතෙහි ඇති වන්නට පටන් ගෙන තිබූ පීඩනය මග හරවා ගනු වස් මද විවේකයක් ගෙන ඉන්පසු නැවත සවස තුනේ පමණ සිට මුලු රැයක්ම නිදි වර්ජිතව කල්පනා කලද අවසානයේ මා ඉදිරිපස ඉතිරිවූයේ හිස් කඩදාසියකුත් පිරී ගිය අලු බදුනකුත් පමණක්ය.

පසුදිනට, එනම් අදට එලිවන ජාමයේ මොහොතක් ඇහැ පියවුණු විගස නිල් කඩදාසියක් පිළිබද අපූරු සිහිනයක් පමණක් දුටුවෙමි. සිහිනයක් කීවාට එය ඉපැරණි මතකයක නැවත දිගහැරුමක්ය කීවාට වරදක් නැත. නිල් කඩදාසියක් පිළිබඳව මගේ ඉපැරණිම මතකයද එයම විය හැක.

මම මාමාගේ අතේ එල්ලී මාෂල් මාමාගේ බුකියේ මේසය ඉදිරිපස සිටගෙන සිටියෙමි. මාෂල් මාමා නිල් කඩදාසියක් ලාච්චුවෙන් ගෙන එය පොතක් තුළට දමා යමක් ලියන්නට ගත්තේය. ලියා අවසන්ව පිටුව පෙරලූ විට ඊළග කඩදාසියේද පෙර පරිදිම අකුරු සටහන්ව තිබෙනු දැක පුදුම වී හිස ඔසවා මාමා දෙස බැලීමි. මාමා උන්නේ බොහෝ දුර කල්පනාවකය....

ඉහත කී සිහිනයෙන් අවදි වූ වහාම නැවත කල්පනා කරන්නටත් අතීත මතක මංපෙත් ඔස්සේ සිත දුවවා නිල් කඩදාසියක් සොරකම් කරගැනීමටත් වෙහෙසුනෙමි. සිහිනය සම්බන්ධ කර යමක් ලිවීමට සිතුවිල්ලක් ඇති වූවද නැවත එම සිත යටපත් කර ගත්තේ මා වැනි ලේඛකයකුගේ තත්ත්වයට එවන් වැදගැම්මකට නැති නොගැඹුරු සිදුවීමක් පිළිබඳ ලිවීම තරම් නොවෙතැයි සිතුණු නිසාය.
මෙවර මගේ කල්පනා ලෝකය බිඳුනේ හදිසියේ නිවසට පිටත මාර්ගය දිගේ ධාවනය වූ නිවේදන රථයකින් කල නිවේදනයක හඬිනි.

ඔව් දැන් මේ දැන්...ඔබ පුල පුලා බලා සිටි අවස්ථාව...අපි ඊයේ සඳහන් කල පරිදි. මධ්‍යම රාත්‍රියේ දියත් කල වාසනාවේ බැලුම්  මේ මොහොතේ ඔබේ ප්‍ර‍දේශයට ඉහලින්  පියාසර කරනවා ඇති...රුපියල් කෝටියක්..ඔව්..රුපියල් කෝටියක් වටිනා බැලුම් දහයක්. වාසනාවන්තයා ඔබම විය හැක. බැලුමක් අල්ලාගෙන කෝටිපතියෙකු වන්න..පියනගන්න දැන්ම මහා මාර්ගය දෙසට..නැත්නම් ඔබේ නිවසේ උඩු මහලට....

පසුගිය සතියක පමණ කාලයක් මුලුල්ලේ නිතර නිතර විවිධ මාධ්‍යයන් මගින් ඉහත කී වාසනාවේ බැලුම් තරගය පිළිබඳව ප්‍රචාරය වූවා ඔබටද මතක ඇති.

මම මේස ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙමි. එවිට හරියටම පාන්දර හතර සනිටුහන් වී තිබුණි.
හිතවත් මහතාණෙනි. ඔබද දන්නා ආකාරයට මම ආර්ථික වශයෙන් එතරම් පොහොසතෙක් නොවෙමි. රුපියල් කෝටියක් කෙසේ වෙතත් රුපියල් ලක්ෂයක් වුවද මා හට ඉතා වටිනා මුදලකි. එබැවින් වහාම නිවසේ ඉදිරි දොර ඇරගෙන මිදුලට බැස්සෙමි. දොර හැරිය වේගයට නිවසේ ඉදිරිපස උන් බළල් පැටියා දොරේ හැපී වේදනාවෙන් කෑ ගැසූවග මා හට මතක් වූයේ බොහෝ පසුවය..

මම නිවසේ ඉදිරිපස අඹගස යටට වී අහස දෙස බලාගත් වනම සිටියෙමි. කොතරම් වේලා බලා සිටියාදැයි මතක නොමැති තරම් වේලාවක් එලෙස උන්නෙමි. උදෑසන රාජකාරි සඳහා යන උදවියද පාසල් යන දරුවන්ද ඉඳහිට මාර්ගයේ ගමන් කරණු සිහිනෙන් මෙන් දැනුනා මතකය. ඔවුන්ට බැලුම් පිළිබඳ නිවේදනය නෑසෙන්නට ඇතැයි මම සිතුවෙමි. ඒ ගැන සිත යටින් සතුටු උනෙමි. ඉඳහිටක එකෙක් දෙන්නෙක් මට උදෑසනට සුබ පැතුවාද මතකය. ඒ අයගේ මුහුණවත් නොබලා හිස සැලීමකින් පමණක් උන්ව මග හැරියෙමි. මාගේ බැල්ම සහ සිතුවිලි සියල්ල අහස අරමුණු කරගෙන පමණක්ම විය.

මාගේ වාසනාව උදාවීමට පටන් ගත්තේ හිරු උදාවත් සමගය. හාත්පස අඳුර නිසා හෝ මාගේ නොසැලකිලිමත් බව නිසා මෙතෙක් වේලා නොපෙණුනු නමුදු මා හිසට ඉහල වෙනත් ගසක අත්තක පැටලී තිබුණු සුදු පැහැති බැලුමක් හදිසියේ මා ඇස ගැටුණි. බැලුම දැකීමෙන් ලත් සතුටත් සමගම ඊළගට මා පත්වූයේ මහත් වියවුලකටය. බැලුම එල්ලී තිබුනේ අඩි දහයක් පමණ උසකිනි. මා හට ගස් නැගීමට කෙසේවත් නොහැකිය. මෙහි වටිනා ත්‍යාගයක් පිළිබදව ඉඟියක් තිබීමට ඇති නිසා වෙනකෙකුගෙන් උදවු ඉල්ලීමටද බැරිය. මාර්ගය ජනාකීර්ණ වන්නට පෙර බැලුම ඩැහැ නොගත්තොත් වීදියේ යන කුඩා දරුවෙක් ඇස ගැටී ඉල්ලීමටද බැරි නැත. මම වහා ක්‍රියාත්මක උනෙමි. නිවසේ පැත්තක හේත්තු කර තිබූ ඉනිමග ගෙන ගසට හේත්තු කලෙමි. ඉතිරි දුර ළඟා කර ගැනුම පිණිස දිගු රිටක්ද රැගෙන ඉනිමග මුදුනටම නැංගෙමි. බොහෝ වේලා පරිස්සම් සහගතව( බැලුමට හානි වීමටද ඉඩ ඇති නිසා) වෙහෙස වීමෙන් අනතුරුව බැලුම අත්තෙන් මුදවා ගැනීමට මා හට හැකි විය. ඉනිමගෙන් හදිසියේ නොසැලකිල්ලෙන් බැසීමට ගොස් ඇදවැටීම නිසා මාගේ කකුලක සුලු උලුක්කුවක්ද ඇති විය.

පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් මම බැලුම දෝතින්ම ඇහිඳ ගත්තෙමි. ශ්වේත වර්ණ බැලුමේ අග කුඩා කොළ කැබැල්ලක් දවටා තිබුණි. යම්කිසි ආයතනයක නමක් සහ ලිපිනයක් එහි සඳහන්ව තිබුණි. අද දින උදෑසන දහයට පෙර බැලුම සුරක්ෂිතව එම ආයතනයට භාර දීමෙන් රුපියල් කෝටියක මුදලක් දිනාගන්නයැයි එහි සඳහන් විය. ඒ මොහොත වන විටද වේලාව උදෑසන අටට පමණ විය හැකැයි සිතූ බැවින් මම වහාම ක්‍රියාත්මක වීමි. අසිහියෙන් මෙන් නිවස තුළට දිවගොස් මුදුල් නෝට්ටු කීපයක් කමිස සාක්කුව තුළට ඔබාගෙන පාරට දිවුවෙමි. රැකියා කරන්නන්ගෙන්ද, පාසල් දරුවන්ගෙන්ද පිරීගිය බස් රියක බැලුම සුරක්ෂිත ලෙස ගෙන යාමට නොහැකි බැවින් ත්‍රීරෝද රථයක නැගීමට සිතා ගත්තෙමි.

මහා මාර්ගයට පැමිණ මදක් වේලා ගතකොට ත්‍රීරෝද රථයකට ගොඩවූ විගස බැලුම සුරක්ෂිතව දෙපා උඩ රදවාගතිමි. මදක් විමසිල්ලෙන් බලද්දී බැලුම මුලින් දුටුවාට වඩා තරමක් කුඩාවට පෙනෙන්නේදැයි සැකයක්ද මා සිතේ ඇතිවිය.

ඉක්මණට යමු

මම රියදුරාව හදිසි කළෙමි.

වසර තිහකට ආසන්න මගේ ජීවිත කාලය පුරාවට මා රියක ගිය අවදානම් සහගතම ගමන එය විය. මම බැලුම දෙසද මාර්ගය දෙසද මාරුවෙන් මාරුවට ඇස් යොමු කරමින් සිටියෙමි. මොහොතින් මොහොත බැලුම කුඩා වන්නා සේ පෙනෙන්නට විය. වාතය ඉවත් වන්නේයයි සිතා බැලුමේ ගැටය තදින් අල්ලාගත්තද එයින්ද පලක් නොවන වගක් පෙනෙන්නට තිබුණි. බැලුම සැබෑවටම කුඩා වෙමින් පැවතුණි.  කාලයත් දුරත් අතර දෝලනය වෙමින් සහ ඝට්ටනය වෙමින් මා ගිය ඒ ගමන මතක් වෙද්දි දැනුදු  මා හද ගැස්ම වේගවත් වන බව කිව යුතුය.

අවසානයේදී බැලුම තිබුණ පරිද්දෙන් භාගයක් පමණ කුඩාවට තිබියදී මම ලිපිනයේ සඳහන් ස්ථානයට පැමිණෙන්නට සමත් වීමි. හැඩය මදක් වෙනස්ව පැවතුණත් බැලුම තවමත් නොපිපිරී පැවතුණු බැවින් ත්‍යාගය පිළිබඳව මගේ බලාපොරොත්තුව නොනැසීම පැවතුණි.

එය නිල්පාට ගොඩනැගිල්ලක් විය. මම එහි පෙනෙන්නට තිබූ එකම දොරෙන් ඇතුලු වනු පිණිස වහ වහා දුව ගියෙමි.

අවාසනාවක මහත.

දොර අගුලු ලා තිබිණි. දොරෙහි වීදුරු මතුපිට තුළින් බැලූ කල ඇතුළත අන්ධකාරයක් මිසක් අන් කිසිවක් මා හට දර්ශනය නොවීය. මම දිගින් දිගටම තට්ටු කලෙමි. කාලය තවත් ගත වන්නට ඇති. ඉතිරිව තිබුණේ බැලුමේ අවසන් හුස්ම පොදය.අවට ගැවසෙන්නන් ගැනද නොසිතා මම පිස්සකු මෙන් මහ හඬින් කථා කලෙමි, කෑ ගැසූවෙමි. මා උන්නේ හැඬීමකට ලංවූ අර්ධ උමතු ස්වභාවයකිනි .කිසිදු ප්‍රතිචාරයක් නොමැති වූ කල දෙවියන් යැදීමට ඉහල බැලීමි. හදිසියේ ආයතනයේ නාම පුවරුම මා ඇස ගැටුණි.


එහි සඳහන්ව තිබුණෙ ඔබ ආයතනයේ නමය. එය ඉහල බිත්තියෙන් ගැලවී මාගේ හිස දෙසට ඇදී එමින් පැවතිණි..ඉමහත් වූ වේගයකින්.....


මා සැබැවින්ම සිහිනයෙන් අවදි වූයේ එවිටය....


..............

ජයවර්ධන මහතානෙනි, නිල් කඩදාසිය පිළිබදව අද ලියවිය යුතුව තිබූ ලිපිය ඔබට කොතරම් වැදගත් දැයි මා හොඳාකාරවම දන්නෙමි. නමුත්  කාලය තවත් මා අත ඉතිරිව නැත.මා සිත බෙහෙවින්ම ව්‍යාකූලව හෙම්බත්ව ඇත. සියල්ල සිදුවූයේ මගේ නොසැලකිල්ල සහ මමංකාරය නිසා බැවින් මම මටම අනේකවාරයක් දොස් පවරාගනිමි.

මේ ලිපිය ඔබ හට ලිවීමට මා පටන් ගත්තේ අද උදෑසන ඉහත කී සිහිනවලින් අවදි වූ අනතුරුවය. පෙළක් විටෙක මේ ලියමනද සිහිනයක් පමණක්ම වන්නට ඉඩ ඇත. එය සිහිනයක්ද සැබෑවක්දැයි තීරණය කරන්නෙ අවදියද එසේත් නැත්නම් තවත් එවන්ම සිහිනයක්දැයි කියන්නට මම නොදනිමි.

නැවත හමුවන තෙක් ඔබට ජය පතමි.

මීට හිතවත්
………………

තරු අයිති අතීතෙට



9 අදහස්




බාගෙට නිමවුන හීනයක්...හීන බාගයක්...



ඊෂ ආලින්දයේ කෙටි බැම්මට හේත්තුවී අහස දෙස බලාගෙන ඉඳිද්දී මම හොරෙන්ම පසුපසින් ඇවිත් ඈට කිට්ටු කලා.

මොනවද හොයන්නෙ? මහ වලහවද?
 මම ඇහුව රහසින්

මේ තරු දිහා බලන් ඉද්දි නොදැනීම මගේ ඇස් වලට කඳුලු එනවා………… තරු අයිති අතීතෙට
ඈ කීවෙ මගේ මූණවත් නොබලා

මට සුසුමක් හෙලුන.
හීනෙන්..

******************





මම උදේ ඇහැ ඇරියෙ හිත පුරාම පැතිරිච්ච මුස්පේන්තු ගතියකුත් ගත පුරා දුවන වේදනාවකුත් සමග.

මම ඇඳෙන් බහිද්දි පිටේ ඇලිල තිබ්බ පත්තර පිටුවක් ඇඳ උඩට පාවෙලා වැටුන. පොඩි වෙච්ච පත්තර පිටුව දෑතින්ම ඇහිඳගෙන මම ගියා කුස්සිය දිහාවට.

ඊෂ තේ හදමින් පස්ස හැරී බැලුව.

ඊයෙ මම ඇඳට එද්ද ඔයාට හොඳටම නින්ද ගිහින්. පත්තරෙත් ඇඟට යටවෙලා.  හිහි..

මම පත්තර පිටුව කුස්සියෙ පෝරණුව උඩ තියල දිග ඇරියා.

මේ බලන්න

මොකක්ද?
බාගෙට සම්පූර්ණ හීනයක්

මම පත්තර පිටුව මත ඇඟිල්ල තබල ඈට දැක්වුවා.

මීගොඩට නුදුරින්...පිහිටි අඩක් සම්පූර්ණ කල නිවස සමග ඉඩම..වහාම මුදල් හදිස්සියකට විකිණීමට..

අප අතර මොහොතක නිශ්ශබ්දතාවයක් පැතිරුණා.

ඒත් අනේ...
ඇගේ වතින් පිළිඹිඹු උනේ ප්‍රශ්නාර්ථයක්

ඒත් මේත් කියල බෑනෙ හැමදාම අනුන්ගෙ ගෙවල් වල ලැගල ඉන්න.

ඒත් ඉතින් මෙච්චරවත් අපි ගාව නෑනෙ

හ්ම්..
හ්ම්..

ආ මේ තේක බීල ඉන්න
ඈ මාවෙත තේ කෝප්පය පෑව.

මම නම් ආස කලේ අපි දෙන්න එකතු වෙලා... ටිකෙන් ටික මුල ඉදන් හිමීට....
මගේ ඇස් නැවත දැන්වීම වෙත ඇලෙන්නටත් ඊෂ ගේ වදන් ක්‍රමයෙන් මා සවනින් ඈත්ව යන්නටත් පටන්අරගෙන....

සිල්ව අංකල්ව හම්බු වෙන්න යන්න ඕනෙ.

විසිවෙනි වතාවටත් දැන්වීම කියෙවුවට පස්සෙ මම හිතා ගත්ත.

******************





සුරේ තමුසෙ දන්නවද?
වීරපාන නොදැල්වූ සිගරැට්ටුවක් මගෙ මුහුණ ඉස්සරහින් වනනව.

මේ සිගරැට් එක නොබී ඉන්න ඉන්න මේක ගැන මගෙ ආසාව එන්න වැඩි වෙනව.

හෑහ්හෑහ්...

පදමට වැදිල ඉන්න සිල්ව අංකල් හිනාවෙද්දි මිනිහගෙ ඉදිමුණ දෙකම්මුලේ රත මිරිකිලා එළියට පණින ගානයි.

ඒත් ඉතින් කොයි වෙලාවෙ හරි මේක පත්තු කරගත්ත වෙලේ ඉඳල ඒ ආසාව මියැදෙන්න පටන් ගන්නව. එතන සතුටක්ද දුකක්ද මොකුත් නොතේරෙන තනිකරම අවුලක් විතරයි. අවුල්ම අවුල් ජාලයක් ඕයි.

වීරපාන කතාවට නැවතුමක් තියල සිගරැට්ටුව දල්වගන්නව.

තමුසෙ තාම හීන බාගෙ සාක්කුවෙ දාගෙනද ඉන්නෙ?

සිල්ව අංකල් තව අරක්කු වඩියක් හිස් කරමින් අහනව. මිනිහ ඇස් පුංචි කර කට ඇඹුල් කරගනිමින්ම මා දෙසට දබර ඇඟිල්ලක් පාන්නේ තවම තමාගේ කතාව අවසන් නැති බව අඟවන්නට.

මේ බලනව සුරේ..

සිල්ව අංකල් නැවත කතාව අරඹන්නෙ බැරෑරුම් ස්වරයකිනුයි.
මට ඕනෙනම් පුලුවන් මේ හිස් වීදුරුව මේ ලෝකෙ තියන ඉස්තරම්ම විස්කි වලින් පුරවගන්න. ඒකෙ සුවඳ රසය විතරක් නෙමෙයි ඒකෙන් ලැබෙන කික් එක උනත් ලබා ගන්න.

ආයෙත් අහන්න දෙයක්යැ ඉතින් ලක්ෂ ගණන් පොලී ගන්නකොට
වීරපාන කතාව මැද්දට පණිනව.

ඒ කිසි බම්බුවකින් නෙමෙයි අයිෂෙ

එහෙනම්?

හිතින් හිතින්..
මේ ඔක්කොම මායාවල් අයිසෙ. මේ ඔක්කොම මවාපෑම්. හිතේ තමයි හැමදේම..හිත තමයි හැමදේම...
හෑහ් හෑහ් හෑහ්....

එහෙනම් සිල්ව මහත්තය මොකද මේ තැබෑරුම් ගානෙ අරක්කු වලට සල්ලි නාස්ති කරන්නෙ. හිතින් මවාගෙන බොන්නකො විස්කි බෝතල දහය පහලොවක්ම.

හහ් හහ්..

නැද්ද සුරේ?

වීරපානගෙ කතාවෙන් පස්සෙ සිල්ව අංකල්ගෙ මුහුණෙ කෝප සේයාවක් මතුවුනාදෝයි මට සැක හිතෙනව.

ඒ සැකේට මම තව වීදුරුවක් හිස් කරනව.

බාගෙට සම්පූර්ණ හීනයක් කියන්නෙ බාගෙට අසම්පූර්ණ හීනයක්.
වීරපාන හිස් වීදුරුවට ඇස් යොමාගෙන තමාටම මුමුණගන්නව.

මගේ ඇස් බරවෙන්නත් දෙකන් රත්වෙන්නටත් පටන් අරගෙන....

සිල්ව අංකල් මේකයි මට...
සිල්ව ලොක්ක අතක් වනල මගේ කතාව නවත්වනව.

දැන් බලනව සුරේ... මම තාම නාන්නෙ කරන්නෙ අර එලියෙ බ්ලොක් ගලෙන් අටවගත්ත කෑල්ලෙ..

ඒකට මම ඇතුලු වෙද්දි හිතින් මවාගන්නව තනිකර සුඛෝපබෝගී නානකාමරයක්. ටයිල් බිත්ති, දිලිසෙන නානකාමර උපාංග, සනීප උණු වතුර.

ඒ ඔක්කොම හිතින් විඳිද්දි ඉබේටම ඇඟටත් ඒ සනීපය දැනෙනව.
ඔක්කොම හිතින්. හැහැක්!
හැබැයි ලේසි නෑ කාලයක් තිස්සෙ පුරුදු වෙන්න ඕනෙ මේ ක්‍රමය...සුරේ තමුසෙත් බලනව.

සිල්ව අංකල් එහෙම කියල පිපිඤ්ඤ පෙත්තක් හපන්න ගන්නව.


අළු අළු හැමතැනම අළු..
වීරපාන එක් අතකින් කලිසම මත රැදුණු අළු ගසාදානව.
අන්තිමේදි අළු විතරයි..මෙලෝ රහක් නැති අළු..

අපිත් අන්තිමේදි එක්කො අළු එක්කො පස්...

ඒ උනත් මායාවක් ඇතුලෙ ජීවත් වෙන එක සනීපයි..
උත්සාහ කරල බලනව
සිල්ව අංකල් වීරපානගෙ හඬ යටපත් කරමින් කියනව.

මම වෙලාව බලනව..දහයට දහයයි.
ඊෂ නොකා බලාගෙන ඇති.
මට සිහිවෙනව.

මහ වලහ මට දත් විලිස්සනව පේනව..ඊට යටින් ඊෂගෙ අසරණ මූණ.

මොනවද අයිෂෙ ඔය උඩ බලාගෙන කරන්නෙ?. තමුසෙට වැඩිද?
සිල්ව අහනව.

මේ තරු දිහා....

තරු වල මොනව බලන්නද?.....
හෑහ් හෑහ්....
ගන්නව තව ෂොට් එකක්
හෑහ් හෑහ් හෑ....

තරු අයිති අතීතෙට ඕයි.

සිල්වගෙ ගෝරනාඩුවට තරු පන්ති සීසීකඩ යනව.....



ආයෙමත් ඒ අමාරුව



5 අදහස්



තද කරගෙන සිටිමි
සිර කරගෙන සිටිමි
ඇඹරෙමි..

ඉදහිටක
හිස් වාතයට මුමුණා
මොහොතකට සැනසෙමි

ආයෙමත් ඒ අමාරුව

බඩ යන්න ආවත්
ඔලුවට
රෙන්න නොහිතේය
කොළයකට



නොතේරෙන කවියක්



2 අදහස්

හැඩි වෙච්ච 
මිදුලක
ගෙවී ගිය 
ඉදලක්..



අකුරු...වචන...වාක්‍ය



13 අදහස්

"බලන්නකො මල්ලි"

මම හැන්දෑවෙ බෝඩිමට ගොඩවෙලා ඉස්තෝපුවෙ පුටුවකට බරඋනා විතරයි බෝඩිමේ අක්කා සාලෙ දිහාවෙන් මතුඋනා. ඇගේ අතේ කඩදාසි තීරු ගොඩක් එකට එතිල වෙළිල සර්පයො ගොන්නක් වගෙයි මට පෙණුනෙ.

"අපේ චූටිපුතාගෙ වැඩ........... අද දවල් ආපු ලියුම....මම එහා මෙහා උනා විතරයි කඩල...තීරු තීරු කපල.
මම දුන්න පස්ස රත්වෙන්න...අනේ සමාවෙන්න මල්ලි."


ඇය කඩදාසි තීරුටික දෝතින්ම මගෙ අතට දුන්නා. හරියට පන්සලේදි මල් පූජ කරනව වගේ ඉරියවුවකින්.  තනි අතින් කඩදාසි පටි ගන්න හදද්දි තීරුවක් දෙකක් මගේ අතින් ඉගිලිලා සාලෙ දිහාවට පියාඹගෙන ගියා.


මම කාමරේට යන ගමන් නිදහස්ව තිබුණු අතින් ඒව ගන්න පහත් උනා.
අතින් කොළකෑල්ල ඇහිඳින්නත් කළින්ම ඇස් අකුරු ඇහිඳින්න පටන් අරන්...


"නිසා අප්පච්චිත් මේ දවස් වල ගෙදර "

"ආදරණීය මල්ලී"

හදිසියේම පපුව ඇතුලෙ ඇවිලෙන ගිණිගුලියක්.
මම හනිකට කාමරේ ඇතුලට රිංගුව.





"ආවදෙන්කො තාත්ත...ඉල්ලල දෙන්නම්."
බෝඩිමේ අක්ක පොඩි එකාට තරවටු කරන හඬ හුළං පාරකුත් එක්ක දොර රෙද්ද අස්සෙන් රිංගුව. ඇගේ හඬ වෙනදාටත් වැඩිය ශබ්ද නැගෙන්නෙ ලියුම පිළිබද සිදුවීම ගැන ඇගේ පසුතැවීම නැවත නැවතත් මට ඒත්තු ගන්නන්නයැයි මට හිතුන.

මම කඩදාසි ගොඩ මේසේ උඩට දැම්ම. හැඩිඋන සිතුවිල්ලෙන්ම ලියුම පිළිවෙලක් කරන්න හිතාගෙන.

ඒ මොහොතෙම තවත් වචන කීපයක තීරුවක් ඇස් විසින් ඩැහැගත්තා..කුතුහලය ඇස් වලට ආරාධනාවක් කරද්දි මම සිවිලිම දිහා බැලුව...වචන වාක්‍යය සම්පූර්ණ කරන්න කලින් නවත්වන අටියෙන්.

ඒ පාර සිවිලිමේ සුදෙත් අකුරු.

ගිය මාසේ..
මේ මාසේ....
ණය....
සල්ලි.....
වියදම්.....

මම ඇස් දෙක වහගත්ත...

ශබ්දවිකාශන යන්ත්‍රයක් ඇතුලු සවනෙ රැවුදෙන්න පටන් අරගෙන. වචන තවදුරටත් වචන නොවී මහා පිපුරුමක කොටස් වශයෙන් මා වෙත ඇදී එන්නට පටන් ගත්තා..මගේ හිස ඉලක්ක කරගෙන. මා සොයා වේගවත්ව එන අතරේ පිළිවෙලට පෙළ ගැසෙමින්, අලුත් සම්බන්ධතා තනාගනිමින් යළි විසිරෙමින්. නොනැවතී  හුදෙකලාවේත් සාමුහිකත්වයේත් වෙස් ගෙන...

හිතුවිල්ලකට පුලුවන් ඕනෑම අන්ධකාරෙක අකුරු ලියන්න. හරියට කලු කොලේක ටිපෙක්ස් එකකින් ලියනව වගේ.
මම හිතුව.

ඇස් ඇරිය ඊළඟට.

මම පර්ස් එකට හිතින් තට්ටු කලා. රැළි වැටිච්ච දෙදහෙ කොළයක වාටියක් පසුම්බිය අස්සෙන් මතුවෙලා පෙණුන.
ගිණි රස්නෙ පහේ කාසි ගොන්නක් පපුව ඇතුලෙ සලං බලං ගාල හෙල්ලුනා.

හදිසියේම දිව ගිලෙන තරම් පිපාසයක්.
මම බොන්න වතුර වීදුරුව ගන්න නැගිට්ටා.

දොර රෙද්ද අස්සෙන් මුහුණ ඔබාගෙන ඉන්න පොඩි එකාව දැක්කෙ එතකොටයි.


"එන්න පුතා"

පොඩි එකා දොර රෙද්දත් එහා කරගෙන කාමරේට ඇතුල් උනා. සෙල්ලම් බඩු දාන ලොකු ඇන්කර් පෙට්ටියත් රෙදි පටියකින් ගැටගහල ඇදගෙන. හරියට කරත්තයක් ගෙනියනව වගේ.


"මාමි මාත්තෙක්ක තරහද"

පොඩි එකා එහෙම ඇහුවෙ ඒකගෙ නාහෙ අග වෙවුල වෙවුල තිබ්බ හොටු ධාරාවක් දිහා මගේ ඇස් නැවතිලා තිබ්බ මොහොතක.

මම මොකුත් නොකියාම ආයෙත් මේසෙ දිහාවට හැරුණා. දරුවා මා දිහා දෑස් දල්වගෙන බලා ඉඳිද්ඳි.


"නංගි කියනවා..."

තවත් වචන වැළක් ඇස් දෙකේ පැටලුණා.

හිත ඇතුලෙ වචන වැල් පැටලෙමින් සිතුවිලි ධාරා මැවෙද්දි මම කොළ තීරුව ඇගිලි දෙකකින්  ගත්තා.අනිත් අතින් මේස ලාච්චුව ඇරලා කතුර ගන්තා.

දුන්නා දෙකම පොඩි එකා අතට.


"කපන්න මේකත් තව චූටියට"

ඌ පුදුමයෙන් මා දිහා බලාගෙන

මම තව කොළ තීරු කිහිපයක් පොඩි එකාගේ ඔඩොක්කුවට දැම්මා. උගේ බය ඇරෙන්න හිනාවක් පෑවා.

පොඩි එකාගේ අත යන්ත්‍රයක් වගේ ක්‍රියාත්මකයි. වාක්‍ය වල සම්පූර්ණත්වය ගිලිහිල වචන වලටත්, වචන අකුරු වලටත්, අකුරු හැඩවලටත් හැරෙමින් යනව.

අප්පච්චී කතුරු පාරකින් දෙකට කැපිල "අප්ප" උනා. "ච්චී" තනි ආයන්නක් ගාවට පාවෙලා ගිහින් "ආච්චීහැදුන.

මා සහ මල්ලී ගෙන් කැපිච්ච කෑල්ලක් ඇහිඳපු මම ඒවා මේසෙ උඩ තිබ්බා

"මාලී..."
මම මූණට හිනාවක් නගාගෙන තව පටි තීරු කීපයක් පොඩි එකා අතට දැම්ම.


තවම අකුරු බැරි පොඩි එකා හොදටම හිනාවෙනව. කපනව..කපන ගමන් හිනාවෙනව. අකුරු සීසීකඩ පාවෙනව.

මම කකුල යටින් පාවෙලා ගිය හු යන්නක් ඇහිඳල අරගත්තා..තව අකුරු හොයල කුණු හරුපයක් හදන්න හිතාගෙන.

අන්තිම කොළ ගොන්නත් මම ෆෑන් එක දිහාවට වීසි කලා. කැපිල සීසීකඩ යන්න..ඒව හුළගට පාවෙලා එහෙ මෙහෙ ගියා විතරයි. කීපයක් අල්මාරිය අස්සටත් ඇඳ යටටත් විසි උනා.

වචන වේගයෙන් තම අනන්‍යතාවය අහිමි කරගනිමින් ඉන්න අතර ඔරලෝසුවෙ කට්ට කැරකුණා..


හදිසියේම පොඩි එකා ඔලුව උස්සල දෑස් ලොකු කරල මගෙ දිහා බැලුව.


"අම්ම බනීද."

මම උත්තරයක් දෙන්න හදද්දිම ඇඳ යටින් කොළ කෑල්ලක් දෙපා මුලට ගහගෙන ආව. මම ඒක අතට ගත්ත පොඩි කරන්න හිතාගෙන. ඒත් ආයෙමත් ඇස් ඉස්සර උනා.

"අස්කරමු නේද?"

පොඩි එකා එහෙම කියල මැල්ලුම් වෙච්ච කොළරොඩු ඇහිද ඇහිද සෙල්ලම් බඩු පෙට්ටියට දාන්න පටන් ගත්තා. මම ඒ දිහා හැඟීමක් නැතිව බලන් උන්නා.

කොළරොඩු එකතු කර අහවරව ඌ කාමරෙන් පිටවෙද්දි ඇන්කර් පෙට්ටියෙ තිබිච්ච අකුරු පේළියක් මගේ දෑස් ඉදිරිපිට මොහොතකට නැවතුනා.


"සිසිල් වියළි ස්ථානයක තබන්න."



පෙට්ටියට දමන්න බැරුව අතේ ගුලිකරගත් වචන තීරුව ඉබේටම අතින් දිගඇරුණා.


"..........  මල්ලී වියැයි අම්මා ආසාවෙන්.........."


හැඩතල අකුරු වලටත් අකුරු වචන සහ වාක්‍ය වලටත් හැරෙන්න පටන් අරන්....

ඈත අහසේ ගිගුරුම් හඬක්..

මම අසිහියෙන් වගේ ඇඳ දිහාට ගෑටුවා.





older post