About

Related Posts Plugin for WordPress, Blogger...

මරණයට මග බැලුම



26 අදහස්

තින් පෙරි පෙරී එන වීදි ලාම්පු එළියෙන් අපගේ සෙවනැළි සිතුවමට නැගෙන්නට පටන් ගත්තේ කොයි වේලාවක පටන්දැයි මට මතක නොතිබිණි. බොහෝ වේලාවක් අපි බලාගෙන උන් වගක් පමණක් මතකයේ ඇත.

“අපි දැන් මොකද කරන්නෙ”
අනිකා අසයි.


“මොනා කරන්නද? ඒකිව මරණව මිසක්.”
මම දරදඬු ස්වරූපයෙන් පිළිතුරු දුන්නෙමි.


“මරන්න?”
අඩ අඳුර මැද වුව බියෙන් හා විස්මයෙන් විසල් උන අනෙකාගේ දෑස් මගේ දෑසින් නොසැඟවේ.

මම මාරාවේෂ වෙමි.


“මරන්න නෙවෙයි නම් යකෝ වෙන මොන කෙංගෙඩියකටද අපි මෙතැනට ආවෙ. තෝත් පිලිගත්ත නේද අපි දෙන්නටම ගන්න පුලුවන් එකම විසදුම ඒක බව.”


“ඒක නම් එහෙම තමයි. ඒත්....”
ඔහු පාලුවට ගිය සමූපකාර ගොඩනැගිල්ලේ බිත්තිය අසල ඇණ තබා ගනී. මගේ කෝපය දෙගුණ තෙගුණ වේ. මේකාගේ මේ දෙපිට ගති නිසා මටත් වෙන්නේ හිර ගෙවල ලගින්නටය.


“නැගිටපිය මූසලයා”
මම ඔහුගේ හිසට අත්ලෙන් පහරක් ගසමි. ඔහු හිස කසමින් නැගී සිටී. විසල් වී ගිය මෝඩ ඇස් තුළ කදුලු කැටි දෙකක් ගුලිව දිළිසෙනු මට පෙනේ.

මා සිතේ අනුකම්පාවක ඡායාවක් මතුවී හොල්මන් කරයි. මම එය හිත ඇතුලටම තෙරපා ගනිමි. එක මොහොතක, එක සිතුවිල්ලක පමාවකින් මෙතැනට ආ වැඩය වරද්දා ගත යුතු නැත. එක අතකට මේ හැමකකටම මේ යකාත් වග කියන්න ඕනෙ නෙව.

නගරාන්තර බස් රථයක් හැල්මේ ඇදී ගියේ ප්‍රධාන වීදියේ පදික වේදිකාව ආලෝකයෙන් නහවමිනි. අප දෙපා අසලින් ආලෝක තීරුවක් ඇදී නොපෙනී ගියේය.
මේ වෙලාවට නගරය අදුරුය.
කොයි මොහොතක හෝ ඇය රැගත් බස් රිය නගරයට සැපත් වනු ඇත.


“උඹ මොන කෙංගෙඩියකටද ඒකිත් එක්ක හැමිණෙන්න ගියෙ”

මම නිහඩතාවය බිදදමමි. අනෙකාව තරහ කරගෙනද බැරිය. අවසාන මොහොතේ හෝ උගේ හිතේ ඈ කෙරේ අනුකම්පාවක් ජනිත වුවහොත් වැඩේ ගැස්සී යාමට හොදටම ඉඩ ඇත.

“උඹ ගිය හේතුවටම තමයි.”

අනෙකාගේ පිළිතුර මගේ කෝපයට හේතු වෙයි. උගේ ඔලුකටු සමතලා කරන අදහසකින් මම වෙලී යමි.

“යකෝ..මම උඹ වගේ බලු වෙවී ඒකිගෙ පස්සෙන් වැටිල හිටියෙ නෑ. මම ඒකිව ආශ්‍රය කලා. සීමාවක් ඇතිව. මම කොහොමත් ටික දවසකට පස්සෙ ඒකිව හලල දාන්නයි හිටියෙ. තෝ කල වැඩෙන් ඒකි ආපහු මගේ බෙල්ලෙ එල්ලෙන තැනට වැඩ සැලැස්සුනා. ගෑනියෙක් එක්ක බුදියගත්ත පළියට ඒකිව අඹු කමට ගන්නෙ තොට පිස්සුද යකෝ. ඒකි කී දෙනෙක් එක්ක ඉදල තියනවද කියලවත් උඹ දන්නවද”

“මට ඒව ප්‍රශ්නයක් උනේ නැහැ බං. මං ඒකිට ආදරෙයි. ඒකිත් මට ආදරෙයි.”
මූව නම් මට තේරුම් ගැනීමට නොහැකිය. එක්කෝ මේකා මෝඩයෙකි. එහෙමත් නැත්තම් අමුම අමු පිස්සෙකි.


“උඹ දැනන් හිටිය නේද ඒකි ඒ වෙනකොටත් මාත් එක්ක ඉඳපු වග? උඹ ඉන්දැද්දිම මම ඒකිත් එක්ක එකම කාමරේ කී පාරක් එකට හිටියද. උඹම දෑහින් දැක්ක නේද?” මම අසමි

“ඔව්. ඒ උනත් උඹ ඒකිට සලකපු විදිහට ඒකි කැමති නෑ. මමත් කැමති නෑ. ඒකිට ඕනෙ කරල තිබ්බෙ පපුවක් තියන, ආදරේ කරන්න පුලුවන් මිනිහෙක්. ඉතින් මං හිතුව ඒකිට ආදරේ කරන්න.”


“එහෙනං මොන කෙං ගෙඩියකටද තෝ ඒකිව මරන්න යන්න මාත් එක්ක එන්න එකඟ උනේ?.”


“උඹ මගේ සහෝදරය.මම උඹට බයයි. මම දන්නෙ ඒකි එක්ක උණුහුමට ගුලිවෙලා ඉන්නයි ඒකි කියන ඒව තොරතෝංචියක් නැතිව අහගෙන ඉන්නයි විතරයි. ඒත් උඹ ඒකිගෙ අතීතෙ වර්තමානෙ දන්නවා. දන්නවා කියල හිතන් ඉන්නවා. උඹ කැමති නෑ උඹේ මාන්නෙට පාරක් වදිනවට. ඒකිව කැන්දන් ආවත් මට ලගින්න වෙන්නෙ උඹත් එක්ක එකම බෝඩිං කාමරේ. මට බය හිතුනා කැන්දන් ආවට පස්සෙ හරි දවසක උඹ ඒකිව මරයි කියල..ඒකයි.”


තවත් බස් රියක් ආලෝක ඉරක් අදිමින් ඈතින් ඇදී යයි. ඒ බොහෝ විට ඈ රැගත් බස් රිය විය හැක.


“ඒකිව විතරක් නෙමෙයි තෝත් එක්ක බාවන්නයි මම හිතන් උන්නෙ ඒකිව තෝ කසාද බැන්දනම්. උඹ දන්නෙ නැද්ද ඒකි වැඩ කරන තැන චන්ද්රාපාලයත් එක්කත් ඒකිගෙ හුටපටයක් තියන වග.”


“ඒව එක එකාගෙ බොරු කතා බං. මම ඒව විස්වාස කරන්නේ නෑ. අනිත් එක එහෙම උනා කියල මට ඒකිව අත අරින්නත් බෑ. ඒකිට මම ආදරෙයි.”


“ඒ උනාට මම දැක්ක උඹ කිහිප විඩක්ම ඇස් වල කදුලු පුරෝගෙන බලාගත් අතේම බලාගෙන ඉන්නව”


“එහෙම එකක් නැහැ. සමහර වෙලාවට මට මං ගැන වගේම ඒකි ගැනත් දුකයි”'


ඈතින් සපත්තු අඩි ශබ්දයක් ඇසේ. ඈ එනවා විය යුතුය.

ස්ස්ස්....මම අතින් සන් කරමින් අනිකාව නිශ්ශබ්ද කරමි. මේ සූදානම් වන්න වේලාවයි.


“වරෙන් ටිකක් මේ හෙවනැල්ල අස්සට. හීන් සීරුවේම වැඩේ දෙන්න ඕනෙ.”
මම කොදුරමි.

අනිකාද මා සමග අදුර තුළට ගුලිවේ.

අඩි ශබ්දය ළග ළගම ඇසේ..ඔව්..ඒ ඇගේ අඩි ශබ්දයයි. මොහොතකින් කඩපේළිය අසල කෙටි මග තුළින් ඇය මතු වනු ඇත. එ සැනින් ඉක්මන් පිම්මකින් ඇගේ උගුරු දණ්ඩ කපා දැමිය යුතුය. ඈ ඉන්නේ ඊට අපහසු ඉරියවුවකින්නම් වහාම ඇගේ හදවතට ඇනිය යුතුය.

කඩපේළිය කොනෙන් දිග සෙවනැල්ලක් වැටේ...ඈ ළග ළග මය.
අනෙකා මා අසලම වෙවුලනු මට දැනේ..ඔහු යමක් කොදුරන නමුත් ඒ මා සවනට නොඇසේ. මම අරමුණ ළංවන තුරු නොසැලී හිදිමි. තව මොහොතකින් දෙකකින් සියල්ල අවසන් වනු ඇත. මම පසු පස හැරී මුවග දබරැගිල්ල තබා අනෙකාට නිශ්ශබ්දව බලා ඉන්නා මෙන් සන් කරමි.

සෙවනැල්ල තවත් ළංවේ..මම පියවරක් ඉදිරියට තබමි.

එසැනින්..මගේ වැලමිටෙන් අදින හස්තයක අනපේක්ෂිත ස්පර්ෂයකින් ම‍ගේ ගමන අවහිර වේ.
මම පසුපස හැරී බලමි.

අනෙකා මා අතේ එල්ලී මා වලකන්නට උත්සාහ ගනිමින් හිදී.

ඔහු‍ගේ ඇස් වලින් රූරා වැටෙන කදුලු තුනී ආලෝකයෙන් දිළිසේ. මම කෝපයෙන් රත් වෙමි. තැතිගැන්මක් මා වියරු නංවයි.

“අත ඇරපන් යකෝ.”
මම වියරුවෙන් නමුත් සෙමෙන් කො‍දුරමි


අනෙකාගේ ග්‍රහණය තවත් තද වෙයි.
“එපා බං..එපා...”
ඔහු පිණ්සෙණඩු වෙයි.

“අතෑරපං යකෝ..කෑ ගහන්න එපා ඒකිට ඇහෙයි.”
මම අනෙකාගෙන් මිදී ඉදිරියට යන්නට තැත් දරමි. ඔහුගේ ග්‍රහණය වඩාත් තිව්‍ර වෙයි. වෙහෙසින්ද කෝපයෙන්ද හෙම්බත්ව මම වියරුවෙන් දැවෙමි. හාත්පස රතු දකිමි.

රතු අතරින් ඇ‍ගේ රුව මතුවේ. ඈ ඈත පටන්ම සිනා වී ගත් ගමන්ම එන්නීය. මාගේද අනෙකාගේ පොරබැදුම ඈ නෙත ගැටීවීද? ඇගේ සමච්චල් සිනහවට හේතු වී ඇත්තේ එයද? නැත විය නොහැක. අප තවමත් පොර බදන්නේ අදුර තුළය..

මම අනෙකාගෙන් මිදෙන්නට අවසන් උත්සාහයද ගනිමි. දැනුදු ප්‍රමාද නැත. ඈ අපව දැක බියෙන් පැන යන්නට තැත් කලොත් ඈ පසුපස හඹාගොස් හෝ සියල්ල අවසානයක් කරන්නට මම සිතමි. නමුත් අනෙකා වඩාත් සවිමත් වූවා සේය.පිහිය රැදි මගේ අත කැපී යයි. උණුලේ කලුවට වැගිරී රාත්‍රී අන්ධකාරයේ නොපෙනී යයි.

මම වේදනාව නොතකාම ඔහුවත් ඇදගෙනම ඈ දෙසට යන්නට තතනමි..වේදනාවෙන් හා වෙහෙසින් මා ක්ලාන්ත වීමට ආසන්නය.

ඈ අප පොරබදන ඉදිරිපිටය..කිසිවක් නොවූවා සේ ඈ සිනාසෙයි. ඇගේ සිරුරෙන් දහඩිය සුවද මුසු විලවුන් සුවදක් හමා ඒ.


“ආනේ..ඔයා ගොඩක් වෙලාද ඇවිල්ල..හයියෝ..අද බස් එක පරක්කු උනා‍ මෙයා.”
ඇය නෝක්කාඩුවෙන් තෙපළයි.


“න්..නැහැ. දැන් ටිකක් වෙලා. යං අපි එහෙනම්. හොදටම කලුවරත් වැටිල. මට එද්දි ලයිට් දාල එන්නත් අමතක උනා.”

ඈ ම‍ගේ අත ගෙන උරහිසට වාරු වේ.. මම ඈ වත්තන් කරගෙන නගරය දෙසට පියවර ඔසවමි.

26 අදහස්:

තිස්ස දොඩන්ගොඩ at: 4/24/2010 1:07 AM said...

මං උඹේ කැමතිම මෙන්න මේ වාගේ කොටස්වලට..."අප දෙපා අසලින් ආලෝක තීරුවක් ඇදී නොපෙනී ගියේය.." උඹත් ඒවට සංවේදීයි නේ...
ඉස්සර "ගුවන් විදුලි රඟමඩල"කියලා පෑ භාගෙක ඒකාංගික නාට්‍ය මාලාවක් ගියා... ගෙදර ලයිට් නැතිවුනත්, බැටරි රෙඩියෝවෙන්, චිමිනි ලාම්පුවේ එලියෙන්, ඇසූ කතා මේ වාගේමයි... මං හිතන්නේ ඒක වෙන්න ඇති මං මේ කථා වලට මෙච්චර කැමති....

Anonymous at: 4/24/2010 2:15 AM said...

අසම්මත පටලැවිල්ලක පැටළුනු මානවකයකුගේ මනෝ භාවයක් දුටිමි....සැබවින්ම කතාකාරයාගේ නොඉවසිල්ල,කතාව ගලායාමේදී මැනවින් පසක් වේ....නමුත් රාගය වනාහි නොඉවසිල්ලේ අතුරු ඵලයකි.....ප්‍රවේසම් වියයුතුය...සර්පයා යවා පියා උගේ වල්ගය ඇල්ලීම මෙන් වෙනු ඇත...

ජය...


සුලා

``` Outsider``` at: 4/24/2010 9:29 AM said...

ගොඩක් කාලෙකින් රේවන් ඔයාගෙ කතාවක් ආව එහෙනම්.
ප්‍රතිවිරුද්ධ හැඟීම්වල තීව්‍රතාවය මුල සිටම කතාව පුරා දෝලනය වෙයි. ආශාවේ රාගයේ ගිලී පවතිද්දී සිත තෘප්තිමත්ය. එහෙත් එයින් මදක් ඉවත් වූ විට බුද්ධිය විසින් කුහක ආත්තමාර්ථය බිහිකරයි. ආදරය ලෙස කී දෙයේ අන්තය ම්ලේච්ඡත්වයකින් කෙළවර විය හැක. මිනිස් ස්වභාවය එයයි. අනෙකා තවම ආදරයේ හැඟීම් වල උණුසුම තුළය. එහෙත් එකම දසුනකින් එකම වදනකින් පුරුදු හැඟීම් වල සංවේදී ලෝකයට ආශාවන් අපව කැටුව යන්නේ අරුමයකින් මෙනි.
කෙටි කතාවක තිබිය යුතු කුතුහලය මුල සිට අගටම තියෙනව. නිර්මාණය මරුම තමයි.
ඔබට ජය !

මම at: 4/24/2010 1:02 PM said...

මමත් කතාව කියෙව්ව ඔන්න.විචාර ලියන්න නම් මට තෙරුමක් නෑ අයියේ....ඒ ගැන ඔයා
තරහා නෑ කියලා හිතනවා.

- නිල් අහස - at: 4/24/2010 2:46 PM said...

කුතුහලය උපරිමයි.
ඇත්තටම නියමට ලියලා රේවන්.
පුලුවන් තරම් මේ විදිහටම ලියන්න බලන්න.

මම නම් හරිම ආසාවෙන් වින්දා .. මචං.

චේජනා at: 4/24/2010 5:25 PM said...

මල්ලි,
කෙනෙකුගේ මනෝ භාවයන් විමසීමට ගත් සාර්ථක උත්සාහයක්..
ඒවගෙම අවට පරිසරය පිළිබඳව සාර්තක ඉඟි ගෙනඑමින් පරිසරය හිතේ මවාගන්න ඔයා ලබාදෙන ඉඩකඩත් අපූරුයි.. ඒක නොදැනිම කතා රසය වැඩි කරනව...

Raven at: 4/24/2010 6:03 PM said...

තිස්ස අයියා- ඒවගේ පොඩි පොඩි දේවල් විඳින්න මම කැමතියි. ඒ නිසා විස්තර කරන්නත් ටිකක් උත්සාහ කලා.

අනූවෙ මුල් ගණන් වල ගුවන් විදුලියෙන් ගිය නාට්‍යය ඇහුවා මතකයි මට. ඒත් මුවන් පැලැස්ස ඇරුණහම අහපු වෙන එකකවත් නම් මතක නෑ.

සුලා අයියා- සිතන්නට දේවල් බොහොමයක් ඉතිරි කලා ඔබේ කමෙන්ට් එක.
බොහොම තුති අයියා අදහස් දක්වා කථාවට වටිනාකමක් දීම පිළිබඳව. ඔබටත් ජය පතමි.

Raven at: 4/24/2010 6:19 PM said...

``` Outsider```- ඔව් මචන් වෙනත් කතාවක් ලිය ලියා ඉද්දි එකපාරට හිතට ආපු අදහසක් ලියල දැම්ම.

නිර්මාණයෙන් කියන්න උත්සාහ කල දෙය උඹ වටහාගෙන ඇති බවට කිසි සැකයක් නැහැ. ඒ ගැන කර තියෙන විවරණය ගැන කියන්න මට වචන නැහැ. ස්තූතියි මිත්‍රයා වටිනා අදහස් දැක්වීමට.

මම- විචාර මොකටද නංගි. කතාව කියවලා අදහසක් දැක්වීමම ප්‍රමාණවත්. ‍බොහොම ස්තූතියි ඒකට.
ඔබේ අඩවියටත් මම ගොඩ වැදුන. දිගටම ලියන්න නංගි. ස්තූතියි මෙහි ගොඩ වැදුනට.

Raven at: 4/24/2010 7:10 PM said...

නිල් අහස- තව තවත් නිර්මාණ කරන්නට අවශ්‍ය ශක්තිය දෙන්නේ උඹලාගේ මේ අගය කිරීම් තමයි මචන්. රසවින්දා යැයි දැනගන්නට ලැබීම සතුටක්.
ස්තූතියි මිත්‍රයා නිතර දිරිමත් කරනවට.(ළගදි මොකුත් ලියනවා නම් දුටුවෙ නැහැ. ආසාවෙන් ඉන්නවා උඹේ සටහනක් කියවන්න)
ජය පතනවා උඹට.

චේජනා අක්කා- ස්තූතියි අක්කේ නිර්මාණය අගය කලාට. හදිසියේ හිතට ආ අදහසක් තමයි මේ විදිහට අකුරු කලේ. සමහර හදිසියෙන් ලියවෙන දෑ ප්ලෑන් කරල ලියන ඒවට වඩා හොදට ලියවෙනවා මා අතින්.
ස්තූතියි අක්කටත්.

nethu at: 4/24/2010 7:44 PM said...

නිර්මාණය හදවතින් රස වින්දා..එකම හැඟීමක දෙපැත්තක් සාර්ථකව අකුරු කිරීමක්..

දිල් at: 4/24/2010 7:45 PM said...

නිර්මාණය උපරිමයි රේවන්

Raven at: 4/24/2010 7:56 PM said...

නෙතු, දිල්- ස්තූතියි ඔබ දෙපළටත් :)

විහඟිගෙ සිතුවිලි at: 4/24/2010 9:26 PM said...

හ්ම් ආදරේට සම්මතයි අසම්මතයි කියල නම් දෙකක් තිබුනත් දෙවිදියක් කියල කිව්වත් හිතට ආදරේ දැනෙන්නෙ නම් එකම විදියට. නිර්මාණය ලස්සනයි අයියෙ.

චමිල at: 4/25/2010 5:34 PM said...

පිස්සු හැදෙනව මචන්... නියමයි...කට්ටිය කියනව වගේ කුතුහලය උපරිමයි. මම හරිම අමරුවෙන් පහල කොටස් වලට ඇස් යවන්නෙ නැතුව මේක කියෙව්වෙ. මිනිහෙක් තුල තෙරෙපෙන ප්‍රතිවිරොධී හැඟීම්, අපි තුල ඉන්න වෙනස් චරිත, අපි තුල ඉන්න ආදරවන්තයා, මිනීමරුවා අපිටම දකින්ඩ සලස්වන නිර්මාණයක්...මැක්සා මචන්... ආදරය හරිම ඝනකම්.... ලේ වලට වඩා ඝනකම්...

nimanthi at: 4/25/2010 7:08 PM said...

කවියකට වගේ කථාවකට කියවල ඉවර උන ගමන් මම කිසිම දෙයක් කියන්නේ නැහැ.
හේතුව තමයි මම ඕනේම කතාවක් කීපසැරයක්ම කියවීම..
නැත්තන් ඉතින් කොහොමද?? අප්පේ මේතරම් දුර ඉදන් මට කියවන්න ඕනේ තරම් දේවල් හොයාගන්නේ.:D
බොහෝම ස්තූතියි..!!! මේවගේ ශෛල්‍යයකින් කථාවක් ඉදිරිපත් කලාට.සිත් ඇදගන්නා සුළුයි

ගල්මල්-Coral at: 4/26/2010 9:10 AM said...

අගනා රචනයක්...

තවත් වරක් කියවන්න සිත්වූ නිසා සටහනක් තැබීම පමා කලත්, අරකී තවත් වර ලාබාගන්න තවම බැරිවිය.

සුබ පැතුම් මල්ලී.

RanDil at: 4/26/2010 11:06 AM said...

මල්ලී කථාව උපරිම වශයෙන් රස වින්දෙමි. ‍බොහෝ දෙනෙක් තමන්ගේ මොළයත් හදවතත් ‍‍එක්ක සටන් කරන ආකාරය මැනවින් විදහා දක්වලා තිබෙනවා. ඇත්තටම කිව්වොත් ආත්මාර්ථයත් මනුස්ස කමත් අතර සටනක් වගේ නේද? හැබැයි මල්ලී,
“ඒකිව විතරක් නෙමෙයි තෝත් එක්ක බාවන්නයි මම හිතන් උන්නෙ ඒකිව තෝ කසාද බැන්දනම්. උඹ දන්නෙ නැද්ද ඒකි වැඩ කරන ගාමන්ට් එකේ චන්ද්රාපාලයත් එක්කත් ඒකිගෙ හුටපටයක් තියන වග.”

මේ කොටසේ ගාමන්ට් වචනය නැතිව තැන කියලා යෙදුවා නම් හොඳයි කියලා හිතෙනවා. මේ වගේ වැඩ කරන අය ඉන්නේ ගාමන්ට් වල විතරක් නෙමෙයි නේද?

Raven at: 4/27/2010 8:30 AM said...

විහඟි- ඇත්ත නංගි. සම්මත අසම්මත කියල වෙන් කරන්න පුලුවන් ආදර කතාවල් මිසක් ආදරය නෙමෙයි කියලයි මට හිතෙන්නේ. ආදරය ඒකමයි.

චමිල- අනිවා මචන්. ස්තූතියි මචන් කියවලා සටහනක් තැබුවට.

Raven at: 4/27/2010 8:32 AM said...

නිමන්ති අක්කා- සිංහල පොත් ඕනෙ නම් කියන්න අක්කේ. අපි එවන්නම් මෙහෙන්.

අක්කටත් ස්තූතියි අදහස් දැක්වීමට.

ඩීන් අයියා- ස්තූතියි අයියේ

Raven at: 4/27/2010 8:38 AM said...

රන්දිල් අක්කා- ස්තූතියි අක්කේ නිර්මාණය අගය කලාට.

අක්කා කියන කතාවට මම එකඟයි. ඒ උනත් මම මෙතැනින් එවන් කොට්ඨාසයක් වෙන් කර දක්වන්නට හෝ එවන් අයට ඇඟිලි දිගු කර පෙන්වන්නට නම් උත්සාහ කලේ නැහැ අක්කේ.

කොහොම උනත් අක්කා කියපු විදිහට එය යෙදීම සුදුසුයි කියලා හිතෙනවා. ස්තූතියි අක්කටත්.

RanDil at: 4/27/2010 9:07 AM said...

මල්ලිගේ එහෙම අදහසක් නොතිබුණු බව දන්නෙමි. එහෙම දෙයක් සිහිපත් වුනා නම් ඒ යෙදුම නොයොදන බවත් දන්නෙමි. ස්තුතියි නිහතමානීව මගේ අදහස සළකා බැලීම පිළිබඳව ඔබටත්,

අනුරාධ at: 4/27/2010 9:52 AM said...

අදනෙ මේක කියෙව්වෙ. ශෙ..... කියන්න වචන නෑ මචන්. පට්ට. මිනිස් සිත තුල සිතිවිලි ක්‍රියාත්මක වෙන විදිය මොනවට පැහැදිලි කරල තියෙනවා. පරිසරය විස්තර කිරීමත් උපරිමයි. මන් එතන එහා පැත්තෙ ඉඳන් බලන් ඉන්නවා වගේ දැනුනේ. දන්න සිංහලෙන් කිව්වොත් මචන් Maxxa.

Raven at: 4/27/2010 8:10 PM said...

රන්දිල් අක්කා- අක්කගේ අව්‍යාජ අදහස් මම කවදත් අගය කරනවා(මතකනේ මෙහි අක්ක පල කරපු පලමු කමෙන්ට් එක :)).

ස්තූතියි අක්කේ නැවතත් ගුණ වගේම දෝෂ ඇති තැනුත් පෙන්වලා දෙනවාට.

අනුරාධ- බොහොම ස්තූතියි මචන්. මේ වචන තව තව කතා ලියන්න මාව පොළඹනවා.

යෝගී... at: 4/29/2010 10:14 AM said...

අනේ මල්ලියේ... උඹ මාව මාර අමාරුවකනේ දැම්මේ..
දැං ඉතිං ඊළඟට මොකද වෙන්නේ.. අරුන් දෙන්නට සතුටින් ඉන්න වෙයිද? නැත්තං අනිකා ඒකිව බඳී ද? නැත්තං ආයෙත් දවසක Try කරලා ඒකිව මරලා දායිද..අද රෑට නින්දයන එකකුත් නෑ මුං තුන්දෙනාට මොකද උනේ කියලා දැනගන්නකං... :)

මලේ උඹේ ප්‍රතිභාව ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ නේ..

මේ කතාවෙදී උඹ මං කැමතිම විදියේ සුන්දර යෙදුම් ගොඩක් පාවිච්චි කරලාතියෙනවා...
"වීදි ලාම්පු එළියෙන් අපගේ සෙවනැළි සිතුවමට නැගෙන්නට පටන් ගත්තේ ..."
"අප දෙපා අසලින් ආලෝක තීරුවක් ඇදී නොපෙනී ගියේය"

මේ වගේ පුංචි දේවලින් උඹ කියන කතාවේ තියෙන සජීවි බව හා ගැඹූර අපි‍ට දැනෙනනවා.

ලුනු නොදා ත් කෑම උයන්න පුළුවන් .. ඒත් ලුනු පොඩිත්තක් දැම්මාම කෑම එකේ වෙනස අමුතුවෙන් කියන්න ඕනෙ නෑ නේ..

-ජය

Raven at: 4/29/2010 11:49 AM said...

යෝගී අයියා- ඉදිරියක් ගැන නම් මටත් හිතාගන්න අමාරුයි. නමුත් අනිකා එක්ක සටන නම් නිමවන එකක් නැහැ කියලයි මට නම් හිතෙන්නෙ. අනිකා ගැහැණිව බැන්දත් මිනීමරුවාත් ඉදහිට හෝ ඇහැරෙන්න ඉඩ තිබෙනවා.

ස්තූතියි යෝගි අයියා නිර්මාණය ගැන අදහස් දැක්වුවට. මට වටිනවා ඔයාලගෙ අදහස් බොහොමත්ම.

රවා at: 5/19/2010 9:42 AM said...

රෙවන් පිටස්තරයා කියපු දෙ ඇත්ත.. උඹ මෙ නිර්මානය කරලා තියන්නෙ හිතට බලෙන්.. මට එහෙම දැනෙනවා.. එක හරිද..

Post a Comment

newer post older post