About

Related Posts Plugin for WordPress, Blogger...

මොහොතක්...



19 අදහස්


'ජීවිතේ උගුලක්' ඔහු කීය.

සුදු පෙණ නංවමින් ගල් කුළු අතරට වන් දිය කඳ ගල් මතු පිට සෝදා දමා යලිත් මුහුදට එක්විය.

' ඔව්... ජීවිතේ ලොකු උගුලක්... පුංචි පුංචි උගුල් ගොඩකින් හැදිච්ච ලොකු උගුලක්...' දඟ කරන කෙහෙරැල් වලට අත්වැල් අල්ලන සුළඟට මගේ කට හඬද මුසු විණි.

'හිතිල නැද්ද කවදාවත් අපි කාගෙ හරි සෙල්ලමක ඉත්තො කියල, අපි කරන කියන හැම දෙයක්ම කවුරු හරි බලන් ඉන්නව කියල, මං කියන්නෙ මැවුම්වාදය ගැන නෙවෙයි.... ඒත් අපෙ ජීවිත වල ඊළඟ මොහොත අපි අතේ නැහැ කියල' මම කවදත් ප්‍රිය කල නිවුණු සන්සුන් කටහඬ වාතලය කපාවිත් මගේ දෙසවන පුරවාලයි.

'නොහිතෙනවත් නෙවෙයි.... හිතෙනව... අපේ පාලනයකින් තොරවම ජීවිතේ ගහගෙන යද්දි එහෙම දැනෙනව..මං පුංචි කාලෙ හිතන් හිටිය අර ග්‍රීක දේව කථා වල වගේ අපි ඉන්නෙ යෝධයෙක්ගෙ අතෙ තියෙන ලෝකයක් උඩ කියල...පොත් පත් කියවද්දි , ජීවිතේ දකින්න ආගම දහම හුරු කරගනිද්දි හැම දෙයක් දිහාම පස්සෙ බැලුවෙ ඒ විදිහට....... ඒත් කාලයත් එක්කම එක දෙයක් අවබෝධ වුනා..... තේරුම් ගත්ත තනියම හිතලම....

ජීවිතේට ආචාර්ය මහාචාර්යවරු ලිවුව පොත් පත් වල තියරි හරියන්නෙ නෑ කියල....... ජීවත් වෙද්දි ප්‍රශ්න එද්දි ඒවයෙ තියෙන තියරි අදාල නැහැ කියල... ආගම වුනත් එහෙමයි කියල හිතුන. ඒත් ඒ අදහස් තේරුම් ගන්න කෙනෙක් මට මේ වෙනකම් හම්බෙලා තිබුණෙ නෑ......'

මා කියූවක් ඔහුට හැඟුනාදැයි විමසීමට මෙන් මම නෙත් කොනින් ඔහු දෙස බැලීමි. සිහින් තොල් අග අපූරු සිනහවක් සිත්තම් වී තිබිණි.

'ආගම වුනත් එහෙමයි කිවුවෙ? ආගම දහමෙ තියෙන තියරි ගැනද?' ගලක් මත සිටින කක්කුට්ටෙක් හා කෝටු කැබැල්ලකින් සෙල්ලම් කරමින්ම ඔහු පැනයක් නැඟුවේය.


'හ්ම්ම්... ඔව්...ජීවිතේට අදාල වන දේවල් වගෙම අදාල නොවන කොයි තරම් දේවල් තියෙනවද ඒවගෙත්....'

'ඇත්ත.... ඔයා හිතන දේ මට දැනෙනව.. ඒත් ඒ ගැන කථා කරන්න අපිට වෙලා නැති වෙයි නේද? ඒක ලොකු මාතෘකාවක්....'

කක්කුටු සෙල්ලම ඇති වුන ඔහු කෝටුව ගලපර අතරට විසිකරමින්ම මදෙසබැලීය. කොයියම්ම දෙයක වුව දිගු වේලාවක් නිරතවීමේ හැකියාවක් ඔහු තුල කවදත් නොවීය.

'එහෙනම් ඒක අල්ලල දාමු....' ඔහුද මමද සිනාසුනෙමු. අප අසල රේල් පාර දිග කාර්යාලය නිමවී කඩිමුඩි ගමනකින් ඇවිද යන තලත්තෑනි පුද්ගලයෙකු අප දෙස හැරී බලනව මම දුටිමි.

'මට අර මනුස්සය දැක්කම රුක් අත්තන මල මුදුනේ සින්දුව මතක් වුනා....' මා නෙත් යොමා සිටි දෙස බැලූ ඔහු තවත් කථාවකට මුල පිරීය.

'ඒ මොකද ඒ.....'
තව තවත් ඒ කටහඬ මනස් කුහරය තුලට රිංගවා නිධන් ගත කරගැනීමේ මහා ලෝබකමකින් පිරුණු මසිත ඔහු හා තව තවත් දොඩමලුවන්නට බලකරයි.

'රුක් අත්තන මල මුදුනේ.... බමරු නටන හැන්දෑවේ....... මේ පේලියටම තේරුම් තුනත් දෙන්න පුළුවන්නෙ.... එකක් තමයි ඔය මලට ගැහැණිය ආදේශ කිරීම.... ඒ ගැහැණිය අනියම් බිරිඳ හෝ ගණිකාවක් වෙන්න පුළුවන්.....ඒ කියන්නෙ සමහර පිරිමි වැඩ ඇරිල ගෙදර වෙනුවට බොහෝදුරට යන්නෙ ඔය තැන් දෙකෙන් එහෙකට.....

දෙවෙනි එක ...... ඇඟේ පතේ වෙහෙස මහන්සිය නිවා ගන්නත් එක්ක හවසට ගල් පොල් බෝතලයක පිහිට පතන එක...... තුන් වෙනි එකනම් හුඟක්ම සාමාන්‍යයි හැන්දෑවෙ සුන්දරත්වය වර්ණනා කිරීම...... මුල කාරණා දෙක ගත්තාම ඔය සින්දුවේ විස්තර කරන තාත්තා හරිම අවංක හොඳ ස්වාමිපුරුශයෙක් වගේම තාත්තා කෙනෙක්........ බහුතරයක් පිරිමි මල් මුදුනෙ නටද්දි මේ තාත්තා හැන්දෑවත් එක්කම ගෙට ගොඩවෙනව.......'

හූමිටි තැබීමකින්වත් බාධා කිරීමට නොසිතෙන තරම් මම ඒ අදහස් වලට, ඉරියවු වලට, කට හඬට ප්‍රිය කලෙමි.

'ම්ම්ම් විස්තරේ අහන් ඉඳල ආස හිතුනා ඒ සින්දුව ආයෙත් අහන්න....'

'මං කියන්නද?.....' ඔහු අසන්නේ හුරතල් දඟකාර හඬකිනි. විටෙක දාර්ශනිකයෙකු මෙන් තර්ක විතර්ක කරන පුද්ගලයාම මොහොතකින් දඟකාර හුරතලෙකු බවට හැරෙයි.මේ ඉරියවු වලට මා ඇළුම් කරන තරම්.

' අපෝ එපා....... මං දන්නවනෙ ඔයාගෙ ගායන හැකියාව... මේ අහල පහල ඉන්න කක්කුට්ටො ටික කෙලින් ඇවිදියි ඒව අහල........'


'හ හා හා...... ඉතින් ඒකම කොච්චර සේවයක්ද බලන්න.... ඇදේට යන උන්ට කෙලින් දුවන්න අවස්ථාවක් උදාවෙනවනෙ.......'

'ඒක අහල මට මතක් වුනේ මාමගෙයි බෑණාගෙයි කලියුග කාලෙක උපන්න සින්දුව.. කාලෙකින් ඇහුනෙ නෑ.......'

'දැන් කොහෙද ඒවගෙ සින්දු යන්නෙ....මේ එෆ්.එම් වල ටකරං සද්දෙ අහලම එපා වෙලා ......'
'හ්ම්ම්ම්...' මේ සොඳුරු මිනිසාගේ වශියකට මා හසුවී ඇත්දැයි මොහොතකට මට සිතුණි.

'මොකද හ්ම්ම්... ? '

'නිකන්..'

අපි නිහඬ වීමු. උනුන් සිත් හංඟන්නට මෙන් නිහඬවම මුහුද දෙස බලා සිටින්නට වීමු.

'මේ ගෙවෙන හැම දවසක්ම අමතක කරන්න පුළුවන්නම් හොඳයි නේද..... ? මම ඔහුගේ සිත ඇඟිලි ගසමින් පිරික්සන්නට වීමි.

' ඇයි ඒ... මේ දවස් ලස්සනයිනෙ....... අමතක කරන්න නෙවෙයි මතක තියාගන්න...... මං නැති දවසක මතක් කරල හිනාවෙන්න.......'

මම තිගැස්සුනෙමි. හද ගැස්ම එක්වනම වේගවත් වුන බවක් හැඟුනි.

'න්..න්..නැති දවසක.....? ඒ කිවුවෙ......?'

'නැති දවසක කිවුවෙ නැති දවසක..... හැමදාම මට මෙහෙ ඉන්න බැහැනෙ ...මං කැමතියි හැමතැනම ඇවිදින්න....මිනිස්සු අඳුනගන්න..... ජීවත්වෙන්න....'

'ඉතින් මාත් එන්නම්...'

'හ හා හා..... ඔයා ? මගෙත් එක්ක.... ? ඒක කරන්න බැහැ ළමයො...... ඔයාව මං කොහොමද එක්ක යන්නෙ.. ?'

ඔහු සිනාමුසු මුහුනින් මුහුද දෙස බලා සිටී.

' මාව බඳින්න......' මේ මම නොවේයයි මට සිතුණි. නැත. මේ මමමය.

' මං ජීවිතේට අරමුණක් නැති මිනිහෙක්.... අද මෙතන හෙට කොහේ ඉදීද දන්නෙ නැති මිනිහෙක්.... බැඳීමක් ඇති කරන් එක තැනකට කොටු වෙන්න මට බැහැ..... '

ඔහුගේ සිත නොවෙනස් බව මම දැන උන්නෙමි. එනිසාම මම නිහඬ වීමි. එහෙත් කවදා හෝ ඔහු ඒ යැයි මම සිතුවෙමි. ඒ අදින් විසිපස් වසරකට පෙරය.

අදටත් මම ඔහු ඒ යැයි සිතමි. ඉඳින් මම මඟ බලමි. ජීවිතය විඳින්නට කියාදුන් ඒ සොඳුරු මිනිසා එනතෙක් මම බලාසිටිමි.

19 අදහස්:

චේජනා at: 3/28/2010 8:59 PM said...

අනේ නංගි, අන්තිමට දුක් බර විදියට ඉවර වෙන කතාවලට මම කැමති නෑ... අයි මෙච්චර ලස්සන කතාව එහෙම එකක් කළේ..

විශ්මි at: 3/28/2010 9:08 PM said...

බොහොම ස්තුතියි අක්කෙ....... එහෙම අවසානයක් ගැන හිතාගෙන ලිවුවෙ නෑ අක්කෙ.. ඒත් ලියාගෙන යද්දි මෙහෙම අවසන් කරන්න හිතුනා..... ඒකයි....

තිස්ස දොඩන්ගොඩ at: 3/28/2010 9:26 PM said...

මෙච්චර මේ සින්දු අහලා තියනවා...මට අදමයි මේ රුක් අත්තන මල... මං ආසම කරන... සින්දුවක මුල කොච්චර විදි වලින් ගන්න පුලුවන් නේ කියලා දැනුනේ...

අපූරු යුවලක්... Ying Yang වාගේ...complementing each other in most creative ways... bless you two my dear friends... I miss the company of you all....

nimanthi at: 3/28/2010 10:00 PM said...

හ්ම්ම්ම් ...
දුර ඈත තැනක සිට අහම්බෙන් හමුවෙලා
නේක උපදෙස් දෙමින් හදවතට ලංවෙලා
අහම්බෙන් දිනයකදි ගියත් ඔබ මා දමා
යලි එතැයි මඟ බැලිමි හැමදාම තනි වෙලා
උදෑසන සිතමි මම දහවලට පෙර එතැයි
දවල් වරුවම ගෙවමි සවස ගැන සිත් යොමන්
සවස් කල ගෙවනවා හෙට දිනට ඇස් ඇරන්
ගෙවෙයි මගේ ජීවිතය මේ ලෙසින් බෝ දුකින්
කුමක් කරනෙම්ද? මම්
කියනු බලනට ඉතින්
මඟ බලන් හිදිමි මම
එතැයි අද හෙටම දැන්...!!!
ඔන්න නංගියේ...
ඔයා කියපු දේම තමා මේත්
බලන්නකෝ හොඳයිද?? කියලා

දිල් at: 3/28/2010 10:13 PM said...

හරිම සංවේදි නිමාවක් එකතුකල නිර්මානයක්. ඇස් දෙකට පොඩි කඳුලකුත් ආවා

ජීවිතය සොබාදහම මනුස්සකම ආදරය at: 3/29/2010 10:54 AM said...

කතාව හොදයි සාමාන්‍ය ගතියක් තියෙනවා ගලාගෙන යන ආකාරයත් හොදයි අවසානය ඉක්මන් වැඩියි. ඔයාලගේ ජීවිත වලට සම්බන්ධ නෑනේ???

sansarasidu at: 3/29/2010 5:37 PM said...

අපූරුයි...නංගියෝ..
ධ්‍යානයකට සමවැදිල වගෙ කියවගෙන ගියා..
ඔයාගේ නිර්මාණශීලිත්වය හරි අපූරුයි..
මගෙ සුබ පැතුම් නංගා...
(මේ කියන්නේ නලින් ගැන නෙවෙයි වෙන්ඩැ...)

sansarasidu at: 3/29/2010 6:19 PM said...

පහුගිය දවස් ටිකේ ටිකක් කාර්ය බහුලයි..
ඒ හන්දයි මේ පැත්තට ඇවිත් යන්න බැරිවුණේ...
සමවෙන්න ඕන ඒකටනම්..
මේ දවස් කිහිපයට මට ගොඩක් Posts මඟහැරිල..
මේ ඒව එකින් එක අහුලන ගමන්...
මං නංගගෙ පරණ Posts වලටත් comment කළා...

විශ්මි at: 3/29/2010 7:34 PM said...

@තිස්ස අයිය... බොහොම ස්තුතියි තිස්ස අයියෙ....ඔය ගීතය අපි දෙන්නත් වෙන වෙනම රසවිඳල තිබුනා.. ඒත් ඒ ගැන දෙන්නම එකතු වෙලා කතා කරන්න ගත්තාමයි දෙන්නටම වෙනස් විදියකට දකින්න පුළුවන් වුනේ........ තනියම රසවිඳිනවට වඩා දෙන්නෙක් එකතු වුනාම ඒකෙ අපි නොදැක්ක පැත්තක් පේනව.....

අයියගෙ ආශිර්වාදය අපිට හැමදාමත් වටිනව... උපන් රටේදි අනිවාර්යෙන්ම මුණගැහෙමු අයියෙ..... මඟ බලන් ඉන්නව අපිත්.....ස්තුතියි ආයෙමත්.........

විශ්මි at: 3/29/2010 7:41 PM said...

@නිමන්ති අක්ක.... මම කතාවකින්ම කිවුව දේ අක්ක කවියෙන් හරි ලස්සනට ලියල..... ස්තුතියි අක්කෙ........


@දිල් අක්ක..... ස්තුතියි දිල් අක්කෙ


@ජීවිතය.... ස්තුතියි සහෝ අදහස් වලට..... අවසානය නම් ඉක්මන් වැඩී තමා... ජීවිතයෙන් අවස්තාවක් නම් නෙවෙයි....... ඒත් බොහොමයක් අදහස් නම් අපේමයි එදිනෙදා කතා කරන .........


@සන්සරසිඳු.....බොහොම ස්තුතියි අයියෙ.... නලිනුත් අදහස් වලින් හුඟක් මේ වගේ තමා... :) ...... මේ පැත්තෙ නාවට exam හොඳට කරගත්තනම් එච්චරයි...

``` Outsider``` at: 3/30/2010 9:51 AM said...

මට හිතාගන්න බැරිතරම් නිර්මාණාත්මක පෙල ගැස්මක් තියෙනව මේ තුල. ඔයා මට මාවම සිහිපත් කරල මේ තුලින්. ඒ ඇයි කියල කියන්න මට තේරෙන්නෙ නෑ.
ඒත් ඇත්තටම ජීවිතේ මහ උගුලක් කියල මටත් හැම විටම දැනෙනව. ඒ උගුලෙ අපි දඟලන අයුරු නොදන්නා කිසිවෙක් බලා සිටින බවකුත් හැ‍‍ඟෙනව. අපිට ස්වාධීන පැවැත්මක් තියෙනවද?
සුබ පැතුම් සොයුරිය ඔබට !

මිස්සක at: 3/30/2010 10:21 AM said...

අමුතුම කථාවක්, පටන් ගනිද්දි තිබුණ හැගීම සම්පූර්ණයෙන්ම වෙනස් වුනා අන්තිම හරියට එනකොට. විශිෂ්ටයි.

විශ්මි at: 3/30/2010 7:46 PM said...

@පිටස්තරයා...... ස්තුතියි සහෝ සුබපතුමට......

මම හිතන හැටියට නම් අපි කාටවත් ස්වාධීන පැවැත්මක් නැහැ.....අපි ජීවත් වෙන්නෙ යම්යම් බලපෑම් එක්ක.....සමාජමය වේවා නොපෙනෙන බලවේග වේවා අපිව පාලනය කරන්නෙ මේ සිස්ටම් එක.....සමාජමය වශයෙන් අපි පාලනය වෙන හැටි ගැන කියන්න එක උදාහරණයක් මේ මගේ කතාවම..... මේකෙ ආගම ගැන කියවෙන කොටසට දිග දෙබසක් එන්න තියෙනව සහෝ..... ඒත් ඒ ටික මම ලිවුවෙ නෑ......මොකද මේ බ්ලොග් අවකාශෙ ඉන්නෙ විවිධ අදහස් දරන උදවිය නිසා......... ඒ ගැන ලිවීමේ මගෙ ස්වාධීනත්වය මගෙන් ගිලිහුනා....


ජීවිතේ උගුල් ගොඩක් සහෝ.... එක උගුලකින් ගැලවෙද්දි අපි තව උගුල් කීපයකම වැටිල... ඒ උගුල් වලින් අපි ගැලවෙන්න දඟලන හැටි වගෙම මේව උගුල් බව තේරුම් නොගෙන අපි සතුටු වෙන හැටි බලල වින්දනයක් ලබන කෙනෙකුත් ඉන්න බවයි මගේ අදහස.....අපි අහඹු කියල හිතන කිසිම දෙයක් අහඹු නෙවෙයි...... ප්ලෑන් එහෙක එක පාර්ට් එකක්....


සතුටුයි ඔබ වැනිව සිතන කෙනෙක් අදුනගන්න ලැබීම.....

විශ්මි at: 3/30/2010 7:48 PM said...

@මිස්සක.........ස්තුතියි මිස්සක ගොඩවැදිල අදහස් දැක්වුවට....

විහඟිගෙ සිතුවිලි at: 3/30/2010 11:27 PM said...

සමහර අය අපිව තේරුම් ගන්නකම් අපි කොච්චර බලන් ඉන්නවද අක්කෙ. ඒත් ගොඩක් වෙලාවට එයාලට අපිව තේරෙන්න ගන්නෙ අපි එයාලගෙ ජීවිත වලින් ගියාට පස්සෙ. හරිම සංවේදී කතාවක්. මගේ හිත ගොඩක් ගැස්සුනා. හරියට මේ ඉන්නෙ මම කියල හිතුනා.

විශ්මි at: 3/31/2010 8:05 PM said...

හුඟක් වෙලාවට ඒක එහෙම තමයි විහඟි...... ස්තුතියි අදහස් දැක්වුවට නංගි .....

විහඟිගෙ සිතුවිලි at: 3/31/2010 9:45 PM said...

අනේ මන්ද අක්කෙ. මම මේ කතාව කියවන 10 වෙනි පාරද කොහෙද. හ්ම්ම්ම්.... මේක දැනෙනවා වැඩියි මට...

විශ්මි at: 4/02/2010 8:52 AM said...

විහඟි....ජීවිතේ අපිට මුණගැහෙන හුඟක් දෙනාට අපිව තේරුම් ගන්න බැහැ.... බොහෝ විට දෙමවුපියන්ටවත් බැහැ....ආදරේ කරන කෙනාටත් අපිව තේරුම්ගන්න බැරි වුනොත් ඒක අනිත් හැමදේකටම වඩා හිතට දැනෙනව......එහෙම අවස්තාවන් උදාවුනොත් කරන්න තියෙන හොඳම දේ තමයි එකිනෙකාගෙ සිතුවිලි ගැන කතා කරන එක, අදහස් ප්‍රකාශ කිරීම....... තේරුම් ගන්න ඒක හොඳ ක්‍රමයක්....

ඔජායෙ.... at: 4/08/2010 10:56 PM said...

ජීවිතයේ යතාර්තය........

Post a Comment

newer post older post