About

Related Posts Plugin for WordPress, Blogger...

ගින්දර



13 අදහස්

ගේ ඇවිලෙද්දි මම මිදුලෙ පත මාර ගහට මුවා වෙලා බලාගෙන හිටිය.

ඇවිලෙන ගේ දිහා නෙමෙයි. වටේ ගෙවල් දිහා.

උන් නිදිද?
උන් ඇවිත් ගින්න නිවා දාවිද?
මගෙ පපුව ඩිග් ඩිග් ගානව.

හූස් හූස් සද්දෙ අස්සෙන් ජරබරස් ගාල සද්දයක් ගේ දිහාවෙන්.
ෂුවර් එකට පරාලයක් කඩන් වැටෙන්න ඇති.
අජිය ඇහැරෙයිද සද්දෙට?
මම උගෙ ගේ දිහාවට ඇස් යොමු කෙරුව.
උගෙ ගේ තාම කට්ට කරුවලේ..

හැරී, කාන්ති, බට්ට?

මම අංශක දෙසිය හතලිහක් පුරාවට මගේ බැල්ම විහිදෙව්ව.
ඔක්කොම දපල...
බල්ලෙක්වත් බුරන්නෙ නෑ..
ජීවිතේ පලවෙනි පාරට මගෙ හිත අසල්වැසියො ගැන ආදරයක් වගේ හැගීමකින් පහුරු ගෑවෙනව.

මම ගේ දිහාව බලාගෙන ගින්නේ පැතිරීමත් ගෙයි සැලැස්මත් හිතේ ඇඳගෙන හිතින්ම ගණිත ගැටලුවක් විසඳනව.


සියට හැත්තෑ පහක් ඉවරයි.....




ගින්න පටන් ගන්න ඇත්තෙ කුස්සියෙන්.
එක්කො අයන් එක.
මම අටට විතරත් කමිසයක් මැද්ද.
අයන් එකෙන් ගිනි ගත්ත නම් මේ වෙද්දි සෑහෙන විදුලි බිලක් එකතු වෙලා ඇද්ද?
අවුලක් නෑ..තව ටිකකින් විදුලි මීටරෙත් ගිනි ගනීවි.
කොම්පියුටරේ නම් ගන්න දෙයක් නැතිව ඇති.
හාඩ් ඩිස්ක් එක.

දැන් සියට අනූවයි..
ඉස්සරහ කාමරේ
මගේ පොත්, දිනපොත්, ලිපි ලේඛණ අයිඩෙන්ටිය, ලයිසම..

ගෙයි ගින්න පැතිරෙද්දි මගෙ හිතේ ගින්න ටික ටික නිවෙන්න පටන් අරන්......



දැන් වෙලාව කීයට විතර ඇද්ද?
ඔරලෝසුවත් ගිනිගන්න ඇති.
ෂෙහ්!
අවුලක් නෑ.

මම මාර ගහ අස්සෙන් මෑත් වෙලා කලුවරේම ගෙයි පිටිපස්ස දිහාවට බඩගානව. ගේ ඔක්කොම බිමට අලුවෙලා. පරණ වෙච්ච වෙසක් කූඩුවක් වගේ.

කරුවලේම පිටිපස්සෙ වැල අතගාල මම ඊයේ රෑ වනපු කලිසම තරමක් තෙත පිටින්ම ඇදගන්නව. එළිවෙන්න කලින් පුලුවන් තරම් දුරකට යන්න බලන්න ඕනෙ.
කොහොමද යන්නෙ?බස්එකේ? සල්ලි?..
පයින්ම යනව.
යන ගමන් කල්පනා කරනව.
ගිහින් හොයාගන්නව අලුත්ම පලාතක්. කවුරුත් නොදන්න පැත්තක්. හදාගන්නව අලුත් අයිඩෙන්ටියක්. අලුත් දවසක්..අලුත් මම..අලුත්....අලු...

නිශාන්ත

මම අලුගොඩේ පය පැටලිල වැටෙනව.
අලු කන්ද සමතලා වෙලා ඇඳක් හැදෙනව. හතරවටෙන් අලුවෙච්ච කලුවෙච්ච බිත්ති යළි ගොඩනැගෙනව. යථා තත්ත්වයට පත් වෙනව.

ඈ ඇඳ පැත්තට හිස බරකරල මගෙ නළලට හාද්දක් දෙනව..ඊළගට කාමරේ ෆෑන් එක දානව.
දාඩිය දාල හොදටම.
මොකද මහ දවාලෙ ඇස් දෙකත් බාගෙට ඇරගෙන...හීන දකිනවද?
ඈ අහනව.

හීන??

දීප්ති
ම්ම්..
මම හීනෙන් කියෙව්වද??


.......


ඇය මට විස්කි වීදුරුවක් වත් කරනව.
ඔයත් ගන්න
අද එපා..වයින් නැද්ද?
උයල ඉවරද?
තව ටිකයි..
අපරාදෙ පිටින් ඕඩර් කරන්න තිබ්බ.

ඔයාට අද දවස ගැන මොකද හිතෙන්නෙ?
ඇය වයින් වීදුරුව අතින් හුරතල් කරන ගමන් ඇදේ මං ඉන්න පැත්තට තවත් ළං වෙනව.

විශේෂයක් නෑ.
මම හිතනව.

ඒත් මම වෙන දෙයක් කියනව.

........................

 “ඇත්තටම.....?
මගෙ පිළිතුරට ඇගේ ඇස් දිළිහෙද්දි මම හතරවෙනි විස්කි වඩියත් කටට හලා ගන්නව.

........................
ඇය මොනවද කියනව. මට ඇහෙන්නෙ නෑ..

හිත ඇතුලෙන මහ සද්දයක්.
ඈත ඉඳන් එන කෝච්චියක් වගේ..
මගේ නහරවල් රේල් පීළි වගේ හෙල්ලුම් කනව.

මේ....මම ඔයාගේ කීවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් ද?
ඇය අහනව

දීප්ති
ම්ම්
කුස්සියෙ දොරවල් ජනෙල් ඔක්කොම වැහුවද?
මම ඒව ඇරියෙ නෑ.

..........................
..........................
...........................

මොකද්ද?

අපි ෆිල්ම් එකක් බලමුද?
ඇය අහනව
රොමෑන්ටික් මූවි එකක්?

ඔයා සෝ බලල තියනවද?
අපෝ මල ජරාව
ඈ කියනව.

ඔයා එහෙනම් ෆිල්ම් එකක් හොයන්න..මම ටොයිලට් එකට ගිහින් එන්නම්.
ඇය චිත්‍රපට තෝරන අතරෙ මම වැනි වැනී කුස්සියට රිංගනව.
දොර ජනෙල් සියල්ලම අගුලු දාලදැයි සැක හැර දැනගන්නව..
ගෑස් ලිප නිවලද බලනව.
පොඩි ගෑස් කාන්දුවක් හරි තිබ්බොත්?
සිගරට් කොටේටත් ඇවිලෙනව
බුම්.

ටැප් ඔක්කොම වහලද බලනව.
වහල තියන ඒවත් අයෙ අතින් තද කරනව.
අයන් එක තිබෙන තැනමදැයි සැක හැර දැනගන්නව.
අණතුරක සේයාව ටික ටික හිතෙන් පහවෙනව.

ඈත ඉඳන් ශබ්ද නගාගෙන ආපු කෝච්චිය නැවතුමකට ළඟාවෙනව...තාවකාලිකව උනත් සීරුවෙන්...

මම ඇ‍‍ඳේ ඇය ළඟින් ආයෙමත් වාඩිවෙනව
ඇය ප්‍රවෘත්ති බලන ගමන්. උද්ඝෝශකයො පිරිසක් කම්හලක් ඉදිරිපිට බෝඩ් ලෑලි උස්සගෙන කෑ ගහනව.
මම හිතින් උන්ව උන්ගෙ අකුලපු බෝඩ් ලෑලිත් එක්ක කම්හල ඇතුලට ගාල් කරනව..



ඇය පරණ පෙමක් එක්ක බැඳිච්ච අතීත කතාවක් කියන්න ප‍ටන් අරන්...

................



මම ඉලක්කමක් මතක නැති විස්කි වඩියක් කටට හලාගෙන ඇඳෙන් නැගිටිනව.
ඔයා දැන් ඔය කීවෙනි පාරටද ටොයිලට් යන්නෙ?
දීප්ති කේන්තියෙන් අහනව.

........



කොහෙද මේ ආපහු යන්නෙ?
ඉස්සරහ දොර වැහුවද බලන්න?
දැන් කී පාරක් ගියාද? ඔයාට පිස්සුද අනේ....? නැත්නම් වෙරි වැඩිද?

පිස්සුද?



දීප්ති දුහුල් නිදන ඇඳුමකට මාරු වෙලා විස්කි බෝතලේ මගේ අතින් උදුර ගන්නව.
අදට ඇති.
ඇය කියනව
මම අන්තිමට බීපු සිගරට් කොටේ නිවිලද හොයනව.

මොනවද හොයන්නෙ? මෙන්න මෙහෙ එන්න
ඇය ඇඳේ හාන්සි වෙලා මට කතා කරනව. මම ඈ ගාවින් ඇළ වෙනව.
මොකුත් නෑ
මම ඇගේ උරහිසට උඩින් අතක් දාල ඈව තුරුලු කරගන්නව. ඈව සිපගන්නව.
මගේ ඇස් පියවේගෙන එනව....

ගෙදර දොර ජනෙල් හෙමිහිට අගුලු පැන්නෙනව, මිදුලෙ වතුර කරාමයකින් වතුර ඔහේ ගලාගෙන යනව. සිගරට් කොටේකින් ඇඳ රෙද්දට ගිනි ඇවිලෙනව...
මම බයෙන් ත්‍රස්ත වෙලා ඇස් දෙක අරිනව

ඔයාට නිදිමතද අනේ?
දීප්ති මගේ හිස අතගානව.

නිදාගන්ඩෙපා...හීන දකින්ඩෙපා....
මගේ හිත කියනව...
නහරවැල් හෙල්ලුම් කාගෙන ආයෙත් ඈතින් කෝච්චියක් එනව.
අපි හීනයක් බලමු...ඔයාගෙ හීනයක්....
දීප්ති මහ හඩින් හිනාවෙනව...ඇගේ මූණ විකාර ස්වරූපයකට හැරෙනව..ඒ තුලින් දන්න නොදන්න මූණු සියගාණක් මතු වෙනව මැකෙනව....

විස්කි වීදුරුවක් ඇතුලෙ හඳක් පායල..හඳේ පිළිබිඹූවක්...මම අයිස් කැටයක් දාද්දි හඳ බිත්තර කහමදයක වෙලා කැළතෙනව...



දී...ප්ති
මම හීනෙන් කියවනවද?????



13 අදහස්:

Beetle at: 10/02/2011 11:25 AM said...

ගින්දර... ගිනි ගින්දර... :)

දුකා at: 10/02/2011 12:06 PM said...

සිරා . . .

අදට අවුරුද්දක්ද ? හෙ හෙ හේ . . .

තව පාරක් කියෙව්වොත් වෙන අදහසුත් එන්න ඉඩ තියෙයි . .

චමිල at: 10/02/2011 12:51 PM said...

කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවෙ. මේක මැක්සා... !!!

``` Outsider``` at: 10/02/2011 7:40 PM said...

තමන්ගෙ සිහින දරුණුනම් අනුන්ගෙ සිහිනයකට සම්මාදම් වෙන්න හිතෙනව. ඒත් අනුන්ගෙ සිහිනත් ඒ වගේමනම් මොකද කරන්නෙ.
නියමයි ලිවිල්ල..
රේවන් ගොඩක් කාලෙකින් නේද ලිව්වෙ. මොකද දැන් බ්ලොග් එපා වෙලාද?

දිල් at: 10/02/2011 9:26 PM said...

මගේ අම්මෝ...රේවන්ව දැක්ක කල්.....
ඇත්තමයි....ඔය දෙන්නගේ බ්ලොග් එකට කාලෙකට පස්සෙ එන්න ලැබීම සතුටක්...අපිව මතක ඇති නේද ?

හරි අපූරු කතාවක් නෙ කාලෙකට පස්සෙ ලියලා තියෙන්නේ

මුචලින්ද at: 10/02/2011 10:19 PM said...

හප්පා.. කැමතිම විදිහ..
නියමයි!


“දී...ප්ති”
“මම හීනෙන් කියවනවද?????”

Il mondo di una povera pazza at: 10/02/2011 10:20 PM said...

කාලෙකින් ලිපියක් දැක්කේ නෑ ඔයාගේ.
ඉඳලා හිටලා හරි ලියනවා නම් හරිම අගෙයි බෝ. කියවන්න දේවල් නැතිව වේලි වේලි ඉන්නේ....

Raven at: 10/03/2011 8:17 AM said...

බීට්ල්- එල. ස්තූතියි මචන් :)
දුකා- ස්තූතියි අයියා. අවුරුද්ද??
චමිල- කාලෙකින් තමයි බන්. එල :)
Outsider- එපාවීමක්ම නෙමෙයි. කාලෙකදි ලියන්න එපා වෙන ලෙඩක් කියනව මට. ස්තූතියි මචන්
දිල්- අපොයි මතකයි :)කාලෙකින්නම් තමයි. ස්තූතියි දිල්.
මුචා- එල මචන් :)
Il mondo- ලියන්න ඕනෙ අක්කෙ.කම්මැලිකම තමයි කේස් එක. ස්තූතියි :)

hare :-) at: 10/03/2011 11:14 AM said...
This comment has been removed by the author.
hare :-) at: 10/03/2011 11:16 AM said...

හොඳ තැනක් කියල එකක් හදාගන්නව. ආයෙම ඒක අප්සෙට් වෙනව. හැම දේකින්ම ගැලවිල ගියාම සේරම හරි කියල හිතාගෙන හිටියට ඒකත්... :-(

ireshasy at: 10/05/2011 12:07 PM said...

ඇවිලෙන ගේ දිහා නෙමෙයි. වටේ ගෙවල් දිහා.
මම අලුගොඩේ පය පැටලිල වැටෙනව.
මම හිතනව.
ඒත් මම වෙන දෙයක් කියනව.
නිදාගන්ඩෙපා...හීන දකින්ඩෙපා....
මගේ හිත කියනව...

අනර්ඝයි
හිතන්න ඉතිරිකරනවා ..ඔයා ලියන විදිය අපූරුයි!

සෝරෝ at: 10/24/2011 5:37 AM said...

මාස අටකට විතර පස්සේ...
එලම කිරී....

RanDil at: 10/16/2012 12:04 PM said...

හරිද මන්දා.........
මට මතක් වුනු එක,



වයලට්

දැන් අප එක වහලක් යටය
දරුවන් ද සිටී
එහෙත් නොඉවසුමත්
සීමාරහිත බවත්
සුඛාන්තයත්
වැඩිපුර හමුවන්නේ නැත
ලක්ස්ප්‍රේ ටින් වලින් වැහිලා නොඉවසුම
සමුපකාරයෙයි සීමා රහිත බව
ගෙවල් කුලිය ද - ලයිට් බිල ද සුඛාන්තය!
වයලට් ! මට සමාවෙන්න !
කන්තෝරුවේ දී මිසිස් ජුලියට්ට මා දැකීමත්
මට මිසිස් ජුලියට් ව දැකීමත්
මේ අතරතුර තෘප්තියක් වී තිබේ.

(ප්‍රේමකීර්ති ද අල්විස්)

Post a Comment

newer post older post