මනුරංග

ලිවුවේ Raven On 3:51 PM


ඡායාරූප ශිල්පය මට විනෝදාංශයකට වඩා එහා ගිය එකක්. ඒක හරියට පවතින මොහොතෙන්, කාලයෙන් සහ ලෝකයේ අස්ථිර පැවැත්මෙන් අංශුවක් මා තුළට උරා ගැනීමක්. මහ විසාල ගඟක් මොහොතකින් මවල පෙන්නල ආයෙත් හංඟගන්න හදන කුඩාම කුඩා දිය රැල්ලක් හොරාගැනීමක්. මගේ අස්ථිර පැවැත්ම සමඟ සොරාගත් දියරැල්ල අතිනත් අල්ලාගෙන ශුන්‍යත්වය කරා ගන ගමනක්.


සේයාරුවක් කියන්නෙ පවතින ලෝකය මගේ ලෝකයේ රේඛා වලින් සහ වර්ණ වලින් යළි පින්තාරු කිරීමක්. මේ රේඛා සහ වර්ණ උනත් කාලයත් එක්ක අලුත් නැමුම් සහ කැඬුම් බිඳුම් වලට ලක්වෙද්දි ඒව පැවතුන ලෝකයක නටඹුන් බවට පත්වෙලා මගෙන් ඈත්ව යනව.

මට ඕනෙ කලේ පවතින මොහොතෙ ඉඳන් අනාගතය දක්වා දිගහැරෙන අනන්ත සේයාරූ රැගත් සිතුවමක් පින්තාරු කරන්නයි. හැකිනම් හැම දිය රැල්ලක් තුළම තව තව කුඩා මොහොතවල් මවමින් ඉන්න මිසක සේයාරුවක් තුළ අතීතයේ නටඹුන් සොයන්න නෙමෙයි.

මං හිටියෙ ටිකෙන් ටික බොහොම හිමීට නමුත් ඒ විදිහට ලෝකය පින්තාරු කරමින්.

මනුරංගය...පරය.


මිනිහ ආවෙ ඒ වගේ වෙලාවක.
මිනිහ නොහිටින්න අද ඒ චිත්‍රය බොහෝ දුරට සම්පූර්ණයි.
ඒ හින්දම අද මම මිනිහව මරණව.

මනුරංගය රැකියාව හැටියට කලේ ත්‍රීවීල් එලවන එක. කොයි වෙලේත් කටේ හපේ ගහගත්ත ගමන්මයි. මිනිහගෙ අම්ම කලේ බුලත් විට වෙළදාම.


මනුරංගය.
විට ගෑණිගෙ පුතා.
ගංජකාරය


මිනිහ උදේ හවා මගෙ පින්තාරුව උඩින් යනව. දුම් දාගෙන...ටයර්, තෙල් පාරවල් ඇඳගෙන බුළත් කෙළ විද විද.


මිනිහ මගේ පින්තාරුවට ඇතුලත් වෙලා නොහිටියත් මිනිහ හැමදාම ඒ අහල පහල ගැවසෙමින්, තාවර වෙමින් ඉඳල තියන වගක් පහු උන දේවල් කල්පනා කර‍ල බලද්දි මට දැන් හිතෙනව.



ශාන්තිනී

ඉඳිආප්ප මේරිගෙ දුව.
කඩේ යන ගමන්, පන්ති යන ගමන් ඉඳහිට හිනාවක් හලාගෙන යන ශාන්තිනී.


දිය රැල්ලකට වඩා ලාලිත්‍යයක් ඇති සඟවාගැනුම් සහ මැවුම් දහසක් සමගින් ඈ පවතින ලෝකයටද ඊටත් ඉහලින් පින්තාරු කල මගේ ලෝකයටද උඩින් අලුත් වර්ණ සිතුවමක් මවද්දි. කාලයේ ගැබ දරාගෙන ඉන්න තවත් ලාලිත්‍යමය සඟවාගැනුම් සහ මැවීම් වල කෝටියක් සිහිනයන් අතර මං අතරමං උනා. ඒවායේ වර්ණ වලින් රේඛා හැඩතල වලින් මගේ ඇස් අන්ධ උන ගානයි.


මම වහාම අහස අලුතින් සේයාරුවට නඟන්න ගත්ත. ඒ තුළින් නැවත ලෝකය පින්තාරු කරන්න ඇරඹුවා. පියාපත් මිස දෙපා අවැසි නැති ගානට ඒ අහසෙම සැරිසැරුවා. අතරමං වෙමින් සහ මාවම සොයමින්. වෙනස්ම අවකාෂයක සහ කාලයක පැවතුන දේවල් වටා කක්ෂ ගත වෙමින්. 


ශාන්තිනී..ඔයා මොකද කියන්නෙ.?


දවසක් මම ඇහුව. ඇගෙන්.


ආනේ... මම මනුරංග අයියට වචනයක් දීල ඉවරනෙ.

 
මනුරංගය බුලත් කෙළ හලාගෙන, තෙල් දුම් පිඹ පිඹ මගේ චිත්‍රය කාබාසිනිය කරල දාන්න ගත්තෙ එදා පටන්. මිනිහ මගෙ චිත්‍රය උඩට නැඟල වැඩි වැඩියෙන් ඒක උඩ ගැවසෙන්න පටන් ගත්ත.

දවසක් මිනිහ ශාන්තිනීවත් අතින් ඇදගෙන බස්හෝල්ට් එකේ මඩවලකට උඩින් පැන්න. 

චිරිස් ගාල හතර වටේට මඩ විසි උනා.

තව දවසක් දෙන්න ත්‍රීවීල් එකේම ජෝඩු දාල තානායම පැත්තට කපනව මම දැක්ක. ටයර් පාරවල් වලට බිම හෑරුණා.

මනුරංගය ටිකෙන් ටික මගේ අනන්ත අපරිමාණ වූ සේයාරූ සිතුවම බිඳෙන් බිඳ බොඳ කරන්න අපවිත්‍ර කරන්න පටන්ගෙන ඇතිවා මදිවට මිනිහ ඒක‍ට උඩින් මිනිහටම ආවේනික උන ශෛලියකින් යුතු චිත්‍රයක් මවන්න පටන් ගෙන ඇති වග ඒ අතරෙ මට වැටහෙන්න අරන් තිබුණා.


පාරවල් වල වැඩි වැඩියෙන් බුලත් කෙළ පැල්ලම්.

වාතය එන්න එන්න දුෂ්‍ය වෙනව.

2012 ලෝක විනාශය එන වගක් රේඩියෝවක රැවු දෙනව.


මම ඇවිද ඇවිද හිටියෙ මනුරංගය විසින් සිතුවමට නඟපු පාරවල් උඩ. මම හුස්ම ගත්තෙ මිනිහගෙ ත්‍රීවීලරේ දුම් පිටකරපු වාතය.

මට ඕන කලා ලෝක විනාශය වලක්ක ගන්න. ‍නැතිවෙච්ච වර්ණ සහ රේඛා අලුතින් හොයාගන්න. අලුත් වර්ණ ගන්නල ලෝකෙ පිරිසිදු කරන්න.

කල්පනාව පිට ඇවිදල පාරෙ වාහනේකට යටවෙන්න ගිය දවසක ගෙදර දුවගෙන ගිහින් මම ආයෙත් කැමරාව අතට ගත්ත...

මෑනුව...කල්පනා කලා.

ආයෙත් ලාච්චුවට දැම්ම.

ඇරිය වෙන ලාච්චුවක්.

ගත්ත පිස්තෝලෙ.

අතපත ගාල බැලුව. කානුවට ඇහැ තියල බැලුව.

පිස්තෝලෙන් කෙරෙන්නෙ පිටකිරීමක්. හරියට ඡායාරූපයකින් කෙරෙන විරුද්ධ ක්‍රියාව වගේ. මට හිතුන.

ඒ වෙලාවෙ මට ඕනෙ කලේ ඒහා සමාන දෙයක් වග මම මටම තේරුම් කරල දුන්න.

හැඟීමක්, කෝපයක් ද්වේෂයක්. පිට කිරීමක් එක්ක සියල්ල නැවත සැකසීමේ බලාපොරොත්තුවක්.  පිස්තෝලෙත් හරියට කවියක් වගේ කියල හිතිල එවෙලෙ මට හිනාවකුත් ගියා.

මට ඕනැ කලේ මනුරංගය කැත කරමින්, මගේ ඇස් වලට පේන්න ලෝකයට උඩින් අඳිමින් උන්න විකෘති චිත්‍රය කැබලි වලට කඩන්න. බිම වට්ටා දුහුවිලි බවට පත් කරල ඈත අභ්‍යවකාශෙට පාවෙලා යන්න අරින්න.


ඊට පස්සෙ පිස්තෝලෙ හංඟල කැමරාව ආයෙත් අතට ගන්න. අලුත් මොහොතවල් සොයාගන්න. ඒවායේ වර්ණ සහ රේඛා තුළින් සදාකාලිකත්වයක් සොයන්න.



 *******

මම පාරට පැනල මනුරංගයගෙ ත්‍රීවීල් එකට අත දැම්ම.
මිනිහ හිනාවක් දාගෙනම ගෙවල් ඉස්සරහින් ත්‍රීවීලරේ කපල නැවැත්තුව

සර්..කොහාටද?


කොටුවට යන්න. බෑග් වගයක් තියනව. පොඩ්ඩක් උදවුවක් දෙනවද මේකට දා ගන්න.


මිනිහ මගේ පස්සෙන් ‍ගේ ඇතුලටම එද්දි මම හිත යටින් හිනා උනා මගේ සැලැස්මෙ සාර්ථකත්වය ගැන හිතල.

බඩු හොයන මුවාවෙන් මම ලාච්චුව ඇදල ගත්ත පිස්තෝලෙ. සයිලන්සරයකුත් හයි කරපු.


ලෑස්තිවෙයන් මැරෙන්න.


මම පිස්තෝල මෑනුව..කොකා ගැස්සුව.

වෙඩි පිට උනේ නැහැ.

මනුරංගය එලියට පැන්න.


සැලැස්මේ වැදගත්ම හරිය හොඳටම වැදිලා තිබුණත්. මිනිහගෙ පස්සෙන් එළවාගෙන යාම හැර වෙන කරන්න දෙයක් නැති බවට අදහසක් මගෙ ඔලුව හරහා විදුලියක් වගේ ඇදීගෙන ගියා. මරණයේ සදාකාලිත්වය ජීවිතයේ පැවැත්මට වඩා වැදගත් කමක් උසුලපු තප්පරයක මම මනුරංගය පිටිපස්සෙන් එළවමින් හිටිය.


ඩෝං!


මගේ වෙඩි පහරින් මනුරංගය වත්ත මායිමේම ඇදගෙන වැටුන. මිනිහ ඇදවැටෙන වේගෙට අන්දර වැටිය සරස් ගෑව.

සයිලන්සරය තිබියදී අනපේක්ෂිතව පිටවූ වෙඩි සද්දය ගැනවත්. සෙනඟ ගැවසෙන මහ දවාල ගැනවත් අවදියෙන් තොරව මම මිනිහ වැටුණ දිහාවටම දුවගෙන ගියා.


මනුරංගය වැටිල. මැරිල. කට ඇරිල. ඇස් දෙක අහස දිහාවට යොමුවෙලා. මිනිහගෙ බැල්ම යොමුවෙලා තියන ඉසවුවට උඩින් කුරුල්ලෙක් පියාඹගෙන යනව.

නිශ්ශබ්දතාවය ඇතුලෙ හැමදෙයක්ම ශබ්ද නඟන්න පටන්ගෙන ඇති වගක් මට හිතෙනව. සමනළයෙක් සට සට ගාල මගේ කණ අසලින් පියාපත් ගහගෙන යනව මට ඇහෙනව. 

තණකොළ ගොල්ල මනුරංගයගෙ ලේ වලින් පෙඟීගෙන අලුත් වර්ණයක් ගන්න තතනනව.

මම ගෙට දුවගෙන යනව. අරිනව ලාච්චුව.

කැමරාව අරගෙන ආයෙත් මිදුලට දුවගෙන එනව.

නිශ්චලතාවය ඇතුලෙ හැම දෙයක්ම සසළ වෙන්නටත් රැළි නඟන්නටත් පටන් ගෙන ඇතැයි පෙනෙන මොහොතක අතරමං වෙමින්, පවතින ලෝකය සහ මගේ ලෝකය දෙකක් නොව එකක්ම උන මොහොතක මම නොනවත්වා පින්තූර ගන්නව.

කදුලු වලින් බොඳවෙන ඇස් අතකින් පිහදාන ගමන්ම මම පින්තූර ගන්නව.

තණකොළ ගොල්ල, ලේ , මනුරංගයගෙ ඇස් හැමදෙයක්ම....

ඈතින් පොලිස් නළා හඬක් ඇහෙනව..



මම දිගටම පින්තූර ගන්නව..











13 Responses to 'මනුරංග'

  1. nimanthi said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298205970498#c6260413990957774357'> February 20, 2011 6:16 PM

    හ්ම්ම්ම්ම්ම්ම්ම්

     

  2. hare :-) said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298211862389#c3513189578457509028'> February 20, 2011 7:54 PM

    තමන් අඳින චිත්‍රය වෙන මිනිහෙක් බොහොම කුරිරු විධියට විනාශ කරල දාද්දි ඒක දරාගන්න අමාරුයි තමයි... පොලිසීය සහ ප්‍රවෘත්ති නැති ශිෂ්ඨ (පුහ්!) වෙලත් නැති ලෝකෙක මේක ස්වභාවික වරණය. ඒත් මේ කතාව නම් සති ගාණක් විකුණන්න පුළුවන් ප්‍රවෘත්තියක් වෙයි...

     

  3. http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298255430775#c5005208262328979300'> February 21, 2011 8:00 AM

    මට මුලින් හිතුනා මම කැමතිම මාතෘකාව කතා කරන්න යනවද කියලත්. ඒත් මේක ඊටත් වඩා සිරා! මොනවා කියන්නද මටත් ආසා හිතුන්නා මනුරංගයගේ මිනියේ ෆොටෝ එක ගන්න. ඒක හරිම ලස්සන වෙන්න තිබ්බා. අන්දර වැටට හේත්තු වෙලා තියෙන මිනිය වටේට කොල පාට තණ කොල ගොල්ලේ රතු බින්දු ටිකක් තියෙද්දි. නියම කතාව!

     

  4. ``` Outsider``` said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298259287068#c4459832048174267483'> February 21, 2011 9:04 AM

    අපේ චිත්‍ර තව කෙනෙක් විනාශ කරනව යම් මොහොතක. නැත්නම් අපි අනුන්ගෙ චිත්‍ර විනාශ කරමින් ඉන්නව. ඒත් දෙවනුවට කියපු දේ අපිට එතරම් සංවේදී නෑ.
    සමහර වෙලාවට අපිට මවාපාපු චිත්‍ර අමු අමුවෙ විනාශ කරනව බලවත් කොටසක් විසින්. අපි එතකොට කඳුඵ පිරුණු ඇස් වලින් ඒව ඡායාරූප ගත කරනව. ඒක ජීවිතේ හැටි වෙන්න ඇති.

    නියමයි කතාව....

     

  5. Raven said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298437349154#c5478532727890710219'> February 23, 2011 10:32 AM

    නිමන්ති අක්කා- හ්ම් හ්ම්ම්??

    හරේ- එහෙම තමයි බන් අශිෂ්ට දේවල් ශිෂ්ට සමාජෙ කම්පනය කරද්දි ඒව පෙන්වන එක තමයි ප්‍රවෘත්තියකින් කෙරෙන්න ඕනෙ :P. උන්ට තියෙන්නෙ කිඹුල තලගොයා කරල පෙන්නන්න විතරයි. අපේ බඩට කොහොමත් යන බව උන් දන්නවනෙ.

    මුචා- ජීවිතේ කියන්නෙත් මරණ ගොඩක් මචන්. මරණයේ සුන්දරත්වයක් නොදැක ජීවිතේ විඳින්න අමාරුයි.
    ස්තූතියි කමෙන්ටුවට මචන්.

    අවුට්සයිඩර්- අපිට අනුව අපේ චිත්‍රය කලාත්මක සහ ගුණාත්මක අතින් වැඩි නිසා දෙවැනි අවස්ථාව අපිට පේන්නෙ නෑ.
    ස්තූතියි මචන් උඹටත්.

     

  6. LishWish said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298564907121#c3876069713491491802'> February 24, 2011 9:58 PM

    මේක හරි වෙනස් මචන් මට හරි ආසයි මේ මනුස්සයා සින්තූර ගහනවා බලන්න..! ඒකපාර්ශ්විකව ලියවෙච්චි නිසා අමුතුම එකක් තියෙනවා වගේ දැනෙනවා මචන්.., ඊටත් වඩා මම මේකේ තියෙන අකාල ගතියට බොහෝම කැමතියි..!
    ජය!!

     

  7. Raven said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298616615789#c2066081667052707962'> February 25, 2011 12:20 PM

    රස වින්දා නම් ඒක සතුටක් මචන්. බොහොම ස්තූතියි උඹට.
    ජය!

     

  8. Charmi said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298655739018#c7017765291090124199'> February 25, 2011 11:12 PM

    මේක කියමයි....!!!
    මං කැමතිම දෙයක්.... කැමතිම විදිහට....

     

  9. Raven said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1298818508786#c6857808812322816033'> February 27, 2011 8:25 PM

    charmi- ස්තූතියි මිත්‍රයා :)

     

  10. http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1299817056597#c7673988948434780912'> March 11, 2011 9:47 AM

    ඔන්න ඕකට දෙන අරථ දැක්වීම මොකද්ද කියන එක මට තාම අවුලක්. ඒක ඊර්ෂයාව නෙමෙයි ඒක නොවෙන්න හේතුවකුත් නෑ. අවස්ථා ගැලපීම වර්ණ එක්ක කතාවේ ගලායාම. කතාව අපිට එදිනෙදා පත්තරේ අහන්න දකින්න තියෙන කතාවක් වෙන්න පුළුවන් ඒත් එතනින් එහාට ගිය ඒක පාර්ශ්වික වුන යථාර්තයක් තියෙනවා නේද කියන එක ලස්සනට පෙන්නලා තියෙනවා. ඇත්තටම මිනීමරුවෙක්ට වුනත් තමන්ගේ කතාවක් තියෙනවා නේද? ඒ කතාව ඇතුලේ තමන්ට සාධාරණයක් තියෙනවා නේද? සාපේක්ෂතාවය. නියමයි මචං..

     

  11. Beetle said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1313145914130#c4156013715935924229'> August 12, 2011 4:15 PM

    සිහින සෙවනැළි ගැන කලින් දැනගෙන නොසිටි එක ගැන දුක්වෙන ගමන්, ඔන්න එල්ල ගත්තා රීඩර් එකේ උඩින්ම... :)

     

  12. http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1313147078156#c7372923395305232017'> August 12, 2011 4:34 PM

    අඩේ රේවන්. උඹලා දිගටම ලියලා නේද? මම මේ හෙන කාලෙකින් ආවෙ බන්. අදත් ඉතින් හැමදාම කියන වචන ටික තමයි කියන්න වෙන්නේ. සුපිරියි මචන්.

     

  13. udaraa said...
    http://sihinasewanali.blogspot.com/2011/02/blog-post_20.html?showComment=1320828189395#c8869781814536772023'> November 9, 2011 2:13 PM

    niyamai

     

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...