About

Related Posts Plugin for WordPress, Blogger...

පරණ ගහක්



7 අදහස්


නිල් අහසටත් කතිර ගසාගෙන පාට කොඩිවැල් වලින් ලයිට් කණුත් ගසුත් යාවෙන්න පටන්ගෙන තිබ්බ උදයක උදේ පත්තරයත් පාන් රාත්තල් දෙකත් මල්ලක ඔබාගෙන උඩ බලාගෙන ආපු විමලා නෝනගෙ ඇස් දෙක හිටිගමන නතර උනේ වත්තෙ මායිමේ තියන කොස්ගහෙන් පාරට බර වෙලා තිබුණ අත්තක් දිහාවෙ.


කොඩි වැලකුත් අතේ තියාගෙන රතු රංජියා අත්ත දිගේ බඩගානව.

ඒයි කොලුවො
 
විමල නෝනගෙ කටහඬින් අත්ත උඩ හිටපු රතු රංජිය විතරක් නෙමේ ගහට ඉනිමගකුත් හේත්තු කරන් බිම උන්නු ජස්ටියත්,ඩිලන්තත් හැරිල බැලුව.

ඔය ග‍හේ කොඩිවැල් එල්ලනව නෙමෙයි

ඒ මොකෝ හාමිනේ?”
රංජිය අත්ත උඩ ඉගෙන කොඩිවැල අල්ලන් උන්නු අතින්ම නළලත් පිස දමමින් ඇහුව.

මේ සංඛ මහත්තයගෙ...
පහල හිටපු ජස්ටිය කියන්න ගත්ත විතරයි

හරි හරි ළමයිනේ. ඒ උනත් මේ ගහ කපන්න ඉන්නෙ ඒකයි.
 කියල විමල නෝන ඉස්සර උනා.

දිගටම ඇදීගෙන ආපු කතිරෙ හැඩේ මහ කොස් ගහ හරියෙන් ටිකක් විතර බිඳිල ආපහු දිගටම ඇදීගෙන ගියා.

ඒ මීට සතියකට ඉස්සර.



අනේ අම්මෙ තාත්තට ලැජ්ජ නැද්ද මේ එක එක්කෙනාගෙ ස්ටේජ් වල කතාකරන්න.
විමල නෝනගෙ ලේලි චන්දිමා ගෙට ගොඩ උනේ නෝක්කාඩු කියාගෙන.

තමන්ගෙ තැන තියාගෙන ගෙදරට වෙලා හිටියනම් ඉවරනෙ

ගමේ ළමයෙක්නෙ දරුවො. බෑ කියන්න බෑනෙ

විමලා නෝන කිවුවෙ ලේලිගෙ නෝක්කාඩුවෙන් මිදෙන්න වත්ත දිහාවට යමින් ගමන්.

ඔය කාට කාටත් තාත්තව මතක් වෙන්නෙ ඡන්ද කාලෙට තමයි.
ඒ පාර ගේ ඇතුලෙ ඉන් ලොකු දුවගෙ කටහඩත් විමල නෝනගෙ පස්සෙන් ටිකක් දුර ආව.

.......හිතවත් ගම්වැසි සොයුරු සොයුරියනි.... අපට දැන් ඇමතුමක් ආව නොබෝ වෙලාවකින් මන්ත්‍රීතුමා මේ රැස්වීම අමතන්න මෙහි පැමිණෙනව කියල. පමාව ගැන අප සමාව අයදින ගමන්...... එතෙක් ඔබ ඇමතීමට අප ප්‍රදේශයේ කාගේත් හිතාදරයට, බුහුමනට පත් සාමවිනිසුරු එස්. චන්ද්‍රරත්න මහතාට මා ‍ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරනව....

මොහොතකින් ඇහෙන්න යන තම ස්වාමි පුරුෂයගෙ කතාව වඩාත් හොඳින් අහගන්න කියල හිතාගෙන විමල නෝන මහ කොස් ගහේ කත් පහුකරගෙන ඇවිත් වැට පැත්තට බර උනා.

....... ප්‍රදේශවාසීන්ගෙන් අවසරයි.... මදක් අසනීප තත්ත්වයෙන් පසුවූවත්....ඔබ හමුවේ.... වචන ස්වල්පයක් කතා කරන්න මා මෙහි පැමිණියේ........ කරුණු කිහිපයක් පෙරදැරි කරගෙනයි....ඉන් එකක් නම් මෙවර මැතිවරණයට..... අප ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණ අප කවුරුත් දන්නා හඳුනන සංඛ තරුණ මහතා.....

අසල ලයිට් කණුවක එල්ලල තිබ්බ ලවුඩ් ස්පීකරය දිගේ ඇදී එන චන්ද්‍රරත්න මහත්තයගෙ කටහඩ විමලා නෝනට ඇහුණෙ වෙන කවරදාකටත් වඩා දුර්වල විදිහට.

තමා තරුණය කාලෙ පටන් සහය දක්වපු පක්ෂෙ ගමේ සමිති සහ රැස්වීම් වලට බොහෝවිට ආරම්භක කතාව පවත්වන්න ලැබෙන්නෙ චන්ද්‍රරත්න මහත්තයටයි. ඒ වගේ දේකට මහත්තය සහභාගි උනේ යම්කිසි ආඩම්බර කමක් මුසු උන සතුටකින්. ඒ දේවල් ගැන විමල නෝනගෙ වැඩි මනාපයක් නොතිබුණත් තම ස්වාමි පුරුෂය දේශපාලනේ බදාගෙන තානාන්තර ‍හෝ මිලමුදල් හරිහම්බ කරන්න නොපෙළඹුන බව විමල නෝන දැනන් හිටිය.

මෙවර දරුවන්ගෙ දැඩි විරුද්ධත්වය මැද උනත් ගමේ අපේක්ෂකයට සහය දක්වන්න වේදිකාවට නගින්න චන්ද්‍රරත්න මහත්තය ගත් තීරණයට විමල නෝන විරුද්ධ නොවුනෙ ස්වාමිය ගැන තිබුණ ඒ ගෞරවය නිසාමයි.

කරුණු දැක්වීම් සමග කෙරෙන කතාව හැමදාකමත් වගේ පැහැදිළිව කෙරුණත්  සිය ස්වාමි පුරුෂයගෙ ජවය සිදී මහලුව දුර්වලව ගිය කටහඩ විමලා නෝනව හොටම කම්පනයකට පත් කරලයි තිබුණෙ.

හාමිනේ..එහෙනම් මම අනිද්දට එනව අර වැඩේට.

ඡන්ද පෝස්ටර් වගයක් කිහිලි ගන්නාගෙන තව පිරිසක් සමගින් ගමන් කරන ගමන් රතු රංජිය කියාගෙන ගියේ ඒ අතරෙමයි.

මහ කොස් කට අත තියාගෙන ඉහල බලපු විමල නෝනට

හපරාදෙ..කොච්චරනම් පරණ ගහක්ද

කියල හීල්ලුනා.

ඒ මීට දවස් පහකට උඩදි.



මහත්තයනං කීයටවත් කැමති නැහැ මේ ගහ කපනවට

ලොකු පුතාගෙ අලුත් ගේ හදන්න

ඒත් ඉතින් මක් කරන්නද තාප්පෙ වැඩේට ගහත් එක්ක බෑනෙ

ළමයින්ගෙ ආසාව

හනෙ හප්පේ....

විමල නෝන තනියම හූල්ල හූල්ල කියවද්දි රතු රංජිය හිටියෙ මහ කොස් ගහ වට පියවර මැන මැන. කතාවක් නැතිවම දෙවැනි වටෙත් කැරකුණ රංජියා බීඩි කොටේ බිම දැම්මා.

එහෙනම් මං ප්ලේන්ටියක් හෙම බීල එන්නම් නෝනෙ ගහ කපන්ඩ.

මට රුපියල් පණහක් දෙන්ඩ. උදේට කාලත් නෑ තාම.

විමල නෝනෙ ගෙට ගියේ පසුම්බිය ගන්න.

චන්ද්‍රරත්න මහත්තය හතරගාතෙ දාල සාලෙ බිම වැටිල ඉන්නව දැක්කෙ එවෙලෙ.

රංජියෝ මෙහෙ වරෝ......

කකුල පණ නැතිවෙලා වැටෙන්න ඔන්න මෙන්න තියල විමල නෝන පුටු අත‍ අල්ල ගත්තෙ එහෙම කෑ ගසාගෙන.

ඒ මීට දවස් තුනකට කලින්.



මහත්තය පක්ෂෙ හොද කණුවක්. කවදාවත් හෙල්ලුනේ නැහැ....

රංජිය පාලම් කොඩියෙ ලණුපොට කොස් අත්තෙ එල්ලන ගමන් පහල ඉන්න ජස්ටියට කියනව.

පක්ෂ විපක්ෂ බේදයක් නැතිව කී දාහක් නම් ඇවිත් ගියාද. මන්ත්‍රීතුමාම දවස් දෙකක් ආව.

අන්න මිනිස්සු

කවුද?
ජස්ටිය අහනව.

ජස්ටිය‍ගෙ ප්‍රශ්නෙ රංජියට ඇහෙන්නෙ නෑ. මිනිහ ඉන්නෙ බිමට බැහැපු ගමන් කොස් ගහ දිහා බලාගෙන.

එදා මම මේකට ගහන්න පොරොව ඉස්සුව විතරයි...වැහ්!
කියල රංජිය බොරුවක් ඇද බෑව.

ඒ මීට දවසකට ඉස්සෙල්ල.



විමල නෝන ඒ දවස් කීපය ගතකලේ හො සිහි කල්පනාවකින් නෙමෙයි.

අප කාටත් අතිශය කණගාටුදායක අවස්ථාවක් මේක.....

සංඛ මහත්තයගෙ හැඟීම්බර කතාව හාත්පස සිසාරා රැවු දෙනව.

අවමඟුල් පෙරහැර පිටත් වෙන්න පටන් ගන්නව.

මහ කොස්ගහ ගාවින් පාරට බහිද්දි විමල නෝන ලොකු පුතාගෙ ඇට වාරු වෙනව.

සාමවිනිසුරු එස්. චන්ද්‍රරත්න මහතාට නිවන් සැප ‍ලැබේවා!

අදිසි සුළං පාරකින් පාළං කොඩිය සට සට ගාල වෙවුලනව.

කොස් අත්තෙ කොනකින් ගැටගහපු සුදු කොඩි වැලක් පාට කොඩිවැල් ගොන්න දිහාවට ඇදිල තියනව විමල නෝන දකිනව.





7 අදහස්:

``` Outsider``` at: 2/14/2011 9:50 AM said...

නියමයිනෙ. අද ටිකක් වෙනස් විදියක කතාවක් ලියවෙලා තියෙන්නෙ. ‍
ඒත් මෙහි සන්දර්භය ගැන අදහස් දක්වන්න අමාරුයි. ඇයි දන්නෙ නෑ කිසිම හැඟීමක් එන්නෙ නෑ. දේශපාලන විෂය සම්බන්ධ වෙන නිසා වෙන්න ඇති.

මුදියන්සේ at: 2/14/2011 10:08 PM said...

මරු වෙනසක්

hare :-) at: 2/15/2011 1:56 AM said...

මේකෙ වාක්‍යයෙන් වාක්‍යයට හිතන්න දේවල් අම්බානක... නිල් අහසට කතිර ගැසීමේ ඉඳන් අන්තිම දක්වාම... කොස් ගහේ ඉරණම දැනගන්න අන්තිම වාකයය අනිත් පැත්තට කියවන්න වෙනව. පාට කොඩිවැල් ගොන්න දිහාවෙන් ඇදිල ආපු සුදු කොඩි වැලක් කොස් ගහේ දැවටිල...

මරේ මරු කියල කියන්න ඕන නෑ... ඒක උඹේ නිර්මාණ හැම එකකදීම මම default කියන දෙයක්නේ... ;-)

Anonymous at: 2/15/2011 8:18 AM said...

Ane hare butter ganna nam one ne. mewa dan kiyawanne ne kawruth.

sugath at: 2/15/2011 11:33 AM said...

ඇනෝනිමස් - මේවා කියවන්නෙ නෑ කියා ඔබ කියන දේ මට නොවැටහේ. කමෙන්ටුවක් නොදැම්මද දැන් කියවීමට ඉතිරිව ඇත්තේ මේවා පමණි. මෙගා නාට්‍ය රෑපවාහිනියට කෙලවූවාසේ එදිනෙදා ජීවිතේ වැල්වටාරම් පමණක් ඇති බ්ලොග් රාශියක් අතර කියවීමට නිර්මාණාත්මක දේ ඇති අල්ප බ්ලොග් අතර එකකි මෙය. ඔබට මෙය තේරුම්ගැනීමට ඇති නොහැකියාව ඔබේ ගැටළුවකි. එයට නිර්මාණකරුවා පලි නැත.

රේවන් ඔබ නොසැලී ලියන්න. කියවීමට එන පිරිස ගැන ඔබ දන්නවා ඇත.

hare :-) at: 2/15/2011 1:37 PM said...

හෙ හේ... අනේ ඇනෝ මචෝ මට රේවන්ට බටර් ගාන්නවත් ඌට මට කියල බටර් ගාගන්නවත් උවමනාවක් නෑ... කමෙන්ට් එකක් දාද්දි ඒකට පෝස්ට් එක ගැන අදහස් වගේම ලියපු මනුස්සය ගැන අපට තියෙන දැනීම හරහා හිතට එන අදහසුත් එකට මුසු වෙනව. ඒක නොදන්න එක අර සුගත් කියනව වගේ ඔබේ ගැටළුවකි. එයට කමෙන්ට්කරුවා පලි නැත.... :D

Raven at: 2/18/2011 1:36 PM said...

සියල්ලන්ටම ස්තූතියි අදහස් දැක්වීම් වලට සහ දිරිමත් කිරීමට. :)

@ඇනෝ- කියවීම විවිධාකාරයි.
ලිපිය කියවීම
ලියන්නාව කියවීම
ලියමන සහ ලියන්නා තුළින් තමන්ව කියවාගැනීමට තැත්කිරීම.
මේ ක්‍රියාවලිය ඇතුලෙ පුද්ගලයාට සාපේක්ෂව වෙනස් අදහස් ඇතිවීම සාමාන්‍යයි.

Post a Comment

newer post older post