
'ජීවිතේ උගුලක්' ඔහු කීය.
සුදු පෙණ නංවමින් ගල් කුළු අතරට වන් දිය කඳ ගල් මතු පිට සෝදා දමා යලිත් මුහුදට එක්විය.
' ඔව්... ජීවිතේ ලොකු උගුලක්... පුංචි පුංචි උගුල් ගොඩකින් හැදිච්ච ලොකු උගුලක්...' දඟ කරන කෙහෙරැල් වලට අත්වැල් අල්ලන සුළඟට මගේ කට හඬද මුසු විණි.
'හිතිල නැද්ද කවදාවත් අපි කාගෙ හරි සෙල්ලමක ඉත්තො කියල, අපි කරන කියන හැම දෙයක්ම කවුරු හරි බලන් ඉන්නව කියල, මං කියන්නෙ මැවුම්වාදය ගැන නෙවෙයි.... ඒත් අපෙ ජීවිත වල ඊළඟ මොහොත අපි අතේ නැහැ කියල' මම කවදත් ප්‍රිය කල නිවුණු සන්සුන් කටහඬ වාතලය කපාවිත් මගේ දෙසවන පුරවාලයි.
'නොහිතෙනවත් නෙවෙයි.... හිතෙනව... අපේ පාලනයකින් තොරවම ජීවිතේ ගහගෙන යද්දි එහෙම දැනෙනව..මං පුංචි කාලෙ හිතන් හිටිය අර ග්‍රීක දේව කථා වල වගේ අපි ඉන්නෙ යෝධයෙක්ගෙ අතෙ තියෙන ලෝකයක් උඩ කියල...පොත් පත් කියවද්දි , ජීවිතේ දකින්න ආගම දහම හුරු කරගනිද්දි හැම දෙයක් දිහාම පස්සෙ බැලුවෙ ඒ විදිහට....... ඒත් කාලයත් එක්කම එක දෙයක් අවබෝධ වුනා..... තේරුම් ගත්ත තනියම හිතලම....
ජීවිතේට ආචාර්ය මහාචාර්යවරු ලිවුව පොත් පත් වල තියරි හරියන්නෙ නෑ කියල....... ජීවත් වෙද්දි ප්‍රශ්න එද්දි ඒවයෙ තියෙන තියරි අදාල නැහැ කියල... ආගම වුනත් එහෙමයි කියල හිතුන. ඒත් ඒ අදහස් තේරුම් ගන්න කෙනෙක් මට මේ වෙනකම් හම්බෙලා තිබුණෙ නෑ......'
මා කියූවක් ඔහුට හැඟුනාදැයි විමසීමට මෙන් මම නෙත් කොනින් ඔහු දෙස බැලීමි. සිහින් තොල් අග අපූරු සිනහවක් සිත්තම් වී තිබිණි.
'ආගම වුනත් එහෙමයි කිවුවෙ? ආගම දහමෙ තියෙන තියරි ගැනද?' ගලක් මත සිටින කක්කුට්ටෙක් හා කෝටු කැබැල්ලකින් සෙල්ලම් කරමින්ම ඔහු පැනයක් නැඟුවේය.
'හ්ම්ම්... ඔව්...ජීවිතේට අදාල වන දේවල් වගෙම අදාල නොවන කොයි තරම් දේවල් තියෙනවද ඒවගෙත්....'
'ඇත්ත.... ඔයා හිතන දේ මට දැනෙනව.. ඒත් ඒ ගැන කථා කරන්න අපිට වෙලා නැති වෙයි නේද? ඒක ලොකු මාතෘකාවක්....'
කක්කුටු සෙල්ලම ඇති වුන ඔහු කෝටුව ගලපර අතරට විසිකරමින්ම මදෙසබැලීය. කොයියම්ම දෙයක වුව දිගු වේලාවක් නිරතවීමේ හැකියාවක් ඔහු තුල කවදත් නොවීය.
'එහෙනම් ඒක අල්ලල දාමු....' ඔහුද මමද සිනාසුනෙමු. අප අසල රේල් පාර දිග කාර්යාලය නිමවී කඩිමුඩි ගමනකින් ඇවිද යන තලත්තෑනි පුද්ගලයෙකු අප දෙස හැරී බලනව මම දුටිමි.
'මට අර මනුස්සය දැක්කම රුක් අත්තන මල මුදුනේ සින්දුව මතක් වුනා....' මා නෙත් යොමා සිටි දෙස බැලූ ඔහු තවත් කථාවකට මුල පිරීය.
'ඒ මොකද ඒ.....'
තව තවත් ඒ කටහඬ මනස් කුහරය තුලට රිංගවා නිධන් ගත කරගැනීමේ මහා ලෝබකමකින් පිරුණු මසිත ඔහු හා තව තවත් දොඩමලුවන්නට බලකරයි.
'රුක් අත්තන මල මුදුනේ.... බමරු නටන හැන්දෑවේ....... මේ පේලියටම තේරුම් තුනත් දෙන්න පුළුවන්නෙ.... එකක් තමයි ඔය මලට ගැහැණිය ආදේශ කිරීම.... ඒ ගැහැණිය අනියම් බිරිඳ හෝ ගණිකාවක් වෙන්න පුළුවන්.....ඒ කියන්නෙ සමහර පිරිමි වැඩ ඇරිල ගෙදර වෙනුවට බොහෝදුරට යන්නෙ ඔය තැන් දෙකෙන් එහෙකට.....
දෙවෙනි එක ...... ඇඟේ පතේ වෙහෙස මහන්සිය නිවා ගන්නත් එක්ක හවසට ගල් පොල් බෝතලයක පිහිට පතන එක...... තුන් වෙනි එකනම් හුඟක්ම සාමාන්‍යයි හැන්දෑවෙ සුන්දරත්වය වර්ණනා කිරීම...... මුල කාරණා දෙක ගත්තාම ඔය සින්දුවේ විස්තර කරන තාත්තා හරිම අවංක හොඳ ස්වාමිපුරුශයෙක් වගේම තාත්තා කෙනෙක්........ බහුතරයක් පිරිමි මල් මුදුනෙ නටද්දි මේ තාත්තා හැන්දෑවත් එක්කම ගෙට ගොඩවෙනව.......'
හූමිටි තැබීමකින්වත් බාධා කිරීමට නොසිතෙන තරම් මම ඒ අදහස් වලට, ඉරියවු වලට, කට හඬට ප්‍රිය කලෙමි.
'ම්ම්ම් විස්තරේ අහන් ඉඳල ආස හිතුනා ඒ සින්දුව ආයෙත් අහන්න....'
'මං කියන්නද?.....' ඔහු අසන්නේ හුරතල් දඟකාර හඬකිනි. විටෙක දාර්ශනිකයෙකු මෙන් තර්ක විතර්ක කරන පුද්ගලයාම මොහොතකින් දඟකාර හුරතලෙකු බවට හැරෙයි.මේ ඉරියවු වලට මා ඇළුම් කරන තරම්.
' අපෝ එපා....... මං දන්නවනෙ ඔයාගෙ ගායන හැකියාව... මේ අහල පහල ඉන්න කක්කුට්ටො ටික කෙලින් ඇවිදියි ඒව අහල........'
'හ හා හා...... ඉතින් ඒකම කොච්චර සේවයක්ද බලන්න.... ඇදේට යන උන්ට කෙලින් දුවන්න අවස්ථාවක් උදාවෙනවනෙ.......'
'ඒක අහල මට මතක් වුනේ මාමගෙයි බෑණාගෙයි කලියුග කාලෙක උපන්න සින්දුව.. කාලෙකින් ඇහුනෙ නෑ.......'
'දැන් කොහෙද ඒවගෙ සින්දු යන්නෙ....මේ එෆ්.එම් වල ටකරං සද්දෙ අහලම එපා වෙලා ......'

'මොකද හ්ම්ම්... ? '
'නිකන්..'
අපි නිහඬ වීමු. උනුන් සිත් හංඟන්නට මෙන් නිහඬවම මුහුද දෙස බලා සිටින්නට වීමු.
'මේ ගෙවෙන හැම දවසක්ම අමතක කරන්න පුළුවන්නම් හොඳයි නේද..... ? මම ඔහුගේ සිත ඇඟිලි ගසමින් පිරික්සන්නට වීමි.
' ඇයි ඒ... මේ දවස් ලස්සනයිනෙ....... අමතක කරන්න නෙවෙයි මතක තියාගන්න...... මං නැති දවසක මතක් කරල හිනාවෙන්න.......'
මම තිගැස්සුනෙමි. හද ගැස්ම එක්වනම වේගවත් වුන බවක් හැඟුනි.
'න්..න්..නැති දවසක.....? ඒ කිවුවෙ......?'
'නැති දවසක කිවුවෙ නැති දවසක..... හැමදාම මට මෙහෙ ඉන්න බැහැනෙ ...මං කැමතියි හැමතැනම ඇවිදින්න....මිනිස්සු අඳුනගන්න..... ජීවත්වෙන්න....'
'ඉතින් මාත් එන්නම්...'
'හ හා හා..... ඔයා ? මගෙත් එක්ක.... ? ඒක කරන්න බැහැ ළමයො...... ඔයාව මං කොහොමද එක්ක යන්නෙ.. ?'
ඔහු සිනාමුසු මුහුනින් මුහුද දෙස බලා සිටී.
' මාව බඳින්න......' මේ මම නොවේයයි මට සිතුණි. නැත. මේ මමමය.
' මං ජීවිතේට අරමුණක් නැති මිනිහෙක්.... අද මෙතන හෙට කොහේ ඉදීද දන්නෙ නැති මිනිහෙක්.... බැඳීමක් ඇති කරන් එක තැනකට කොටු වෙන්න මට බැහැ..... '
ඔහුගේ සිත නොවෙනස් බව මම දැන උන්නෙමි. එනිසාම මම නිහඬ වීමි. එහෙත් කවදා හෝ ඔහු ඒ යැයි මම සිතුවෙමි. ඒ අදින් විසිපස් වසරකට පෙරය.
අදටත් මම ඔහු ඒ යැයි සිතමි. ඉඳින් මම මඟ බලමි. ජීවිතය විඳින්නට කියාදුන් ඒ සොඳුරු මිනිසා එනතෙක් මම බලාසිටිමි.