About

Related Posts Plugin for WordPress, Blogger...

එහිතට ඇමතුවෙමි



7 අදහස්



හිතවත් ජයවර්ධන මහතාණෙනි,

මා පලමුවෙන්ම ඔබගෙන් ඉල්ලා සිටින්නේ මෙම ලිපිය කියවීමෙන් පසු මා ඇමතීමට උත්සාහ නොගන්නා ලෙසය. ඔබටද අන් මිතුරන්ටද මුහුණ දීමට නොහැකි තරම් ලජ්ජාවකින් සහ චිත්ත පීඩාවකින් මම පසුවන්නෙමි. කිහිප දිනකට නිදහසේ තනිව ගතකිරීමට නිවසින් බැහැරව යාමට අදහස් කරගෙන සිටිමි. මතු දිනක මම නැවත ඔබව අමතන තෙක් ඔබට ආයුබොවන් කියමි.

මා ඔබට ඉතාම කණගාටුවෙන් දන්වා සිටින්නේ ඔබ ඉල්ලා සිටි පරිදි අද උදෑසන වන විට නිල් කඩදාසියක් පිළිබඳ ලිපිය නිම කිරීමට මා හට හැකියාවක් නොලැබුණු බවය. ලිපියක් තබා ඒ පිළිබඳ එකද වචනයක්වත් ලියා ගැනුමට මා හට නොහැකි විය. ඒ පිළිබඳව හද පත්ලෙන්ම ඔබගෙන් සමාව අයදින අතර ඔබගේ ඉල්ලීම ඉටු කිරීමට නොහැකි වීම ගැන අතිශයෙන්ම කණගාටුවෙන් පසුවන බවද දන්වමි.

මීට හරියටම සතියකට පෙර ඔබ මා අමතා මේ පිළිබඳව පැවසූ විට මා එය එතරම් බැරෑරුම් සහගතව නොසැලකූ බව ඔබට කිව යුතුමය. දේශපාලනය, ආදරය, මිනිස් මනස ආදී බැරෑරුම් විශයයන් පිළිබඳ නොයෙක් කෙටිකථා කවි ආදිය රචනා කර පුරුදු මට මෙවන් සුලු යමක් අරඹයා වියමනක් කිරීම මහ ලොකු කජ්ජක් නොවේවි යයි සිතා කල් මැරීමි. මෙවැනි මාතෘකාවක් ගැන හරවත් සහ රසබර යමක් ලිවීමට පැයක කාලයකට වඩා ගත නොවන බවටද මා තුළ මහත් විශ්වාසයක් විය.

නිල් කඩදාසිය පිළිබඳ රචනයක් කිරීමට මා ඇරඹුවේ ඊයේ උදෑසනය. ලියන මේසය අසල හිඳගෙන පෑනක්ද අතැතිව කවි හිතට අමතමින් සිතුවිලි විසිර හැරියෙමි. කාලය ගතව යන්නට ඇත්තේ සිතුවිලිවලටත් හොරාය. උදෑසන සිට දහවල තෙක් නොයෙක් දේවල් කල්පනා කලද නිල් කඩදාසියක් හා බැඳෙන කිසිවක් මතකයට හෝ නිර්මාණයකට නගා ගන්නට අපොහොසත් වීමි. මේ තත්ත්වය මා මහත් පුදුමයකට පත් කරන්නක් විය. ක්‍රම ක්‍රමයෙන් මහත් හිස් බවක් මා තුළද පිටතද පැතිර යන්නා සේ හැගුණි.

 සිතෙහි ඇති වන්නට පටන් ගෙන තිබූ පීඩනය මග හරවා ගනු වස් මද විවේකයක් ගෙන ඉන්පසු නැවත සවස තුනේ පමණ සිට මුලු රැයක්ම නිදි වර්ජිතව කල්පනා කලද අවසානයේ මා ඉදිරිපස ඉතිරිවූයේ හිස් කඩදාසියකුත් පිරී ගිය අලු බදුනකුත් පමණක්ය.

පසුදිනට, එනම් අදට එලිවන ජාමයේ මොහොතක් ඇහැ පියවුණු විගස නිල් කඩදාසියක් පිළිබද අපූරු සිහිනයක් පමණක් දුටුවෙමි. සිහිනයක් කීවාට එය ඉපැරණි මතකයක නැවත දිගහැරුමක්ය කීවාට වරදක් නැත. නිල් කඩදාසියක් පිළිබඳව මගේ ඉපැරණිම මතකයද එයම විය හැක.

මම මාමාගේ අතේ එල්ලී මාෂල් මාමාගේ බුකියේ මේසය ඉදිරිපස සිටගෙන සිටියෙමි. මාෂල් මාමා නිල් කඩදාසියක් ලාච්චුවෙන් ගෙන එය පොතක් තුළට දමා යමක් ලියන්නට ගත්තේය. ලියා අවසන්ව පිටුව පෙරලූ විට ඊළග කඩදාසියේද පෙර පරිදිම අකුරු සටහන්ව තිබෙනු දැක පුදුම වී හිස ඔසවා මාමා දෙස බැලීමි. මාමා උන්නේ බොහෝ දුර කල්පනාවකය....

ඉහත කී සිහිනයෙන් අවදි වූ වහාම නැවත කල්පනා කරන්නටත් අතීත මතක මංපෙත් ඔස්සේ සිත දුවවා නිල් කඩදාසියක් සොරකම් කරගැනීමටත් වෙහෙසුනෙමි. සිහිනය සම්බන්ධ කර යමක් ලිවීමට සිතුවිල්ලක් ඇති වූවද නැවත එම සිත යටපත් කර ගත්තේ මා වැනි ලේඛකයකුගේ තත්ත්වයට එවන් වැදගැම්මකට නැති නොගැඹුරු සිදුවීමක් පිළිබඳ ලිවීම තරම් නොවෙතැයි සිතුණු නිසාය.
මෙවර මගේ කල්පනා ලෝකය බිඳුනේ හදිසියේ නිවසට පිටත මාර්ගය දිගේ ධාවනය වූ නිවේදන රථයකින් කල නිවේදනයක හඬිනි.

ඔව් දැන් මේ දැන්...ඔබ පුල පුලා බලා සිටි අවස්ථාව...අපි ඊයේ සඳහන් කල පරිදි. මධ්‍යම රාත්‍රියේ දියත් කල වාසනාවේ බැලුම්  මේ මොහොතේ ඔබේ ප්‍ර‍දේශයට ඉහලින්  පියාසර කරනවා ඇති...රුපියල් කෝටියක්..ඔව්..රුපියල් කෝටියක් වටිනා බැලුම් දහයක්. වාසනාවන්තයා ඔබම විය හැක. බැලුමක් අල්ලාගෙන කෝටිපතියෙකු වන්න..පියනගන්න දැන්ම මහා මාර්ගය දෙසට..නැත්නම් ඔබේ නිවසේ උඩු මහලට....

පසුගිය සතියක පමණ කාලයක් මුලුල්ලේ නිතර නිතර විවිධ මාධ්‍යයන් මගින් ඉහත කී වාසනාවේ බැලුම් තරගය පිළිබඳව ප්‍රචාරය වූවා ඔබටද මතක ඇති.

මම මේස ඔරලෝසුවෙන් වෙලාව බැලුවෙමි. එවිට හරියටම පාන්දර හතර සනිටුහන් වී තිබුණි.
හිතවත් මහතාණෙනි. ඔබද දන්නා ආකාරයට මම ආර්ථික වශයෙන් එතරම් පොහොසතෙක් නොවෙමි. රුපියල් කෝටියක් කෙසේ වෙතත් රුපියල් ලක්ෂයක් වුවද මා හට ඉතා වටිනා මුදලකි. එබැවින් වහාම නිවසේ ඉදිරි දොර ඇරගෙන මිදුලට බැස්සෙමි. දොර හැරිය වේගයට නිවසේ ඉදිරිපස උන් බළල් පැටියා දොරේ හැපී වේදනාවෙන් කෑ ගැසූවග මා හට මතක් වූයේ බොහෝ පසුවය..

මම නිවසේ ඉදිරිපස අඹගස යටට වී අහස දෙස බලාගත් වනම සිටියෙමි. කොතරම් වේලා බලා සිටියාදැයි මතක නොමැති තරම් වේලාවක් එලෙස උන්නෙමි. උදෑසන රාජකාරි සඳහා යන උදවියද පාසල් යන දරුවන්ද ඉඳහිට මාර්ගයේ ගමන් කරණු සිහිනෙන් මෙන් දැනුනා මතකය. ඔවුන්ට බැලුම් පිළිබඳ නිවේදනය නෑසෙන්නට ඇතැයි මම සිතුවෙමි. ඒ ගැන සිත යටින් සතුටු උනෙමි. ඉඳහිටක එකෙක් දෙන්නෙක් මට උදෑසනට සුබ පැතුවාද මතකය. ඒ අයගේ මුහුණවත් නොබලා හිස සැලීමකින් පමණක් උන්ව මග හැරියෙමි. මාගේ බැල්ම සහ සිතුවිලි සියල්ල අහස අරමුණු කරගෙන පමණක්ම විය.

මාගේ වාසනාව උදාවීමට පටන් ගත්තේ හිරු උදාවත් සමගය. හාත්පස අඳුර නිසා හෝ මාගේ නොසැලකිලිමත් බව නිසා මෙතෙක් වේලා නොපෙණුනු නමුදු මා හිසට ඉහල වෙනත් ගසක අත්තක පැටලී තිබුණු සුදු පැහැති බැලුමක් හදිසියේ මා ඇස ගැටුණි. බැලුම දැකීමෙන් ලත් සතුටත් සමගම ඊළගට මා පත්වූයේ මහත් වියවුලකටය. බැලුම එල්ලී තිබුනේ අඩි දහයක් පමණ උසකිනි. මා හට ගස් නැගීමට කෙසේවත් නොහැකිය. මෙහි වටිනා ත්‍යාගයක් පිළිබදව ඉඟියක් තිබීමට ඇති නිසා වෙනකෙකුගෙන් උදවු ඉල්ලීමටද බැරිය. මාර්ගය ජනාකීර්ණ වන්නට පෙර බැලුම ඩැහැ නොගත්තොත් වීදියේ යන කුඩා දරුවෙක් ඇස ගැටී ඉල්ලීමටද බැරි නැත. මම වහා ක්‍රියාත්මක උනෙමි. නිවසේ පැත්තක හේත්තු කර තිබූ ඉනිමග ගෙන ගසට හේත්තු කලෙමි. ඉතිරි දුර ළඟා කර ගැනුම පිණිස දිගු රිටක්ද රැගෙන ඉනිමග මුදුනටම නැංගෙමි. බොහෝ වේලා පරිස්සම් සහගතව( බැලුමට හානි වීමටද ඉඩ ඇති නිසා) වෙහෙස වීමෙන් අනතුරුව බැලුම අත්තෙන් මුදවා ගැනීමට මා හට හැකි විය. ඉනිමගෙන් හදිසියේ නොසැලකිල්ලෙන් බැසීමට ගොස් ඇදවැටීම නිසා මාගේ කකුලක සුලු උලුක්කුවක්ද ඇති විය.

පස්වනක් ප්‍රීතියෙන් පිනාගොස් මම බැලුම දෝතින්ම ඇහිඳ ගත්තෙමි. ශ්වේත වර්ණ බැලුමේ අග කුඩා කොළ කැබැල්ලක් දවටා තිබුණි. යම්කිසි ආයතනයක නමක් සහ ලිපිනයක් එහි සඳහන්ව තිබුණි. අද දින උදෑසන දහයට පෙර බැලුම සුරක්ෂිතව එම ආයතනයට භාර දීමෙන් රුපියල් කෝටියක මුදලක් දිනාගන්නයැයි එහි සඳහන් විය. ඒ මොහොත වන විටද වේලාව උදෑසන අටට පමණ විය හැකැයි සිතූ බැවින් මම වහාම ක්‍රියාත්මක වීමි. අසිහියෙන් මෙන් නිවස තුළට දිවගොස් මුදුල් නෝට්ටු කීපයක් කමිස සාක්කුව තුළට ඔබාගෙන පාරට දිවුවෙමි. රැකියා කරන්නන්ගෙන්ද, පාසල් දරුවන්ගෙන්ද පිරීගිය බස් රියක බැලුම සුරක්ෂිත ලෙස ගෙන යාමට නොහැකි බැවින් ත්‍රීරෝද රථයක නැගීමට සිතා ගත්තෙමි.

මහා මාර්ගයට පැමිණ මදක් වේලා ගතකොට ත්‍රීරෝද රථයකට ගොඩවූ විගස බැලුම සුරක්ෂිතව දෙපා උඩ රදවාගතිමි. මදක් විමසිල්ලෙන් බලද්දී බැලුම මුලින් දුටුවාට වඩා තරමක් කුඩාවට පෙනෙන්නේදැයි සැකයක්ද මා සිතේ ඇතිවිය.

ඉක්මණට යමු

මම රියදුරාව හදිසි කළෙමි.

වසර තිහකට ආසන්න මගේ ජීවිත කාලය පුරාවට මා රියක ගිය අවදානම් සහගතම ගමන එය විය. මම බැලුම දෙසද මාර්ගය දෙසද මාරුවෙන් මාරුවට ඇස් යොමු කරමින් සිටියෙමි. මොහොතින් මොහොත බැලුම කුඩා වන්නා සේ පෙනෙන්නට විය. වාතය ඉවත් වන්නේයයි සිතා බැලුමේ ගැටය තදින් අල්ලාගත්තද එයින්ද පලක් නොවන වගක් පෙනෙන්නට තිබුණි. බැලුම සැබෑවටම කුඩා වෙමින් පැවතුණි.  කාලයත් දුරත් අතර දෝලනය වෙමින් සහ ඝට්ටනය වෙමින් මා ගිය ඒ ගමන මතක් වෙද්දි දැනුදු  මා හද ගැස්ම වේගවත් වන බව කිව යුතුය.

අවසානයේදී බැලුම තිබුණ පරිද්දෙන් භාගයක් පමණ කුඩාවට තිබියදී මම ලිපිනයේ සඳහන් ස්ථානයට පැමිණෙන්නට සමත් වීමි. හැඩය මදක් වෙනස්ව පැවතුණත් බැලුම තවමත් නොපිපිරී පැවතුණු බැවින් ත්‍යාගය පිළිබඳව මගේ බලාපොරොත්තුව නොනැසීම පැවතුණි.

එය නිල්පාට ගොඩනැගිල්ලක් විය. මම එහි පෙනෙන්නට තිබූ එකම දොරෙන් ඇතුලු වනු පිණිස වහ වහා දුව ගියෙමි.

අවාසනාවක මහත.

දොර අගුලු ලා තිබිණි. දොරෙහි වීදුරු මතුපිට තුළින් බැලූ කල ඇතුළත අන්ධකාරයක් මිසක් අන් කිසිවක් මා හට දර්ශනය නොවීය. මම දිගින් දිගටම තට්ටු කලෙමි. කාලය තවත් ගත වන්නට ඇති. ඉතිරිව තිබුණේ බැලුමේ අවසන් හුස්ම පොදය.අවට ගැවසෙන්නන් ගැනද නොසිතා මම පිස්සකු මෙන් මහ හඬින් කථා කලෙමි, කෑ ගැසූවෙමි. මා උන්නේ හැඬීමකට ලංවූ අර්ධ උමතු ස්වභාවයකිනි .කිසිදු ප්‍රතිචාරයක් නොමැති වූ කල දෙවියන් යැදීමට ඉහල බැලීමි. හදිසියේ ආයතනයේ නාම පුවරුම මා ඇස ගැටුණි.


එහි සඳහන්ව තිබුණෙ ඔබ ආයතනයේ නමය. එය ඉහල බිත්තියෙන් ගැලවී මාගේ හිස දෙසට ඇදී එමින් පැවතිණි..ඉමහත් වූ වේගයකින්.....


මා සැබැවින්ම සිහිනයෙන් අවදි වූයේ එවිටය....


..............

ජයවර්ධන මහතානෙනි, නිල් කඩදාසිය පිළිබදව අද ලියවිය යුතුව තිබූ ලිපිය ඔබට කොතරම් වැදගත් දැයි මා හොඳාකාරවම දන්නෙමි. නමුත්  කාලය තවත් මා අත ඉතිරිව නැත.මා සිත බෙහෙවින්ම ව්‍යාකූලව හෙම්බත්ව ඇත. සියල්ල සිදුවූයේ මගේ නොසැලකිල්ල සහ මමංකාරය නිසා බැවින් මම මටම අනේකවාරයක් දොස් පවරාගනිමි.

මේ ලිපිය ඔබ හට ලිවීමට මා පටන් ගත්තේ අද උදෑසන ඉහත කී සිහිනවලින් අවදි වූ අනතුරුවය. පෙළක් විටෙක මේ ලියමනද සිහිනයක් පමණක්ම වන්නට ඉඩ ඇත. එය සිහිනයක්ද සැබෑවක්දැයි තීරණය කරන්නෙ අවදියද එසේත් නැත්නම් තවත් එවන්ම සිහිනයක්දැයි කියන්නට මම නොදනිමි.

නැවත හමුවන තෙක් ඔබට ජය පතමි.

මීට හිතවත්
………………

7 අදහස්:

මුදියන්සේ at: 10/31/2012 1:10 PM said...

එළටම ලියලා තියනවා,
ඒත් මොකද්ද මේ බ්ලොග් හතරක එකම මාතෘකාව කියෙව්වා, එකම කොමෙන්ට් එක තමයි හැම තැනටම අදාල වෙන්නේ

Rachintha Jayawardhana at: 10/31/2012 6:25 PM said...

අයිඩියාස් එක එළට වැඩ කරලා නේද?

hare :-) at: 10/31/2012 6:51 PM said...

සුපිරි! ඔය ජයවර්ධනයා තමයි අපේ නින්ද කාපු එකා!

පූසා at: 10/31/2012 8:04 PM said...

අද බ්ලොග් අවකාසේ නිල් පාටයි!

ආගන්තුකයා | Stranger at: 11/01/2012 9:13 AM said...

ලක්ෂයක්.. මට නම් තාම සත පහක් හම්බුනේ නෑ.

දුකා at: 11/01/2012 10:29 AM said...

අඩේ ජයවර්ධනයගේ අඩියා එක නියමයි .. . .

අපූරුම දේ උඹලට වගේම උඹලගේ ලියවිලි කොයෝපු උන්ටත් තමන්ගේ හිත ගැන තමන්ටම පොඩ්ඩක් ආපහු පාරක් කතා කරලා බලන්න හිතෙන විදිහට අව්‍යාජව උඹලා ලියලා තියෙන එකයි . . ..

ජය

ජයවර්ධන මහත්තයෝ . . එල වැඩක් ඈ . .

Buru Babe at: 11/01/2012 8:24 PM said...

දෙතුන් පාරක් කියෙව්වත් තාම පාට පාට බැලුන් එක්ක මාත් පාවෙනවා වගේ.
අපූරුයි.

Post a Comment

newer post older post