About

Related Posts Plugin for WordPress, Blogger...

ඝට්ඨනය



5 අදහස්



ස් පියවෙන්න දෙන්න එපා...

හයියෙන් තදකරල අල්ලගන්න. ලේ ගලන්න දෙන්න එපා..

අපිව ඇහෙනවද?......කතා කරන්න.....කවුද ඔයාව හප්පගෙන ගියෙ?

මගේ දෑස් පියවීගෙන එයි. වේදනාව මා තුළක සිට සිය අසිපත් වන් මුවහත් අඬු පඬු දිග හරිනු මට දැනේ. මුලින්ම පපුව ඉන්පසුව අතපය...එතැනින් හිස පුරා...උහුලන්න බැරි වේදනාව පැතිර යයි.

වාහනයේ සිටින මිනිසුන්ගේ හඬද, නලා ශබ්දයද, සෙලවීම් පැද්දීම් සියල්ලද, පුපුරා යන වේදනාවද අතරින් ඇදෙමින් සියුම් ලෙස ඒවා මගෙන් ඈත් කරමින් සිහිනයක සිනිඳු හස්තයක් මගේ ඇස් සොයයි, සියුමැලිම උකුලක හොවා මට කෘතිම ශ්වසනය දීමට තැත් කරයි.

කතා කරන්න...ඇස් පියන්න එපා..

මිනිස් හඬට බියෙන්දෝ සිහිනය යාන්තමට පසුබසී. සිය මායාවී දුහුල් අත් සගවාගනී...

ආයෙත් නළාහඬ,කම්පනය..වේදනාව...

අම්මෝ...

මට කෙඳිරි ගෑවෙන නමුත් මා මුවින් කිසිදු හඬක් පිට නොවේ..ඒ වෙනුවට වේදනාත්මක සිතුවිල්ල මහත් හඩින් ශරීරාභ්‍යන්තරයේ දෝංකාර දෙනු මට ඇසේ.. මගේම සිතුවිලි වල නැවත නැවත දෝංකාරය මට ඔක්කාරයක් කැඳවයි...

රියඳුරු ඇරුණු කොට වාහනයේ මිනිසුන් දෙදෙනක්වත් සිටිය යුතුය..ඔවුන් මේ ඉගිලෙන්නේ රෝහලක් දෙසට විය යුතුය...

සිතුවිල්ල වුවද බර වැඩිය දැන් දැන්...

හාත්පස ඡායාවල් පමණි මට පෙනෙන්නේ...සියල්ල මොහොතකට නිහඩ වී කාලයේ රිද්මයෙන් පිටතට පීලි පනී..හැකිලේ...යලි ඉමහත් වේගයෙන් ඉදිරියක් කරා දිගහැරෙයි...

හෙල්මටය හිසෙන් ගිලිහුනේ මහිස බිම වදින්නටත් පෙර වග හදිසියේ මට කල්පනාවට ඒ..... ඒ කල්පනාව හිස පුපුරවා හරින තරමේ වේදනාවට යළි පාර කියයි..

යළිත් සිහිනයක සියුමැලි පහසක් මා අවට දැවටෙන්නට පටන් ගෙන ඇතුවා සේය....

මා අවට ඡායාවන් මොනවදෝ මුමුණනු ඇසේ.

ඇ.....හෙ....න...ව...ද...... අ......පි...

ඔවුන් ප්‍රමාද වැඩිය.....

මා සිහිනයක තුරුල්ලක.....නැත.....මතකයක...ඉමහත්ම මෑත මතකයක සිහිනමය තුරුල්ලට වදිමින්.........


.................................


අඛණ්ඩ සුදු ඉර අනන්තයේ ගිණිගත් හිරු දිශාවටම දිගහැරේ...හිස්වූ ඉදිරියක් කරා මම වේගයෙන් රථය හසුරමි...ඇසිල්ලකින් ලොරියට ඉස්සර කර ධාවනතීරුවේ කෙළවරකට ඇදී යළිත් ඉදිරියට ධාවනය කරමි.

වේලාව එකයි පහයි..එකහමාරට ඉස්කෝල ඇරෙනව...වාහන තදබදය...

නිශා මග බලන් ඇති....

මේ නඩු වාරෙත් ඔහේ අහක ගියා. එක ලියවිල්ලක් ඉදිරිපත් කරන්න බැරි උන පමාවකට තව මාසෙකට.. තව දහ පහලොස් දාහක් ඉවරයි. ෂික්.

ඉදිරියේ මාර්ග සංඥා එලි දැල්වේ. මම යතුරුපැදියේ වේගය අඩු කරමින්, රතු එළි අබියස නැවතී ඇති වාහන මග හරිමින් සෙමින් ඉදිරියට ඇදෙමි.

වෙලාව එකයි දොළහයි...හොදටම පරක්කුයි දැනටමත්..

අද නඩුව ගත්තෙත් පරක්කුවෙලා. වෙනදට නම් දොළහ වෙද්දි ඉවරයි.

අද කොහොමටත් මහ මුස්පේන්තු දවසක්.

මේ..මේ...ඔතන වාහනේ නවත්තන්න එපා

හොදටම පරක්කු වෙලා උසාවි භූමිය අසලට පිවිසුන විට එහි සිටි හමුදා නිලධාරියෙක්ගේ ඝර්ජනාවට ගොදුරු වන්නට සිදුවිය.

මූසල පෙනුමක් තියන කැහැටු කොල්ලෙක්..අද ඊයේ බැඳිච්ච එකෙක් වෙන්නැති..

ඒ මොකද ඒ?

මමද නොරුස්සන හඬින් ඇසීමි.

මෙතන මැඩම්ගෙ වාහනේ නවත්තනව..ඕක ඉස්සරහකින් නවත්තගන්නව

යතුරුපැදිය ගාල් කරන්නට වූයේ සෑහෙන දුරකට එපිටිනි.

කටුකන ......

මා නැවත උසාවි භූමියට පිවිසුනේ හිතේ කේන්තිය නිලධාරියාට ඇසෙන්නට කුණු හරුපයකින්ම පිට කරමිනි..

දැන් ලොක්කොන්ට වඩා පොඩි උන්ගෙ තමයි සෛලෙ වැඩි...

බීප්...බීප්...

කොළ පැහැති මාර්ග සංඥා වැටී ඇත.... සිතුවිලි දැහැනින් මිදෙමින් මම නැවත ඉදිරියට ඇදෙමි..

ඉක්මනට හයිලෙවල් පාරට වැටෙන්න ඕනෙ..

පාර වැටිල තිබ්බෙ එතනින් නෙමේ. කලින් ලී මෝල තිබ්ච්ච තැනින්.

වයසක ගැහැණියක් පිළිතුරු දෙයි.

මම යෝජනා කරනව තමුන්ට‍ තමුන්ගේ ප්‍රකාශය අමූලික බොරුවක්ය කියල....

තරබාරු නීතිඥයෙක් ඈට ගුගුරයි.

මම වෙලාව බලමි. දොළහයි පහයි...පැයකුත් තිස්සේ වෙනත් නඩුවක එකම පැණ වැළක් ඇසෙමින් තිබේ.

ෂික් විතරක්.තාම මේ මගුල් කේස් එක

මම එහා පැත්තේ මිනිහාට ඇසෙන්නට හෙමින් කොදුරමි..ඔහුත් නොරොක් කරගත් මුහුනෙන් මට එකඟත්වය පායි.

යෝවද..තංපව...

මම සැණින් විද්‍යාල හන්දිය පසු කරමින් ඉදිරියට ඇදෙමින් සිටිමි. ගේට්ටුව අසල පොදිකන පිරිස මැකීයන දෙස පැති කණ්ණාඩියෙන් බලමින් සැනසුම් සුසුමක් හෙළමි..කොට්ටාවට දැන් ළඟය..ඇක්සලරේටරය කරකවා වේගය තවත් ඉහල නංවාගමි.

පැහැදිලි ධාවන පථය මා ඉදිරියේ ඇදෙද්දි උසාවියේ දර්ශනය මගේ මතක පථය අවුරා නැවතත් සිට ගනී..

මහේස්ත්‍රාත්වරයා විරුද්ධ පාර්ශවයට පක්ෂපාතීත්වයක් දක්වන සෙයකි. ඔවුන්ගේ නීතිඥයා මතු කරන සැම විරෝධතාවයක් හමුවේම ඔහුට සාවධානව කන් දී ඔහුගේ කරුණු වලට එකඟත්වය පල කරන ඉරියවුවක් දක්වතියි මට සිතේ.

මුන් මේ මිනිහවත් අල්ලගෙනද මන්ද..?

ඕකුන් මහ ගුරුකම් කාරයො..නඩු කාරයවත් අල්ලගනී.

අම්මාගේ වදන් ඒ සමගම මගේ සිහියට ඒ.

මම හොරැහින් යාබද බංකුව දෙස බලමි. විරුද්ධ පාර්ශ්වය අසුන්ගෙන සිටින්නේ එහිය.

මහලු යුවලක් සහ මුණුපුරෙක්... ඉදිරිය බලන් හිදින මහල්ලාගේ දුර්වල ඇස් නඩුකාරයා දෙසට යොමුව ඇත. පෙනීමේ අඩුව වසා ගන්නට මෙන මුඛයද තරමක් ඇරී ඇති සෙයකි.

අපේ ඉඩම් අල්ලගත්ත හොර හැත්ත...ඔය නාකියා ඉස්සර අපේ වත්තෙ මුරට හිටි එකා..පල් හොරා.

නිතර දෙස් තබන නැන්දාගේ කියමන් වල දෝංකාරයත් සමග මහල්ලාගේ රුව සසදන්නට ගැලපීම් සොයන්නට මම සිතින් වෙර දරමි.. මහලු සොර මුහුණක යකඩ අච්චුවක් අතුරින් බංකුවේ වාඩිගෙන සිටින මහල්ලාගේ අසරණ දිගැටි මුහුණ දියවී වැක්කෙරේ.

සිත ඇතුලටම හාරමි. මේ සියලු රස්තියාදු වීම, වියදම් හා කාලය කා දැමීම් මුන් නිසාම නොවේදයයි සිතමි. නමුත් පුදුමයකට මෙන් ඒ කිසිම සිතුවිල්ලකින් මසිතෙහි උන් කෙරෙහි කිසි වෛරයක් ක්‍රෝධයක් නොනගී.

දුප්පත් මිනිස්සු..පවු කාලකණ්නි.

ඔවුන් කෙරේ උපන් අනුකම්පාවකින් මම මටම සිතිත් කොඳුරගමි.. බිම් අගලකට මෙතරම් අරගලයක් මොකටදැයි මම සිතේ.

ඒ සමගම වාගේ උදේ මවෙතින් බැනුම් ඇසූ තරුණ නිලධාරියාගේ රුව මසිත විදුලි කොටයි. මගේ බැනුම් ඉදිරියේ ඔහුගේ දෑස් පරවුන සැටි. මුහුණ රතුවූ සැටි.

ඌත් දුප්පතෙක් වෙන්නැති. නැති බැරිකමට රස්සාවකට ආපු.

නඩුව තවත් මසකට කල් දැමුණේ එහෙම හිතද්දීමය.

සිත තුළ දරාගත් මහත් අරගලයක් සහිතවම මම උසාවි භූමියෙන් ඉවතට පියවර එසෙවුවෙමි . අරගලය ඇතුලේ විනිසකරුවන්ද, හතුරන්ද, මිතුරන්ද, හමුදා නිලධාරීන්ද, මහල්ලන්ද එකට පොරබදයි. උන් එකම ගුලියකට තෙරපෙයි ඇඹරෙයි...යළි වෙන්වයයි.

අනන්තය කරා ඇදුණු සේ හැගුණු අඛණ්ඩ සුදු ඉර හදිසියේම කෙටිවූ සෙයකි.

ක්රාස්ස්....

මා ඉදිරිපස ඇති විසල් ප්‍රාඩෝ රථය දැක මම තිරිංග තද කරමි. ඒ ග්‍රහණය නොතකමින් ඉදිරියටම මම ඉබේ ඇදීයමි..

රථය හැප්පෙන්න මොහොතකට පෙර මම රියදුරාව දකිමි...ඔහුව හඳුනාගනිමි.


..............................


හයියෙන් තදකරල අල්ලගන්න. ලේ ගලන් යන්න දෙන්න එපා..

අපිව ඇහෙනවද?......කතා කරන්න......

නැවතත් පියවිය විය යුතුය.

සිහිනය...මතකය...සිහිනමය මතකය නැවතත් හැකිල සැඟව යයි.

ඒ වෙනුවට ආපහු තදබදය...ගැස්සීම් සහ වේදනාව මා තුළද හාත්පසද අරක්ගනී..

වේගයෙන් ඉදිරියට ඇදෙන වාහනයක් තුළ මිනිස් ඡායා කැළක් මා අමතනු ඇසේ..තවම අප රෝහලට යන ගමන් විය යුතුය.

ඇස් පියන්න එපා... "

කවුද ඔයාව හප්පගෙන ගියෙ.?

මමයි.....මමමයි....

මම දෑස් පියාගමි.



5 අදහස්:

``` Outsider``` at: 12/07/2010 9:47 AM said...

"සිත තුළ දරාගත් මහත් අරගලයක් සහිතවම මම උසාවි භූමියෙන් ඉවතට පියවර එසෙවුවෙමි . අරගලය ඇතුලේ විනිසකරුවන්ද, හතුරන්ද, මිතුරන්ද, හමුදා නිලධාරීන්ද, මහල්ලන්ද එකට පොරබදයි. උන් එකම ගුලියකට තෙරපෙයි ඇඹරෙයි...යළි වෙන්වයයි."

සිදුවීම් කිසිම අර්ථයක් නැති හිස් තණ්හාව, වෛරය, ඊර්ෂ්‍යාව, කෝපය වගේ බංකොලොත් මනෝභාවයන්ගේ නර්තනයක් විතරයි. ඒතුළ අපි ජීවිතය දියකර හරින්නෙමු. ජීවත්වීම යනු මෙයද?

පුද්ගලික අත්දැකීමකින් අවබෝධ වුණා කාලෙක ඔය වගේ රෝහලට යන්න වුණු අවස්ථාවක්. ඇත්තටම ඒක සිහිනයක් විතරයි. පියවි බවත් සිහිනත් අතර පැය ගණනක් මනසේ දෝලනයක්.

ඔබේ සටහන වෙනද වගේම අපූරුයි Raven. බ්ලොගයේ අලුත් පෙනුමත් කදිමයි. දිගටම ලියන්න ඔබට කාලය ලැබෙනවනම් හොඳයි.

Raven at: 12/09/2010 9:47 AM said...

බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.

දුමී at: 12/09/2010 3:17 PM said...

නියමයි, ඉතා කදිමට ලියලා තියෙනවා. එක හුස්මට අන්තිම වෙනකන් ගොඩක් කුතු හලයකින් කියවලා දැම්මා...!

Raven at: 12/10/2010 9:54 PM said...

අදහස් දැක්වීමට බොහොම ස්තූතියි දුමී මිත්‍රයා.

Anonymous at: 1/30/2011 6:55 PM said...

හුඟ දවසකින් මේ පැත්තෙ ආවෙ රාවෙන් මල්ලියේ..හරිම අපූරුයි..මට කිඅයන්න වචන නැහැ..

සුලා..

Post a Comment

newer post older post