About

Related Posts Plugin for WordPress, Blogger...

සැඟවුන හෙවණැලි



8 අදහස්


වෙනකොට මිනිහ වරද පිළිගෙනයි හිටියෙ...
අවුරුදු විසි හතක් කිසිම අඬදබරයක් නැතිව පවුල් කාපු තමන්ගෙ ගෑණිගෙ බෙල්ල වෙන්වෙන්නම කඩුවෙන් කොටල මරල දාපු වරද...
මිනිහ හිටියෙ ඒ කල වරදට එල්ලුම් ගස් යන්න ඕනෙ කමකින්.
මට ඕනෙ කරල තිබ්බෙ කතාවක්.
සඟරා පිටු බාගයක් පුරා විහිදෙන අපරාධ කතාවක්. එක අතකට දැන් කාලෙ මිනිහෙක් ගෑණියෙක්ව මරණ එක හෝ ගෑණියෙක් මිනිහෙක්ව මරණ එක මහ ලොකු පුවතක් නෙමෙයි.
මිනීමැරුම සම්බන්ධ සිද්ධිය ගැන තතු එහෙන් මෙහෙන් දැනගත්තට පස්සෙ මට ඇති වෙලා තිබ්බ හීන් උනන්දුව මිනීමැරූ මිනිහගේ හැටි දැක්ක ගමන් මකුළු හුයක් තරමට තවත් සිහින් උනා. මට හිතුන හැමදාම අහන වර්ගයේ මිනීමැරුමක් හැරුණු කොට වෙන කිසිම විශේෂ දෙයක් මිනිහගෙ කතාව ඇතුලෙ මට හොයාගන්න නොලැබෙන වග. මිනිහ ඒ තරමටම අහිංසක පෙනුමක් තිබ්බ ලෙඩපාට හීන්දෑරි එකෙක්.
කොහොම උනත් ලියන එක මගේ රස්සාව.. ලියවුනු දෙයක උනත් නොලියවුනු දෙයක් සෙවීම සහ ලිවීම ඒ එක්කම ආපු විනෝදාංශයක් වගේ එකක්.ඒ වෙද්දිත් මට එරෙහි වෙලා හිටපු වෙලාවෙන් උපරිම වාසියක් ඩැහැගෙන ඉක්මනින් පිටත්ව යන්නයි මට උවමනා වෙලා තිබ්බෙ..හැම කතාවක්ම, අපරාධයක්ම එකවගේ වෙච්ච කාලෙක ලියවෙන ලිපි වලට නැතිවම බැරි උත්කර්ෂයට නැඟීම් පසුවට ලියන ගමන් උනත් කළ හැකියි... අවශ්‍ය සුළු පෙළඹවීමක් විතරයි.
තමුන් මේ මිනීමැරුම කෙරුවයි කියල තමුන් පිළි අරගෙන ඉවරයි. එහෙම නේද?
මම ඉක්මනින් කතාවට අවතීර්ණ උනා.
ඔව් මහත්තයො
මිනිහ එහෙම කිවුවෙ තරමක් බයාදු විදිහට.
වැදගත්ම ප්‍රශ්නය මම ඇහුවෙ ඊළගට.
ඒ උනාට තමුන් කියන්නෙ මිනීමැරුමට පාචිච්චි කල ආයුධය. ඒ කියන්නෙ තමුන් තමුන්ගෙ බිරිඳට කොටපු කඩුව එවෙලෙ ‍එතනට ආවෙ කොහොමද කියල තමුන් දන්නෙ නැහැ කියලයි?
ඔව් මහත්ත‍යො?
තමුන්ගෙ තරහ කාරයෙක්වත්?
මම එහෙම ඇහුවෙ කතාව වෙනමම පැත්තකට ගෙන ගිහින්වත් නියමිත ඉලක්කය සපුරගන්නා අරමුණෙනුයි. තමන් කණින් කොනින් අහපු දෙයක නොදැකපු පැත්තක් ගැන දැනගෙන පුදුම වෙන්න මිනිස්සු ආස කරන වග මම දැනන් උන්නා. ප්‍රවෘත්තියක වටිනාකම තියෙන්නෙ එතකොටයි. කෙනෙකුගේ කතාවක් ගැන අහන් ඉද්දි, ඒ ගැන ලිපියක් ලියද්දි මම උනත් විස්වාස කරපු එකම ඇත්ත ඒක විතරයි.
නෑ මහත්තයො. වෙන කවුරුවත් ඕක ඔතනට ගේන්න විදිහක් නැහැ.
ඒත් මිනිහ ඊළග මොහොතෙ මගෙ ඒ බලාපොරොත්තුවෙ ආයුෂ කෙටි කලා.
ආයුධය ගැන තොරතුරක් ඔහුගෙන් නොලැබීම මට ගෙන ආවෙ තරහවක්. මගේ ප්‍රශ්නෙත් ඒ තරහව තැවරිල තිබ්බ කියල මට හිතුණෙ මගෙම වචනය මට දෝංකාර දෙද්දි.
එහෙනම් ඒක ආවෙ කොයි ලෝකෙන්ද?
ටිකක් නිවෙන්න ඕනැයි කියල මට හිතුන. අහිංසක පාටක් පෙන්නගෙන හිටියත් මිනිහ මිනීමරුවෙක්. අනිත් එක මම මෙතනට ආවෙ මිනිහව විනිශ්චයකට ලක් කරන්න නෙමෙයි. අන්තිම මොහොතෙ හරි සඟරාවට පුවතක් හොයාගන්න.
ටිකක් වෙලා අරන් උනත් මිනිහ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගත්තෙ කලින් වගේම කිසි වෙනසක් නැතිව. උත්තරේ දෙන්න කලින් මිනිහ කෙටි සුසුමක් හෙලුව.
මිනිහගෙ උත්තරෙත් ඒ වගේම කෙටියි.
මං දන්නෙ නෑ.
ඒ පාර මම දිග හුස්මක් ගත්තා. ඒ හිතේ එකලාසයක් තියාගන්න. මේ දවස් වල මට ටිකක් තරහ යනව වැඩි බව මම තේරුම් අරන් හිටියෙ. ඒත් එක අතකට මිනීමැරුම පිළිගත් මිනිහ මරපු ආයුධය ගැන බොරු කියන්නෙ මොන එහෙකට?. ඒ කොහොම වෙතත් මෙතුවකට අබිරහසක්ව ඇති ආයුධය ගැන තොරතුරක් මිනිහගෙන් හොයාගන්න එක වැදගත් බව අවකාශයේ එල්ලුණ හිස් සඟරා පිටු බාගයක් විසින් මට මතක් කර දුන්නා.
මම වෙන පැත්තකින් කතාවට ළං උනා.
ඔහේලට ළමයි එහෙම?
මිනිහ ආපහු කෙටි සුසුමක් හෙලුව.
අපිට ළමයි නෑ මහත්තයො. එහෙම නැති උනයි කියල අපිට අඩුවක් පාලුවක් දැනුනෙත් නෑ. උන්දැට මමත් උන්දැ මටත් බොහොම ලෙංගතුවයි උන්නෙ.
අඬදබර ඇති උනේම නැහැ?
අඬදබර ඇති නොවෙන්නෙ කොහෙද මහත්තයො.
ඔහු දසන් සියල්ලක්ම පාහේ දක්වා සමච්චල් සිනහවක් පායි. ඊළග මොහොතේ පිළිතුර නැවැත්වූ තැන් සිට ඉතිරි හරිය පුරුද්දන්නට පටන් ගනී.
පොඩි සැර වැරයක් මූණ නොරොක් කර ගැනිල්ලකින් එහාට මහ ලොකු රණුඩු සරුවල් අපි අතර තිබ්බෙ නෑ. මේ කරුම සිද්ධිය වෙනතුරු මම උන්දැට නිය පිටින් පාරක් ගහල තිබ්බෙ නෑ. මහත්තය විස්වාස කරනවනම් විස්වාස කරන්න.
ඒ උනාට මේ සිද්ධිය වෙන්න මාසයක විතර කලින් වෙලේ ඉඳන් පවුලයි ඔහෙයි අතර හරි හරියට සණ්ඩු සරුවල් ඇවිලුණා කියල ගම්මු කියනව කියලයි ආරංචිය.
මම වටින් පිටින් හොයාගත්ත කාරණාවක් හෙළි කලා. ඒ වගේ දේවල්වල වැදගත්කම ගැන මම අද්දැකීමෙන්ම දැනන් හිටිය.
මහත්තයට කියන්න මහත්තයෝ..පර හැත්ත. ඕකුනුත් මේවට යහමින්ම වග කියන්න ඕනෙ. අවුරුදු විසි පහක් ආරවුලක් නැතිව දීග කෑව අපේ පවුල කඩා ඉහිරවන තැනට වැඩ කලේ ඔය බොරුකාර අවලං හැත්තම තමයි.
ඒ කියන්නෙ?
ඔය එක එක අම්මණ්ඩිල මට විරුද්ධව මගේ ගෑණිට කේලම් කියල ඒකිගෙ හිත බින්දෙවුව. අහල පහල ගෑණු ජෝඩු කරල හොඳට උන්නු මයෙ ගෑණිගෙ හිතට සැකේ පැළපදියම් කලේ ඔය කාළකණ්නි තමයි.
මිනිහගෙ ඇස්වල කෝපයක දිළිසීමක් පෙනිල නොපෙනිල ගියා කියල මට හිතුන. ඒක හොඳ සලකුණක්. මට ඕනෙ උනේ ඒ ගිනි පෙනෙල්ලෙන් මහා ගින්නක් අවුලුවා ගන්න...සඟරා පිටු බාගයක් පිරෙන්න.
තමුන්ට එහෙම සම්බන්ධකම් තිබ්බෙම නැද්ද?
මයෙ අම්මප මහත්තයො..බුදුම්ප මගෙ එහෙම කිසිම දෙයක් නෑ.
එතකොට තමුන් බිරිඳට ඇත්ත තත්ත්වය පහදල දෙන්න උත්සාහයක්වත් ගත්තෙ නැද්ද?
ගත්ත මහත්තයො ගත්ත. ඒත් මොන කරුමෙකටද මන්ද ගෑණි නෙමෙයි මම කියපු එක දෙයක්වත් විස්වාස කලේ. අවුරුදු විසි ගාණක් උඹ නොදකින් කියාගන්නෙ නැතිව ආදරෙන් උන්නු මිනිහට වඩා වටේ පිටේ උන්ව විස්වාස කරන් දැඟලුවා.මම ඉවසුවා මහත්තයො..නොසෑහෙන්න ඉවසුව. අර කරුම දවස උදාවෙනකම් මම හිටියෙ පුදුම ඉවසීමකින් දරා ගැනීමේ ශක්තියකින්.
මිනිහ ටික ටික තමන්ගෙ ඇතුලෙ හිරවෙලා තිබ්බ වචන ගොරහැඬි ශබ්දයක පටලල නිදහසේ ගලාගෙන යන්න දෙන්න පටන්ගත්තා. ඒ වගේ මොහොතවල් වල මට කරන්න තිබ්බෙ වචනෙකින් දෙකකින් මිනිහට පොඩි පෙළඹවීමක් දෙන්න විතරයි.
එතකොට එදා ඒ දවසෙ අර කියපු කඩුව තිබ්බෙ කොහෙද?
මම එහෙම ඇහුවේ මගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නෙ දිහාවට ආයෙත් සේන්දු වෙන්න හිතාගෙන.
ඒක තිබ්බෙ පෙට්ටගම ඇතුලෙ මහත්තයො.
ඒක ඇතුලට කඩුව ආවෙ කොහොමද? පෙට්ටගම තමුන් බඩුභාණ්ඩ දාන්න පාවිච්චි කරන එකක්ද?
මම මාර්ගයක් පාදල දුන්න. මිනිහ නිදහසේ ගලායයි කියන බලාපොරොත්තුවෙන්.
මිනිහ පිළිතුරු දෙන්න පටන් ගත්තෙ සමච්චල් හිනාවකුත් එක්ක. ඒත ඒකෙ අහවර වීමත් එක්ක මහ දුක්මුසු පෙනුමක් මිනිහගෙ මුහුණෙ නවාතැන් ගත්ත.
නෑ මහත්තයො..මොන පාවිච්චියක්ද..එදා ඔය සිද්දිය වෙනතුරු මට ඕක අමතක වෙලා වගෙයි තිබ්බෙ. ඔය පෙට්ටගම..... ඕක මයෙ ගෑණිට අයිති එකක්. මාත් එක්ක දීග එද්දි සන්තකේකට කියල අරන් ආවෙ ඔච්චරයි. උන්දැගෙ මහඋන් නම් කිවුවා ගොඩින් අච්චර දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියල.. ඒත් අන්තිමට ලැබුණෙ ඕක විතරයි. ඒකත් පාචිච්චි කරන්න පුලුවන් මඟුලක් නෙමෙයි. කකුල් ඇද ගහල පියනත් කැඩිච්ච කබලක්.
මොනා උනත් මට ඒවයින් වගක් උනේ නැහැ. අපෙ අම්ම අප්ප‍ගෙනම් හිත තරමක් නරක් උනා තමයි. ඒ උනත් මමයි ගෑණියි හිටියෙ ඒ හැටි සෙනේකින් නිසා උන්දැලගෙ කෙනෙහිලි කමුත් ඉවසමින් උන්නා. අනේ මයෙ ගෑණි උන්දැලට හොඳට සැලකුවා. ඇනුම්පද කිවුවා කියල නෙමේ කිසි වෙනසක් කලේ. මැරෙනතුරුම උන්දැලට සැලකුව.
මිනිහගෙ ඇස්දෙක යොමුවෙලා තිබ්බෙ කොහේදෝ ඈතක සුන්දර මතකයක් දිහාවට වග හිනාවක් මෝදු උන මිනිහගෙම දෙතොල කියාපෑව. අපි හිටපු ගොඩනැගිල්ලෙ විවරයක් අතරින් එපිට වැහි අඳුරක් මෝදු වෙනව මම දැක්කෙ එවෙලෙ.
හරි අපි දැන් මේ මරණය වෙච්ච දවසට හැරෙමු. එදා මොකද උනේ?
මම අත් ඔරලෝසුවෙන් වෙලාව විමසන ගමන් ඇහුව. බලාපොරොත්තු කඩවීමක තැවරුණ විඩාපත් කමකින් මගේ හිත ඉක්මන් සමුගැනීමකට බල කලා.
එදා මහ විකාර දවසක් මහත්තයො. උදේම ගෑණි මට බැණ අඬගැහුව. පස්සෙ අහන් ඉඳල බැරිම තැන මම ගියා සිරාගෙ වාඩිය‍ට. මම ගියේ සිහි නැති වෙනකල්ම බොන්න කියල හිතාගෙන. ඒත් වැඩේ කියන්නෙ මිනිහ බෝතලේ ගෙනත් මගේ ඉස්සරහින් තියද්දිම බොන්න තිබ්බ උවමනාව මගෙ හිතින් පහ උනා. මම ඒක එහෙමම වෙන උන් කට්ටියකට දීල ගෙදර එන්න පිටත් උනා.
ඒ එද්දි ආපහු මගේ හිත වෙනස් වෙන්න පටන්ගෙන බොන්න මහ උවමනාවක් ආවා. ඒත් ආයෙත් සිරා ගාවට යන්නත් හිතුනෙ නැහැ. ගෙදර යන්නත් හිත නෑ.
ඉතින්.?
ඉතින් මම කලේ ගමපුරා ඔහේ ඉබාගාතේ ටිකක් ඇවිද්ද එක. ගඟ පැත්තට ගියා ඊට පස්සෙ සුමනෙයගෙ වහලෙ හෙවිල්ලිල්ලටත් උදවු දුන්නා. ඒ ඔක්කොම ඉවර වෙලා ගෙදර යද්දි හැන්දෑ වෙලා.
ඒ වෙද්දි පුදුම විදිහට මගේ හිත සමනය වෙලයි තිබ්බෙ.
ඒත් මම ගෙට ගොඩ උනා විතරයි ගෑණි ආපහු මගේ ඇඟේ එල්ලුනා. පිස්සුවෙන් වගේ උන්දැ මට බැණ අඬගැහුවෙ. මම හිටියෙ බඩගින්නෙනුයි මහන්සියෙනුයි හොදටම හෙම්බත් වෙලා....
මිනිහ එහෙම කියල හිස බිමට බරකරගෙන මොහොතක් නිහඬ උනා.
මොහොත දිග්ගැස්සීගෙන යද්දි මිනිහ සදහටම ගොළුවෙක් වේය බයෙන් මම ඉක්මන් උනා
ඉතින් ඉතින්?”
මිනිහ ඔළුව ඉස්සුව. බොහොම හිමීට. මිනිහගේ ඇස්වල කදුළු.
මම ළංවෙලා උන්දැට කතාකරන්න උත්සහ කලා ඒත් නොහිතපු විදිහට ගෑණි මාව තල්ලු කරල දැම්ම..ඒකිට කොහෙන් ආපු ශක්තියක්ද මන්ද...එහෙමත් නැත්තම් එවෙලෙ තිබ්බ හෙම්බත්කමටමද මන්ද මම විසිවෙලා ගිහින් බිත්තියෙ මුල්ලක වැදුන.
එකපාරටම මගෙ පිට වැදුනෙ අර පෙට්ටගමේ... අවුරුදු විසි ගණනකට පස්සෙ...ඒක මෙතුවක් කල් ගෙයි කොයි මුල්ලක තිබ්බද මන්ද?..ඒක‍ට වාරුවෙලා නැගිටිද්දි එකපාරටම මම දැක්කෙ ඒක ඇතුලෙ තිබ්බ කඩුව.
ඒක හරි පුදුම මොහොතක් මහත්තයො. මට හිතුනෙ ඒ කඩුව බොහොම කාලයක් එතන මං එනතුරු බලං හිටිය වගේ. ගනින් මාව ගනින් කියනව වගෙත් මට ඇහුණ. නිකන් හීනෙන් වගේ.
මම ඒක ගත්ත ගමන් ගෑණිට කොටාගෙන කො‍ටාගෙන ගියා. ඒක කොහෙන් ආවද කින්ද මන්ද කියල ප්‍රශ්නයක් මට ඇති නූණ ගානයි. එවෙලේ ඒක හරියට මගේ ඇගේ කොටසක් වගේ වෙලයි තිබ්බෙ මහත්තයො. ලේ වැක්කෙරෙන කඩුවත් අරගෙන පොලිසියට ගිහින බාරවෙනතුරුම මට දැනුනෙ එහෙමයි
මිනිහ කතාව නැවැත්තුවා. මිනිහගෙ ඇස් දොඹගෙඩි දෙකක් තරමට විසාල වෙලා.
මිනිහ හිටියේ ඒ දවසෙ ඒ මොහොතෙ නැවතිලා වග මට පෙණුනා...මට යන්න වෙලාව ළගාවෙලා ඇති බව මට මතක් උනේ ඒත් එක්කම වගේ
ඉතින් ලොකු උන්නැහේ?
මම ඇහුව. පිටත් වනු පිණිස පුටුවෙන් නැගී හිටිමින්ම
මිනිහ මගේ දිහාව බලාගෙන ටික වෙලාවක් ගතකලා. දොඹගඩි ඇස් වලින් සට සට ගාලා කදුළු වැක්කෙරෙන්න ගත්තා....
ඒක එතන තිබ්බා මහත්තයො...කඩුව කොහොම ආවද මම දන්නෙ නෑ.... ඒත් ඒක එතන තිබ්බා...
මම දන්නවා...”
හිනාවකින් මිනිහට සමුදෙන ගමන් මම එහෙම කිවුවෙ හැබෑවටමයි.
ඒ වෙනකොට කඩුව පෙට්ටගම තුළට ආ හැටි ගැන මම තේරුම් අරන් උන්නා.. ඒත් එක්කම ඒ වැටහීම සඟරා පිටු බාගයක් තුළ දිගහරින්න‍ට මසිත ඉඩ නොදෙන බවත් මම පසක් කරගෙන උන්නා.



8 අදහස්:

තිස්ස දොඩන්ගොඩ at: 11/17/2010 10:49 PM said...

හ්ම්ම්ම්.. ඒමනුස්සයා ඉස්සර නූනානම් සමහර විට කඩුවේ විස්තරේ අනුමානයක් නැතිවම තහවුරු කරගන්න තිබුණා...

nimanthi at: 11/17/2010 11:44 PM said...

නොදැන නොපෙනී
එතෙක් කල්
අදිසිව
හදිසියේ පෙනී
නොපෙනී ගිය
අරුමය..;.

මාරයාගේ හෝරාව at: 11/18/2010 8:09 PM said...

කඩුව දැක්කට වඩා පුදුමයක් මම මෙ දැක්කේ..
කෝ පංගුකාරී..ඒ කිව්වෙ දැන් ගෙදර එක්කෙනා...

පිටස්තරයා at: 11/19/2010 12:32 PM said...

මට තේරුනේ නෑ ටිකක් වෙලා යනකම්. නිමන්තිගෙ කමෙන්ට් එක දැක්කාමයි තේරුනේ.

නියම සටහනක්!

ආගන්තුකයා | Stranger at: 11/19/2010 3:07 PM said...

කඩුව නොපෙනීම කියන එකේ යටි පෙලක් පැහැදිලිව ගැලපිලා තියෙනවා.. අවුරුදු විසිපහක පවුල් කෑම සාර්ථක වීම සහ කඩුව නොපෙනීම.. ඉතිරි අවුරුදු දෙක බකල් වීම සහ කඩුව පෙනීම. ඒකට මම කැමතියි..

Raven at: 11/22/2010 10:53 AM said...

ස්තූතියි හැමෝටම.

@මාරයියා- ඉන්නවා ඉන්නවා බන්. වැඩ රාජකාරි බහුලයි නේ දැන් :)

අනුරාධ at: 12/03/2010 1:30 PM said...

මමත් මුලින් උඩින් පේන අදහස විත‍්රක් අරන් කල්පනා කොර හිටියා..... කමෙන්ට් ටික බලද්දි තමයි යටි අරුත් සේරම පැහැදිලි උනේ.... හැමදාම වගේම ෆට්ටයි මචන්..... වැඩ රාජකාරි කියලා හ‍්රියන්නෙ නෑ.... වෙලාවක් හොයන් දිගටම ලියපන්....

සෝරෝ at: 12/04/2010 6:51 PM said...

සමහර විට මේ කථාව වෙනස් විදියකට ලියවෙන්නත් තිබුනා....

කඩුව අතට අහුවුන එක්කෙනා වෙනස් වනා නම්....

Post a Comment

newer post older post