
යකඩ යකා පැයට කිලෝමීටර එකසිය ගානක වේගෙන් පිඹගෙන එනව.
මට තිබ්බෙ ඇහැරෙන්න විතරයි.
මම හිටියෙ හීන රේල් පීල්ලක, එහෙමත් නැත්නම් හීනෙක රේල් පීල්ලක ගැලවෙන්න බැරි විදිහටම හිරවෙලා. මාව ගලවගන්න අහල පහල කට්ටිය කවුරුත් හිටියෙත් නැහැ. මම හිටියෙ කකුල ගලවගන්න දඟලල දඟලල, උදවු ඉල්ලල කෑ ගහල හොදටම හෙම්බත් වෙලා.ඒ මදිවට දවාලෙ මහ අවුවට කරවෙවී දාඩිය මුගුරු පෙරාගෙන. ඒ කොහොම උනත් හීනෙ පටන්ගෙන මගක් දුර ගිය වෙලේ ඉඳන් මම දැනන් උන්න මම මේ දකින්නෙ හීනයක් වග. ඉතින් මම එක්තරා ආකාරයකට ඒ දැනීමත් එක්කම හීනයේ වින්දනයට නතු උනා. පුංචි බයකුත් නොතිබ්බම නෙමෙයි. ඒ උනත් බයට වඩා ලොකු ආසාවක් තිබ්බ මට ඒ අද්දැකීමට මුහුණ දෙන්න. හීන උනත් හැමදාම මේ වගේ ත්‍රාසජනක නැහැ..
දැන්නම් රේල් පීල්ලෙ දෙදරුම් කෑම එන්න එන්නම වැඩි වෙනව. රේලි පීලිත් එක්කම මගෙ හිරවුණු කකුලත් මුලු සරීරයත් වෙවුලුම් කෑමට ලක්වෙලා. මගේ කොඳු නාරටිය සිහින් ඇදුම් කෑමක් එක්ක සීතල හිරිවැටීමකට ලක් වෙනව.
යකඩ යකා ළඟ ළඟම...
කෝච්චියට හැපුණ ගමන්ම වගේ මගේ හීනෙ කෙළවර වෙයි කියල තමයි මගෙ සිතුවිල්ල. සමහර විට කෝච්චියට හැපිල විසිඋනා වගේ මම ඇඳෙන් බිමට පෙරලෙයි. එහෙම නැත්නම් හීනෙ එතනින් කෙළවර වෙන්නෙ නැතිව එතැනින් වෙන හීනයකට. සහමුලින්ම වෙනස් පරිසරයකට සහ රූප පෙළකට ඡේදනය වෙන්නත් බැරි නැහැ.
ඒත් මේ දෙදරිල්ල සහ වෙවුලුම් කෑම? නහරවැල් වල වේදනාව සහ හිරිවැටීම? බාහිර උත්කෝපනයක් හැටියට මේ සංවේදනා ඇති කරන්න කිසිම දෙයක් මා අවට තියෙන්න බැහැ.සුමාලිත් මාත් ඇරෙන්න මම නිදං ඉන්න කාමරේ වෙන කවුරුවක්කත් නෑ.
භූමිකම්පාවක් හරි එහෙමත් නැතිනම් භූ චලනයක්වත් සිද්ද වෙනවද?
සිහිනය ගැන පූර්ණ අවධානයත් සමගම අවදිය ගැනත් හිතින් සම්බන්ධයක් පවත්වගෙන යන්න හැකිවීම ගැන මට මං ගැනම පොඩි ආඩම්බරකාර හැඟීමක් ඇතිඋනා.
ඒ කොහොම වෙතත් මේක හීනයක් නොවේවිද කියල සැක හිතන්න තාම ප්‍රමාද නැහැ. හීනයක්ය කියල දැනගෙන ඉන්න එකේ තත්පරයක් උනත් ඇති ඇහැරෙන්න. ඒ උනත් මම හිටියෙ ඇස් හොදටම ඇරගෙන ගිනි අවුරස්නෙන් ඇස් නිලංකාර කරගෙන. ඇහැරීම කියන වචනෙ තේරුම බරපතල අවදානමක පවතින බව මට මොහොතකට හැඟෙන්න පටන් ගත්තා.
යකඩ යකාත් මාත් අතර තත්පර ගණනක දුර...
කොයිකටත් කියල මම ඇස් දෙක තදින් පියාගත්ත.
මං ඇහැරුනේ එවෙලෙයි..
"ඔයා හීනෙන් බය උනාද?"
සුමාලි මගේ ඉහ ඉද්දර ඉඳන් අහනව. ඇගේ මූණ පුරා සිහින් හසරැල්ලක් පැතිරිලා යන විදිහ මම බලාගෙන ඉන්නවා.
"හොදටම දාඩියත් දාල. මෙච්චර හයියෙන් ෆෑන් එක දාල තිබිද්දිත්"
මම ඉන්නෙ දාඩියෙන් නෑවිලා බව මට තේරෙන්නෙ සුමාලිගෙ ඒ වචන වලිනුයි. හරියට හීනෙන් හිටිය මහ දවාලෙ වගේ දාඩියෙන් මාව නෑවිලා. අවු රස්නෙන් පිච්චිලා උන්න විදිහටම මුලු ඇඟම රත්වෙලා.
"තාම හතරටවත් නෑ"
සුමාලි එහෙම කියන ගමන් වතුර වීදුරුව මගේ අතින් තියනව. මම උගුරෙන් උගුර හිමීට වතුර වීදුරුව හිස් කරන අතරේ ඇය ඇගේ අතැඟිලි මගේ හිසකේ අතර දුවවනව.
මම ඒ පහස තවත් විදිනු පිණිස ඇස් දෙක පියාගන්නව. අතැඟිලි හිසකේ අතර රටා මවන හැටි හිතින් ඇඳ ගන්නව.
"ඒයි එයිනට වෙයන් යකෝ!"
කවුද කෑ ගහන සද්දෙට මට ඇස් ඇරෙනව.
යකඩ යකාගේ රකුසු හොම්බ මගෙ මූණෙ ගෑවෙන නොගෑවෙන ළඟින්...
"දඩස්!"
අතේ තිබ්බ වතුර වීදුරුව බිදෙන සද්දෙට මම යකඩ යකාගේ ඇගේ හැපිල ඈතට විසිවෙනව.......
12 අදහස්:
කාලෙකට පසුව යකඩ යකා එක්ක ඇවිත් ත්‍රාසයෙන් පිරුණ කතාවක් තිළිණ කලාට ස්තුතියි. අතරමං නොවී යමු ඉදිරියට...
සුභ පැතුම්!
හීනෙන් හීනෙට තමයි අපි ගමන් කරන්නෙ. අවදිවීමක් කවදාවත් සිදුවුණාද?
නියමයි කතාව,
ගොඩක් කාලෙකින් මේ පැත්තෙ ආවෙ. මොකද වෙලා තියෙන්නෙ...
සෑහෙන කාලෙකින් ලස්සන නිර්මානෙකුත් එක්ක...
අප්පා...පට්ටයි......
ගොඩාක් කාලෙකින් ...යාන්තන් ඇවිත්..සතුටුයි බොහෝමත්ම
අප්පා.....කාලෙකින්.... ඊයේ සැල්වදෝර් ඩාලි ගේ ආර්ට් මියුසියම් එකකට ගිහින් ආර්ට් බැලුවා. තවම නිකන් ඒ මූඩ් එකේ ඉන්නෙ. ඒ අස්සෙ තමයි මේකත් කියෙව්වෙ. මාර ටයිමින්...
කාලෙකින් නම් තමා. හීන තත්පර විස්සයි කිව්වට අවුරුද්දක කතාවක් ගුලි කරලා තියෙනවා.. අර ප්ලේටෝ කියනවා වගේ යථාර්තය කියන්නේ එක අතකට හීනයක් බං.
සිරා සටහන...
කියවන්න වුනේ නැහැ තාම........... පස්සේ එන්නෙමි..... ;)
අමුතු ජාතියක නියම කතාවක් සහෝ.................
කාලෙට පස්සෙ මරු කථාවක්...
gathi!
ගති කියන්නෙ ගතේ ගති.... අඩේ උඹලා නැතුව කොච්ච‍්ර පාලුවෙන්ද හිටියේ. මැරුම් නොකා ආයේ ලියපන්... දැන් ඇති නිවාඩු ගත්තා....
Post a Comment