About

Related Posts Plugin for WordPress, Blogger...

ආරාධනාවයි!



33 අදහස්
















ආරාධනාවයි!

හිතවත් සමනළය,


නොපෙ‍නේද?
වැඩි කලක් නැත තොපට
අහවරව යාවි
අද හෙටම
මල් සුවද

බැරි උනත් අප වන්න
උපතින්ම
පුරුදුවව් දැන් සිටම
පමා නැත තොප තවම

නෙක වර්ණ හැඩකාර
පියාපත් හංගන්න
කුණූධූලි ඇති පදම්
ඇතිය මේ හතරවට

වාදයක් බේදයක්
නැතිය කිසි අප අතර
බොහෝ දේ තිබෙනකල
විඳගන්න
මල් සුවඳ බිඳක් රැකගනු පිණිස
කුමට අරගල මිතුර
සාමයෙන් සැනසෙන්න
ප්‍රීතියෙන් විදගන්න
එන්න අප හා එක්ව ඉගිලෙන්න

යන්න හැකි වෙතොත්
බෝ දුරක් එලෙසින්ම
නිල ලැබූ නිල මැස්සෙක්ම
වන්න හැකි වෙයි නුඹට
මතු දිනක

මීට
නිලමැස්සා

ලයිට් කණුවට ඉහලින් රාත්‍රිය



19 අදහස්




තුරු වියන්
කොරව ගිය
ඇඟිලි දිගුකර පෙන්වන

කොයිතරම් අපූරුද
රෑ අහස
පැහැදිළිව පෙනේ
තරු වුවද
අන් කවරදාටත් වැඩිය

මරණයට මග බැලුම



26 අදහස්

තින් පෙරි පෙරී එන වීදි ලාම්පු එළියෙන් අපගේ සෙවනැළි සිතුවමට නැගෙන්නට පටන් ගත්තේ කොයි වේලාවක පටන්දැයි මට මතක නොතිබිණි. බොහෝ වේලාවක් අපි බලාගෙන උන් වගක් පමණක් මතකයේ ඇත.

“අපි දැන් මොකද කරන්නෙ”
අනිකා අසයි.


“මොනා කරන්නද? ඒකිව මරණව මිසක්.”
මම දරදඬු ස්වරූපයෙන් පිළිතුරු දුන්නෙමි.


“මරන්න?”
අඩ අඳුර මැද වුව බියෙන් හා විස්මයෙන් විසල් උන අනෙකාගේ දෑස් මගේ දෑසින් නොසැඟවේ.

මම මාරාවේෂ වෙමි.


“මරන්න නෙවෙයි නම් යකෝ වෙන මොන කෙංගෙඩියකටද අපි මෙතැනට ආවෙ. තෝත් පිලිගත්ත නේද අපි දෙන්නටම ගන්න පුලුවන් එකම විසදුම ඒක බව.”


“ඒක නම් එහෙම තමයි. ඒත්....”
ඔහු පාලුවට ගිය සමූපකාර ගොඩනැගිල්ලේ බිත්තිය අසල ඇණ තබා ගනී. මගේ කෝපය දෙගුණ තෙගුණ වේ. මේකාගේ මේ දෙපිට ගති නිසා මටත් වෙන්නේ හිර ගෙවල ලගින්නටය.


“නැගිටපිය මූසලයා”
මම ඔහුගේ හිසට අත්ලෙන් පහරක් ගසමි. ඔහු හිස කසමින් නැගී සිටී. විසල් වී ගිය මෝඩ ඇස් තුළ කදුලු කැටි දෙකක් ගුලිව දිළිසෙනු මට පෙනේ.

මා සිතේ අනුකම්පාවක ඡායාවක් මතුවී හොල්මන් කරයි. මම එය හිත ඇතුලටම තෙරපා ගනිමි. එක මොහොතක, එක සිතුවිල්ලක පමාවකින් මෙතැනට ආ වැඩය වරද්දා ගත යුතු නැත. එක අතකට මේ හැමකකටම මේ යකාත් වග කියන්න ඕනෙ නෙව.

නගරාන්තර බස් රථයක් හැල්මේ ඇදී ගියේ ප්‍රධාන වීදියේ පදික වේදිකාව ආලෝකයෙන් නහවමිනි. අප දෙපා අසලින් ආලෝක තීරුවක් ඇදී නොපෙනී ගියේය.
මේ වෙලාවට නගරය අදුරුය.
කොයි මොහොතක හෝ ඇය රැගත් බස් රිය නගරයට සැපත් වනු ඇත.


“උඹ මොන කෙංගෙඩියකටද ඒකිත් එක්ක හැමිණෙන්න ගියෙ”

මම නිහඩතාවය බිදදමමි. අනෙකාව තරහ කරගෙනද බැරිය. අවසාන මොහොතේ හෝ උගේ හිතේ ඈ කෙරේ අනුකම්පාවක් ජනිත වුවහොත් වැඩේ ගැස්සී යාමට හොදටම ඉඩ ඇත.

“උඹ ගිය හේතුවටම තමයි.”

අනෙකාගේ පිළිතුර මගේ කෝපයට හේතු වෙයි. උගේ ඔලුකටු සමතලා කරන අදහසකින් මම වෙලී යමි.

“යකෝ..මම උඹ වගේ බලු වෙවී ඒකිගෙ පස්සෙන් වැටිල හිටියෙ නෑ. මම ඒකිව ආශ්‍රය කලා. සීමාවක් ඇතිව. මම කොහොමත් ටික දවසකට පස්සෙ ඒකිව හලල දාන්නයි හිටියෙ. තෝ කල වැඩෙන් ඒකි ආපහු මගේ බෙල්ලෙ එල්ලෙන තැනට වැඩ සැලැස්සුනා. ගෑනියෙක් එක්ක බුදියගත්ත පළියට ඒකිව අඹු කමට ගන්නෙ තොට පිස්සුද යකෝ. ඒකි කී දෙනෙක් එක්ක ඉදල තියනවද කියලවත් උඹ දන්නවද”

“මට ඒව ප්‍රශ්නයක් උනේ නැහැ බං. මං ඒකිට ආදරෙයි. ඒකිත් මට ආදරෙයි.”
මූව නම් මට තේරුම් ගැනීමට නොහැකිය. එක්කෝ මේකා මෝඩයෙකි. එහෙමත් නැත්තම් අමුම අමු පිස්සෙකි.


“උඹ දැනන් හිටිය නේද ඒකි ඒ වෙනකොටත් මාත් එක්ක ඉඳපු වග? උඹ ඉන්දැද්දිම මම ඒකිත් එක්ක එකම කාමරේ කී පාරක් එකට හිටියද. උඹම දෑහින් දැක්ක නේද?” මම අසමි

“ඔව්. ඒ උනත් උඹ ඒකිට සලකපු විදිහට ඒකි කැමති නෑ. මමත් කැමති නෑ. ඒකිට ඕනෙ කරල තිබ්බෙ පපුවක් තියන, ආදරේ කරන්න පුලුවන් මිනිහෙක්. ඉතින් මං හිතුව ඒකිට ආදරේ කරන්න.”


“එහෙනං මොන කෙං ගෙඩියකටද තෝ ඒකිව මරන්න යන්න මාත් එක්ක එන්න එකඟ උනේ?.”


“උඹ මගේ සහෝදරය.මම උඹට බයයි. මම දන්නෙ ඒකි එක්ක උණුහුමට ගුලිවෙලා ඉන්නයි ඒකි කියන ඒව තොරතෝංචියක් නැතිව අහගෙන ඉන්නයි විතරයි. ඒත් උඹ ඒකිගෙ අතීතෙ වර්තමානෙ දන්නවා. දන්නවා කියල හිතන් ඉන්නවා. උඹ කැමති නෑ උඹේ මාන්නෙට පාරක් වදිනවට. ඒකිව කැන්දන් ආවත් මට ලගින්න වෙන්නෙ උඹත් එක්ක එකම බෝඩිං කාමරේ. මට බය හිතුනා කැන්දන් ආවට පස්සෙ හරි දවසක උඹ ඒකිව මරයි කියල..ඒකයි.”


තවත් බස් රියක් ආලෝක ඉරක් අදිමින් ඈතින් ඇදී යයි. ඒ බොහෝ විට ඈ රැගත් බස් රිය විය හැක.


“ඒකිව විතරක් නෙමෙයි තෝත් එක්ක බාවන්නයි මම හිතන් උන්නෙ ඒකිව තෝ කසාද බැන්දනම්. උඹ දන්නෙ නැද්ද ඒකි වැඩ කරන තැන චන්ද්රාපාලයත් එක්කත් ඒකිගෙ හුටපටයක් තියන වග.”


“ඒව එක එකාගෙ බොරු කතා බං. මම ඒව විස්වාස කරන්නේ නෑ. අනිත් එක එහෙම උනා කියල මට ඒකිව අත අරින්නත් බෑ. ඒකිට මම ආදරෙයි.”


“ඒ උනාට මම දැක්ක උඹ කිහිප විඩක්ම ඇස් වල කදුලු පුරෝගෙන බලාගත් අතේම බලාගෙන ඉන්නව”


“එහෙම එකක් නැහැ. සමහර වෙලාවට මට මං ගැන වගේම ඒකි ගැනත් දුකයි”'


ඈතින් සපත්තු අඩි ශබ්දයක් ඇසේ. ඈ එනවා විය යුතුය.

ස්ස්ස්....මම අතින් සන් කරමින් අනිකාව නිශ්ශබ්ද කරමි. මේ සූදානම් වන්න වේලාවයි.


“වරෙන් ටිකක් මේ හෙවනැල්ල අස්සට. හීන් සීරුවේම වැඩේ දෙන්න ඕනෙ.”
මම කොදුරමි.

අනිකාද මා සමග අදුර තුළට ගුලිවේ.

අඩි ශබ්දය ළග ළගම ඇසේ..ඔව්..ඒ ඇගේ අඩි ශබ්දයයි. මොහොතකින් කඩපේළිය අසල කෙටි මග තුළින් ඇය මතු වනු ඇත. එ සැනින් ඉක්මන් පිම්මකින් ඇගේ උගුරු දණ්ඩ කපා දැමිය යුතුය. ඈ ඉන්නේ ඊට අපහසු ඉරියවුවකින්නම් වහාම ඇගේ හදවතට ඇනිය යුතුය.

කඩපේළිය කොනෙන් දිග සෙවනැල්ලක් වැටේ...ඈ ළග ළග මය.
අනෙකා මා අසලම වෙවුලනු මට දැනේ..ඔහු යමක් කොදුරන නමුත් ඒ මා සවනට නොඇසේ. මම අරමුණ ළංවන තුරු නොසැලී හිදිමි. තව මොහොතකින් දෙකකින් සියල්ල අවසන් වනු ඇත. මම පසු පස හැරී මුවග දබරැගිල්ල තබා අනෙකාට නිශ්ශබ්දව බලා ඉන්නා මෙන් සන් කරමි.

සෙවනැල්ල තවත් ළංවේ..මම පියවරක් ඉදිරියට තබමි.

එසැනින්..මගේ වැලමිටෙන් අදින හස්තයක අනපේක්ෂිත ස්පර්ෂයකින් ම‍ගේ ගමන අවහිර වේ.
මම පසුපස හැරී බලමි.

අනෙකා මා අතේ එල්ලී මා වලකන්නට උත්සාහ ගනිමින් හිදී.

ඔහු‍ගේ ඇස් වලින් රූරා වැටෙන කදුලු තුනී ආලෝකයෙන් දිළිසේ. මම කෝපයෙන් රත් වෙමි. තැතිගැන්මක් මා වියරු නංවයි.

“අත ඇරපන් යකෝ.”
මම වියරුවෙන් නමුත් සෙමෙන් කො‍දුරමි


අනෙකාගේ ග්‍රහණය තවත් තද වෙයි.
“එපා බං..එපා...”
ඔහු පිණ්සෙණඩු වෙයි.

“අතෑරපං යකෝ..කෑ ගහන්න එපා ඒකිට ඇහෙයි.”
මම අනෙකාගෙන් මිදී ඉදිරියට යන්නට තැත් දරමි. ඔහුගේ ග්‍රහණය වඩාත් තිව්‍ර වෙයි. වෙහෙසින්ද කෝපයෙන්ද හෙම්බත්ව මම වියරුවෙන් දැවෙමි. හාත්පස රතු දකිමි.

රතු අතරින් ඇ‍ගේ රුව මතුවේ. ඈ ඈත පටන්ම සිනා වී ගත් ගමන්ම එන්නීය. මාගේද අනෙකාගේ පොරබැදුම ඈ නෙත ගැටීවීද? ඇගේ සමච්චල් සිනහවට හේතු වී ඇත්තේ එයද? නැත විය නොහැක. අප තවමත් පොර බදන්නේ අදුර තුළය..

මම අනෙකාගෙන් මිදෙන්නට අවසන් උත්සාහයද ගනිමි. දැනුදු ප්‍රමාද නැත. ඈ අපව දැක බියෙන් පැන යන්නට තැත් කලොත් ඈ පසුපස හඹාගොස් හෝ සියල්ල අවසානයක් කරන්නට මම සිතමි. නමුත් අනෙකා වඩාත් සවිමත් වූවා සේය.පිහිය රැදි මගේ අත කැපී යයි. උණුලේ කලුවට වැගිරී රාත්‍රී අන්ධකාරයේ නොපෙනී යයි.

මම වේදනාව නොතකාම ඔහුවත් ඇදගෙනම ඈ දෙසට යන්නට තතනමි..වේදනාවෙන් හා වෙහෙසින් මා ක්ලාන්ත වීමට ආසන්නය.

ඈ අප පොරබදන ඉදිරිපිටය..කිසිවක් නොවූවා සේ ඈ සිනාසෙයි. ඇගේ සිරුරෙන් දහඩිය සුවද මුසු විලවුන් සුවදක් හමා ඒ.


“ආනේ..ඔයා ගොඩක් වෙලාද ඇවිල්ල..හයියෝ..අද බස් එක පරක්කු උනා‍ මෙයා.”
ඇය නෝක්කාඩුවෙන් තෙපළයි.


“න්..නැහැ. දැන් ටිකක් වෙලා. යං අපි එහෙනම්. හොදටම කලුවරත් වැටිල. මට එද්දි ලයිට් දාල එන්නත් අමතක උනා.”

ඈ ම‍ගේ අත ගෙන උරහිසට වාරු වේ.. මම ඈ වත්තන් කරගෙන නගරය දෙසට පියවර ඔසවමි.

තවත් මොහොතක්..



26 අදහස්


මම නැඟිටීමි. බඩවැල් කරකවා පපුව හරහා දිවඟට පැමිණි අපුල දැන් මට නොදැනේ.

දෙනෙතින් කඩා හැලෙන බිඳු කමිස අතින් පිස දමමින් මසොයුරා සමඟ කතා කරන ඔහු මගේ පළමු බැල්මට කොටු විණි.

ඔහු ඇවිත්....... ඔහු ඇවිත්......

ඔහුගේ උරයකට අතක් තබාගෙන අයියා මොනවදෝ ඔහුට පවසමින් අස්වසයි..... දෑසින් වැගිරෙන කඳුලු බිඳු ඔසරි පොටෙහි සඟවමින් අම්මා මා අසලම අඳ විට්ටමට බරවී සිටී.....ගතට දැනෙන සැහැල්ලුව විඳිමින් මම ඔහු දෙස බලමි.....

ඔහ්..... ඔහු අපිට පිටුපා දිගු කොරිඩෝව දිග ඉක්මන් ගමනින් පියමනී. මාව දාල යනවද? .... යහනින් බට මම ඔහු පසුපස ඇදෙන්නට වීමි. කොරිඩෝවෙන් මිදුලට පිවිස එහි නවතා ඇති කාරයට ඔහු ගොඩ විය. මමද ඔහුගේ වම් පසින් ඉදිරි අසුනේ වාඩි වී ගතිමි.

" කොහෙද ඔයා යන්නෙ? "

ඔහු නිහඬය. " මාව දාල නේත්‍රා ගාවටද ඔය යන්න හදන්නෙ ? "

ඔහු පිළිතුරු නොදෙයි. " යන තැනකට මමත් එනවා " කඳුලු පිරි දෙනෙත් විටින් විට පිසිමින් ඔහු නිහඬවම රිය පදවයි. මම හොඳින් ඔහු දෙස බැලීමි.

මේ ඔහුය.... පස් වසක පෙම මල් පල ගැන්වී පෝරු මස්තකව මා විවාහ කරගත් ඔහුය.... කඩවසම් පෙනුම ඔහු කෙරෙන් පලා යන බවක් හැඟේ... තියුණු නෙත් මැලවී නෙතු යට අඳුරු රැලි මතුව පෙනෙයි...... දින ගණනක් නිදිවැරූවෙකු මෙන් ඔහු විඩාපත්ව ඇත...

නිරන්තරව පිරිසිදුව හැඳි ඔහුගේ කමිසය කිලිටි වී ගොසිනි. මනාව පිරූ හිසකේ අවුල් වී ඇත.සියුම් වේදනාවක් හිත වෙලා ගනිද්දී මම මාවතට නෙත් හෙලීමි. නේත්‍රා මා හමුවට ආ අයුරු මතකයෙන් පිලිපැන යලිත් සිත අද්දර රඟන්නට විය.


" ඔයා මගෙ හොඳම යාලුවා.... මට මේ දේවල් තවත් ඔයාගෙන් හංඟන්න බැහැ මිනුරි.....එහෙම කරන්න මට හිත දෙන්නෙ නෑ......... අද මං ආවෙ ඔයාගෙන් සමාව ගන්න.. " පොළවට බර කරගත් නෙත් ඇතිව නේත්‍රා උන්මාදයෙන් මෙන් පවසන වදන් වල අරුත මට නොවැටහිනි.


" මොනවද මේ කියවන්නෙ නේත්‍රා ? මට නම් තේරෙන්නෙ නෑ.... "

සාලය කෙලවර ඇති ධනුකගේත් මගේත් මංගල ඡායාරූපය දෙස දෙනෙත් දල්වා ගත් නේත්‍රා බොහෝ වේලාවක් නිහඬව සිට හඬ අවදි කලාය.

" ධනුකයි මායි අතර දැන් ටික කාලෙක ඉඳන් සම්බන්ධයක් තියෙනව මිනුරි"


මට සිනහා නැඟුනි. "මොකක්ද කිවුවේ ? විහිළු කරන්න එපා නේත්‍රා ...... පිස්සුද ඔයාට ? "

හැඬීමෙන් රතු වූ දෙනෙතින් මදෙස බැලූ නේත්‍රා යලිත් සිය වත බිමට බර කර ගත්තීය.

" මාව විශ්වාස කරන්න මිනුරි...... ධනුකගෙ හිතේ මං ගැන කාලයක ඉඳන් අදහසක් තිබිල.... එයා ඒ ගැන මට කිවුවේ අපි ගිය අවුරුද්දෙ නුවර එළි ගිය වෙලේ... "


සැණෙන් මසිත වසරක අතීතයට දිවයයි. නේත්‍රා මගේ මෙන්ම ධනුකගේද සොයුරියක ලෙස ලෙංගතුව සිටි අයුරු මා මතකයට නැඟෙයි. ගිය වර නුවර එළිය ගිය ගමනේදී ධනුක ගිටාරය වයද්දී ගී ගැයූ නේත්‍රාගේ කටහඬ ඔහු බොහෝසේ වර්ණනා කල අයුරු මට සිහි වෙයි.


එය එසේ විය නොහැක..... ධනුක පිළිබඳව එලෙසින් සිතන්නටවත් මට බැරිය......

" කරුණාකරල මෙතනින් යන්න නේත්‍රා "

කොහේදෝ සිට ආ ආවේගයක් මසිතට ආරූඪ විය.

" ඔයාට මාව විශ්වාස නැද්ද මිනුරි? පොඩිකාලෙ ඉඳන් එකට හිටිය මාව ඔයාට විශ්වාස නැද්ද ? "

නේත්‍රා කඳුලු පිරි දෙනෙතින් බැගෑපත් බැල්මෙන් මසිත රිදවයි.

" මට දැන් කාවවත් විශ්වාස නෑ... මෙතනින් යන්න නේත්‍රා මට ඔයාව ගෙයින් එළියට ඇදලා දාන්න ඉඩ තියන්න එපා...... " ඇගේ පියවර හඬ ක්‍රමයෙන් ඈත්ව යයි.


මොනවද මේ වුනේ ?.... ධනුක..... මගේ ධනුක මට එහෙම කරයිද? නෑ ඒක වෙන්න බෑ...... ඒත් නේත්‍රා හැමදේටම මට හිටිය මගේ යාලුවා... එයා මට බොරු කියයිද?......

අතට හසු වුන කඩදාසියක් ගෙන මම අම්මාට ලිපියක් ලීමි. සිත තෙරපා පීඩාව අකුරුවලට කැටි කර කඩදාසිය මතට දමා ගැසීමි.

ධනුක..... නේත්‍රා..... ගිටාරය.... ගායනය... සිනා හඬ...... ලෝකයම මා වටා භ්‍රමණය වන්නක් මෙන් මට දැනෙයි........... ධනුක, නේත්‍රා මෙපමණ කලක් මා රවටා ඇත...


කන අසල ඇසුනු හඬකින් මම පියවියට එලඹියෙමි.

" කොහේ බලාගෙනද මිනිහෝ වාහන එලවන්නේ? " පාපැදිකරුවෙක් ධනුකට බනිමින් රවමින් ඉදිරියට ඇදෙයි. හේ නිනවුවක් නැතුවාක් මෙන් නැවතත් වේගයෙන් රිය පදවයි.


ඔහු නිහඬය. මමද නිහඬවම මග දෙපස නෙත් එල්වීමි. මේ නේත්‍රාගේ නිවසට යන මාර්ගය බව මා මතකයට නැගෙද්දීත් රිය නේත්‍රාගේ නිවස ඉදිරිපිට නවත්වා අවසන්ය.

කෝපයෙන් රියෙන් බට ඔහු පසු පස මමද ඇදී ගියෙමි.

" නේත්‍රා !!! " මම තිගැස්සුනෙමි. ධනුක මේතරම් වියරුවෙන් කථා කරනු මා කිසි විටකත් අසා නැත. කිසිවක් කියා ගත නොහැකිව මම හිටි වනම බලා උන්නෙමි.

" නේත්‍රා !!!! " ඉහල මාලයේ සිට දඩිබිඩියේ දිව එන නේත්‍රා මා ඇස ගැටුනි.

" ධනුක ? මොකද මේ ? "

"මොකද මේ ? මෙහෙට වරෙන් පට්ට බැල්ලි මං තොට කියල දෙන්න " ධනුක යක්ෂාවේශයෙන් කෑගසයි.

" ධනුක හෙමිට කතා කරන්න අහල පහල මිනිස්සු ඉන්නවා " නේත්‍රා තොඳොල් වෙමින් ධනුක අසලට එමින් පැවසීය.

ක්ෂණයෙන් ඉදිරියට ගිය ධනුක නේත්‍රාගේ කෙස්වැටියෙන් ඇද ඇය බිම හෙලීය.

" ධනුක මොකද මේ ? " නේත්‍රාගේ විසල් දෙනෙත බියෙන්ද කෝපයෙන්ද පිරීයනු මම බලා සිටියෙමි.

" තෝ මොනවද යකෝ මිනුරිට කිවුවෙ ? මගෙ රත්තරන් ගෑණිට තෝ ඇයි කිවුවෙ උඹයි මමයි යාළුයි කියල ? " නේත්‍රාගේ බෙල්ල බිමට තද කරමින් ධනුක උමතු වූවෙකු මෙන් කෑගසයි. මට හුන් තැනින් සෙලවීමටවත් නොහැකිව බලා සිටියෙමි. දෙනෙත් පුරා රූටා හැලෙන කඳුලු පිස ගැනීමටවත් නොහැකි ලෙස මා අවසඟව ඇත.

වැරයොදා ධනුකව තල්ලු කර දැමූ නේත්‍රා වියරුවෙන් මෙන් සිනාසෙයි.


" හ හා හා හා හා........ ඔව් මම කිවුවා..... මම මිනුරිට කිවුවා අපි දෙන්න යාලුයි කියල.... ඉතින් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද ධනුක... මං ඔයාට ආදරෙයිනෙ.... "

"පර බැල්ලි .." ධනුක වේගවත් පහරක් නේත්‍රාගේ කම්මුල මතට ගැසීය. " කවදද යකෝ උඹයි මමයි යාලු වෙලා හිටියේ? මම කවදද උඹ දිහා ඒ විදියට බැලුවෙවත් ? උඹ නිසා මගෙ ජීවිතම කාළකණ්නි වුනා කියල තෝ දන්නවද ? "


කිසිවක් සිතාගත නොහැකිව මම බලා වුන්නෙමි. ධනුක වරදක් කර නැතිද? වැරදුනේ මටද? නේත්‍රා මට පැවසුවේ මුසාවක්ද?

" හා හාහා හාහා...... මටත් ඕන වුනේ ඒක තමයි ධනුක...උඹේ ජීවිතේ විනාස කරන එක.. මං උඹට ආදරේ කලා..... දැක්ක දා ඉඳන්ම....... ඒත් උඹ........? මිනුරි කියන දුප්පත් හිඟන්නිට ආදරේ කලා ....... කසාද බැඳ ගත්තා..... මට මොනවද ඉතුරු වුනේ... උඹල දෙන්නගෙ වැඩකට නැති යාලුකම...... තොරතෝංචියක් නැති හිනාව.... හහ්...... ඉතින් මං මිනුරිට පොඩි බොරුවක් කිවුවා......... උඹලගෙ සතුටට ගිනි තියන්න.... උඹෙන් පළිගන්න .... එච්චරයි " නේත්‍රා වස් කවියක් මෙන් කියවගෙන යද්දී ධනුකත් මමත් ගල් ගැසී අසා සිටියෙමු.


" උඹට මගෙන් පළිගන්න ඕන වුනා නම් මාව මරන්න තිබ්බ නේත්‍රා..... මගෙ අහිංසකීගෙ ඔළුව ගිනි නොතියා " ධනුක හඬා වැටේ....... හුන් තැනම දණඔබා හඬා වැටෙන ධනුක ළඟට මම දිව ගියෙමි.

" අනේ මට සමාවෙන්න ධනුක... මට සමාවෙන්න.... මම දුර දිග නොබලා ආවේගෙට වහ බිවුවෙ.... මම ඔයාව සැක කලා.. මට සමාවෙන්න රත්තරනෙ.... මට සමාවෙන්න.... මට දැන් සනීපයිනෙ... අපි ගෙදර යමු ධනුක..... මේ ගෑණිව දෑහට නොපෙනෙන තැනකට අපි යමු ධනුක..... අපි යමු.... "


ධනුක නොසෙල්වී නොනවත්වා හඬා වැටෙයි...." මිනුරි වහ බිවුවා නේත්‍රා...... උඹේ කේලම් අහල මගෙ අහිංසකී වහ බිවුවා..... රැයක් පුරා වද විඳල අද උදේ හුස්ම ටික ගියා ... ඇයි මෙහෙම කලේ නේත්‍රා..... උඹට සහගහනව මේ කරපු අපරාදෙට....... "

"මිනුරි මැරුණ ? " නේත්‍රා කපා හෙලූ කඳක් මෙන් ඇද වැටුනි.

මම මැරිල ? නෑ... එහෙම වෙන්න බෑ..... මේ ඉන්නෙ මම... දෙයියනේ ධනුක ඔයාට මාව ඇහෙන්නෙ නැත්තෙ ඇයි.......


හෙමින් හෙමින් නැඟිට ගත් ධනුක පරඬැලක් මෙන් දොර දෙසට ඇදෙනු මම බලා උන්නෙමි.


"ධනුක !!! මම මැරුණේ නෑ......"

නොලියවෙන දේවල්



27 අදහස්
මේ දවස් වල මොකුත් වැඩිපුර ලියවුනේ නෑ. ලියැවුනත් ලියැවුනේ ලියන්න ගිය නමුත් නොලියවෙන දේවල් ගැනම තමයි . ලියපු නමුත් නොලියවුන නිසා දානවද නොදානවද කියල හිත හිත ඉන්න එකේ නොලියවෙන දේවල් ගැන ලියවුන අරවා මේවා ටිකක් එක්කාසු කරල දානවා. කියවල වැඩක් වෙයිද නම් මන්දා?



















කවිය නුඹ


කවිය නුඹ දහස් වර කියවන
කවි දහක් පබඳින නමුත් නොකියවෙන කවිය නුඹ

..........................



ඵලක් නැත නුඹට කවි ගෙතුම



-->ඵලක් නැත නුඹට කවි ගෙතුම

නුඹව හැර අන් බොහෝ දේ ගැනම ලියැවෙමින් අවසන් වන

...............

මෙන්න මේක තමයි නොලියවෙන දේවල් ගැන මුලින්ම ලිය උනේ.

කවියක් ලියන්නට වෙරදරා නොලියවුන දවසක කවි නොලියවෙන වගක් කවියකට නගන්නට සිතූකල ඒ තැතද පල නොදැරු අවසන ඉතිරි වූවක් පමණි මෙය

මා ප්‍රියාවිය..



27 අදහස්
ප්‍රේමය ගැන කොතරම් නම් කවි ගී බිහිවෙයිද?
කොතරම් නම් කටහඬවල් වලින් විවිධ භාෂාවන්ගෙන් සහ මියැසියන්ගෙන් අප වෙත ඒ ගැන තතු කියාවිද...අද මෙන්ම හෙටත්.
නන්නාදුනන බසකින් වුව පැමිණ හද අමතන තනුවකට අපේ ඇස් බොඳ කරන්නට ඉඩ හරින ප්‍රේමයේ අපූර්වත්වයට සහ ගුප්තබවට මම පෙම් කරමි..

රාහත් නස්රත් ‍ෆතෙ අලි ඛාන් ගායනා කරන "ඔරෙ පියා" ගීයද එවන් සුන්දරත්වයක් සහ අපූර්වත්වයක් කැටි වූ ගීතයක්.
2007 දී තිරගතවූ ආජා නාච්ලේ චිත්‍රපටයටද මෙම ගීය ඇතුළත්.




ඕ මා ප්‍රියාවිය.... ඕ මා ප්‍රියාවිය.......

මගේ උමතු සිත පියඹන්නේ මන්ද.........
මේ ධෛර්ය කොයිබින් පැමිණියේද.....


ඕ මා ප්‍රියාවිය.... ඕ මා ප්‍රියාවිය.......


ඒ මේ අත ඒ මේ අත හමනා සුළඟයි.... හමනා සුළඟයි....
වැහි පොදවත් මෙහි නොපැමිණෙයි........
මුළු ලොවම කුමණ්ත්‍රනයට එක්වී ඇත.....
හැම මොහොතකම බලාසිටින්නෙමි.....


ඕ මා ප්‍රියාවිය.... ඕ මා ප්‍රියාවිය.......

බැල්ම පවසන්නේ .... ලෝකය පවසන්නේ....
හදවතෙහි කතාවයි .. හදවතෙහි කතාවයි.....
ප්‍රේමය අයදින්නේ ප්‍රේමය පතන්නේ යම් කුණාටුවකි....
ප්‍රවේසමෙන් යමු ප්‍රේමය තවමත් නැවුම්...
ඒ අප වූ ප්‍රථම පොරොන්දුවයි.....


ඕ මා ප්‍රියාවිය....
ඕ මා ප්‍රියාවිය....
ඕ මා ප්‍රියාවිය....
ඕ මා ප්‍රියාවිය....


ගිනියම් අඟුරු මතින් ඔබ නිරුවත් දෙපයින් ඇවිද ගියා....
ඔබ නාඳුනන්ගෙන් වෙන්ව මගෙම යැයි හැඟුනි....
ඔබේ දේශය වෙත මා රැගෙන යන්න.....
දුශ්ඨ ලෝකය මගේ සතුරන්ය.....


ඕ මා ප්‍රියාවිය....
ඕ මා ප්‍රියාවිය....
ඕ මා ප්‍රියාවිය....
ඕ මා ප්‍රියාවිය....



මිතුරා මිතුරෙකු නොවිනි..



12 අදහස්


1964
වර්ෂයේදී තිරගත වූ සංගම් චිත්‍රපටය අතිශයෙන් ජනප්‍රිය ගීත රැසක් රැගත් චිත්‍රපටයක්.එහි එන හර් දිල් ජෝ ප්යාර් කරේගා, මේ ක්යා කරු රාම්, මේරේ මන් කී ගංගා, යෙ මේරා ප්‍රේම පත්‍ර ආදී ගීතවල ජනප්‍රියතාවය අදටද එලෙසින්ම නොනැසී පවතිනවා කිවුවොත් නිවැරදියි.

රාධා(වෛජයන්ති මාලා), සුන්දර්(රාජ් කපූර්) සහ ගෝපාල්(රාජේන්ද්‍ර කුමාර්) යන මිතුරන් තිදෙනෙක්ගේ ජීවිත වටා ගෙතෙන මෙම චිත්‍රපට කතාව මිත්‍රත්වයේ සහ ප්‍රේමයේ ගැටීම පිළිබිඹු කෙරෙන සංවේදී කතා පුවතකින් සමන්විතය.

"දෝස්ත් දෝස්ත් නා රහා" යන ගීතය සංගම් චිත්‍රපටයේ එන ගීත අතුරින් අතිශය ජනප්‍රියතාවයක් ලද තවත් ගීතයක්. රාජ් කපූර්, රාපේන්ද්‍ර කුමාර් සහ වෛජයන්තිමාලාගේ රංගනයෙන් ඔපවත් වන මෙම ගීතය මුකේෂ් විසින් ගායනා කරන ලද්දක්.
මෙම ගීතයේ අර්ථය සිංහලයට නැගුවේ
හද ගී පොතේ අප ළබැඳි තිස්ස අයියා කල ඉල්ලීමකට අනුවයි.



මිතුරා මිතුරෙකු නොවිනි.. ආදරය ආදරය නොවිනි......
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......


මගේ වස්තුව ආදරයේ මා පැවරූයේ කාටදෝ.....
මගේ මිතුර ඒ ඔබ විය... ඔබම විය.....
ජීවිතය නම් මාවතේ මගේ සහකරුවා කවුරුදෝ.....
මගේ මිතුර ඒ ඔබ විය... ඔබම විය...
සියළු රහස් එළි වූවා..... මාගේ විශ්වාසය තව දුරටත් නොරැදිනි....
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......


මා ගෙල වැළඳ බියෙන් සිර වූ කටහඬින් කතා කලේ කවුරුන්ද........
ඒ ඔබ නොවීනම් කවුරුන්ද.... ඒ ඔබම විය...
වෙන්ව යන මොහොතේ මුතුවන් කඳුළු සැලුවේ කවුරුන්ද.....
ඒ ඔබ නොවීනම් කවුරුන්ද..... ඒ ඔබම විය.....
මත් වූ රාත්‍රීන් ගෙවී ගියා.... දැන් ඒ ප්‍රමෝදය ගිලිහිනි...
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......

මිතුරා මිතුරෙකු නොවිනි.. ආදරය ආදරය නොවිනි......
ජීවිතය ඔබ කෙරෙහි වූ විශ්වාසය ගිලිහිනි.......
විශ්වාසය ගිලිහිනි......



නොතේරුම



25 අදහස්


















ගීයක්
රැඳී උන්නා
ලැබෙන තුරු හඬක්

තරුවක්
බලා උන්නීය
දරාගෙන
අහසක්

සදාකාලික දුරක්
දිළෙන තරු එළියෙන්
මැවෙනු දැක
ගොලුව ගිය
මිනිසෙක්

පහුරු ගෑවා
නොනිමි
අඳුරක්

මා ඔබට කොතරම් පෙම් කරයිද...



19 අදහස්
1981 දී තිරගත වූ කුද්රත් චිත්‍රපටයේ ගීතයකි මේ... මජ්රූහ් සුල්තාන්පුරි පද රචනා කල මෙම ගීතය, ආර්.ඩී. බර්මන් ගේ සංගීතයෙන් සංගීතවත් වී වරක් ගායිකා පර්වීන් සුල්තානාගේ කටහඬින්ද.... යලිත් වරක් කිශෝර් කුමාර්ගේ කටහඬින්ද ඔපවත් විය.... මෙම ගීතය සඳහා පර්වීන් සුල්තානා හට හොඳම ගායිකාව ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයක්ද හිමි විය.... මේ ගීතය සහ එය ඇතුළත් වූ චිත්‍රපටය ගැන වැඩි විස්තර අපේ උදාර සහෝදරයාගේ ශ්‍රී ලංකාවේ ජනප්‍රිය පැරණ හින්දි ගී අඩවියේ මෙන්න මෙහෙම සඳහන් වෙලා තිබ්බා...



මා ඔබට කොතරම් පෙම් කරයිද මමවත් නොදනී.....
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......


බොහෝ දෙනා විරහ වේදනාව උසුලන බව ඇසුවෙමි......
නමුත් ඔවුන් කෙසේ ජීවත් වෙනවාදැයි නොදනිමි.....
මෙහි දිනයක් පවා වසරක් මෙන් දැනෙයි.......


මට කොතරම් කල් බලා සිටිය හැකිදැයි මමවත් නොදනී...
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......


අන් කිසිවෙක් ඔබ දෙස බැලුවොත් හද ඊර්ෂ්‍යාවෙන් දැවෙයි......
බොහෝ වෙර දරා හද වාවා ගනිමි......
කරන කැපවීම් ගැන ඔබ දන්නේ මොනවාද....

මේ හද කොතරම් නොසන්සුන්දැයි මමවත් නොදනී....
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......


මා ඔබට කොතරම් පෙම් කරයිද මමවත් නොදනී.....
එනමුත් ඔබ නොමැතිව දිවි ගෙවිය නොහැක......



නොනැගෙන කවිය



17 අදහස්
















නිල් තරු ඇසින්
ගිලිහෙන එළිය
ඇහිඳිමි

හද තත් සැලී
උපදින මියැසි
විඳගමි

උහුලනු බැරිව
පන්හිඳ රැගෙන
සසැලෙමි

මලබැඳි වදන්
පත් ඉරු මතට
පුරවමි

උවම් දෙන්නට
සම කරන්නට
සොයමි


කුරුටු ගා මකමි

ඉවත ලමි..

newer post older post