About

Related Posts Plugin for WordPress, Blogger...

නිර්වාණයේ දොරකඩ හිඳිමි



5 අදහස්
කිනම් උදයකද මේ  හිරු නැගෙන
යකඩ දියවෙයි
මලකඩට පපුව හීරෙයි
කඳුළකට ඇස් තෙමෙයි
ජීවිතේ කාලෙකට පස්සේ

දෑස් පිසදාගෙන
මගට පිවිසුන තැන
පාර අතුගාන සුමනේ
හිනාවී අතුගෑව හැටි
රොඩුබොඩුත් හදවතේ අඳුරේ

හන්දියම ජන ගහනය
කාලයක් තිස්සේ දකින හඳුනන මුහුණුය
නාඳුනන මිනිසුන්ය
නගිමි බසයට
නරඹමින් පහුවයන ජීවිත

බෝගහ හන්දියෙන් බැස
ගොඩවෙමි මුදලාලිගේ කඩයට
කාලෙකට පස්සේ..
සීනි අඩු ප්ලේන්ටිය
කහට අඩු මුදලාලි
උණුසුම්ය තේ එක
ගිහින් එන්නම් මුදලාලි
හදන ගේ දිහාවට

ගඩොල් ඉවරයි මහතිය
රාජ ආවිට
නොදෙමි පිළිතුර
අසමි පැනයක් එවිට
කිසිදාක අසන්නට නොසිතුන

කොහොමද
ගෙදර අය එහෙම?

සවස තේ වේලද
බෙදාගෙන වැඩකරන උන් සමග
පිටව එමි කලුවරට පෙර
නවාතැන වෙත

නා කියාගෙන
ඇඳ උඩට වීගෙන
දල්වගමි දුම් වැටිය
පුරුද්දට
හදවතේ ඉඩකඩක් නැති හැටිය පිරෙන්නට
ලැගුම් ගෙන හිදින්නට
දුමට

විසිකරමි දුම් වැටිය
ජනේලෙන් පිටතට
ඉන් එපිට
රාත්‍රිය තරුණ

ඉර නිවුව හිතකට
පුරහඳත් කොයිතරම් සිසිලද?
නිවෙන්නට කොයිතරම් තැන් ඇතිද දිවියක?
නිවන්නට පෙර සසර

මරණයක් විය හැකිය නින්දද
සිහිනයෙන් මා මුදන

එපා කිවයුතුය එන්නට



newer post older post