About

Related Posts Plugin for WordPress, Blogger...

මොහොතක්...



19 අදහස්


'ජීවිතේ උගුලක්' ඔහු කීය.

සුදු පෙණ නංවමින් ගල් කුළු අතරට වන් දිය කඳ ගල් මතු පිට සෝදා දමා යලිත් මුහුදට එක්විය.

' ඔව්... ජීවිතේ ලොකු උගුලක්... පුංචි පුංචි උගුල් ගොඩකින් හැදිච්ච ලොකු උගුලක්...' දඟ කරන කෙහෙරැල් වලට අත්වැල් අල්ලන සුළඟට මගේ කට හඬද මුසු විණි.

'හිතිල නැද්ද කවදාවත් අපි කාගෙ හරි සෙල්ලමක ඉත්තො කියල, අපි කරන කියන හැම දෙයක්ම කවුරු හරි බලන් ඉන්නව කියල, මං කියන්නෙ මැවුම්වාදය ගැන නෙවෙයි.... ඒත් අපෙ ජීවිත වල ඊළඟ මොහොත අපි අතේ නැහැ කියල' මම කවදත් ප්‍රිය කල නිවුණු සන්සුන් කටහඬ වාතලය කපාවිත් මගේ දෙසවන පුරවාලයි.

'නොහිතෙනවත් නෙවෙයි.... හිතෙනව... අපේ පාලනයකින් තොරවම ජීවිතේ ගහගෙන යද්දි එහෙම දැනෙනව..මං පුංචි කාලෙ හිතන් හිටිය අර ග්‍රීක දේව කථා වල වගේ අපි ඉන්නෙ යෝධයෙක්ගෙ අතෙ තියෙන ලෝකයක් උඩ කියල...පොත් පත් කියවද්දි , ජීවිතේ දකින්න ආගම දහම හුරු කරගනිද්දි හැම දෙයක් දිහාම පස්සෙ බැලුවෙ ඒ විදිහට....... ඒත් කාලයත් එක්කම එක දෙයක් අවබෝධ වුනා..... තේරුම් ගත්ත තනියම හිතලම....

ජීවිතේට ආචාර්ය මහාචාර්යවරු ලිවුව පොත් පත් වල තියරි හරියන්නෙ නෑ කියල....... ජීවත් වෙද්දි ප්‍රශ්න එද්දි ඒවයෙ තියෙන තියරි අදාල නැහැ කියල... ආගම වුනත් එහෙමයි කියල හිතුන. ඒත් ඒ අදහස් තේරුම් ගන්න කෙනෙක් මට මේ වෙනකම් හම්බෙලා තිබුණෙ නෑ......'

මා කියූවක් ඔහුට හැඟුනාදැයි විමසීමට මෙන් මම නෙත් කොනින් ඔහු දෙස බැලීමි. සිහින් තොල් අග අපූරු සිනහවක් සිත්තම් වී තිබිණි.

'ආගම වුනත් එහෙමයි කිවුවෙ? ආගම දහමෙ තියෙන තියරි ගැනද?' ගලක් මත සිටින කක්කුට්ටෙක් හා කෝටු කැබැල්ලකින් සෙල්ලම් කරමින්ම ඔහු පැනයක් නැඟුවේය.


'හ්ම්ම්... ඔව්...ජීවිතේට අදාල වන දේවල් වගෙම අදාල නොවන කොයි තරම් දේවල් තියෙනවද ඒවගෙත්....'

'ඇත්ත.... ඔයා හිතන දේ මට දැනෙනව.. ඒත් ඒ ගැන කථා කරන්න අපිට වෙලා නැති වෙයි නේද? ඒක ලොකු මාතෘකාවක්....'

කක්කුටු සෙල්ලම ඇති වුන ඔහු කෝටුව ගලපර අතරට විසිකරමින්ම මදෙසබැලීය. කොයියම්ම දෙයක වුව දිගු වේලාවක් නිරතවීමේ හැකියාවක් ඔහු තුල කවදත් නොවීය.

'එහෙනම් ඒක අල්ලල දාමු....' ඔහුද මමද සිනාසුනෙමු. අප අසල රේල් පාර දිග කාර්යාලය නිමවී කඩිමුඩි ගමනකින් ඇවිද යන තලත්තෑනි පුද්ගලයෙකු අප දෙස හැරී බලනව මම දුටිමි.

'මට අර මනුස්සය දැක්කම රුක් අත්තන මල මුදුනේ සින්දුව මතක් වුනා....' මා නෙත් යොමා සිටි දෙස බැලූ ඔහු තවත් කථාවකට මුල පිරීය.

'ඒ මොකද ඒ.....'
තව තවත් ඒ කටහඬ මනස් කුහරය තුලට රිංගවා නිධන් ගත කරගැනීමේ මහා ලෝබකමකින් පිරුණු මසිත ඔහු හා තව තවත් දොඩමලුවන්නට බලකරයි.

'රුක් අත්තන මල මුදුනේ.... බමරු නටන හැන්දෑවේ....... මේ පේලියටම තේරුම් තුනත් දෙන්න පුළුවන්නෙ.... එකක් තමයි ඔය මලට ගැහැණිය ආදේශ කිරීම.... ඒ ගැහැණිය අනියම් බිරිඳ හෝ ගණිකාවක් වෙන්න පුළුවන්.....ඒ කියන්නෙ සමහර පිරිමි වැඩ ඇරිල ගෙදර වෙනුවට බොහෝදුරට යන්නෙ ඔය තැන් දෙකෙන් එහෙකට.....

දෙවෙනි එක ...... ඇඟේ පතේ වෙහෙස මහන්සිය නිවා ගන්නත් එක්ක හවසට ගල් පොල් බෝතලයක පිහිට පතන එක...... තුන් වෙනි එකනම් හුඟක්ම සාමාන්‍යයි හැන්දෑවෙ සුන්දරත්වය වර්ණනා කිරීම...... මුල කාරණා දෙක ගත්තාම ඔය සින්දුවේ විස්තර කරන තාත්තා හරිම අවංක හොඳ ස්වාමිපුරුශයෙක් වගේම තාත්තා කෙනෙක්........ බහුතරයක් පිරිමි මල් මුදුනෙ නටද්දි මේ තාත්තා හැන්දෑවත් එක්කම ගෙට ගොඩවෙනව.......'

හූමිටි තැබීමකින්වත් බාධා කිරීමට නොසිතෙන තරම් මම ඒ අදහස් වලට, ඉරියවු වලට, කට හඬට ප්‍රිය කලෙමි.

'ම්ම්ම් විස්තරේ අහන් ඉඳල ආස හිතුනා ඒ සින්දුව ආයෙත් අහන්න....'

'මං කියන්නද?.....' ඔහු අසන්නේ හුරතල් දඟකාර හඬකිනි. විටෙක දාර්ශනිකයෙකු මෙන් තර්ක විතර්ක කරන පුද්ගලයාම මොහොතකින් දඟකාර හුරතලෙකු බවට හැරෙයි.මේ ඉරියවු වලට මා ඇළුම් කරන තරම්.

' අපෝ එපා....... මං දන්නවනෙ ඔයාගෙ ගායන හැකියාව... මේ අහල පහල ඉන්න කක්කුට්ටො ටික කෙලින් ඇවිදියි ඒව අහල........'


'හ හා හා...... ඉතින් ඒකම කොච්චර සේවයක්ද බලන්න.... ඇදේට යන උන්ට කෙලින් දුවන්න අවස්ථාවක් උදාවෙනවනෙ.......'

'ඒක අහල මට මතක් වුනේ මාමගෙයි බෑණාගෙයි කලියුග කාලෙක උපන්න සින්දුව.. කාලෙකින් ඇහුනෙ නෑ.......'

'දැන් කොහෙද ඒවගෙ සින්දු යන්නෙ....මේ එෆ්.එම් වල ටකරං සද්දෙ අහලම එපා වෙලා ......'
'හ්ම්ම්ම්...' මේ සොඳුරු මිනිසාගේ වශියකට මා හසුවී ඇත්දැයි මොහොතකට මට සිතුණි.

'මොකද හ්ම්ම්... ? '

'නිකන්..'

අපි නිහඬ වීමු. උනුන් සිත් හංඟන්නට මෙන් නිහඬවම මුහුද දෙස බලා සිටින්නට වීමු.

'මේ ගෙවෙන හැම දවසක්ම අමතක කරන්න පුළුවන්නම් හොඳයි නේද..... ? මම ඔහුගේ සිත ඇඟිලි ගසමින් පිරික්සන්නට වීමි.

' ඇයි ඒ... මේ දවස් ලස්සනයිනෙ....... අමතක කරන්න නෙවෙයි මතක තියාගන්න...... මං නැති දවසක මතක් කරල හිනාවෙන්න.......'

මම තිගැස්සුනෙමි. හද ගැස්ම එක්වනම වේගවත් වුන බවක් හැඟුනි.

'න්..න්..නැති දවසක.....? ඒ කිවුවෙ......?'

'නැති දවසක කිවුවෙ නැති දවසක..... හැමදාම මට මෙහෙ ඉන්න බැහැනෙ ...මං කැමතියි හැමතැනම ඇවිදින්න....මිනිස්සු අඳුනගන්න..... ජීවත්වෙන්න....'

'ඉතින් මාත් එන්නම්...'

'හ හා හා..... ඔයා ? මගෙත් එක්ක.... ? ඒක කරන්න බැහැ ළමයො...... ඔයාව මං කොහොමද එක්ක යන්නෙ.. ?'

ඔහු සිනාමුසු මුහුනින් මුහුද දෙස බලා සිටී.

' මාව බඳින්න......' මේ මම නොවේයයි මට සිතුණි. නැත. මේ මමමය.

' මං ජීවිතේට අරමුණක් නැති මිනිහෙක්.... අද මෙතන හෙට කොහේ ඉදීද දන්නෙ නැති මිනිහෙක්.... බැඳීමක් ඇති කරන් එක තැනකට කොටු වෙන්න මට බැහැ..... '

ඔහුගේ සිත නොවෙනස් බව මම දැන උන්නෙමි. එනිසාම මම නිහඬ වීමි. එහෙත් කවදා හෝ ඔහු ඒ යැයි මම සිතුවෙමි. ඒ අදින් විසිපස් වසරකට පෙරය.

අදටත් මම ඔහු ඒ යැයි සිතමි. ඉඳින් මම මඟ බලමි. ජීවිතය විඳින්නට කියාදුන් ඒ සොඳුරු මිනිසා එනතෙක් මම බලාසිටිමි.

වියපත් නොවූ පෙම..



23 අදහස්




















මහ මෙරක බර දැනෙන
ජීවිතය අතින් ගෙන
ගත වාරු නැති හිතට
දිරිය ගෙන හිමි රකින
වියපත් කතක් දුටිමි
දිනක මහ මග කොනක

වැහැර ගිය මුත් දිවිය
අත නෑර හිමි සබඳ
නුඹ පෑ දයා දුටිමි
ගත නැගුණු වෙ‍හෙස මැද

රකින්නට ඔහු පෙමින්
මුවා කර හිරු අතින්
විරි දැරූ නුඹ දුටිමි
හිරුට කර සමච්චල්

නෙක සිතුම් සිත නැගුන
අතර තෙත් දෙනෙත පිස
සිත පුරා රැවු නැගුනි
බිරිඳකැයි මමද අද

-විශ්මි-

ඉඳ හිට..



19 අදහස්

හින්දි සිනමාවේ ජනප්‍රියතම ප්‍රේම ගී කිහිපයක් මතකයට නැගුවහොත් නිසැකවම මතකයට නැගෙන ප්‍රේම ගීයකි
කභි කභිචිත්‍රපටයේ එන “කභි කභි මෙරෙ දිල්මේ” යන ගීතය
"සහීර් ලුධියාන්වි" විසින් පද රචනය කරනු ලැබ "මොහොමඩ් ඛයියාම්" විසින් සංගීතවත් කර "මුකේෂ්" විසින් ගායනා කරනු ලැබූ මෙම ගීතය වෙනුවෙන් හොදම පද රචනය, හොදම සංගීතය සහ හොදම පසුබිම් ගායනය සදහා ෆිල්ම් ‍ෆෙයා සම්මාන හිමිවීමද විශේෂත්වයකි.


ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
ඔබව නිමවී ඇත්තෙ මා වෙනුවෙන්මයැයි
ඔබ මීට පෙර තරු අතර ඇවිදයන්න ඇති
ඔබව පොලව මතට අඩගැසූවේ මා වෙනුවෙන්මයැයි

ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
මේ සිරුර මේ දෙනෙත් මගේ වස්තුවක් යයි..
මේ ඝන සෙවණැලි වන් වරලස මා වෙනුවෙන්මයැයි
මේ දෙතොල්ද මේ දෙඅත්ද මගේ වස්තුවක්යැයි

ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
මාවත්දිග හොරණෑ හඬ රැවුදෙන විට
මධුසමය රැයේ මා ඔබේ වේලය ඉවත් කරනවායැයි
ඔබ මගෙ තුරුලෙහි ලජ්ජාවෙන් වෙවුලනවායැයි…


ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….
ඔබ මේ ලෙසම දිවිය පුරා මා පතාවියැයි…
ඔබේ දෙනෙත් ආදරයෙන් මදෙස බලාවියැයි…..
ඔබ තවමත් මට ආගන්තුකයැයි මම දනිමි….

ඉඳ හිට මගේ හදවතට සිතුවිල්ලක් පැමිනෙයි….


පිටස්තරයා



31 අදහස්

මම දුවමි...
මුලින්ම ගේ දොර හැර දමා කඩිනම් ඇවිදීමකින් ගෙවත්තටද ඉන්පසු පාරටද බටුයෙමි. හන්දියේ ත්‍රීරෝද රථ නැවතුම පසු කල ගමන්ම මම මහා මාර්ගය ඔස්සේ දුවන්නට පටන් ගත්තෙමි. මේ හරියේ මා අදුරන මුහුණු වැඩිපුර නැත.
ගෙවල් දොරවල්,යාන වාහන වතුපිටි මිනිස්සු වේගයෙන් මා පසුපස නොපෙනී යයි.
කොතෙක් වේලාවක් පුරා දිවුවාදැයි මට මතක නැත. මා ගෙවමින් යන මග දෙපස රැයද දවාලද ඇසිල්ලකින් වෙනස් වන හෙයින් මා ආලෝකයේ වේගයට ළගා වී හෝ ඇතැම් විට එයද අබිබවන වේගයකින් දුවමින් සිටිතැයි මට සිතේ.
මොහොතකට පෙර ළදැරියකගේ මුහුණක සිනාවක් පසු කර ආයෙමි. දහඅට වසකට පෙර මියගිය තාත්තාගේ වැඩට යන රුවද මට හමුවිය. කඩයප්පන් තැටියත් රැගෙන ජෝන් කඩේට යන අම්මාගේ සිනහව මේ මොහොතේ රිදී ඉරක් සේ මා පසු කර යයි.
නවතින්නට මට වේලා නැත. නැතහොත් අවශ්‍ය නැත. අතීතයද වර්තමානයද අනාගතයද නොනිමි අතු පාරවල් වලින් හෙබි මහා මාර්ගයක් සේ මා ඉදිරිපස දිග ඇරී ඇත. මම ඒ තුළ සැරිසරමි. අනන්ත වූ වේගයකින් විටින් විට විවධ කාලයන් විසින් කණින ලද විවිධ ස්වරූප‍යන්ගෙන් හෙබි මගේම රුවද පසු කරමින් මම දුවමි.
මට බොහෝ සේ වෙහෙස මහන්සි දැනේ. ගතට වඩා සිත තෙහෙට්ටුය, බීමත් තැනැත්තෙක්ගේ සේ ම හිස බමයි.
මට සැගවෙන්නට තැනක් ඕනෑ වී ඇත. ඉතාම ඉක්මනින්...
සුපුරුදු සුවපහසු නිවහනට රුදුරු පිටස්තරයෙක් පැමිණ ඇති කල මා වෙන කුමක් කරන්නද?
මේ හැම අකරතැබ්බයක්ම ඇරඹුනේ පෙ‍රෙයිදා සවස පටන්ය.

හැමදාම සවසට පුරුද්දක් හැටියට මම ඇවිදින්නට පුරුදු වී හිදිමි. ශරීර සෞඛ්‍යයට සුභ නිසාවට වඩා අවට සිරි නරඹමින් හෙමිහිට බොහෝ දුර ඇවිදින්නට මම ප්‍රිය කරමි. කාර්යයබහුල දිවි පෙවෙතකට මැදිවී හිදින මම දවසේ වැඩිමනක්ම ආශ්වාදනය කරන වේලාව මේ සවස් භාගයයි. හැමදාම එකම මාර්ගයේ ගමන් කිරීම මගේ පුරුද්ද නොවේ. විටෙක අධිවේගී මාර්ගයක කෙළවර පදික වේදිකාවේ ඇවිද යන ගමන් තොරතෝංචියක් නැතිව ඉදිරියට ඇදෙන වාහන සහ මිනිස්සුන්ගේ කලබලකාරීත්වයට මම ප්‍රිය කරමි. තවත් දවසක කොහේ හෝ මාවතක් අද්දරකින් අහම්බෙන් මතුවන නෙක වෘක්ෂලාතාදීන්ගෙන් සහ අතුපතර වලින් සෙවන වන කුඩා ගුරු පාරක් දිගේ ඇවිදිමි. කලබලකාරීබව මෙන්ම නිස්කලංකයත් වෙනස් වෙනස් ආකාර වලින් මුත් එක පමණට මා සිතට මත්බව පුරවයි. එහෙමත් දවසක මම සීරුවෙන් දුම්වැටියක් දල්වා මුවග රුවාගමි. දුම්වැටිය දුරගමන් යාමට හොද සගයෙකි.
පෙරෙයිදාද වෙන හැමදාමත් වාගේම දවසකි. සිදුවීම් කිහිපයක් හැරෙන්නට...
එදිනද වෙනදා මෙන්ම නිවී හැනහිල්ලේ මම ඇවිද ගියෙමි. මම තෝරාගත්තේ මම නිතර ගමන් නොගන්නා මාවතක් වූවද එය මට නුහුරු මාවතක් නොවීය. මීට පෙර කීප විටක්ම ගමන් ගෙන තිබූ ඒ මාවත ගස් කොලන් වලින් සෙවන වූද වන ලැහැබකින් මායිම් වූද පටු මාවතකි. නිවාස කිහිපයක් හැරුණුකොට වටපිටාව ගස් කොලන් වලින් පිරී ඇති හෙයින් ඒ පෙදෙස මද අදුරක් කැටිවූ මහත් නිස්කලංකතාවයක් උසුලයි. පැය බාගයක් පමණ නොනවත්වා ඇවිදීමේ නිරත වී ක්‍රම ක්‍රමයෙන් මාවතේ අන්තයටම මම සේන්දු වීමි. වන ලැහැබ වඩාත් පැතිර පවතින්නේ මේ ඉසවුවේය. එවිට වේලාව හැන්දෑවේ හය පසුවී නොතිබුණත් පෙදෙස වඩාත් අදුරු බවක් ඉසිලීය.
වෙනදාට ආපසු හැරී නිවෙස බලා යාමට සුදුසු වේලාව වුවත්. එදින මොනයම්ම හේතුවකට හෝ මට ආපසු ගමන් කරන්නට හදිස්සියක් නොදැණුනු හෙයින් දුම්වැටියක් මුවග දල්වා ගනිමින්ම මම හාත්පස පරිසරය දෙස නෙත් යොමු කරන්නට පෙළඹුනෙමි. අවට ගහ කොලද පරිසරයද අලු පැහැති නිසලතාවයක සැතපෙයි. කුඩාම පදුරක වුව සෙලවීමක් නැත. මා හැර අන් සියල්ලම නිදි ගත් සේය.මා පමණක් චලනය වන වස්තුවක්ව...
හිටි වනම, නොසිතාම යාන්ත්‍රිකව මෙන් මම පියවරක් දෙකක් ඉදිරියට තබන්නට පටන් ගත්තෙමි. මා ඉදිරිපස තරමක් කෙටි පදුරු යායකි. ඒවා අතින් එහා මෙහා කරමින් ක්‍රම ක්‍රමයෙන් මම වෘක්ෂලතාදියෙන් සහ වල් පදුරු වලින් ගැවසුන වන ලැහැබ තුළට ඇතුලු වන්නට වීමි.
මේ සියලු දුක් කම්කටොලු වලට මුල වූයේ මා අහේතුකව ගත් ඒ අදූරදර්ශී තීරණයයි.
ගස් වැල් කටු පදුරු දෑතින් එහා මෙහා කරමින්, විටෙක උදුරා දමමින් මම උමතුවෙන් මෙන් කුඩා වන ලැහැබේ ඇතුලටම ගමන් කළෙමි. දෙපා වල වේදනාවද අත් පා වල සීරුම්ද නොතකමින් අඩක් උමතුවෙන් අඩක් යාන්ත්‍රිකව එවෙලේ මා හැසිරුණු ආකාරය සිහිවත්ම දැනුදු මට දැනෙන්නේ විමතියකි. බොහෝ වේලාවක් ගත වන්නට ඇත. මට යමක ඉව වැටී තිබුණි. එසේත් නැතිනම් මම යමක් බලාපොරොත්තුවෙන් එය සොයමින් සිටියෙමි. වාතය එන්න එන්නට තදබද වන්නාසේ නාස් පුඩු හිර කරන්නට විය. මම මංමුලාව එහෙමත් නැතිනම් සිහිසන් වන්නට ආසන්නව උන් නෙමි.
හිටිවනම මට එය හමුවිය.
එය වියළි පරඩලා කොල වලින් සහ අන්ධකාරයෙන් වැසී ගිය නොසැලකිල්ල විසින් අත්හැර දමනු ලද මාවතකි. අවසන් මිනිස් පිය සටහන වුවද කල්පයකට පමණ පෙර තබන ලදැයි සිතිය හැකි තරම් වියලි කොළ රොඩු බොඩු ඇතිරිල්ලකින් වැසී ගිය මගකි. මාවතේ හුරු පුරුදු බව ගැන මට කිසිදු සැකයක් ඇති නොවුණි. කවදාක හෝ එහි මා ගමන් කර ඇති වගටද මසිත මට දෙස් දෙන්නට විය. සිහිනයක් වන් මතකයක් දෙකක් අකුණු සැරයක් සේ ග්‍රහණය කරගන්නටත් පෙර අකූණු ගසා පෙනී නොපෙනී ගියේය.
මොහොතක්වත් එහි නොරැදී මම ආපසු නිවස වෙත ආවෙමි.ගියාටත් වඩා කඩිනමින්...

මම නිවසට ළගා වන විට නිවසේ දොර හැර දමා තිබෙනු ඈතදීම දුටුවෙමි. නිවෙස සොරු බිද දමා ඇතැයි යන බියෙන් මම වහ වහා දිව ගොස් නිවසට ඇතුලු වීම.
පිටස්තරයා නිවසට කඩා වැදී හිදිනු මා නෙත ගැටුනේ එවිටය.
ඔහු පෙනුමෙන් ශාන්තය, කාලවර්ණ සිරුරෙන් හෙබි මැදි වයස් ඇත්තෙකි. වසර විස්සක් ගතව තිබු මුත් එකදු කෙස් කැරැල්ලක ‍හෝ එකදු හමේ රැල්ලකින් ඔහු වෙනස් වී නොසිටියේය. හරියටම මීට විසි වසරකට ප්‍රථම මුල් වරට ඔහු හමුවූදා මෙන්ම යෝධ සිරුරෙන්, සමහර විට පෙරටත් වඩා සුවිසල් ලෙසින් ඔහු මා ඉදිරියේ ප්‍රාදූර්භූත වී සිටියේය.
ඔහු මා හා සිනාසුනේය. එය සිනාසීමකට වඩා දත් විලිස්සීමක් විය. හරියට මතුවට උදාවන දවස් ගැන කරන මතක් කිරීමක් වැන්න.
එදින රාත්‍රිය මා ජීවිත කාලයේ ගෙවූ දිගම රාත්‍රිය විය..
රැය පුරා මට නින්දක් නොවීය. පිටස්තරයා රැය පුරා බර අඩි තබමින් නිවස පුරා ඇවිදින හඬ රැවුදෙන්නට පටන් ගත් හෙයින් සයනයේ ඒ මේ අත පෙරලෙමින් සුවපහසුවක් සොයනු විනා මා හට අන් පිළියමක් නොවීය. හදවත මහත් බර පොදියක් දරා හිඳින්නාක් මෙන් ඇදුම් කන්නට විය..වැරදීමකින් හෝ සවස මා ගියේ යා යුතු ගමනක් නොවේ..රැය පහන් වන තෙක් මම මටම දොස් පවරා ගත්තෙමි.
දෙවැනි දවසද උදාවිය. පිටස්තරයා වදනක් වත් නොදෙඩීය. ඒ ඔහුගේ හැටිය. නමුත් හැම විටම ඔහුගේ පැවැත්ම මා තුල දනවන්නට ඔහු වග බලාගත්තේය. විටෙක ඔහු මගේ පරණ පොත් ගොඩ ඇවිස්සීය. පරණ ලියුම් කරදහි පරණ ලාච්චු තුළින් එළියට ඇද ඒවා කියවන්නට විය. උදෑසන මම රැවුල බාන අතර නාන කාමර කොණකින් එක් වරම ඔහු මතු වූයෙන් මගේ වම් කම්මුල කැපී ගියේය. දහවල් කාලය පුරා ඔහු සාලයේ හිදගෙන උරුවම් බෑ අතර මගේ දෛනික ගිණුම් සටහන් වැරදී ගියේය. සැන්දෑ ඇවිදීම පිණිස මම පිටත්වද්දී ඔහුද මා පසුපස ඇදෙන්නට වූ විට අවට මිනිසුන් නෙත ගැටෙයි යයි බියෙන් මම පෙරලා නිවස කරා ආයෙමි. රාත්‍රී වත්ම ඔහු මාගේ පැරණී ගී තැටි එකතුවෙන් අහක දැමූ තැටි කිහිපයක් කොහෙන්දෝ සොයාගෙන මහත් ශබ්දයෙන් වාදනය කරන්නට විය.
පිටස්තරයා මට නියපොතු තුඩගින්වත් හානියක් නොකලේය. මා දෙස කුරිරු බැල්මක් වත් නොහෙලීය. එහෙත් මම හැමවිටම සිහිසන් වීමට හෝ උමතු වීමට ආසන්නයේ පසුවීමි.
පිටස්තරයාට යන්නට කීමෙන් පලක් නැති බව මම අද්දැකීමෙන් දත්තෙමි. වරක් ඔහු මා සොයා ආවේය. ඔහු එළවීමට මම නොකල දෙයක් නැත.එකල පුරා වසරක් මුලුල්ලේ ඔහු මා හා එක්ව නවාතැන් ගත්තේය. මම ඔහු එළැවීමට යකැදුරු කම් කලෙමි, මධුවිතෙහි ගිලී ඌ හට වහසි බස් චණ්ඩි බස් දෙඩෙවුවෙමි, අතට අසුවන දෙයින පහර දුන්නෙමි. එහෙත් ඔහු නොසැලී සිටියේය. හරියටම වසරකට පසු එක් දිනක රහසින්ම පිටව යනතෙක් ඔහු මගේ දෛනික ජීවිතයේ විශාල කොටසක් අත්පත් කර‍ගෙන එය බි‍‍දෙන් බිඳ කඩා කමින් සිටියේය.
එදා විසි වසකට පෙර ඔහු පිටව ගිය සැනකින් මම විවාහ වූයෙමි. වෙළද ව්‍යාපාරයක් පටන් ගත්තෙමි. ගම් ප්‍රදේශයෙන් පිටව නගරයට විත් පදිංචි වූවෙමි. මිල මුදල් බොහෝ සෙයින් හරි හම්බ කලෙමි.
අසාර්ථක විවාහ දෙකකට පසු. ජීවිතේ හැල හැප්පීම් බොහොමයකට මුහුණ දීමෙන් අණතුරුව. මැදිවියේ තරබාරු කයටත් තට්ට හිසටත් උරුමකම් කියමින් සිටින අතර පිටස්තරයා නැවත පැමිණියේය. මාගේම වරදින්..වසර විස්සකට පසු.... එකල මම නාඹර තරුණයෙක් වීමි. දැන් සවිබල සිදුණු මැදිවියේ පුද්ගලයෙක්මි. සටන් කරන්නට මට වෙර වීරිය නැත.
පෙරදා රාත්‍රියේ පටන් ඔහු මුවහත් කඩුවක් ගෙන එය ඔප දැමීමටත් තව තවත් තියුණු කිරීමටත් පටන් ගෙන සිටියේය. දත් හිරිවට්ටන යකඩ සීරෙන හඩට කන්දෙමින් මම නිදිවර්ජිත දෙවැනි රාත්‍රියත් ගෙවා දැම්මෙමි.
උදෑසන හිතේ ඇති සියලු වෙර වීරිය ගෙන. පිටස්තරයා අහක බැලූ අසුරු සැනෙකින් ගෙයින් පිටවී දුව ආවෙමි. මම තවම දුවමි. පිටස්තරයාත් තවම මා පසුපස ලුහු බඳිනු මට දැනේ...

නුඹ පමණක්



15 අදහස්















නොදිරන නාමය
යට වලලා
දිරනා රූපය
තනලා සීතල ස්මාරක
මරණය ජීවත් කරවන
සෝ ගී බැති ගී ගයලා
ක්ෂණයක කදුළක් මැද
ගියදා මතකය පිසලා
උන් සැම මා අතහැර

කිම නුඹ පමණක් පිපිලා
මේ බිම මගෙ තනිවට

නැත කිසි දින නුඹ සිඹලා
මා හද තුරුළට ගෙන
නැත එක බැල්මක් හෙළලා
පෙර දා නෙතගින් වුව
නැතිමුත් නුඹ රුව මැවිලා
දකිනා සිහිනෙක වුව


කිම නුඹ පමණක් පිපිලා
අද දින මගෙ තනිවට


දවනා හිරු රැස් නොතකා
සිහිලේ මා වටකොට
හමනා පවනේ සැලෙනා
නුඹෙ සෝ ගීය නිහඩ
පෙරදා අහසේ කැටිවුණ
කලුවර වලා රොදක
ඉකිබිදුමක් වී වට වරුසාවක්දෝ
මහ පොළවට

ස්වාර්ථකාමී මම...



17 අදහස්

අන්ධ කර මා නුවන්
තවරලා ආලේ අඳුන්
දෝතින් බදා වැළඳ
මා රකින, මා සිඹින
නුඹ
ස්වාර්ථකාමියෙකු නොමවේද?

තුරුලු වී උණුහුමට
නෙත් පියා ගෙන තුටින
නොතකමින් මුලු ලොවම‍
දැවටෙමින් නුඹ ළඟම
සෙනෙහසට ලොබ බඳින
මම
ස්වාර්ථකාමියෙක් වෙමිය නුඹටත් වැඩිය

-විශ්මි-

නුඹේ බිරිඳව..



20 අදහස්


නුඹේ බිරිඳව මා තබන පලමු සටහනයි..........

නීති ප්‍රකාරව මා දැන් නුඹේ බිරිඳය...... අෂ්ඨක කියා චාරිත්‍ර ඉටුකිරීමට තව කෙටි කලක් ඇත....

මම ආඩම්බර වෙමි.... නුඹවන් සංවේදී මිනිසෙකුගේ බිරිඳ වන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙමි....... නුඹ මා හැඳින්නෙහිය....... සිර වූ ජීවිතයක බැමි ලිහා දමා නුඹ මට ඉගිලෙන්නට තටු දුනිය...... නුඹේ ජීවිතය වටා මම සතුටින් පියාසලන අයුරු බලා නුඹ අපමණක ආශ්වාදයක් විඳිබව මම දනිමි......

මට මා කවුදැයි හඳුනා ගැන්මට නුඹ මට අත්වැලක් විය.....නුඹ මට බොහෝ දේ නොව...... ජීවිතයම දුන් බව මා පවසන්නෙ හදපිරි ස්නෙහයකිනි..........

අප උනුන් උදෙසා කැපකල කිසිවක් නැත.... එහෙත් අත්හල බොහෝ දේ ඇත.... ඒවා පිළිබඳ අපට තැවිල්ලක්ද නැත.. මන්ද..... සියල්ල අත්හලේ බොහෝ සුන්දර වූ අප්‍රමාණ ප්‍රේමයක් හිත පුරවා ගැන්මට වූ බැවිනි....


නුඹ මා කෙරෙහි බල පවත්වන නීති නැත... රීති නැත...හිස සිප සනසාලන අත්‍යන්ත දයාබරත්වයක් පමණක් ඇත....



සබඳ.... වැළල ගිය සිහින නුඹේ ලෙයින් පණ ලබද්දී මම ජීවිතය ලදිමි.......... සැඟව ගිය සිනහවන් නුඹ සොයාගෙන ඔපදමද්දී මම ජීවිතය ලදිමි........ නුඹේ සුසුමක් නළලත ගැටුනු කල මම ජීවිතය ලදිමි........

නුඹේ ප්‍රේමය අස මම නිවුනෙමි.... සැනසුනෙමි......
newer post older post