About

Related Posts Plugin for WordPress, Blogger...

ගින්දර



13 අදහස්

ගේ ඇවිලෙද්දි මම මිදුලෙ පත මාර ගහට මුවා වෙලා බලාගෙන හිටිය.

ඇවිලෙන ගේ දිහා නෙමෙයි. වටේ ගෙවල් දිහා.

උන් නිදිද?
උන් ඇවිත් ගින්න නිවා දාවිද?
මගෙ පපුව ඩිග් ඩිග් ගානව.

හූස් හූස් සද්දෙ අස්සෙන් ජරබරස් ගාල සද්දයක් ගේ දිහාවෙන්.
ෂුවර් එකට පරාලයක් කඩන් වැටෙන්න ඇති.
අජිය ඇහැරෙයිද සද්දෙට?
මම උගෙ ගේ දිහාවට ඇස් යොමු කෙරුව.
උගෙ ගේ තාම කට්ට කරුවලේ..

හැරී, කාන්ති, බට්ට?

මම අංශක දෙසිය හතලිහක් පුරාවට මගේ බැල්ම විහිදෙව්ව.
ඔක්කොම දපල...
බල්ලෙක්වත් බුරන්නෙ නෑ..
ජීවිතේ පලවෙනි පාරට මගෙ හිත අසල්වැසියො ගැන ආදරයක් වගේ හැගීමකින් පහුරු ගෑවෙනව.

මම ගේ දිහාව බලාගෙන ගින්නේ පැතිරීමත් ගෙයි සැලැස්මත් හිතේ ඇඳගෙන හිතින්ම ගණිත ගැටලුවක් විසඳනව.


සියට හැත්තෑ පහක් ඉවරයි.....




ගින්න පටන් ගන්න ඇත්තෙ කුස්සියෙන්.
එක්කො අයන් එක.
මම අටට විතරත් කමිසයක් මැද්ද.
අයන් එකෙන් ගිනි ගත්ත නම් මේ වෙද්දි සෑහෙන විදුලි බිලක් එකතු වෙලා ඇද්ද?
අවුලක් නෑ..තව ටිකකින් විදුලි මීටරෙත් ගිනි ගනීවි.
කොම්පියුටරේ නම් ගන්න දෙයක් නැතිව ඇති.
හාඩ් ඩිස්ක් එක.

දැන් සියට අනූවයි..
ඉස්සරහ කාමරේ
මගේ පොත්, දිනපොත්, ලිපි ලේඛණ අයිඩෙන්ටිය, ලයිසම..

ගෙයි ගින්න පැතිරෙද්දි මගෙ හිතේ ගින්න ටික ටික නිවෙන්න පටන් අරන්......



දැන් වෙලාව කීයට විතර ඇද්ද?
ඔරලෝසුවත් ගිනිගන්න ඇති.
ෂෙහ්!
අවුලක් නෑ.

මම මාර ගහ අස්සෙන් මෑත් වෙලා කලුවරේම ගෙයි පිටිපස්ස දිහාවට බඩගානව. ගේ ඔක්කොම බිමට අලුවෙලා. පරණ වෙච්ච වෙසක් කූඩුවක් වගේ.

කරුවලේම පිටිපස්සෙ වැල අතගාල මම ඊයේ රෑ වනපු කලිසම තරමක් තෙත පිටින්ම ඇදගන්නව. එළිවෙන්න කලින් පුලුවන් තරම් දුරකට යන්න බලන්න ඕනෙ.
කොහොමද යන්නෙ?බස්එකේ? සල්ලි?..
පයින්ම යනව.
යන ගමන් කල්පනා කරනව.
ගිහින් හොයාගන්නව අලුත්ම පලාතක්. කවුරුත් නොදන්න පැත්තක්. හදාගන්නව අලුත් අයිඩෙන්ටියක්. අලුත් දවසක්..අලුත් මම..අලුත්....අලු...

නිශාන්ත

මම අලුගොඩේ පය පැටලිල වැටෙනව.
අලු කන්ද සමතලා වෙලා ඇඳක් හැදෙනව. හතරවටෙන් අලුවෙච්ච කලුවෙච්ච බිත්ති යළි ගොඩනැගෙනව. යථා තත්ත්වයට පත් වෙනව.

ඈ ඇඳ පැත්තට හිස බරකරල මගෙ නළලට හාද්දක් දෙනව..ඊළගට කාමරේ ෆෑන් එක දානව.
දාඩිය දාල හොදටම.
මොකද මහ දවාලෙ ඇස් දෙකත් බාගෙට ඇරගෙන...හීන දකිනවද?
ඈ අහනව.

හීන??

දීප්ති
ම්ම්..
මම හීනෙන් කියෙව්වද??


.......


ඇය මට විස්කි වීදුරුවක් වත් කරනව.
ඔයත් ගන්න
අද එපා..වයින් නැද්ද?
උයල ඉවරද?
තව ටිකයි..
අපරාදෙ පිටින් ඕඩර් කරන්න තිබ්බ.

ඔයාට අද දවස ගැන මොකද හිතෙන්නෙ?
ඇය වයින් වීදුරුව අතින් හුරතල් කරන ගමන් ඇදේ මං ඉන්න පැත්තට තවත් ළං වෙනව.

විශේෂයක් නෑ.
මම හිතනව.

ඒත් මම වෙන දෙයක් කියනව.

........................

 “ඇත්තටම.....?
මගෙ පිළිතුරට ඇගේ ඇස් දිළිහෙද්දි මම හතරවෙනි විස්කි වඩියත් කටට හලා ගන්නව.

........................
ඇය මොනවද කියනව. මට ඇහෙන්නෙ නෑ..

හිත ඇතුලෙන මහ සද්දයක්.
ඈත ඉඳන් එන කෝච්චියක් වගේ..
මගේ නහරවල් රේල් පීළි වගේ හෙල්ලුම් කනව.

මේ....මම ඔයාගේ කීවෙනි ගර්ල් ෆ්‍රෙන්ඩ් ද?
ඇය අහනව

දීප්ති
ම්ම්
කුස්සියෙ දොරවල් ජනෙල් ඔක්කොම වැහුවද?
මම ඒව ඇරියෙ නෑ.

..........................
..........................
...........................

මොකද්ද?

අපි ෆිල්ම් එකක් බලමුද?
ඇය අහනව
රොමෑන්ටික් මූවි එකක්?

ඔයා සෝ බලල තියනවද?
අපෝ මල ජරාව
ඈ කියනව.

ඔයා එහෙනම් ෆිල්ම් එකක් හොයන්න..මම ටොයිලට් එකට ගිහින් එන්නම්.
ඇය චිත්‍රපට තෝරන අතරෙ මම වැනි වැනී කුස්සියට රිංගනව.
දොර ජනෙල් සියල්ලම අගුලු දාලදැයි සැක හැර දැනගන්නව..
ගෑස් ලිප නිවලද බලනව.
පොඩි ගෑස් කාන්දුවක් හරි තිබ්බොත්?
සිගරට් කොටේටත් ඇවිලෙනව
බුම්.

ටැප් ඔක්කොම වහලද බලනව.
වහල තියන ඒවත් අයෙ අතින් තද කරනව.
අයන් එක තිබෙන තැනමදැයි සැක හැර දැනගන්නව.
අණතුරක සේයාව ටික ටික හිතෙන් පහවෙනව.

ඈත ඉඳන් ශබ්ද නගාගෙන ආපු කෝච්චිය නැවතුමකට ළඟාවෙනව...තාවකාලිකව උනත් සීරුවෙන්...

මම ඇ‍‍ඳේ ඇය ළඟින් ආයෙමත් වාඩිවෙනව
ඇය ප්‍රවෘත්ති බලන ගමන්. උද්ඝෝශකයො පිරිසක් කම්හලක් ඉදිරිපිට බෝඩ් ලෑලි උස්සගෙන කෑ ගහනව.
මම හිතින් උන්ව උන්ගෙ අකුලපු බෝඩ් ලෑලිත් එක්ක කම්හල ඇතුලට ගාල් කරනව..



ඇය පරණ පෙමක් එක්ක බැඳිච්ච අතීත කතාවක් කියන්න ප‍ටන් අරන්...

................



මම ඉලක්කමක් මතක නැති විස්කි වඩියක් කටට හලාගෙන ඇඳෙන් නැගිටිනව.
ඔයා දැන් ඔය කීවෙනි පාරටද ටොයිලට් යන්නෙ?
දීප්ති කේන්තියෙන් අහනව.

........



කොහෙද මේ ආපහු යන්නෙ?
ඉස්සරහ දොර වැහුවද බලන්න?
දැන් කී පාරක් ගියාද? ඔයාට පිස්සුද අනේ....? නැත්නම් වෙරි වැඩිද?

පිස්සුද?



දීප්ති දුහුල් නිදන ඇඳුමකට මාරු වෙලා විස්කි බෝතලේ මගේ අතින් උදුර ගන්නව.
අදට ඇති.
ඇය කියනව
මම අන්තිමට බීපු සිගරට් කොටේ නිවිලද හොයනව.

මොනවද හොයන්නෙ? මෙන්න මෙහෙ එන්න
ඇය ඇඳේ හාන්සි වෙලා මට කතා කරනව. මම ඈ ගාවින් ඇළ වෙනව.
මොකුත් නෑ
මම ඇගේ උරහිසට උඩින් අතක් දාල ඈව තුරුලු කරගන්නව. ඈව සිපගන්නව.
මගේ ඇස් පියවේගෙන එනව....

ගෙදර දොර ජනෙල් හෙමිහිට අගුලු පැන්නෙනව, මිදුලෙ වතුර කරාමයකින් වතුර ඔහේ ගලාගෙන යනව. සිගරට් කොටේකින් ඇඳ රෙද්දට ගිනි ඇවිලෙනව...
මම බයෙන් ත්‍රස්ත වෙලා ඇස් දෙක අරිනව

ඔයාට නිදිමතද අනේ?
දීප්ති මගේ හිස අතගානව.

නිදාගන්ඩෙපා...හීන දකින්ඩෙපා....
මගේ හිත කියනව...
නහරවැල් හෙල්ලුම් කාගෙන ආයෙත් ඈතින් කෝච්චියක් එනව.
අපි හීනයක් බලමු...ඔයාගෙ හීනයක්....
දීප්ති මහ හඩින් හිනාවෙනව...ඇගේ මූණ විකාර ස්වරූපයකට හැරෙනව..ඒ තුලින් දන්න නොදන්න මූණු සියගාණක් මතු වෙනව මැකෙනව....

විස්කි වීදුරුවක් ඇතුලෙ හඳක් පායල..හඳේ පිළිබිඹූවක්...මම අයිස් කැටයක් දාද්දි හඳ බිත්තර කහමදයක වෙලා කැළතෙනව...



දී...ප්ති
මම හීනෙන් කියවනවද?????



මනුරංග



14 අදහස්












ඡායාරූප ශිල්පය මට විනෝදාංශයකට වඩා එහා ගිය එකක්. ඒක හරියට පවතින මොහොතෙන්, කාලයෙන් සහ ලෝකයේ අස්ථිර පැවැත්මෙන් අංශුවක් මා තුළට උරා ගැනීමක්. මහ විසාල ගඟක් මොහොතකින් මවල පෙන්නල ආයෙත් හංඟගන්න හදන කුඩාම කුඩා දිය රැල්ලක් හොරාගැනීමක්. මගේ අස්ථිර පැවැත්ම සමඟ සොරාගත් දියරැල්ල අතිනත් අල්ලාගෙන ශුන්‍යත්වය කරා ගන ගමනක්.


සේයාරුවක් කියන්නෙ පවතින ලෝකය මගේ ලෝකයේ රේඛා වලින් සහ වර්ණ වලින් යළි පින්තාරු කිරීමක්. මේ රේඛා සහ වර්ණ උනත් කාලයත් එක්ක අලුත් නැමුම් සහ කැඬුම් බිඳුම් වලට ලක්වෙද්දි ඒව පැවතුන ලෝකයක නටඹුන් බවට පත්වෙලා මගෙන් ඈත්ව යනව.

මට ඕනෙ කලේ පවතින මොහොතෙ ඉඳන් අනාගතය දක්වා දිගහැරෙන අනන්ත සේයාරූ රැගත් සිතුවමක් පින්තාරු කරන්නයි. හැකිනම් හැම දිය රැල්ලක් තුළම තව තව කුඩා මොහොතවල් මවමින් ඉන්න මිසක සේයාරුවක් තුළ අතීතයේ නටඹුන් සොයන්න නෙමෙයි.

මං හිටියෙ ටිකෙන් ටික බොහොම හිමීට නමුත් ඒ විදිහට ලෝකය පින්තාරු කරමින්.

මනුරංගය...පරය.


මිනිහ ආවෙ ඒ වගේ වෙලාවක.
මිනිහ නොහිටින්න අද ඒ චිත්‍රය බොහෝ දුරට සම්පූර්ණයි.
ඒ හින්දම අද මම මිනිහව මරණව.

මනුරංගය රැකියාව හැටියට කලේ ත්‍රීවීල් එලවන එක. කොයි වෙලේත් කටේ හපේ ගහගත්ත ගමන්මයි. මිනිහගෙ අම්ම කලේ බුලත් විට වෙළදාම.


මනුරංගය.
විට ගෑණිගෙ පුතා.
ගංජකාරය


මිනිහ උදේ හවා මගෙ පින්තාරුව උඩින් යනව. දුම් දාගෙන...ටයර්, තෙල් පාරවල් ඇඳගෙන බුළත් කෙළ විද විද.


මිනිහ මගේ පින්තාරුවට ඇතුලත් වෙලා නොහිටියත් මිනිහ හැමදාම ඒ අහල පහල ගැවසෙමින්, තාවර වෙමින් ඉඳල තියන වගක් පහු උන දේවල් කල්පනා කර‍ල බලද්දි මට දැන් හිතෙනව.



ශාන්තිනී

ඉඳිආප්ප මේරිගෙ දුව.
කඩේ යන ගමන්, පන්ති යන ගමන් ඉඳහිට හිනාවක් හලාගෙන යන ශාන්තිනී.


දිය රැල්ලකට වඩා ලාලිත්‍යයක් ඇති සඟවාගැනුම් සහ මැවුම් දහසක් සමගින් ඈ පවතින ලෝකයටද ඊටත් ඉහලින් පින්තාරු කල මගේ ලෝකයටද උඩින් අලුත් වර්ණ සිතුවමක් මවද්දි. කාලයේ ගැබ දරාගෙන ඉන්න තවත් ලාලිත්‍යමය සඟවාගැනුම් සහ මැවීම් වල කෝටියක් සිහිනයන් අතර මං අතරමං උනා. ඒවායේ වර්ණ වලින් රේඛා හැඩතල වලින් මගේ ඇස් අන්ධ උන ගානයි.


මම වහාම අහස අලුතින් සේයාරුවට නඟන්න ගත්ත. ඒ තුළින් නැවත ලෝකය පින්තාරු කරන්න ඇරඹුවා. පියාපත් මිස දෙපා අවැසි නැති ගානට ඒ අහසෙම සැරිසැරුවා. අතරමං වෙමින් සහ මාවම සොයමින්. වෙනස්ම අවකාෂයක සහ කාලයක පැවතුන දේවල් වටා කක්ෂ ගත වෙමින්. 


ශාන්තිනී..ඔයා මොකද කියන්නෙ.?


දවසක් මම ඇහුව. ඇගෙන්.


ආනේ... මම මනුරංග අයියට වචනයක් දීල ඉවරනෙ.

 
මනුරංගය බුලත් කෙළ හලාගෙන, තෙල් දුම් පිඹ පිඹ මගේ චිත්‍රය කාබාසිනිය කරල දාන්න ගත්තෙ එදා පටන්. මිනිහ මගෙ චිත්‍රය උඩට නැඟල වැඩි වැඩියෙන් ඒක උඩ ගැවසෙන්න පටන් ගත්ත.

දවසක් මිනිහ ශාන්තිනීවත් අතින් ඇදගෙන බස්හෝල්ට් එකේ මඩවලකට උඩින් පැන්න. 

චිරිස් ගාල හතර වටේට මඩ විසි උනා.

තව දවසක් දෙන්න ත්‍රීවීල් එකේම ජෝඩු දාල තානායම පැත්තට කපනව මම දැක්ක. ටයර් පාරවල් වලට බිම හෑරුණා.

මනුරංගය ටිකෙන් ටික මගේ අනන්ත අපරිමාණ වූ සේයාරූ සිතුවම බිඳෙන් බිඳ බොඳ කරන්න අපවිත්‍ර කරන්න පටන්ගෙන ඇතිවා මදිවට මිනිහ ඒක‍ට උඩින් මිනිහටම ආවේනික උන ශෛලියකින් යුතු චිත්‍රයක් මවන්න පටන් ගෙන ඇති වග ඒ අතරෙ මට වැටහෙන්න අරන් තිබුණා.


පාරවල් වල වැඩි වැඩියෙන් බුලත් කෙළ පැල්ලම්.

වාතය එන්න එන්න දුෂ්‍ය වෙනව.

2012 ලෝක විනාශය එන වගක් රේඩියෝවක රැවු දෙනව.


මම ඇවිද ඇවිද හිටියෙ මනුරංගය විසින් සිතුවමට නඟපු පාරවල් උඩ. මම හුස්ම ගත්තෙ මිනිහගෙ ත්‍රීවීලරේ දුම් පිටකරපු වාතය.

මට ඕන කලා ලෝක විනාශය වලක්ක ගන්න. ‍නැතිවෙච්ච වර්ණ සහ රේඛා අලුතින් හොයාගන්න. අලුත් වර්ණ ගන්නල ලෝකෙ පිරිසිදු කරන්න.

කල්පනාව පිට ඇවිදල පාරෙ වාහනේකට යටවෙන්න ගිය දවසක ගෙදර දුවගෙන ගිහින් මම ආයෙත් කැමරාව අතට ගත්ත...

මෑනුව...කල්පනා කලා.

ආයෙත් ලාච්චුවට දැම්ම.

ඇරිය වෙන ලාච්චුවක්.

ගත්ත පිස්තෝලෙ.

අතපත ගාල බැලුව. කානුවට ඇහැ තියල බැලුව.

පිස්තෝලෙන් කෙරෙන්නෙ පිටකිරීමක්. හරියට ඡායාරූපයකින් කෙරෙන විරුද්ධ ක්‍රියාව වගේ. මට හිතුන.

ඒ වෙලාවෙ මට ඕනෙ කලේ ඒහා සමාන දෙයක් වග මම මටම තේරුම් කරල දුන්න.

හැඟීමක්, කෝපයක් ද්වේෂයක්. පිට කිරීමක් එක්ක සියල්ල නැවත සැකසීමේ බලාපොරොත්තුවක්.  පිස්තෝලෙත් හරියට කවියක් වගේ කියල හිතිල එවෙලෙ මට හිනාවකුත් ගියා.

මට ඕනැ කලේ මනුරංගය කැත කරමින්, මගේ ඇස් වලට පේන්න ලෝකයට උඩින් අඳිමින් උන්න විකෘති චිත්‍රය කැබලි වලට කඩන්න. බිම වට්ටා දුහුවිලි බවට පත් කරල ඈත අභ්‍යවකාශෙට පාවෙලා යන්න අරින්න.


ඊට පස්සෙ පිස්තෝලෙ හංඟල කැමරාව ආයෙත් අතට ගන්න. අලුත් මොහොතවල් සොයාගන්න. ඒවායේ වර්ණ සහ රේඛා තුළින් සදාකාලිකත්වයක් සොයන්න.



 *******

මම පාරට පැනල මනුරංගයගෙ ත්‍රීවීල් එකට අත දැම්ම.
මිනිහ හිනාවක් දාගෙනම ගෙවල් ඉස්සරහින් ත්‍රීවීලරේ කපල නැවැත්තුව

සර්..කොහාටද?


කොටුවට යන්න. බෑග් වගයක් තියනව. පොඩ්ඩක් උදවුවක් දෙනවද මේකට දා ගන්න.


මිනිහ මගේ පස්සෙන් ‍ගේ ඇතුලටම එද්දි මම හිත යටින් හිනා උනා මගේ සැලැස්මෙ සාර්ථකත්වය ගැන හිතල.

බඩු හොයන මුවාවෙන් මම ලාච්චුව ඇදල ගත්ත පිස්තෝලෙ. සයිලන්සරයකුත් හයි කරපු.


ලෑස්තිවෙයන් මැරෙන්න.


මම පිස්තෝල මෑනුව..කොකා ගැස්සුව.

වෙඩි පිට උනේ නැහැ.

මනුරංගය එලියට පැන්න.


සැලැස්මේ වැදගත්ම හරිය හොඳටම වැදිලා තිබුණත්. මිනිහගෙ පස්සෙන් එළවාගෙන යාම හැර වෙන කරන්න දෙයක් නැති බවට අදහසක් මගෙ ඔලුව හරහා විදුලියක් වගේ ඇදීගෙන ගියා. මරණයේ සදාකාලිත්වය ජීවිතයේ පැවැත්මට වඩා වැදගත් කමක් උසුලපු තප්පරයක මම මනුරංගය පිටිපස්සෙන් එළවමින් හිටිය.


ඩෝං!


මගේ වෙඩි පහරින් මනුරංගය වත්ත මායිමේම ඇදගෙන වැටුන. මිනිහ ඇදවැටෙන වේගෙට අන්දර වැටිය සරස් ගෑව.

සයිලන්සරය තිබියදී අනපේක්ෂිතව පිටවූ වෙඩි සද්දය ගැනවත්. සෙනඟ ගැවසෙන මහ දවාල ගැනවත් අවදියෙන් තොරව මම මිනිහ වැටුණ දිහාවටම දුවගෙන ගියා.


මනුරංගය වැටිල. මැරිල. කට ඇරිල. ඇස් දෙක අහස දිහාවට යොමුවෙලා. මිනිහගෙ බැල්ම යොමුවෙලා තියන ඉසවුවට උඩින් කුරුල්ලෙක් පියාඹගෙන යනව.

නිශ්ශබ්දතාවය ඇතුලෙ හැමදෙයක්ම ශබ්ද නඟන්න පටන්ගෙන ඇති වගක් මට හිතෙනව. සමනළයෙක් සට සට ගාල මගේ කණ අසලින් පියාපත් ගහගෙන යනව මට ඇහෙනව. 

තණකොළ ගොල්ල මනුරංගයගෙ ලේ වලින් පෙඟීගෙන අලුත් වර්ණයක් ගන්න තතනනව.

මම ගෙට දුවගෙන යනව. අරිනව ලාච්චුව.

කැමරාව අරගෙන ආයෙත් මිදුලට දුවගෙන එනව.

නිශ්චලතාවය ඇතුලෙ හැම දෙයක්ම සසළ වෙන්නටත් රැළි නඟන්නටත් පටන් ගෙන ඇතැයි පෙනෙන මොහොතක අතරමං වෙමින්, පවතින ලෝකය සහ මගේ ලෝකය දෙකක් නොව එකක්ම උන මොහොතක මම නොනවත්වා පින්තූර ගන්නව.

කදුලු වලින් බොඳවෙන ඇස් අතකින් පිහදාන ගමන්ම මම පින්තූර ගන්නව.

තණකොළ ගොල්ල, ලේ , මනුරංගයගෙ ඇස් හැමදෙයක්ම....

ඈතින් පොලිස් නළා හඬක් ඇහෙනව..



මම දිගටම පින්තූර ගන්නව..












පරණ ගහක්



7 අදහස්


නිල් අහසටත් කතිර ගසාගෙන පාට කොඩිවැල් වලින් ලයිට් කණුත් ගසුත් යාවෙන්න පටන්ගෙන තිබ්බ උදයක උදේ පත්තරයත් පාන් රාත්තල් දෙකත් මල්ලක ඔබාගෙන උඩ බලාගෙන ආපු විමලා නෝනගෙ ඇස් දෙක හිටිගමන නතර උනේ වත්තෙ මායිමේ තියන කොස්ගහෙන් පාරට බර වෙලා තිබුණ අත්තක් දිහාවෙ.


කොඩි වැලකුත් අතේ තියාගෙන රතු රංජියා අත්ත දිගේ බඩගානව.

ඒයි කොලුවො
 
විමල නෝනගෙ කටහඬින් අත්ත උඩ හිටපු රතු රංජිය විතරක් නෙමේ ගහට ඉනිමගකුත් හේත්තු කරන් බිම උන්නු ජස්ටියත්,ඩිලන්තත් හැරිල බැලුව.

ඔය ග‍හේ කොඩිවැල් එල්ලනව නෙමෙයි

ඒ මොකෝ හාමිනේ?”
රංජිය අත්ත උඩ ඉගෙන කොඩිවැල අල්ලන් උන්නු අතින්ම නළලත් පිස දමමින් ඇහුව.

මේ සංඛ මහත්තයගෙ...
පහල හිටපු ජස්ටිය කියන්න ගත්ත විතරයි

හරි හරි ළමයිනේ. ඒ උනත් මේ ගහ කපන්න ඉන්නෙ ඒකයි.
 කියල විමල නෝන ඉස්සර උනා.

දිගටම ඇදීගෙන ආපු කතිරෙ හැඩේ මහ කොස් ගහ හරියෙන් ටිකක් විතර බිඳිල ආපහු දිගටම ඇදීගෙන ගියා.

ඒ මීට සතියකට ඉස්සර.



අනේ අම්මෙ තාත්තට ලැජ්ජ නැද්ද මේ එක එක්කෙනාගෙ ස්ටේජ් වල කතාකරන්න.
විමල නෝනගෙ ලේලි චන්දිමා ගෙට ගොඩ උනේ නෝක්කාඩු කියාගෙන.

තමන්ගෙ තැන තියාගෙන ගෙදරට වෙලා හිටියනම් ඉවරනෙ

ගමේ ළමයෙක්නෙ දරුවො. බෑ කියන්න බෑනෙ

විමලා නෝන කිවුවෙ ලේලිගෙ නෝක්කාඩුවෙන් මිදෙන්න වත්ත දිහාවට යමින් ගමන්.

ඔය කාට කාටත් තාත්තව මතක් වෙන්නෙ ඡන්ද කාලෙට තමයි.
ඒ පාර ගේ ඇතුලෙ ඉන් ලොකු දුවගෙ කටහඩත් විමල නෝනගෙ පස්සෙන් ටිකක් දුර ආව.

.......හිතවත් ගම්වැසි සොයුරු සොයුරියනි.... අපට දැන් ඇමතුමක් ආව නොබෝ වෙලාවකින් මන්ත්‍රීතුමා මේ රැස්වීම අමතන්න මෙහි පැමිණෙනව කියල. පමාව ගැන අප සමාව අයදින ගමන්...... එතෙක් ඔබ ඇමතීමට අප ප්‍රදේශයේ කාගේත් හිතාදරයට, බුහුමනට පත් සාමවිනිසුරු එස්. චන්ද්‍රරත්න මහතාට මා ‍ගෞරව සම්ප්‍රයුක්තව ආරාධනා කරනව....

මොහොතකින් ඇහෙන්න යන තම ස්වාමි පුරුෂයගෙ කතාව වඩාත් හොඳින් අහගන්න කියල හිතාගෙන විමල නෝන මහ කොස් ගහේ කත් පහුකරගෙන ඇවිත් වැට පැත්තට බර උනා.

....... ප්‍රදේශවාසීන්ගෙන් අවසරයි.... මදක් අසනීප තත්ත්වයෙන් පසුවූවත්....ඔබ හමුවේ.... වචන ස්වල්පයක් කතා කරන්න මා මෙහි පැමිණියේ........ කරුණු කිහිපයක් පෙරදැරි කරගෙනයි....ඉන් එකක් නම් මෙවර මැතිවරණයට..... අප ප්‍රදේශයේ ඉපිද හැදී වැඩුණ අප කවුරුත් දන්නා හඳුනන සංඛ තරුණ මහතා.....

අසල ලයිට් කණුවක එල්ලල තිබ්බ ලවුඩ් ස්පීකරය දිගේ ඇදී එන චන්ද්‍රරත්න මහත්තයගෙ කටහඩ විමලා නෝනට ඇහුණෙ වෙන කවරදාකටත් වඩා දුර්වල විදිහට.

තමා තරුණය කාලෙ පටන් සහය දක්වපු පක්ෂෙ ගමේ සමිති සහ රැස්වීම් වලට බොහෝවිට ආරම්භක කතාව පවත්වන්න ලැබෙන්නෙ චන්ද්‍රරත්න මහත්තයටයි. ඒ වගේ දේකට මහත්තය සහභාගි උනේ යම්කිසි ආඩම්බර කමක් මුසු උන සතුටකින්. ඒ දේවල් ගැන විමල නෝනගෙ වැඩි මනාපයක් නොතිබුණත් තම ස්වාමි පුරුෂය දේශපාලනේ බදාගෙන තානාන්තර ‍හෝ මිලමුදල් හරිහම්බ කරන්න නොපෙළඹුන බව විමල නෝන දැනන් හිටිය.

මෙවර දරුවන්ගෙ දැඩි විරුද්ධත්වය මැද උනත් ගමේ අපේක්ෂකයට සහය දක්වන්න වේදිකාවට නගින්න චන්ද්‍රරත්න මහත්තය ගත් තීරණයට විමල නෝන විරුද්ධ නොවුනෙ ස්වාමිය ගැන තිබුණ ඒ ගෞරවය නිසාමයි.

කරුණු දැක්වීම් සමග කෙරෙන කතාව හැමදාකමත් වගේ පැහැදිළිව කෙරුණත්  සිය ස්වාමි පුරුෂයගෙ ජවය සිදී මහලුව දුර්වලව ගිය කටහඩ විමලා නෝනව හොටම කම්පනයකට පත් කරලයි තිබුණෙ.

හාමිනේ..එහෙනම් මම අනිද්දට එනව අර වැඩේට.

ඡන්ද පෝස්ටර් වගයක් කිහිලි ගන්නාගෙන තව පිරිසක් සමගින් ගමන් කරන ගමන් රතු රංජිය කියාගෙන ගියේ ඒ අතරෙමයි.

මහ කොස් කට අත තියාගෙන ඉහල බලපු විමල නෝනට

හපරාදෙ..කොච්චරනම් පරණ ගහක්ද

කියල හීල්ලුනා.

ඒ මීට දවස් පහකට උඩදි.



මහත්තයනං කීයටවත් කැමති නැහැ මේ ගහ කපනවට

ලොකු පුතාගෙ අලුත් ගේ හදන්න

ඒත් ඉතින් මක් කරන්නද තාප්පෙ වැඩේට ගහත් එක්ක බෑනෙ

ළමයින්ගෙ ආසාව

හනෙ හප්පේ....

විමල නෝන තනියම හූල්ල හූල්ල කියවද්දි රතු රංජිය හිටියෙ මහ කොස් ගහ වට පියවර මැන මැන. කතාවක් නැතිවම දෙවැනි වටෙත් කැරකුණ රංජියා බීඩි කොටේ බිම දැම්මා.

එහෙනම් මං ප්ලේන්ටියක් හෙම බීල එන්නම් නෝනෙ ගහ කපන්ඩ.

මට රුපියල් පණහක් දෙන්ඩ. උදේට කාලත් නෑ තාම.

විමල නෝනෙ ගෙට ගියේ පසුම්බිය ගන්න.

චන්ද්‍රරත්න මහත්තය හතරගාතෙ දාල සාලෙ බිම වැටිල ඉන්නව දැක්කෙ එවෙලෙ.

රංජියෝ මෙහෙ වරෝ......

කකුල පණ නැතිවෙලා වැටෙන්න ඔන්න මෙන්න තියල විමල නෝන පුටු අත‍ අල්ල ගත්තෙ එහෙම කෑ ගසාගෙන.

ඒ මීට දවස් තුනකට කලින්.



මහත්තය පක්ෂෙ හොද කණුවක්. කවදාවත් හෙල්ලුනේ නැහැ....

රංජිය පාලම් කොඩියෙ ලණුපොට කොස් අත්තෙ එල්ලන ගමන් පහල ඉන්න ජස්ටියට කියනව.

පක්ෂ විපක්ෂ බේදයක් නැතිව කී දාහක් නම් ඇවිත් ගියාද. මන්ත්‍රීතුමාම දවස් දෙකක් ආව.

අන්න මිනිස්සු

කවුද?
ජස්ටිය අහනව.

ජස්ටිය‍ගෙ ප්‍රශ්නෙ රංජියට ඇහෙන්නෙ නෑ. මිනිහ ඉන්නෙ බිමට බැහැපු ගමන් කොස් ගහ දිහා බලාගෙන.

එදා මම මේකට ගහන්න පොරොව ඉස්සුව විතරයි...වැහ්!
කියල රංජිය බොරුවක් ඇද බෑව.

ඒ මීට දවසකට ඉස්සෙල්ල.



විමල නෝන ඒ දවස් කීපය ගතකලේ හො සිහි කල්පනාවකින් නෙමෙයි.

අප කාටත් අතිශය කණගාටුදායක අවස්ථාවක් මේක.....

සංඛ මහත්තයගෙ හැඟීම්බර කතාව හාත්පස සිසාරා රැවු දෙනව.

අවමඟුල් පෙරහැර පිටත් වෙන්න පටන් ගන්නව.

මහ කොස්ගහ ගාවින් පාරට බහිද්දි විමල නෝන ලොකු පුතාගෙ ඇට වාරු වෙනව.

සාමවිනිසුරු එස්. චන්ද්‍රරත්න මහතාට නිවන් සැප ‍ලැබේවා!

අදිසි සුළං පාරකින් පාළං කොඩිය සට සට ගාල වෙවුලනව.

කොස් අත්තෙ කොනකින් ගැටගහපු සුදු කොඩි වැලක් පාට කොඩිවැල් ගොන්න දිහාවට ඇදිල තියනව විමල නෝන දකිනව.





අනූ හය සහ හැට නමය



7 අදහස්

ටෙලිවිෂන් රාමුවෙන්
එබෙයි කුසලානය
අද හෙටම එන වගක් කියාගෙන


දශකෙකුත් බාගයක්
ගෙවී ගිය පසුවද
අපි තවම
96
69
කරගෙන





හිස් පිටුවක කවිය



5 අදහස්


















රූල් නැති
සුදුම සුදු හිස් පිටුව දිහා මම බලාගෙන
ලියන්නට කොයිතරම් දේ හොයාගත හැකිද
සිතමින්ම

යතුරුපුවරුවේ ඇගිලි දිවෙවුවා මිසක
කිසිදාක කොළ කැබැල්ලක හෝ ‍පොතක
කුරුටු ගා නොමැති මට
තවම එය රහසක්ය.

ඉරී යන සේ පිටුවෙ සුදු පපුව
සිතට එන දේ කුරුටු ගෑ යුතුද?
නොනැවතී
වැරදි තැන් කප කපා යලි ලිවිය හැක එවිට.

එසේ නැතිනම් සබ

ශ්වේත ඉඩ නොකෙලසා
මවාගත් සිහිනයක නැවතිලා
අවිස්වාසයන් දෙන
අරුත් මතකයෙන් සි දමා අවසන්ව
එහි ලියන්නද?

සුපිරිසිදු පිටක් මත ලස්සනට.
ලිවිය හැකි වෙයි එවිට.
කියවන්න ප්‍රිය හිතෙන.






newer post older post