About

Related Posts Plugin for WordPress, Blogger...

හිස් පිටුවක කවිය



5 අදහස්


















රූල් නැති
සුදුම සුදු හිස් පිටුව දිහා මම බලාගෙන
ලියන්නට කොයිතරම් දේ හොයාගත හැකිද
සිතමින්ම

යතුරුපුවරුවේ ඇගිලි දිවෙවුවා මිසක
කිසිදාක කොළ කැබැල්ලක හෝ ‍පොතක
කුරුටු ගා නොමැති මට
තවම එය රහසක්ය.

ඉරී යන සේ පිටුවෙ සුදු පපුව
සිතට එන දේ කුරුටු ගෑ යුතුද?
නොනැවතී
වැරදි තැන් කප කපා යලි ලිවිය හැක එවිට.

එසේ නැතිනම් සබ

ශ්වේත ඉඩ නොකෙලසා
මවාගත් සිහිනයක නැවතිලා
අවිස්වාසයන් දෙන
අරුත් මතකයෙන් සි දමා අවසන්ව
එහි ලියන්නද?

සුපිරිසිදු පිටක් මත ලස්සනට.
ලිවිය හැකි වෙයි එවිට.
කියවන්න ප්‍රිය හිතෙන.






වේදිකාවේ



9 අදහස්



ප්‍රේක්ෂකාගාරය අතුරු සිදුරු නැතිව පිරී ගොසිනි.

වේදිකාවෙ අඳුරු මුල්ලක වැතිර සිටින කවියා හෙමිහිට දෑස් ඇර හිස ඔසවයි.

මට මැරෙන්න බෑ

ඔහු රහසිගත ස්වරයෙන් කොඳුරයි.

වේදිකාවේ මැද ආලෝකවත් තැනක මේසයක් පසුපස වාඩිවී සිටින හොරා බරපතල රාජකාරියක නියැලෙන සෙයකි.

මේ ඕයි...ඇහුණද?.....මට මැරෙන්න බෑ


කවියා මෙවර තරමක් ශබ්ද නගා පෙරකී වචනම නැවතත් කියනු ලබයි.

හොරා තවමත් ලියකියවිලි ගොන්නක ඔලුව ඔබාගත් ගමන්ය..

මේ යකෝ! තොට බීරිද?

මට මැරෙන්න බෑ.

හොරා කිසි කලබලයක් නොමැතිව සිය උපැස් යුවල ගලවා වේදිකාවේ කවියා වැතිර සිටින අඳුරු මුල්ල දෙස බැල්මක් හෙලයි.

තමුසෙ දැන්ද ඇහැරුණේ? තමුසෙ මැරිල ඉවරයි.

එසේ කියන හොරා නැවත ලිපිගොනු ගොඩේ තම හිස සඟවාගනී.

මොකක් කිවුව? මම මැරෙන්නෙ මට ඕනෙනම් විතරයි.


ඉතින් තමුසෙමනෙ මළා වගේ වැටිල හිටියෙ. තමුසෙට ඕනෙ හින්දනෙ.

හරි එහෙම හිටිය තමයි. ඒත් දැන් මට ආපහු නැඟිටින්න ඕනෙ.

දැන් ඒකට පරක්කු වැඩියි. මේ නාට්ටියෙ තමුසෙගෙ කොටස දැන් ඉවරයි. දැන් මමයි මෙතන ප්‍රධාන චරිතෙ රඟපාන්නෙ.

තමුසෙ කවුද ඕයි මේකෙ ප්‍රධාන චරිතෙ තීරණය කරන්න?”

ඒක මම දන්නෙ නෑ. සමහර විට තමුසෙ මැරිල නැතුව ඇති. සමහර විට මැරිල උනත් තමුසෙත් පවතින්න ඕනෙ ඇති. එහෙම තමයි මේ යන විදිහෙ හැටි. කොහොම උනත් දැන් මම තමයි මෙතන ලොක්කා. ඒ කියන්නෙ සමන් අත්තනායක.

කවියාගේ ඉහමොල රත්වෙයි. ඔහු වහා නැඟී හිටගනියි.

මොකක් කිවුව? සමන් අත්තනායක? තමුසෙ මගෙ නමත් අයිති කරගෙනද?

ඒක තමුසෙට, මට, අපි කාටත් අයිති නමක් අයිසෙ? අනික නමකින් ඇති වැඩේ මොකක්ද?

එතකොට මගේ කවි? මම ලියපු කතා...

සමන්ති?

හොරා සරදම් හිනාවක් පායි.

අයිතිය කියන්නෙ මහ විකාර වචනයක් යාලුවා..තමුසෙ මගෙන් ඇහුවෙ ප්‍රශ්නයක් කියල හිතල මම තමුසෙට උත්තරයක් දෙන්නම්. ඔව්. ඒ දේවලුත් දැන් අයිති මට. තවත් පැහැදිලිව කියනවනම් තමුසෙට අයිතිය කියල තමුසෙ හිතන හැමදේකින්ම කොටහක්, තමුසෙත් ඇතුලුව මට දැන් අයිතියි.

මිනිස්සු බලාගෙනයි ඉන්නෙ මම ප්‍රේක්ෂකාගාරෙට කෑ ගහල කියනව තමුසෙ මහ හොරෙක් කියල

මෙවර හොරා හඬ නගා සිනාසෙයි.

වැඩක් නෑ අයිසෙ. උන්ට තමුසෙව දැන් ඇහෙන්නේ නෑ. තමුසෙ හොඳට බලනව ඇස් ඇරල ප්‍රේක්ෂකාගාරෙ දිහාවට. උන් අපි දිහා බලාගෙන ඉන්නව වගේ පෙනුනට උන් ඉන්නෙත් වෙන වෙන ලෝකවල. අහක බලන් ඉඳිද්දි අපිට පේන්නෙ උන් අපි දිහාවම බලන් ඉන්නව වගෙයි. ඉඳහිටක අපි දිහා බැලුවත් උන්ගෙන් බොහොමෙකට තමුසෙගෙයි මගෙයි කියල වෙනසක් පේන්නෙ නෑ. තමුසෙ තව ටිකක් උන් දිහාට ළං වෙලා බැලුවොත් පෙනෙයි අපි දිහා බලාගෙන වගේ හිටියට උන් උනුත් ඉන්නෙ වෙන වෙනම වේදිකාවල කියල.
ඒ උනාට අපිට උන්ව නැතුවත් බැහැ ඕයි. උන්ව ඕනෙ අපිට අපිව දැනෙන්න. අපේ චරිත යථාවක් කියල දැනෙන්නෙ එතකොටයි.
අපි ඔක්කොම නලුවො අයිසෙ. ඊට එහා දෙයක් නෑ

පඬි වදන් කියල තමුසෙට මාව අන්දන්න බෑ. අනිත් එක ඒ අතින් බැලුවම තමුසෙත් නලුවෙක්. එතකොට තමුසෙට විතරක් ප්‍රධාන චරිතෙ හිමිවෙන්නයි, මට මැරෙන්නයි තීරණය වෙන්නෙ කොහොමද?

ඒක මට අයිති දෙයක් නෙමෙයි යාලුවා. මම කරන්නෙ මට පැවරිලා තියන දේ. තීරණ ගන්න මට තියෙන්නෙ සීමිත ඉඩකඩක් ඇතුලෙ විතරයි. තමුසෙ කවියෙක්, මම හොරෙක්. තමුසෙ කවියෙක් වෙලා තමුසෙගෙ වැඩ කොටස කලා. සමහර විට ඉස්සරහටත් තමුසෙට වැඩ කොටසක් පැවරිලා ඇති කියල මට දැන් හිතෙනවා තමුසෙගෙ මේ නැඟිටීමත් එක්කල. මමත් හොරෙක් හැටියට මට පැවරිලා තියන කාර්යයභාරය ඉටුකරනව. තව ඉස්සරහට තව වරිත එයි සමන් අත්තනායකට පණපොවන්න. එදාට මටත් තමුසෙ වගේ මුල්ලකට තල්ලු වෙන්න වෙයි.
මේ ඔක්කොම තිරය පිටුපස කෙනාගෙ වැඩ

මොකක්? කවුද තිරය පිටුපස ඉන්නෙ?

කවුරුවත් නෑ. අන්ධකාරයි. ඒත් මට දැනෙනව කවුරු හරි ඉන්නව. මාව හසුරුවනව. සමහර විට ඒ නියම සමන් අත්තනායක වෙන්නැති. අපි ඔක්කොම මිනිහගෙ හෙවනැළි විතරක් වෙන්නැති.

ඉතින් අපිට බැරිද මිනිහව හොයාගන්න?

වැඩක් නෑ අයිසෙ. අන්ධකාරෙ අතරමං වෙනව විතරයි. මමත් කීප වතාවක් උත්සාහ කරල බැලුව ඉව අල්ලන් පුලුවන් තරම් දුර යන්න. ඒත මට වෙලාව මදි අයිසෙ..තමුසෙ දන්නෙ නැතුවට මට වැඩ රාජකාරි ගොඩ ගැහිල. මොහොතක පමාවකින් මහ විනාසයක් වෙන විදිහටයි දේවල් හැඩගැහිල තියෙන්නෙ. ඉතින් මට ආපහු හැරිල එන්න සිද්ද වෙනව..

තමුසෙට කියන්න අයිසෙ තමුසෙත් එක්ක ගතකරන මේ කාලයත් එක්කත් වෙන්නෙ මේ අවුල්ජාලාවෙ මාව තවත් හිරවෙන එක...





හදවතක් ගැන කතාවක්



12 අදහස්



නන්තවූද අන්ධකාරය රජයන්නා වූද හිස් අවකාශයක් තුළ සදාකාලයක් දක්වා ඇසී යන්නා සේ හැඟුණු දුරකථනයේ ඒකාකාරී නින්නාදයට තිත තැබිණි.

"හෙලෝ..."

ඈ එහා අන්තයෙන් සම්බන්ධ වී ඇත.


අද අපේ ප්‍රේම සම්බන්ධය බිඳී හරියටම අවුරුද්දක් ගතවූ දවසය.

එමෙන්ම දෙවැනි වරටත් ඇගේ හදවත හිමිකරගැනීමට මා වාසනාව ලද දවසය.

හදවතක් හිමිකරගැනීම වාසනාවක් යැයි දැන් මොහොතකට කළින් මා අතින් කියවුනේ හුදෙක් එය කට වහරේ එන කියමනක් නිසාවෙන් පමණකැයි මම ඔබට කියමි. ජීවිතයේ මෙතුවක් මා ‍වඩාත්ම පෙම් කළ කාන්තාව ඈය. එවන් හදවතක් හිමිවීම වාසනාවක් ලෙස මට සැලකිය නොහැකි වීමේ හේතුව මා ඇගෙන්ම දැනගත යුතුව ඇති නිසා දැනට වාසනාව යන්න හුදෙක් ශබ්දයකට, වදනකට පමණක් සීමා කරමි.

එහෙනම් ඒ කතාව බොරු ආ?
මම ඇයව අමතමි. වසරකට පසු පළමු වතාවට.

මොකක්ද?
ඈ කිසිවක් නොදන්නා සේය.

හදවතේ හිලක් කියල කියපු එක

නෑ. ඒක ඇත්ත.

එහෙම මොකුත් තිබ්බෙ නෑ

ඔයාට ඒක ලැබුණද?

ඔව්. "

සතුටුද?

දන්නෙ නෑ.

අම්ම එනව මං තියන්නම්.....

පොඩ්ඩක් ඉන්න....

බායි...

ඈ දුරකථනය විසන්ධි කරයි. ඒ සමගම දුරකථනය නින්නාද දුන් අන්ධකාර හිස් අවකාශය අතීත රැහැන්පට දිගේ ඇදී විත් මගේ හදවතේ තැන්පත් වේ.

සමහරවිට ඈ නැවත මාව අමතාවි......



පළමු වර මා ඇගේ හදවත හිමි කරගත්තේ නිරන්තරයෙන් කළ ඉල්ලීම්, ආයාචනා, උසුලු විසුලු සහ ඇඬුම් වැළපුම් මැදිනි. දෙවැනි වර ඒ කිසිත් නැතිව, නොඉල්ලාම මට ඇගේ හදවත හිමි වී ඇත.

ප්‍රාර්ථනා...ප්‍රාර්ථනා.....

අද පාන්දර මම ඇගේ නම අමතමින් හීනෙන් දිව ගියෙමි...හීනෙකින් හීනෙකට පය තබමින්. විවිධ කාල පරාස ඔස්සේ ඉදිරියට සහ ආපස්සට කළ පිළිවෙලක් නැති දිවීම් වලින් අනතුරුව මට අවසනදී මට ඈ හමුවිය.

සරසවි බිමේ කෙළවරක..වසර දෙකකට පෙර දවසක ඈ උන් ආකාරයටම.

ඈ බංකු කෙළවරක වාඩිවී උන්නාය. මම ඈ ළගින් නැවතී දණහිස් මතට අත් වාරු කරගනිමින් හති ඇරීමට පටන් ගත්තෙමි.

නිසල්...මගෙ හෘදය වස්තුවෙ හිලක්.
ඈ පැවසීය..මට හති ඇරීමටවත් ඉඩක් නොතබමින්.

මොකක්?
හීනය එතැනින් බිඳුනි.

ලබ් ඩබ් ලබ් ඩබ්....

වෙනත් අවකාශයක වෙනත් පරිසරයක මම නැවත දුවමින් පසුවූයෙමි..මෙවර සතර දිසාවටම.

සතුරු බලමුලු පහර දෙනු ඇත.... උන් ඇතුලු වනු ඇත....
භූමියේ සතර කොන් ආරක්ෂා කරගත යුතුය....
මෙපමණයි මට පොළොවකට තියෙන්නෙ පයගහල ඉන්න....

මම දුවමි..ඇගේ හදවත මතුපිට ඉහලටත් පහලටත්... ලේ කඩිති උඩින් පණිමින්. ලබ් ඩබ් හඬින් ගැස්සීමෙන් කම්පනය වෙමින්..රත්පැහැ හදවත් භූමිය සිපගත් අන්ධකාර ක්ෂිතිජ මායිම් දිහාවට....

මගේ පය ලිස්සයි...මා ඇදවැටෙයි නොනවත්වාම...කලු කුහරයකට...ඇගේ හදවතේ සිදුරෙන් පිටතට...

මම හීනෙන් අවදිව ඇත....ඇඳ පාමුල පාර්සලයක්..රන්වන් දවටන කඩදාසියකින් ඔතා මගේ නම ලියා ඇති පාර්සලයක්..

මම වහා වහා පාර්සලය ඉරා බලමි....

හදවතක්?

ලියමනකුත් එක්ක...


නිසල්ට,
මගේ හදවත් සැත්කම කලා. මාව මතක් වෙන්නටත් එක්කල ඔයා හැමදාම ඉල්ලපු මගේ පරණ හදවත ඔයාට එවන්න මට හිතුනා.
මීට ප්‍රාර්ථනා.


මම වහාම හදවත පිරික්සමි. ඒ මේ අත හරවමින්. දෙවැනි වරටත් මා හට හිමිවූ ඇගේ හදවත පිරික්සමි. අපමණක් ප්‍රේමයෙන් මා පුරවාගෙන හිඳින්නේයැයි කී හදවත මේය. දිවා රූ තිස්සේ මා සැරිසරන්නේය කියූ හදවත මේය. මගේ සිතුවිලි විසිර යයි...

කෝ සිදුර?

මම ඇගේ හදවත තුළ තිබෙන්නා කියූ සිදුර සෙවුවෙමි...එය මට සමු නොවිණි....


බීප් බීප්......

දුරකථනයේ නින්නාදයෙන් මගේ සිතුවිලි දැහැන බිඳේ...

ඈ වේවායි ප්‍රාර්ථනාවෙන් මම දුරකථනය ඔසවමි.

හෙලෝ...

නිසල්...

ඔව් කතා කරන්න...

සිදුර ගැන ප්‍රශ්නයක් අහපු නිසා මම උත්තරේ දෙන්නයි මේ ගත්තෙ. එක අතකට දැන් ඇත්ත දැනගත්තා කියල අපිට ප්‍රශ්නෙකුත් නැහැනෙ.

මොකද්ද ඇත්ත?...බොරු නේද කිවුවෙ හදවතේ හිලක් කියල ඒ දවස් වල
මම කෝපයෙන් අසමි.

නෑ. මම කිවුවෙ ඇත්ත...
ඈ පිළිවදන් දෙයි.

සිදුරක් තිබ්බා ඒ වෙද්දි...ඔයාගෙ හැඩයෙන් කැඩිල හැදෙමින් පැවතුණ එකක්.....
ආපහු මට කතා කරන්න එපා

ඈ දුරකථනය විසන්ධි කරයි.

අන්ධකාර හිස් අවකාශය දුරකථන රැහැන් දවමින් මා කරා ඇදී එනු මට දැනේ.....


newer post older post