About

Related Posts Plugin for WordPress, Blogger...

ඝට්ඨනය



5 අදහස්



ස් පියවෙන්න දෙන්න එපා...

හයියෙන් තදකරල අල්ලගන්න. ලේ ගලන්න දෙන්න එපා..

අපිව ඇහෙනවද?......කතා කරන්න.....කවුද ඔයාව හප්පගෙන ගියෙ?

මගේ දෑස් පියවීගෙන එයි. වේදනාව මා තුළක සිට සිය අසිපත් වන් මුවහත් අඬු පඬු දිග හරිනු මට දැනේ. මුලින්ම පපුව ඉන්පසුව අතපය...එතැනින් හිස පුරා...උහුලන්න බැරි වේදනාව පැතිර යයි.

වාහනයේ සිටින මිනිසුන්ගේ හඬද, නලා ශබ්දයද, සෙලවීම් පැද්දීම් සියල්ලද, පුපුරා යන වේදනාවද අතරින් ඇදෙමින් සියුම් ලෙස ඒවා මගෙන් ඈත් කරමින් සිහිනයක සිනිඳු හස්තයක් මගේ ඇස් සොයයි, සියුමැලිම උකුලක හොවා මට කෘතිම ශ්වසනය දීමට තැත් කරයි.

කතා කරන්න...ඇස් පියන්න එපා..

මිනිස් හඬට බියෙන්දෝ සිහිනය යාන්තමට පසුබසී. සිය මායාවී දුහුල් අත් සගවාගනී...

ආයෙත් නළාහඬ,කම්පනය..වේදනාව...

අම්මෝ...

මට කෙඳිරි ගෑවෙන නමුත් මා මුවින් කිසිදු හඬක් පිට නොවේ..ඒ වෙනුවට වේදනාත්මක සිතුවිල්ල මහත් හඩින් ශරීරාභ්‍යන්තරයේ දෝංකාර දෙනු මට ඇසේ.. මගේම සිතුවිලි වල නැවත නැවත දෝංකාරය මට ඔක්කාරයක් කැඳවයි...

රියඳුරු ඇරුණු කොට වාහනයේ මිනිසුන් දෙදෙනක්වත් සිටිය යුතුය..ඔවුන් මේ ඉගිලෙන්නේ රෝහලක් දෙසට විය යුතුය...

සිතුවිල්ල වුවද බර වැඩිය දැන් දැන්...

හාත්පස ඡායාවල් පමණි මට පෙනෙන්නේ...සියල්ල මොහොතකට නිහඩ වී කාලයේ රිද්මයෙන් පිටතට පීලි පනී..හැකිලේ...යලි ඉමහත් වේගයෙන් ඉදිරියක් කරා දිගහැරෙයි...

හෙල්මටය හිසෙන් ගිලිහුනේ මහිස බිම වදින්නටත් පෙර වග හදිසියේ මට කල්පනාවට ඒ..... ඒ කල්පනාව හිස පුපුරවා හරින තරමේ වේදනාවට යළි පාර කියයි..

යළිත් සිහිනයක සියුමැලි පහසක් මා අවට දැවටෙන්නට පටන් ගෙන ඇතුවා සේය....

මා අවට ඡායාවන් මොනවදෝ මුමුණනු ඇසේ.

ඇ.....හෙ....න...ව...ද...... අ......පි...

ඔවුන් ප්‍රමාද වැඩිය.....

මා සිහිනයක තුරුල්ලක.....නැත.....මතකයක...ඉමහත්ම මෑත මතකයක සිහිනමය තුරුල්ලට වදිමින්.........


.................................


අඛණ්ඩ සුදු ඉර අනන්තයේ ගිණිගත් හිරු දිශාවටම දිගහැරේ...හිස්වූ ඉදිරියක් කරා මම වේගයෙන් රථය හසුරමි...ඇසිල්ලකින් ලොරියට ඉස්සර කර ධාවනතීරුවේ කෙළවරකට ඇදී යළිත් ඉදිරියට ධාවනය කරමි.

වේලාව එකයි පහයි..එකහමාරට ඉස්කෝල ඇරෙනව...වාහන තදබදය...

නිශා මග බලන් ඇති....

මේ නඩු වාරෙත් ඔහේ අහක ගියා. එක ලියවිල්ලක් ඉදිරිපත් කරන්න බැරි උන පමාවකට තව මාසෙකට.. තව දහ පහලොස් දාහක් ඉවරයි. ෂික්.

ඉදිරියේ මාර්ග සංඥා එලි දැල්වේ. මම යතුරුපැදියේ වේගය අඩු කරමින්, රතු එළි අබියස නැවතී ඇති වාහන මග හරිමින් සෙමින් ඉදිරියට ඇදෙමි.

වෙලාව එකයි දොළහයි...හොදටම පරක්කුයි දැනටමත්..

අද නඩුව ගත්තෙත් පරක්කුවෙලා. වෙනදට නම් දොළහ වෙද්දි ඉවරයි.

අද කොහොමටත් මහ මුස්පේන්තු දවසක්.

මේ..මේ...ඔතන වාහනේ නවත්තන්න එපා

හොදටම පරක්කු වෙලා උසාවි භූමිය අසලට පිවිසුන විට එහි සිටි හමුදා නිලධාරියෙක්ගේ ඝර්ජනාවට ගොදුරු වන්නට සිදුවිය.

මූසල පෙනුමක් තියන කැහැටු කොල්ලෙක්..අද ඊයේ බැඳිච්ච එකෙක් වෙන්නැති..

ඒ මොකද ඒ?

මමද නොරුස්සන හඬින් ඇසීමි.

මෙතන මැඩම්ගෙ වාහනේ නවත්තනව..ඕක ඉස්සරහකින් නවත්තගන්නව

යතුරුපැදිය ගාල් කරන්නට වූයේ සෑහෙන දුරකට එපිටිනි.

කටුකන ......

මා නැවත උසාවි භූමියට පිවිසුනේ හිතේ කේන්තිය නිලධාරියාට ඇසෙන්නට කුණු හරුපයකින්ම පිට කරමිනි..

දැන් ලොක්කොන්ට වඩා පොඩි උන්ගෙ තමයි සෛලෙ වැඩි...

බීප්...බීප්...

කොළ පැහැති මාර්ග සංඥා වැටී ඇත.... සිතුවිලි දැහැනින් මිදෙමින් මම නැවත ඉදිරියට ඇදෙමි..

ඉක්මනට හයිලෙවල් පාරට වැටෙන්න ඕනෙ..

පාර වැටිල තිබ්බෙ එතනින් නෙමේ. කලින් ලී මෝල තිබ්ච්ච තැනින්.

වයසක ගැහැණියක් පිළිතුරු දෙයි.

මම යෝජනා කරනව තමුන්ට‍ තමුන්ගේ ප්‍රකාශය අමූලික බොරුවක්ය කියල....

තරබාරු නීතිඥයෙක් ඈට ගුගුරයි.

මම වෙලාව බලමි. දොළහයි පහයි...පැයකුත් තිස්සේ වෙනත් නඩුවක එකම පැණ වැළක් ඇසෙමින් තිබේ.

ෂික් විතරක්.තාම මේ මගුල් කේස් එක

මම එහා පැත්තේ මිනිහාට ඇසෙන්නට හෙමින් කොදුරමි..ඔහුත් නොරොක් කරගත් මුහුනෙන් මට එකඟත්වය පායි.

යෝවද..තංපව...

මම සැණින් විද්‍යාල හන්දිය පසු කරමින් ඉදිරියට ඇදෙමින් සිටිමි. ගේට්ටුව අසල පොදිකන පිරිස මැකීයන දෙස පැති කණ්ණාඩියෙන් බලමින් සැනසුම් සුසුමක් හෙළමි..කොට්ටාවට දැන් ළඟය..ඇක්සලරේටරය කරකවා වේගය තවත් ඉහල නංවාගමි.

පැහැදිලි ධාවන පථය මා ඉදිරියේ ඇදෙද්දි උසාවියේ දර්ශනය මගේ මතක පථය අවුරා නැවතත් සිට ගනී..

මහේස්ත්‍රාත්වරයා විරුද්ධ පාර්ශවයට පක්ෂපාතීත්වයක් දක්වන සෙයකි. ඔවුන්ගේ නීතිඥයා මතු කරන සැම විරෝධතාවයක් හමුවේම ඔහුට සාවධානව කන් දී ඔහුගේ කරුණු වලට එකඟත්වය පල කරන ඉරියවුවක් දක්වතියි මට සිතේ.

මුන් මේ මිනිහවත් අල්ලගෙනද මන්ද..?

ඕකුන් මහ ගුරුකම් කාරයො..නඩු කාරයවත් අල්ලගනී.

අම්මාගේ වදන් ඒ සමගම මගේ සිහියට ඒ.

මම හොරැහින් යාබද බංකුව දෙස බලමි. විරුද්ධ පාර්ශ්වය අසුන්ගෙන සිටින්නේ එහිය.

මහලු යුවලක් සහ මුණුපුරෙක්... ඉදිරිය බලන් හිදින මහල්ලාගේ දුර්වල ඇස් නඩුකාරයා දෙසට යොමුව ඇත. පෙනීමේ අඩුව වසා ගන්නට මෙන මුඛයද තරමක් ඇරී ඇති සෙයකි.

අපේ ඉඩම් අල්ලගත්ත හොර හැත්ත...ඔය නාකියා ඉස්සර අපේ වත්තෙ මුරට හිටි එකා..පල් හොරා.

නිතර දෙස් තබන නැන්දාගේ කියමන් වල දෝංකාරයත් සමග මහල්ලාගේ රුව සසදන්නට ගැලපීම් සොයන්නට මම සිතින් වෙර දරමි.. මහලු සොර මුහුණක යකඩ අච්චුවක් අතුරින් බංකුවේ වාඩිගෙන සිටින මහල්ලාගේ අසරණ දිගැටි මුහුණ දියවී වැක්කෙරේ.

සිත ඇතුලටම හාරමි. මේ සියලු රස්තියාදු වීම, වියදම් හා කාලය කා දැමීම් මුන් නිසාම නොවේදයයි සිතමි. නමුත් පුදුමයකට මෙන් ඒ කිසිම සිතුවිල්ලකින් මසිතෙහි උන් කෙරෙහි කිසි වෛරයක් ක්‍රෝධයක් නොනගී.

දුප්පත් මිනිස්සු..පවු කාලකණ්නි.

ඔවුන් කෙරේ උපන් අනුකම්පාවකින් මම මටම සිතිත් කොඳුරගමි.. බිම් අගලකට මෙතරම් අරගලයක් මොකටදැයි මම සිතේ.

ඒ සමගම වාගේ උදේ මවෙතින් බැනුම් ඇසූ තරුණ නිලධාරියාගේ රුව මසිත විදුලි කොටයි. මගේ බැනුම් ඉදිරියේ ඔහුගේ දෑස් පරවුන සැටි. මුහුණ රතුවූ සැටි.

ඌත් දුප්පතෙක් වෙන්නැති. නැති බැරිකමට රස්සාවකට ආපු.

නඩුව තවත් මසකට කල් දැමුණේ එහෙම හිතද්දීමය.

සිත තුළ දරාගත් මහත් අරගලයක් සහිතවම මම උසාවි භූමියෙන් ඉවතට පියවර එසෙවුවෙමි . අරගලය ඇතුලේ විනිසකරුවන්ද, හතුරන්ද, මිතුරන්ද, හමුදා නිලධාරීන්ද, මහල්ලන්ද එකට පොරබදයි. උන් එකම ගුලියකට තෙරපෙයි ඇඹරෙයි...යළි වෙන්වයයි.

අනන්තය කරා ඇදුණු සේ හැගුණු අඛණ්ඩ සුදු ඉර හදිසියේම කෙටිවූ සෙයකි.

ක්රාස්ස්....

මා ඉදිරිපස ඇති විසල් ප්‍රාඩෝ රථය දැක මම තිරිංග තද කරමි. ඒ ග්‍රහණය නොතකමින් ඉදිරියටම මම ඉබේ ඇදීයමි..

රථය හැප්පෙන්න මොහොතකට පෙර මම රියදුරාව දකිමි...ඔහුව හඳුනාගනිමි.


..............................


හයියෙන් තදකරල අල්ලගන්න. ලේ ගලන් යන්න දෙන්න එපා..

අපිව ඇහෙනවද?......කතා කරන්න......

නැවතත් පියවිය විය යුතුය.

සිහිනය...මතකය...සිහිනමය මතකය නැවතත් හැකිල සැඟව යයි.

ඒ වෙනුවට ආපහු තදබදය...ගැස්සීම් සහ වේදනාව මා තුළද හාත්පසද අරක්ගනී..

වේගයෙන් ඉදිරියට ඇදෙන වාහනයක් තුළ මිනිස් ඡායා කැළක් මා අමතනු ඇසේ..තවම අප රෝහලට යන ගමන් විය යුතුය.

ඇස් පියන්න එපා... "

කවුද ඔයාව හප්පගෙන ගියෙ.?

මමයි.....මමමයි....

මම දෑස් පියාගමි.



සැඟවුන හෙවණැලි



8 අදහස්


වෙනකොට මිනිහ වරද පිළිගෙනයි හිටියෙ...
අවුරුදු විසි හතක් කිසිම අඬදබරයක් නැතිව පවුල් කාපු තමන්ගෙ ගෑණිගෙ බෙල්ල වෙන්වෙන්නම කඩුවෙන් කොටල මරල දාපු වරද...
මිනිහ හිටියෙ ඒ කල වරදට එල්ලුම් ගස් යන්න ඕනෙ කමකින්.
මට ඕනෙ කරල තිබ්බෙ කතාවක්.
සඟරා පිටු බාගයක් පුරා විහිදෙන අපරාධ කතාවක්. එක අතකට දැන් කාලෙ මිනිහෙක් ගෑණියෙක්ව මරණ එක හෝ ගෑණියෙක් මිනිහෙක්ව මරණ එක මහ ලොකු පුවතක් නෙමෙයි.
මිනීමැරුම සම්බන්ධ සිද්ධිය ගැන තතු එහෙන් මෙහෙන් දැනගත්තට පස්සෙ මට ඇති වෙලා තිබ්බ හීන් උනන්දුව මිනීමැරූ මිනිහගේ හැටි දැක්ක ගමන් මකුළු හුයක් තරමට තවත් සිහින් උනා. මට හිතුන හැමදාම අහන වර්ගයේ මිනීමැරුමක් හැරුණු කොට වෙන කිසිම විශේෂ දෙයක් මිනිහගෙ කතාව ඇතුලෙ මට හොයාගන්න නොලැබෙන වග. මිනිහ ඒ තරමටම අහිංසක පෙනුමක් තිබ්බ ලෙඩපාට හීන්දෑරි එකෙක්.
කොහොම උනත් ලියන එක මගේ රස්සාව.. ලියවුනු දෙයක උනත් නොලියවුනු දෙයක් සෙවීම සහ ලිවීම ඒ එක්කම ආපු විනෝදාංශයක් වගේ එකක්.ඒ වෙද්දිත් මට එරෙහි වෙලා හිටපු වෙලාවෙන් උපරිම වාසියක් ඩැහැගෙන ඉක්මනින් පිටත්ව යන්නයි මට උවමනා වෙලා තිබ්බෙ..හැම කතාවක්ම, අපරාධයක්ම එකවගේ වෙච්ච කාලෙක ලියවෙන ලිපි වලට නැතිවම බැරි උත්කර්ෂයට නැඟීම් පසුවට ලියන ගමන් උනත් කළ හැකියි... අවශ්‍ය සුළු පෙළඹවීමක් විතරයි.
තමුන් මේ මිනීමැරුම කෙරුවයි කියල තමුන් පිළි අරගෙන ඉවරයි. එහෙම නේද?
මම ඉක්මනින් කතාවට අවතීර්ණ උනා.
ඔව් මහත්තයො
මිනිහ එහෙම කිවුවෙ තරමක් බයාදු විදිහට.
වැදගත්ම ප්‍රශ්නය මම ඇහුවෙ ඊළගට.
ඒ උනාට තමුන් කියන්නෙ මිනීමැරුමට පාචිච්චි කල ආයුධය. ඒ කියන්නෙ තමුන් තමුන්ගෙ බිරිඳට කොටපු කඩුව එවෙලෙ ‍එතනට ආවෙ කොහොමද කියල තමුන් දන්නෙ නැහැ කියලයි?
ඔව් මහත්ත‍යො?
තමුන්ගෙ තරහ කාරයෙක්වත්?
මම එහෙම ඇහුවෙ කතාව වෙනමම පැත්තකට ගෙන ගිහින්වත් නියමිත ඉලක්කය සපුරගන්නා අරමුණෙනුයි. තමන් කණින් කොනින් අහපු දෙයක නොදැකපු පැත්තක් ගැන දැනගෙන පුදුම වෙන්න මිනිස්සු ආස කරන වග මම දැනන් උන්නා. ප්‍රවෘත්තියක වටිනාකම තියෙන්නෙ එතකොටයි. කෙනෙකුගේ කතාවක් ගැන අහන් ඉද්දි, ඒ ගැන ලිපියක් ලියද්දි මම උනත් විස්වාස කරපු එකම ඇත්ත ඒක විතරයි.
නෑ මහත්තයො. වෙන කවුරුවත් ඕක ඔතනට ගේන්න විදිහක් නැහැ.
ඒත් මිනිහ ඊළග මොහොතෙ මගෙ ඒ බලාපොරොත්තුවෙ ආයුෂ කෙටි කලා.
ආයුධය ගැන තොරතුරක් ඔහුගෙන් නොලැබීම මට ගෙන ආවෙ තරහවක්. මගේ ප්‍රශ්නෙත් ඒ තරහව තැවරිල තිබ්බ කියල මට හිතුණෙ මගෙම වචනය මට දෝංකාර දෙද්දි.
එහෙනම් ඒක ආවෙ කොයි ලෝකෙන්ද?
ටිකක් නිවෙන්න ඕනැයි කියල මට හිතුන. අහිංසක පාටක් පෙන්නගෙන හිටියත් මිනිහ මිනීමරුවෙක්. අනිත් එක මම මෙතනට ආවෙ මිනිහව විනිශ්චයකට ලක් කරන්න නෙමෙයි. අන්තිම මොහොතෙ හරි සඟරාවට පුවතක් හොයාගන්න.
ටිකක් වෙලා අරන් උනත් මිනිහ මගේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගත්තෙ කලින් වගේම කිසි වෙනසක් නැතිව. උත්තරේ දෙන්න කලින් මිනිහ කෙටි සුසුමක් හෙලුව.
මිනිහගෙ උත්තරෙත් ඒ වගේම කෙටියි.
මං දන්නෙ නෑ.
ඒ පාර මම දිග හුස්මක් ගත්තා. ඒ හිතේ එකලාසයක් තියාගන්න. මේ දවස් වල මට ටිකක් තරහ යනව වැඩි බව මම තේරුම් අරන් හිටියෙ. ඒත් එක අතකට මිනීමැරුම පිළිගත් මිනිහ මරපු ආයුධය ගැන බොරු කියන්නෙ මොන එහෙකට?. ඒ කොහොම වෙතත් මෙතුවකට අබිරහසක්ව ඇති ආයුධය ගැන තොරතුරක් මිනිහගෙන් හොයාගන්න එක වැදගත් බව අවකාශයේ එල්ලුණ හිස් සඟරා පිටු බාගයක් විසින් මට මතක් කර දුන්නා.
මම වෙන පැත්තකින් කතාවට ළං උනා.
ඔහේලට ළමයි එහෙම?
මිනිහ ආපහු කෙටි සුසුමක් හෙලුව.
අපිට ළමයි නෑ මහත්තයො. එහෙම නැති උනයි කියල අපිට අඩුවක් පාලුවක් දැනුනෙත් නෑ. උන්දැට මමත් උන්දැ මටත් බොහොම ලෙංගතුවයි උන්නෙ.
අඬදබර ඇති උනේම නැහැ?
අඬදබර ඇති නොවෙන්නෙ කොහෙද මහත්තයො.
ඔහු දසන් සියල්ලක්ම පාහේ දක්වා සමච්චල් සිනහවක් පායි. ඊළග මොහොතේ පිළිතුර නැවැත්වූ තැන් සිට ඉතිරි හරිය පුරුද්දන්නට පටන් ගනී.
පොඩි සැර වැරයක් මූණ නොරොක් කර ගැනිල්ලකින් එහාට මහ ලොකු රණුඩු සරුවල් අපි අතර තිබ්බෙ නෑ. මේ කරුම සිද්ධිය වෙනතුරු මම උන්දැට නිය පිටින් පාරක් ගහල තිබ්බෙ නෑ. මහත්තය විස්වාස කරනවනම් විස්වාස කරන්න.
ඒ උනාට මේ සිද්ධිය වෙන්න මාසයක විතර කලින් වෙලේ ඉඳන් පවුලයි ඔහෙයි අතර හරි හරියට සණ්ඩු සරුවල් ඇවිලුණා කියල ගම්මු කියනව කියලයි ආරංචිය.
මම වටින් පිටින් හොයාගත්ත කාරණාවක් හෙළි කලා. ඒ වගේ දේවල්වල වැදගත්කම ගැන මම අද්දැකීමෙන්ම දැනන් හිටිය.
මහත්තයට කියන්න මහත්තයෝ..පර හැත්ත. ඕකුනුත් මේවට යහමින්ම වග කියන්න ඕනෙ. අවුරුදු විසි පහක් ආරවුලක් නැතිව දීග කෑව අපේ පවුල කඩා ඉහිරවන තැනට වැඩ කලේ ඔය බොරුකාර අවලං හැත්තම තමයි.
ඒ කියන්නෙ?
ඔය එක එක අම්මණ්ඩිල මට විරුද්ධව මගේ ගෑණිට කේලම් කියල ඒකිගෙ හිත බින්දෙවුව. අහල පහල ගෑණු ජෝඩු කරල හොඳට උන්නු මයෙ ගෑණිගෙ හිතට සැකේ පැළපදියම් කලේ ඔය කාළකණ්නි තමයි.
මිනිහගෙ ඇස්වල කෝපයක දිළිසීමක් පෙනිල නොපෙනිල ගියා කියල මට හිතුන. ඒක හොඳ සලකුණක්. මට ඕනෙ උනේ ඒ ගිනි පෙනෙල්ලෙන් මහා ගින්නක් අවුලුවා ගන්න...සඟරා පිටු බාගයක් පිරෙන්න.
තමුන්ට එහෙම සම්බන්ධකම් තිබ්බෙම නැද්ද?
මයෙ අම්මප මහත්තයො..බුදුම්ප මගෙ එහෙම කිසිම දෙයක් නෑ.
එතකොට තමුන් බිරිඳට ඇත්ත තත්ත්වය පහදල දෙන්න උත්සාහයක්වත් ගත්තෙ නැද්ද?
ගත්ත මහත්තයො ගත්ත. ඒත් මොන කරුමෙකටද මන්ද ගෑණි නෙමෙයි මම කියපු එක දෙයක්වත් විස්වාස කලේ. අවුරුදු විසි ගාණක් උඹ නොදකින් කියාගන්නෙ නැතිව ආදරෙන් උන්නු මිනිහට වඩා වටේ පිටේ උන්ව විස්වාස කරන් දැඟලුවා.මම ඉවසුවා මහත්තයො..නොසෑහෙන්න ඉවසුව. අර කරුම දවස උදාවෙනකම් මම හිටියෙ පුදුම ඉවසීමකින් දරා ගැනීමේ ශක්තියකින්.
මිනිහ ටික ටික තමන්ගෙ ඇතුලෙ හිරවෙලා තිබ්බ වචන ගොරහැඬි ශබ්දයක පටලල නිදහසේ ගලාගෙන යන්න දෙන්න පටන්ගත්තා. ඒ වගේ මොහොතවල් වල මට කරන්න තිබ්බෙ වචනෙකින් දෙකකින් මිනිහට පොඩි පෙළඹවීමක් දෙන්න විතරයි.
එතකොට එදා ඒ දවසෙ අර කියපු කඩුව තිබ්බෙ කොහෙද?
මම එහෙම ඇහුවේ මගේ හිතේ කැකෑරෙන ප්‍රශ්නෙ දිහාවට ආයෙත් සේන්දු වෙන්න හිතාගෙන.
ඒක තිබ්බෙ පෙට්ටගම ඇතුලෙ මහත්තයො.
ඒක ඇතුලට කඩුව ආවෙ කොහොමද? පෙට්ටගම තමුන් බඩුභාණ්ඩ දාන්න පාවිච්චි කරන එකක්ද?
මම මාර්ගයක් පාදල දුන්න. මිනිහ නිදහසේ ගලායයි කියන බලාපොරොත්තුවෙන්.
මිනිහ පිළිතුරු දෙන්න පටන් ගත්තෙ සමච්චල් හිනාවකුත් එක්ක. ඒත ඒකෙ අහවර වීමත් එක්ක මහ දුක්මුසු පෙනුමක් මිනිහගෙ මුහුණෙ නවාතැන් ගත්ත.
නෑ මහත්තයො..මොන පාවිච්චියක්ද..එදා ඔය සිද්දිය වෙනතුරු මට ඕක අමතක වෙලා වගෙයි තිබ්බෙ. ඔය පෙට්ටගම..... ඕක මයෙ ගෑණිට අයිති එකක්. මාත් එක්ක දීග එද්දි සන්තකේකට කියල අරන් ආවෙ ඔච්චරයි. උන්දැගෙ මහඋන් නම් කිවුවා ගොඩින් අච්චර දෙන්නම් අරක දෙන්නම් මේක දෙන්නම් කියල.. ඒත් අන්තිමට ලැබුණෙ ඕක විතරයි. ඒකත් පාචිච්චි කරන්න පුලුවන් මඟුලක් නෙමෙයි. කකුල් ඇද ගහල පියනත් කැඩිච්ච කබලක්.
මොනා උනත් මට ඒවයින් වගක් උනේ නැහැ. අපෙ අම්ම අප්ප‍ගෙනම් හිත තරමක් නරක් උනා තමයි. ඒ උනත් මමයි ගෑණියි හිටියෙ ඒ හැටි සෙනේකින් නිසා උන්දැලගෙ කෙනෙහිලි කමුත් ඉවසමින් උන්නා. අනේ මයෙ ගෑණි උන්දැලට හොඳට සැලකුවා. ඇනුම්පද කිවුවා කියල නෙමේ කිසි වෙනසක් කලේ. මැරෙනතුරුම උන්දැලට සැලකුව.
මිනිහගෙ ඇස්දෙක යොමුවෙලා තිබ්බෙ කොහේදෝ ඈතක සුන්දර මතකයක් දිහාවට වග හිනාවක් මෝදු උන මිනිහගෙම දෙතොල කියාපෑව. අපි හිටපු ගොඩනැගිල්ලෙ විවරයක් අතරින් එපිට වැහි අඳුරක් මෝදු වෙනව මම දැක්කෙ එවෙලෙ.
හරි අපි දැන් මේ මරණය වෙච්ච දවසට හැරෙමු. එදා මොකද උනේ?
මම අත් ඔරලෝසුවෙන් වෙලාව විමසන ගමන් ඇහුව. බලාපොරොත්තු කඩවීමක තැවරුණ විඩාපත් කමකින් මගේ හිත ඉක්මන් සමුගැනීමකට බල කලා.
එදා මහ විකාර දවසක් මහත්තයො. උදේම ගෑණි මට බැණ අඬගැහුව. පස්සෙ අහන් ඉඳල බැරිම තැන මම ගියා සිරාගෙ වාඩිය‍ට. මම ගියේ සිහි නැති වෙනකල්ම බොන්න කියල හිතාගෙන. ඒත් වැඩේ කියන්නෙ මිනිහ බෝතලේ ගෙනත් මගේ ඉස්සරහින් තියද්දිම බොන්න තිබ්බ උවමනාව මගෙ හිතින් පහ උනා. මම ඒක එහෙමම වෙන උන් කට්ටියකට දීල ගෙදර එන්න පිටත් උනා.
ඒ එද්දි ආපහු මගේ හිත වෙනස් වෙන්න පටන්ගෙන බොන්න මහ උවමනාවක් ආවා. ඒත් ආයෙත් සිරා ගාවට යන්නත් හිතුනෙ නැහැ. ගෙදර යන්නත් හිත නෑ.
ඉතින්.?
ඉතින් මම කලේ ගමපුරා ඔහේ ඉබාගාතේ ටිකක් ඇවිද්ද එක. ගඟ පැත්තට ගියා ඊට පස්සෙ සුමනෙයගෙ වහලෙ හෙවිල්ලිල්ලටත් උදවු දුන්නා. ඒ ඔක්කොම ඉවර වෙලා ගෙදර යද්දි හැන්දෑ වෙලා.
ඒ වෙද්දි පුදුම විදිහට මගේ හිත සමනය වෙලයි තිබ්බෙ.
ඒත් මම ගෙට ගොඩ උනා විතරයි ගෑණි ආපහු මගේ ඇඟේ එල්ලුනා. පිස්සුවෙන් වගේ උන්දැ මට බැණ අඬගැහුවෙ. මම හිටියෙ බඩගින්නෙනුයි මහන්සියෙනුයි හොදටම හෙම්බත් වෙලා....
මිනිහ එහෙම කියල හිස බිමට බරකරගෙන මොහොතක් නිහඬ උනා.
මොහොත දිග්ගැස්සීගෙන යද්දි මිනිහ සදහටම ගොළුවෙක් වේය බයෙන් මම ඉක්මන් උනා
ඉතින් ඉතින්?”
මිනිහ ඔළුව ඉස්සුව. බොහොම හිමීට. මිනිහගේ ඇස්වල කදුළු.
මම ළංවෙලා උන්දැට කතාකරන්න උත්සහ කලා ඒත් නොහිතපු විදිහට ගෑණි මාව තල්ලු කරල දැම්ම..ඒකිට කොහෙන් ආපු ශක්තියක්ද මන්ද...එහෙමත් නැත්තම් එවෙලෙ තිබ්බ හෙම්බත්කමටමද මන්ද මම විසිවෙලා ගිහින් බිත්තියෙ මුල්ලක වැදුන.
එකපාරටම මගෙ පිට වැදුනෙ අර පෙට්ටගමේ... අවුරුදු විසි ගණනකට පස්සෙ...ඒක මෙතුවක් කල් ගෙයි කොයි මුල්ලක තිබ්බද මන්ද?..ඒක‍ට වාරුවෙලා නැගිටිද්දි එකපාරටම මම දැක්කෙ ඒක ඇතුලෙ තිබ්බ කඩුව.
ඒක හරි පුදුම මොහොතක් මහත්තයො. මට හිතුනෙ ඒ කඩුව බොහොම කාලයක් එතන මං එනතුරු බලං හිටිය වගේ. ගනින් මාව ගනින් කියනව වගෙත් මට ඇහුණ. නිකන් හීනෙන් වගේ.
මම ඒක ගත්ත ගමන් ගෑණිට කොටාගෙන කො‍ටාගෙන ගියා. ඒක කොහෙන් ආවද කින්ද මන්ද කියල ප්‍රශ්නයක් මට ඇති නූණ ගානයි. එවෙලේ ඒක හරියට මගේ ඇගේ කොටසක් වගේ වෙලයි තිබ්බෙ මහත්තයො. ලේ වැක්කෙරෙන කඩුවත් අරගෙන පොලිසියට ගිහින බාරවෙනතුරුම මට දැනුනෙ එහෙමයි
මිනිහ කතාව නැවැත්තුවා. මිනිහගෙ ඇස් දොඹගෙඩි දෙකක් තරමට විසාල වෙලා.
මිනිහ හිටියේ ඒ දවසෙ ඒ මොහොතෙ නැවතිලා වග මට පෙණුනා...මට යන්න වෙලාව ළගාවෙලා ඇති බව මට මතක් උනේ ඒත් එක්කම වගේ
ඉතින් ලොකු උන්නැහේ?
මම ඇහුව. පිටත් වනු පිණිස පුටුවෙන් නැගී හිටිමින්ම
මිනිහ මගේ දිහාව බලාගෙන ටික වෙලාවක් ගතකලා. දොඹගඩි ඇස් වලින් සට සට ගාලා කදුළු වැක්කෙරෙන්න ගත්තා....
ඒක එතන තිබ්බා මහත්තයො...කඩුව කොහොම ආවද මම දන්නෙ නෑ.... ඒත් ඒක එතන තිබ්බා...
මම දන්නවා...”
හිනාවකින් මිනිහට සමුදෙන ගමන් මම එහෙම කිවුවෙ හැබෑවටමයි.
ඒ වෙනකොට කඩුව පෙට්ටගම තුළට ආ හැටි ගැන මම තේරුම් අරන් උන්නා.. ඒත් එක්කම ඒ වැටහීම සඟරා පිටු බාගයක් තුළ දිගහරින්න‍ට මසිත ඉඩ නොදෙන බවත් මම පසක් කරගෙන උන්නා.



අතරමං



12 අදහස්


කඩ යකා පැයට කිලෝමීටර එකසිය ගානක වේගෙන් පිඹගෙන එනව.
මට තිබ්බෙ ඇහැරෙන්න විතරයි.
මම හිටියෙ හීන රේල් පීල්ලක, එහෙමත් නැත්නම් හීනෙක රේල් පීල්ලක ගැලවෙන්න බැරි විදිහටම හිරවෙලා. මාව ගලවගන්න අහල පහල කට්ටිය කවුරුත් හිටියෙත් නැහැ. මම හිටියෙ කකුල ගලවගන්න දඟලල දඟලල, උදවු ඉල්ලල කෑ ගහල හොදටම හෙම්බත් වෙලා.ඒ මදිවට දවාලෙ මහ අවුවට කරවෙවී දාඩිය මුගුරු පෙරාගෙන. ඒ කොහොම උනත් හීනෙ පටන්ගෙන මගක් දුර ගිය වෙලේ ඉඳන් මම දැනන් උන්න මම මේ දකින්නෙ හීනයක් වග. ඉතින් මම එක්තරා ආකාරයකට ඒ දැනීමත් එක්කම හීනයේ වින්දනයට නතු උනා. පුංචි බයකුත් නොතිබ්බම නෙමෙයි. ඒ උනත් බයට වඩා ලොකු ආසාවක් තිබ්බ මට ඒ අද්දැකීමට මුහුණ දෙන්න. හීන උනත් හැමදාම මේ වගේ ත්‍රාසජනක නැහැ..
දැන්නම් රේල් පීල්ලෙ දෙදරුම් කෑම එන්න එන්නම වැඩි වෙනව. රේලි පීලිත් එක්කම මගෙ හිරවුණු කකුලත් මුලු සරීරයත් වෙවුලුම් කෑමට ලක්වෙලා. මගේ කොඳු නාරටිය සිහින් ඇදුම් කෑමක් එක්ක සීතල හිරිවැටීමකට ලක් වෙනව.
යකඩ යකා ළඟ ළඟම...
කෝච්චියට හැපුණ ගමන්ම වගේ මගේ හීනෙ කෙළවර වෙයි කියල තමයි මගෙ සිතුවිල්ල. සමහර විට කෝච්චියට හැපිල විසිඋනා වගේ මම ඇ‍‍ඳෙන් බිමට පෙරලෙයි. එහෙම නැත්නම් හීනෙ එතනින් කෙළවර වෙන්නෙ නැතිව එතැනින් වෙන හීනයකට. සහමුලින්ම වෙනස් පරිසරයකට සහ රූප පෙළකට ඡේදනය වෙන්නත් බැරි නැහැ.
ඒත් මේ දෙදරිල්ල සහ වෙවුලුම් කෑම? නහරවැල් වල වේදනාව සහ හිරිවැටීම? බාහිර උත්කෝපනයක් හැටියට මේ සංවේදනා ඇති කරන්න කිසිම දෙයක් මා අවට තියෙන්න බැහැ.සුමාලිත් මාත් ඇරෙන්න මම නිදං ඉන්න කාමරේ වෙන කවුරුවක්කත් නෑ.
භූමිකම්පාවක් හරි එහෙමත් නැතිනම් භූ චලනයක්වත් සිද්ද වෙනවද?
සිහිනය ගැන පූර්ණ අවධානයත් සමගම අවදිය ගැනත් හිතින් සම්බන්ධයක් පවත්වගෙන යන්න හැකිවීම ගැන මට මං ගැනම පොඩි ආඩම්බරකාර හැඟීමක් ඇතිඋනා.
ඒ කොහොම වෙතත් මේක හීනයක් නොවේවිද කියල සැක හිතන්න තාම ප්‍රමාද නැහැ. හීනයක්ය කියල දැනගෙන ඉන්න එකේ තත්පරයක් උනත් ඇති ඇහැරෙන්න. ඒ උනත් මම හිටියෙ ඇස් හොදටම ඇරගෙන ගිනි අවුරස්නෙන් ඇස් නිලංකාර කරගෙන. ඇහැරීම කියන වචනෙ තේරුම බරපතල අවදානමක පවතින බව මට මොහොතකට හැ‍ඟෙන්න පටන් ගත්තා.
යකඩ යකාත් මාත් අතර තත්පර ගණනක දුර...
කොයිකටත් කියල මම ඇස් දෙක තදින් පියාගත්ත.
මං ඇහැරුනේ එවෙලෙයි..
"ඔයා හීනෙන් බය උනාද?"
සුමාලි මගේ ඉහ ඉද්දර ඉඳන් අහනව. ඇගේ මූණ පුරා සිහින් හසරැල්ලක් පැතිරිලා යන විදිහ මම බලාගෙන ඉන්නවා.
"හොදටම දාඩියත් දාල. මෙච්චර හයියෙන් ෆෑන් එක දාල තිබිද්දිත්"
මම ඉන්නෙ දාඩියෙන් නෑවිලා බව මට තේරෙන්නෙ සුමාලිගෙ ඒ වචන වලිනුයි. හරියට හීනෙන් හිටිය මහ දවාලෙ වගේ දාඩියෙන් මාව නෑවිලා. අවු රස්නෙන් පිච්චිලා උන්න විදිහටම මුලු ඇඟම රත්වෙලා.
"තාම හතරටවත් නෑ"
සුමාලි එහෙම කියන ගමන් වතුර වීදුරුව මගේ අතින් තියනව. මම උගුරෙන් උගුර හිමීට වතුර වීදුරුව හිස් කරන අතරේ ඇය ඇගේ අතැඟිලි මගේ හිසකේ අතර දුවවනව.
මම ඒ පහස තවත් විදිනු පිණිස ඇස් දෙක පියාගන්නව. අතැඟිලි හිසකේ අතර රටා මවන හැටි හිතින් ඇඳ ගන්නව.
"ඒයි එයිනට වෙයන් යකෝ!"
කවුද කෑ ගහන සද්දෙට මට ඇස් ඇරෙනව.
යකඩ යකාගේ රකුසු හොම්බ මගෙ මූණෙ ගෑවෙන නොගෑවෙන ළඟින්...
"දඩස්!"

අතේ තිබ්බ වතුර වීදුරුව බිදෙන සද්දෙට මම යකඩ යකාගේ ඇගේ හැපිල ඈතට විසිවෙනව.......



අප ආ සැටී...



23 අදහස්





















ගිනි පුපුර ඇස ඇරී
එළි කලේ සිහිනෙකී
නැත ඒ අනන්තෙකී

සිහිනයෙන් සිහිනෙට එතී
පෙම් කඳුළැලී සිව්නෙත පිරී
අප ආ සැටී

අතැඟිලි බැඳී
පියවර නැඟී
කඳු හෙල් මතින්
අප ආ සැටී

හිරු රැස් නැඟී
දහවල දිලී
තරු මල් පිපී
සඳවත පිරී
මන් මත් වෙවී
දින සති ගෙවී
අප ආ සැටී

අභිසෙස් ලැබී
දිවි සුසර වී
ගී තනු නැඟී
හද පිරි තිරී
අප ආ සැටී

මතකෙට නැඟී
නෙත් තෙත් වෙවී
මුව මත සරයි
පෙම් හසරැලී

පසුබිම



37 අදහස්






"මයි..චිත්‍රපොත් අතට ගන්න".

උදුලා ටීචර් පන්තියට අණ කරයි. නිමල් උදුලා ටීචර්ට කැමතිය. ඇය එකේ පන්තියේ කොඩිකාර ටීචර් මෙන් සැරපරුෂ තැනැත්තියක් නොවීම ඊට හේතුවයි. උදුලා ටීචර් කිසි දවසක කිසිවෙකුට වේවැලෙන් නොතලයි. චණ්ඩිකම් වලට ප්‍රසිද්ධ සනාට වුව ඇය කිසිදාක වේවැල් පහර නොදුන්නාය.

"අද අපි අඳින්න යන්නෙ ගමරාල කෙනෙක්ව. පුතාල ගමරාලලව දැකල තියනවද? කෝ අත් උස්සන්න බලන්න.."

තාත්තා නත්තලට ගෙනැත් දුන් දෙවුලොව ගිය ගමරාල පොතේ ගමරාලගේ හැඩරුව නිමල්ගේ සිහියට ඒ. නිමල් අතක් උස්සයි. ඒ ගමන්ම පන්තියේ අනිත් යාලුවන්ද අත් ඔසවා ඇද්දැයි බැලීමට පුටුවෙන් මදක් ඉස්සී වට පිට බලයි. අනිත් ළමයි සියල්ලගේම අත්ද ඉහලට ඉස්සී ඇත..

"බොහොම හොදයි. එහෙනම් දැන් අපි අඳින්න පටන් ගමු. ගන්න පැස්ටල් පෙට්ටිය එළිය‍ට. හැමෝම ලස්සනම ලස්සන චිත්‍රයක් අදින්න ඕනෙ හොඳඳ. හොදම චිත්‍රය තෝරලා මම පන්තියේ ඉස්සරහින් එල්ලනවා හැමෝටම පේන්න."

නිමල් පාට පෙට්ටියද පැන්සල හා ඉරේසරයද ගෙන චිත්‍රපොත උඩ තබා ගත්තේය. ඔහුට හරි සතුටුය. නිමල් චිත්‍ර ඇදීමේ රුසියෙකි. සමීරලා, සුරංගලා තවම අදින්නේ කෝටු බබ්බුය. ඒ අතින් හොද හැඩ ඇති රවුම් මුහුණු වලින් සහ මස්පිඩු සහිත අත් පා වලින් යුතු මිනිස් රූප ඇදීමට නිමල් සමතෙකි. සතිපතා කියවන චිත්‍රකතා පත්තරවල චරිත නිමල්ගේ මේ සමත් කම වැඩි දියුණු වීමට රුකුල් දුන් හේතුවයි. ටෝගා සහ නිවුරෝ නිමල්ගේ ප්‍රියතම චරිතය. හෑම සතියකටම වරක් අක්කලා විසින් මිලදී ගන්නා සිත්තර සත්සිරි වැනි චිත්‍රකතා පත්තර අක්කලා නිවසේ නැති අතරතුර ඔවුන්ගේ මෙට්ටය යටින් ගෙන හොරෙන් කියැවීම නිමල්ගේ විනෝදාංශයකි. එය අක්කලාට රහසක් නොවූවද ඔවුන්ද ඒවා කියවන්නේ නිවසට හොරෙන් බැවින් අක්කලාද ඒ පිළිබද නොදත් සේ හිඳිති. මුලින්ම ටෝගා සහ නිවුරෝ කතාද ඉන්පසු ඉන්ස්පෙක්ටර් ශ්‍රීනාත් සහ ගජමෑන් ද ගැටයාවද නිමල් කියවයි. ඉඩ ඇති හැම විටකම යෝධ සිරුරෙන් සහ පිරුණ මස්ගොබ වලින් පිරිපුන් දැවැන්ත කඩුවක් අතේ දරාගෙන බ‍දේ කඩු කොපුවක් පැළද සිටින වීරයන් සිත්තම් කිරීමට නිමල් ඉතා කැමතිය. එකේ පන්තියේදී භාවිතයට ගත් පොත් වල ඉතිරි වූ හිස් පිටු පුරා නිමල් සිත්තම් කර ඇත්තේ එවන් වීරයන්වය.

නිමල් චිත්‍රපොතේ පලමු පිට පෙරළයි. සුදු හිස් කොළය අලුත්වට දිළිසෙයි. ඔහු එය අත්ලෙන් පිරිමදියි.

ගමරාලට අන්දවන්නේ සරමක්ද අමුඩයක්ද යන්න නිමල්ට පැණයකි. අමුඩයක් අදින්නට නම් කුඹුරට යා යුතුයි. ඒ සමග උදැල්ලක්ද ඇදිය යුතුවේ. එවිට ඔහු ගමරාල කෙනෙකුට වඩා ගොවිරාල කෙනෙකු සේ පෙනෙනු ඇත. ගමරාල කෙනෙකුටත් ගොවිරාල කෙනෙක් විය හැකි නොවේදැයි යන කල්පනාවේ ඔහු මදක් නිමග්න විය.
සරමක්ද ඇදගෙන ගෙමිදුලට වී සිටින ගමරාල කෙනෙක්ව ඇන්දහොත් ඊට පිටුපසින් ගෙයක්ද සිතුවමට නැගිය හැක. තව මල් හා එළවලු පාත්තියක්ද සතුන්වද පසු බිමෙන් ඇදිය හැකිවේ. එය වඩාත් කදිමය.එහි බොහෝ දේ ඇත.

අවසානයේදී සරමක් ඇදගත් ගමරාල කෙනෙක්ව ඇදීමට නිමල් තීරණය කළේය.

ගමරාලගේ මුහුණ මුලින්ම ඇදිය යුතුයයි නිමල් සිතාගෙන උන් බැවින් මේ වන විට රවුම් මුහුණේ තරමක් ලොකු ඇස් දෙකට, කුඩා නාසයට පහලින් තරමක් දළ උඩු රැවුලක්ද සිත්තම් වන්නට පටන් ‍ගෙන තිබුණි. ගමරාළට ඇත්තේ කාරුණික මුහුණකි. කො‍ටුවේ කුකුල්ලුන් කන්නට එන නරිරාළට හැරුණ කල අන් සියල්ලන්ටම ගමරාළ හරි කරුණාවය. නිමල් වඩාත් කැමති පාට ගැන්වීමේ ක්‍රියාවලියටය. චිත්‍රය පාට කරන තුරු නිමල්ට ඉවසුම් නැත. එහෙත් ඊට පෙර ගමරාලගේ අත් පාද කකුල්ද ගෙවත්තද සිත්තමට නැගිය යුතු වේ..


උදුලා ටීචර් පන්තියේ ඔබ මොබ සක්මන් කරනයුරුද ඒ අතරතුර ඉදහිට එකෙක් දෙන්නෙක්ගේ අඳිමින් පවතින චිත්‍ර වලටද එබිකම් කරන අන්දමද නිමල්ට පෙනේ. ටීචර් පන්තියේ පසුපසට ගිය මොහොතක් බලා නිමල් අවට මිතුරන්ගේ චිත්‍ර දෙස විමසුම් ඇස යොමු කරන්නට විය.


උපුල් තවම චිත්‍රයේ ඇඳ ඇත්තේ ස්වල්පයකි. ඔහු කෝටු අත් දෙකක් ඇද අහවර වී විශාල හිසක් අදිමින් පසුවෙයි. සුරංග හා සමීරද චිත්‍රයෙන් නිමවා ඇත්තේ ස්වල්පයකි. ඒවායේ එතරම් සිත්ගන්නාසුලු පෙණුමක් නැතැයි නිමල්ට සිතුණි. සජිත්ගේ චිත්‍රය අනික්වාට වඩා තරමක් හොඳය. නිමල් හැරුණු කල අත් පා රවුම් මිනිසුන්ව අදින්නේ සජිත් පමණකි. එසේ වුවද එය තමන්ගේ සිතුවමේ ගමරාල තරම් හැඩ ඇතිව ඇඳ නැති වගට නිමල්ට කිසිදු සැකයක් නැත.

ගමරාලට ඉරි ඉරි සරමක් ඇන්දවීමෙන් පසු නිමල් චිත්‍රයට එකතු කළ යුතු අනික් දෑ සිත්තම් කරන්නට පටන් ගත්තේය. පිදුරු සෙවිලි කල කුඩා නිවසක්ද, ළිඳක්ද, ගස් කොළන්ද සිත්තම් කර අවසන චිත්‍රයේ පසෙකින් දඩෝරියෙක්වත් සිත්තම් කලොත් හොදයැයි සිතුන බැවින් බලු නගුටෙක්ද චිත්‍රයට එකතු විය.
ඌව රතු පා‍ටින් පාට කරන්න ඕනෙ.
නිමල් සිතීය.

උදුලා ටීචර් තවමත් පන්තිය වටා සංචාරයේ නිරත වන ගමන්ය. දෙතුන් දෙනෙක් චිත්‍රය ඇඳ අවසන් කර තිබූ හෙයින් ඇය ඒවාද එකතු කරන්නට විය.

සුරංගද සමීරද මේ වන විට චිත්‍ර නිමකොට අවසන්ය. සජිත්ද ඔහුගේ චිත්‍රය සෑහෙන දුරට පාට කර අහවරය. පාට ගෑ බොහෝ තැන්වල හිඩැස් වලින් යුක්ත එය එතරම් සුන්දර එකක් නොවීම ගැන සතුටක් නිමල්ගේ සිතේ මෝදු වන්නට විය.

බල්ලාට රතුපාට ගෑමෙන් අණතුරුව තව ඉතිරිව ඇත්තේ පසුබිම පින්තාරු කිරීම පමණි. නෙක වර්ණ පැස්ටල් කූරු අතරින් පසුබිමට ඔබින වර්ණයක් තෝරාගැනීමට නිමල් මොහොතක් ගත කලේය.
අවසනදී ඔහුගේ සිත් ගත්තේ තද කොළ වර්ණයයි.

"ෂා නිමල් මාර ලස්සනයිනෙ මේක."

චිත්‍රය පාට ගා අවසන් වෙත්ම යාබද පුටුවේ සිටි උපුල් නිමල්ට රහසින් කීය. නිමල්ගේ සිත සතුටින් ඉපිල යන්නට විය.

"ඔයාගෙ චිත්‍රෙත් ලස්සනයි."

එතරම් ලස්සනක් නැති වුවත් නිමල් උපුල්ගේ සිතුවම වර්ණනා කළේය.

සිතුවමෙහි පසුපස නම ලියා උදුලා ටීචර්ට බාර දෙන්නට මත්තෙන් යළිත් වරක් අවට පෙනෙන මිතුරන්ගේ චිත්‍ර දෙසත් තමාගේ චිත්‍රය දෙසත් බලා සැසදීමට නිමල් අමතක නොකලේය. ඒ හැමකකටම වඩා තමන්ගේ චිත්‍රය කැපී පෙනෙන ලස්සනකින් යුක්තයැයි නිමල් නැවත නැවතත් සිතුවේය. උදුලා ටීචර් නිසැකවම තමන්ගේ සිතුවම පළමුවැනියාට තෝරා ගනු ඇතැයි නිමල්ට සිතුණි. කොළපාට පසුබිමේ රතුපාට බල්ලා සහ කරුණාවන්ත ගමරාළ සහිත චිත්‍රය පන්තියේ ඉදිරිපසින් රැ‍‍දෙනු ඇත. ඊට යටින් නිමල්ගේ නමද සටහන් වන්නට බැරි නැත.

දැන් හොදම චිත්‍රය තේරීමේ වෙලාවයි.

"නිමල්ගේ චිත්‍රය තමයි ලස්සනම"
ගුරුතුමිය නම් කියවන ගමන් සමග සිසුන්ගේ චිත්‍ර පන්තියට පෙන්වද්දී අවට සිටි මිතුරන් කිහිප දෙනෙක්ම එසේ කියණු නිමල්ගේ සවණ වැකිණි. සියුම් ආඩම්බරයකින් සිත පිරී යන්නට විය.


"දැන් ළමයි කියන්න බලන්න මේ දැකපු චිත්‍ර වලින් කාගේ චිත්‍රයද වඩාත් ලස්සන කියලා."
චිත්‍ර ප්‍රදර්ශනය කිරීමෙන් අණතුරුව උදුලා ටීචර් පන්තියෙන් විමසුවාය.

පන්තියේ ළමෝ එක්වරම නම් කියා කෑ ගසන්නට වූහ. වැඩිපුරම ඇසුනේ තමන්ගේ නම වග නිමල්ට සැක නැත. කිහිප දෙනෙක් සජිත් ගේ නමද කියනු යාන්තමට මෙන් නිමල්ට ඇසුණි.

"හා ළමයි දැන් නිශ්ශබ්ද වෙන්න. අපි බලමු එහෙනම් ඒ චිත්‍ර"
උදුලා ටීචර් නිමල්ගේ චිත්‍රයද සජිත්ගේ චිත්‍රය දෑතට ගෙන පන්තියට දිස්වන සේ අල්ලා ගත්තාය.

සජිත්ගේ චිත්‍රයේ සිතුවමට නගා තිබුණෙ ගමරාළ සහ ඔහුගේ නිවසයි. ගෙවත්තේ බිම කොළ පාටටද පසුබිම ලා නිල් පාටටද වර්ණ ගන්වා තිබුණි.

"කෝ දැන් සජිත්ගේ චිත්‍රෙ ලස්සනයි කියන අය අත් ඔසවන්න බලන්න."
අත් දෙක තුනක් එසවුනි. ඒ අතර සජිත්ගේ මිතුරු රුවන් හා කමල්ද වූහ.

"එතකොට නිමල්ගේ චිත්‍රෙ ලස්සනයි කියන අය අත් ඔසවන්න බලන්න."

උදුලා ටීචර් එසේ කියා අහවර වීමටත් මත්තෙන් පන්තියම වාගේ අත් එසවූහ. නිමල්ට දැනුනේ උහුලා ගත නොහැකි තරම් ප්‍රීතියක් සහ ආඩම්බරයකි. තමන්ගේ චිත්‍රයට සජිත්ද අත ඔසවනු දැක නිමල්ගේ සිත සජිත් පිළිබද මහත් මිතුරු සෙනෙහසකින් දැල්වී ගියේය.

"වැරදියි...."
නිමල්ගේ සිතේ මහත් තිගැස්මක් ඇති කරමින් උදුලා ටීචර්ගේ වදන් අනපේක්ෂිත අයුරින් රැවු දුනි.
නිමල් තුෂ්නිම්භූත විය.. පන්තියේ අනිත් ළමුන්ද මහත් පුදුමයෙන් කසුකුසු ගාන්නට විය.

"ළමයි නිශ්ශබ්ද වෙන්න.."
ළමුන්ගේ කතාබහ අතරින් උදුලා ටීචර්ගේ හඬය.

"නිමල්ගෙ චිත්‍රයේ පසුබිමට එයා ගාල තියෙන්නෙ තද කොළපාට. අපි පසුබිමක් පාට කරද්දි කවදාවත් තද පාටවල් යොදාගන්න හොද නැහැ. ඒකට යොදාගන්න ඕනෙ ලා පාටවල්. දැන් බලන්න සජිත්ගේ චිත්‍රය. ඒකට ගාල තියෙන්නෙ ලා නිල් පාට. කොච්චර ලස්සනද පැහැදිළිද කියල බලන්න. ලා නිල් කහ රෝස වගේ ලා පාටවල් තමයි පසුබිමට ගාන්න සුදුසු. ඒ නිසා මේ දෙකෙන් හොදම චිත්‍රය සජිත්ගේ චිත්‍රය.."

"ඒ උනාට නිමල්ගෙ ගමරාල ලස්සනයිනෙ"
කවුදෝ මිතුරෙක් හෙමින් කියනු සිහිනෙන් මෙන් නිමල්ගේ සවණ වැකුණි.

"නිමල් මීට පස්සෙ පසුබිම පාට කරද්දි මේ වගේ තද පාට එහෙම ගාන්නෙ නැහැ."
චිත්‍රය නිමල් අතට දෙන ගමන් උදුලා ටීචර් පැවසීය. නිමල් චිත්‍රය ඩෙස්කුව මත තබා ගත්ගමන් මුහුණ බිමට බර කර ගත්තේය. රතුපාට බල්ලාද කරුණාවන්ත ගමරාළද දුක්මුසු ඉරියවුවක් පාන්නේයැයි නිමල්ට මොහොතකට සිතෙන්නට විය

පසුබිම..

එය නිමල්ට අලුත් වචනයක් නොවූ නමුත්. එය මේ මොහොතේ දැනගත් අලුත් වචනයක් සේ හැගී යන්නට විය. චිත්‍රයේ මිනිසුන්, සතුන්, ගහකොල හැරුනු කල අන් සියල්ල පසුබිමය. වැදගත්ම දේ නම් පසුබිමයි. පසුබිමට තද පාට හොද නැත. නිමල් සිතුවේය.

කොළපාට පසුබිමද ඇතුලුව මුලු චිත්‍රයම නිමල්ගේ දෑසින් බොදව යද්දී

"සජිත්ගේ පින්තූරය හෙට ඉදන් පන්තියේ හැමෝටම පේන්න ගහලා තියනවා."
ඈතින් ගලා එන්නක් සේ ඇසෙන උදුලා ටීචර්ගේ වදන් බොහෝ දුර සේ නිමල්ට හැඟිණ.





මොකද මේ වැහි?



25 අදහස්

















මොකද මේ හැටි
කඩින් කඩ වැහි?
කලක් වේලාවකුත් නොකියා
හිතුමතේ ඔහෙ
ඇවිත් යන හැටි

තුරුලු කරගෙන මගක් යනකොට
අතැර ගොස් අතරමං කෙරුවා
අවුකූටයේ දැවි දැවී යනකොට
ඇද වැටී තෙතබරිත කෙරුවා

අනාවැකි බොහොමෙකට කන්දුන්
නමුත් බියසැක හිතේ ඇතුවා
වට මුලදි විඳි නැවුම් පුසුඹද
එන්න එන්නම මතක නැතුවා

මොකද මේ වැහි
එක ලෙසට නැති?

ප්‍රේමිය...



11 අදහස්

දිවා රෑ පුරා සිහිනයෙන් ඇවිද්දවන ප්‍රේමය කවදාක කෙළෙසක හිතේ උපත ලැබුවාද?... දෑස් ඇරගෙනම දකින සිහින අයදින්නේ හදවත වෙලෙන අග්නිජාලාවට උප්පත්තිකාරක වූ ගිනිපුපුරද?

සයියා...එහෙමත් නැතිනම් පෙම්වති‍ය... අතිශයින් සුන්දර ප්‍රේමගීතයක්. ප්‍රේමවන්තයෙක්ගේ හදින් නැගෙන හද කම්පනයට පත් කරන ආයාචනාවක්...

මේ ගීතය ගයන්නේ
කයිලාෂ් ඛෙර් නම් වූ ගායන ශිල්පියායි. ඉන්දියානු ගැමි සංගීතයේද අභාෂය ලැබූ ඔහුගේ ගීත තුළින් මම හැමදාම විඳින්නේ අපූර්ව රසයක්...

සයියා කියන්නේ කයිලාෂ් ඛෙර් විසින් ගයන ලද වඩාත්ම ජනප්‍රිය ගීතය කිවුවත් නිවරදියි. මෙහි මා වින්ද හැඟීම් වලට වචන තුළින් සාධාරණයක් ඉටු කල නොහැකි බැවින් විඳිනු පිණිස ගීතය සහ එහි පදපෙළ ඔබට ඉතිරි කොට තබනවා....

මේක රේවන්ගේ ප්‍රියතම ගීතයක් බවත් මතක් නොකරම බැහැ....




මැණික් මුතු මට අවැසි නැත
මට අවැසි ඔබ හා එක්වීමයි
මා ඔබෙයි පෙම්වතියේ
ඔබ මගෙයි පෙම්වතියේ පෙම්වතියේ

ඔබ ස්පර්ෂ කරයි නම් ආදරෙන්
මම සැනසීමෙන් මිය යන්නම්
එන්න සඳ මගේ තුරුලට
ඔබ තුලම සැඟව යන්නම්
මම ඔබේ නමින් අතරමන් වෙන්නම්
පෙම්වතියේ පෙම්වතියේ


මගේ හදවත සතුටින් පිරී රාත්‍රීන් ගයයි
ගෙවී යන හැම හැම මොහොතකම මම ගිලී යමි
ඔබව දිනාගනිමින් පැරදෙන්නට සිතේ
මේ ප්‍රාණය පරදුවට තබා
මෙලෙස මා ගැතිවී
ඔබේ රුව අයදී
සියළු බැඳීම් ඔබේ නමින් බැඳී ඇත
පෙම්වතියේ පෙම්වතියේ

මේ උණුසුම් මත්බවකි නැඟ එන්නේ
කිසිවකු ආදරයෙන් හිස වැසූ සේලය ඔසවයි
දැන් මනස උන්මතු වී ඇත
ලොවම ආලෝකමත් වුනා
නැවුම් මනාලියක ලෙසින්
මා ඔබේ තවුසා වී
ප්‍රේමයේ පූජාවට මන්දිරය සරසයි
පෙම්වතියේ පෙම්වතියේ


මැණික් මුතු මට අවැසි නැත
මට අවැසි ඔබ හා එක්වීමයි

මම නොදනී
ඔබමයි දන්නේ
මා ඔබේමයි
ඔබ මගේමයි

මම නොදනී
ඔබමයි දන්නේ
මා ඔබේමයි
ඔබ මගේමයි
මා ඔබේමයි ඔබ මගේමයි



newer post older post