About

Related Posts Plugin for WordPress, Blogger...

නුඹ පමණක්



15 අදහස්















නොදිරන නාමය
යට වලලා
දිරනා රූපය
තනලා සීතල ස්මාරක
මරණය ජීවත් කරවන
සෝ ගී බැති ගී ගයලා
ක්ෂණයක කදුළක් මැද
ගියදා මතකය පිසලා
උන් සැම මා අතහැර

කිම නුඹ පමණක් පිපිලා
මේ බිම මගෙ තනිවට

නැත කිසි දින නුඹ සිඹලා
මා හද තුරුළට ගෙන
නැත එක බැල්මක් හෙළලා
පෙර දා නෙතගින් වුව
නැතිමුත් නුඹ රුව මැවිලා
දකිනා සිහිනෙක වුව


කිම නුඹ පමණක් පිපිලා
අද දින මගෙ තනිවට


දවනා හිරු රැස් නොතකා
සිහිලේ මා වටකොට
හමනා පවනේ සැලෙනා
නුඹෙ සෝ ගීය නිහඩ
පෙරදා අහසේ කැටිවුණ
කලුවර වලා රොදක
ඉකිබිදුමක් වී වට වරුසාවක්දෝ
මහ පොළවට

ස්වාර්ථකාමී මම...



17 අදහස්

අන්ධ කර මා නුවන්
තවරලා ආලේ අඳුන්
දෝතින් බදා වැළඳ
මා රකින, මා සිඹින
නුඹ
ස්වාර්ථකාමියෙකු නොමවේද?

තුරුලු වී උණුහුමට
නෙත් පියා ගෙන තුටින
නොතකමින් මුලු ලොවම‍
දැවටෙමින් නුඹ ළඟම
සෙනෙහසට ලොබ බඳින
මම
ස්වාර්ථකාමියෙක් වෙමිය නුඹටත් වැඩිය

-විශ්මි-

නුඹේ බිරිඳව..



20 අදහස්


නුඹේ බිරිඳව මා තබන පලමු සටහනයි..........

නීති ප්‍රකාරව මා දැන් නුඹේ බිරිඳය...... අෂ්ඨක කියා චාරිත්‍ර ඉටුකිරීමට තව කෙටි කලක් ඇත....

මම ආඩම්බර වෙමි.... නුඹවන් සංවේදී මිනිසෙකුගේ බිරිඳ වන්නට ලැබීම ගැන මම ආඩම්බර වෙමි....... නුඹ මා හැඳින්නෙහිය....... සිර වූ ජීවිතයක බැමි ලිහා දමා නුඹ මට ඉගිලෙන්නට තටු දුනිය...... නුඹේ ජීවිතය වටා මම සතුටින් පියාසලන අයුරු බලා නුඹ අපමණක ආශ්වාදයක් විඳිබව මම දනිමි......

මට මා කවුදැයි හඳුනා ගැන්මට නුඹ මට අත්වැලක් විය.....නුඹ මට බොහෝ දේ නොව...... ජීවිතයම දුන් බව මා පවසන්නෙ හදපිරි ස්නෙහයකිනි..........

අප උනුන් උදෙසා කැපකල කිසිවක් නැත.... එහෙත් අත්හල බොහෝ දේ ඇත.... ඒවා පිළිබඳ අපට තැවිල්ලක්ද නැත.. මන්ද..... සියල්ල අත්හලේ බොහෝ සුන්දර වූ අප්‍රමාණ ප්‍රේමයක් හිත පුරවා ගැන්මට වූ බැවිනි....


නුඹ මා කෙරෙහි බල පවත්වන නීති නැත... රීති නැත...හිස සිප සනසාලන අත්‍යන්ත දයාබරත්වයක් පමණක් ඇත....



සබඳ.... වැළල ගිය සිහින නුඹේ ලෙයින් පණ ලබද්දී මම ජීවිතය ලදිමි.......... සැඟව ගිය සිනහවන් නුඹ සොයාගෙන ඔපදමද්දී මම ජීවිතය ලදිමි........ නුඹේ සුසුමක් නළලත ගැටුනු කල මම ජීවිතය ලදිමි........

නුඹේ ප්‍රේමය අස මම නිවුනෙමි.... සැනසුනෙමි......

නුඹ නිසා ලියැවින



16 අදහස්


හෙට සිට මට නුඹට මගේ බිරිඳ යැයි කියන්නට පුලුවන්.

මම භාෂාවේ හෝ ජීවිතයේ ව්‍යාකරණ නොදත්තෙක් බව නුඹට අමුතුවෙන් කියන්නට ඕනෑ නැති බව මම අදහමි. ඒ නුඹ තරම් මා තේරුම් ගත් කෙනෙක්, අපිළිවෙල මගේ ජීවිතයේ අදුරු අහුමුලු වලට පවා පෙම් කල කෙනෙක් මා නොදන්නා නිසාය. මගේ අම්මා මට බෙහෙවින් ආදරය කලාය, තවමත් කරන්නීය නමුත් නුඹ තරම් ඈ වත් මාව තේරුම් ගත්තායැයි මම නොසිතමි.

මම කලුවරට පෙම් කරමි. ජීවිතය ගැන ලෝකය ගැන විකාරරූපී වූද විටෙක භයංකාර වූද සිහින දකින්නට කැමැත්තෙමි. පත්තර පිටු වල සහ කතා පොත් වල මිනී මැරුම් අපරාධ ගැන පුවත් රස කර කර කියවමින් බත් කමි, තේ බොමි.

මස් කඩයක් අසලින් යද්දී සත්ව විලාපයක් ඇසුණු තවත් දවසක වේල් ගණනක් නිරාහාරව සිටිමි. එදිනෙදා වේල පිරිමහගන්න මුට්ට කර ගහන මිනිසෙක් දැක ඇස් බොද කර ගනිමි. විටෙක රහසින් හඩමි.

නුඹ ඒ වග දන්නවා ඇති.

සියල්ලකටම වඩා ඒ සියල්ලක්ම මැද මම මිනිසුන්ට සහ ලෝකයට ප්‍රේම කරනා වග නුඹ දන්නවා ඇති.
නුඹේ ඒ දැනීමට මම පෙම් කරමි.

ජීවිතය නූල් බෝලයක් සේ පැටලී තිබුණ අවධියක අප හමුවීම අහම්බයක් විය හැක. ඒ වන විට මම ජීවිතය පසෙකට විසි කරදා සිටියෙමි. බිදෙන් බිද පැයෙන් පැය දිග ඇරෙන විනාශය අබිමුව මත් වතුරෙන් කවියකින් දෑස් වසා උන්නෙමි. ජීවිතය යනු මහ උගුලක්යැයි ඇදහුවෙමි. මහා ඛේදවාචකයක් අබිමුව වුව ඒ ජීවිතේ ස්වභාවයයැයි නි‍සොල්මන් වී උන්නෙමි.
ඒ මා අනිත්‍යය වටහා ගත් නිසා නොව පළා ගිය නිසාවෙනි.

දැන් මම නැවත කදුලු ලුණු රස හදුනමි. හදවතේ ලේ වල උණුසුම හගිමි.
ඒ නුඹ නිසාවෙනි.

හැඩපලු ගෙතුන ජීවිතයක් දෙස නුඹ තරම් උපේක්ෂාවෙන් බැලීමට තවත් කෙනෙකුන්ට හැකිවේදැයි මම නොදනිමි. නුඹ බොහෝ කාලයක් බලාගෙන උන්නාය.අදටත් එසේමය...හැඩි උන ජීවිත මලුව අමදින්නට නුඹ මුස්න ගෙන නාවාය. ඒ වෙනුවට මා නිදහසේ ගලන දෙස නුඹ ප්‍රීතියෙන් වින්දාය. ඒ අතරතුර නොදැනීම මම රිද්මයක් ලද්දෙමි...නුඹ නිසාවෙන්.

මගේ අපිළිවෙල කවි අතර නුඹේ අත් ගැටුනු විට ඒ තුළින් පෙරදාක නොදුටු දීප්තියක් මම දකිමි. මම මා ගැනම විස්මයට පත්වෙමි. ඒද නුඹ නිසාවෙනි.

නීතිමය බැදීමක අවැසිතාවයක් අපට කවදත් නොදැනුණි. හෙට මෙන්ම මතුදාද අප අපව වින්දයුරු අංශුමාත්‍රයකින් හෝ වෙනස් කරන්නට එයට හැකි නොවෙතැයි මම සිතමි. නමුත් මේ උදාවන්නේ අපේ ගමනේ තවත් එක් සුන්දර සිහිවටනයකි. එය විදින්නට මම පුල පුලා මග බලා හිදිමි.


හෙට සිට මම නුඹට බිරිඳ යැයි අමතමි.

භාෂාව අමතක කොට යළි මුල සිට ඉගෙන ගෙන හෝ මම එය ලියමි,කියවමි,තෙපලමි.

අම්මා තරම්ම සුන්දර වදනකි ඒ.

නුඹ නිසාවෙන්ම එය හුරුවෙන්න තෙපලන්න තරම් සුන්දර වචනයකි
.

නුඹ මහා මිනිසෙක්ව



10 අදහස්
--> -->
ජීවිත කාලයක් තුළ අපට විවිධ ගතිගුණ වලින් හෙබි වෙනස් වෙනස් චරිත ලක්ෂණයන්ගෙන් යුතු මිතුරන් මුණ ගැසෙනවා. සමහර මිතුරන් දරන්නේ අපි දරණවට වඩා හාත්පසින්ම වෙනස් මතවාද සහ අදහස්. ඒ කෙසේ වෙතත් සමාන අදහස් හා මතවාද දැරීම මතම මිතුරුදම් බැදී තිබෙනවා කියල මම අදහන්නෙ නැහැ.
අපි හැමෝම අපිට කැමති මාවත්තෝරා ගන්නවා. ඒවායේ ගමන් කරනවා. සමහර මාවත් තෝරාගැනීමේදී ජීවිතයෙන් බොහෝ කාලයක් අපේ ගමන් සගයන්ව සිටි අයගේ අත් අපට අත ඇරෙනවා. නමුත් ඒ අය පිළිබද තිබෙන ආදරය සහ හිතවත්කම හිතෙන් අත් හැරෙන්නේ නැහැ. අපි ඒ ‍ආදරණීය බව හිතේ දරාගෙන අපි තෝරාගත් ගමන් වල නිරත වෙනවා.
සමහරු එක තැනක නැවතිලා මුලු ලෝකයක් ගැන සිහින මවන්න, දකින්න කැමතියි. තවත් සමහරු දෙපයින් ඇවිදලා ලෝකය හා ගැටෙන්න, ලෝකය පියවි නෙතින් දැක බලා ගන්න, විදින්න කැමතියි.
මම සිහින දකින්නෙක්. ලෝකය ගැන අද්දැකීම් බහුල පුද්ගලයෙක් නෙමෙයි. මගේ මිත්‍රයො දවස ගානෙ ජීවිතය එක්ක අහස පොලව එක්ක ගැටෙනවා. මම කාමරයක් ඇතුලට වෙලා ජීවිතය ගැන අත්දැකීම් අංශුවක් තියාගෙන ඒව ලියද්දි ඔවුන් අවුවට වේලෙනවා, වැස්සට තෙමෙනවා,එදා වේල හොයාගන්න මහ පොලව එක්ක සටන් කරනවා, බඩගින්නේ ඉන්නවා.
බ්ලොග් අවකාශෙත් ජීවිතේ එක්ක ලොකු සටන් කරන අය නොඉන්නවා නොවේ. එහෙම අයව මම දැකල තියනව.
ඒ අය ගැන මට තියෙන්නෙ ආදරයක් සහ ගෞරවයක්.
මේ ඒ වගේ දේවල් ගැන හිත හිත එද්දි ඔලුවට ආපු වචනයක් දෙකක් කුරුටු ගෑවිච්ච අවස්ථාවක්.
පැරණි මිතුදම් රැගෙන
නුඹ යළිදු පැමිණ ඇති වගක් සැලවූ විගස
බිම දමා පත් ඉරුද පන්හිදද
පැමිණියෙමි මිතුර තකහනියෙ මම

බොහෝ කලෙකට ප්‍රථම
වෙන්වීමු අපි මෙතැන- මතකයිද?
මෙන්න මේ රළ ගහන ඉසවුවෙම
සයුර වෙත පෙම් බැන්ද මුත් දෙදෙන
නුඹ සෙවුවෙ සයුර දිග සරන්නට
පෙම් කළේ මම සිහින දකින්නට

වඩදියද බාදියද
දිවිය වෙත උවම් කොට
කවි ලියූ රැයක මට
සැලවීය මිතුර නුඹ රැගෙන ගිය නෞකාව
සැඩ මහා සාගරයෙ බිදුණු වග

ප්‍රථම ප්‍රේමයෙන් හද ආතුරව
නයන කැලුමන් අතර
උවම් සොයමින් අතරමං දවස
නුඹ ඈත දූපතක තනිව හුදෙකලාවක
පිටවෙන්න මගක් සොයමින් සිටින
වගක් සැලවුනේ බෝ කලක් පසුවයි මවෙත

අසරණව ලෝ කුටියෙ
සිරගතව වැළපෙනා ජීවිතය
කවි කරන අතරතුර
නුඹ කොහිද දුර රටක සිරගෙයක
අපා දුක් විදින වග
කොහෙන්දෝ ඇසුණි මට

මා ලියූ කවි පදය සොයනතර
සති අන්ත පුවත්පත් තීරුවක
ඇහැ ගැටුණි අහම්බෙන්
නොදන්නා කොදෙවුවක දුප්පතුන් නාමයෙන්
සටන් කරනා වගක්
නුඹ සබද

වීදියේ කඩපිලේ නැගුණ විට ඉදහිටක
නුඹේ මරණේ පුවතෙ කසුකුසුව
නොම ඇදහුවෙමි මිතුර මම
නොහැඩීමි කිසි විටෙක

කෙතක් අස්වද්දන්න
මහ පොලව හා ගැටෙන
නුඹේ රුව වැකුණු සේයාරුවක් දුටු දවස
හැඩූයෙමි මිතුර මම
අකාලේ වියපත්ව දාහයෙන් ගිණියම්ව
නමුදු මිය නොගිය හසරැල්ල දැක

ලැබූයෙමි කිත් යසස් හා නේක බුහුමන්
මහා කවියා කියා පැළැන්දෙමි කිරුලු රන්
නමුත් නුඹ තරම් කවි නොලී වග දනිමි මම්

පැරණි මිතුදම් රැගෙන
නුඹ යළිදු පැමිණ ඇති වගක් සැලවූ විගස
බිම දමා පත් ඉරුද පන්හිදද
පැමිණියෙමි මිතුර තකහනියෙ මම

නුඹ මහා මිනිසෙක්ව
පිරිපුන්ම කවියක්ව
මා ඉදිරිපස මිතුර

මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….



14 අදහස්


මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
මගෙ දිවිය ඔබ මත පුද කරන්නට සිතෙයි….
මේ හද ඔබ කෙරෙහි උමතු වූ පසු
ලෝකය කුමක් කීවත් කම් නැත….
කවුරුන් කොපමණ කතා හැදුවත් කම් නැත
මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
මගෙ දිවිය ඔබ මත පුද කරන්නට සිතෙයි….
ඔබෙ ප්‍රේමයෙන් අප්‍රසිද්ධිය ඈතව ගියා
ඔබත් සමග මමද පෙම්වත ප්‍රසිද්ධියට පත් වූවා...
අපේ ආනන්දය අපව කොහේ ගෙනයනවාදැයි බලන්න….
මගෙ සෑම සතුටක්ම දැන් නුඹයි….
මගෙ දිවිය ඔබ මත පුද කරන්නට සිතෙයි….




රිශිකේශ් මුඛර්ජි අධ්‍යක්ෂනය කල 1973 දි තිර ගත වුන‘අභිමාන්' චිත්‍රපටයට ‘ ලතා මන්ගෙශ්කාර්’ විසින් ගායන කරන සුන්දර ගීතයකි මේ…. ප්‍රේමය, බැදීම්, විවාහය සහ ඉරිසියාව අතර දෝලනය වන අඹු සැමි යුවලක් වටා ගෙතුන මෙම චිත්‍රපටිය ඉන්දියාවෙ මෙන්ම මෙරටද බොහෝ ජනප්‍රිය වුන චිත්‍රපටයක්….


බල්ලාගේ මරණය



32 අදහස්
-->
"ජීවිතේ හැටි ඔහොම තමයි මහත්තයෝ"
ඥාණවිමල හාමුදුරුවෝ කටහඬ අවදි කරයි

"අපේ ජීවිතත් කොයි වෙලාවෙද කියල නෑ. ඉපදුනොත් මරණය නියතයි. ඒක කොයි වෙලාවෙ කොහොම වෙනවද කියන එක වැදගත් නෑ. සේරම වෙන්නෙ පූරුවෙ කුසල අකුසල කර්ම වලට අනුව තමයි. දැන් මේ සතා උනත් ගිය ආත්ම භාවයක කරපු මොකක් හරි කරුමයක් නිසා තමයි මේ වගේ ඉරණමකට ගොදුරු උනේ"

"ඒක තමයි හාමුදුරුවනේ මාත් කිවුවෙ. කොහෙද මේ ළමය ජීවිතෙන් තැළිල පොඩිවෙලා තියන එකක්යැ. හරිම සංවේදී වැඩියි. ඊයෙ දවසත් ගෙදර ගිය වෙලේ ඉඳන් අඬා ගත්ත ගමන්මයි.කෑමක් බීමක්වත් නෑ. දැන් මේ උදේ වරුවෙ ඉඳන්ම මහන්සි උනා මේ දානෙ වැඩ කටයුතු වලට"
ලොකු අම්මාගේ වදන් මා ලැජ්ජාවට පත් කරයි. මගේ හිත තවත් බර වී යයි. හෘදය අභ්‍යන්තරය ගිනි ගන්නවා සේ හැ‍ගේ.

"දැන් මේ බලු කපුටු දානෙ පින උනත් ඒ සතාටනෙ. ඉතින් ඒ පිනෙන් ඒ සතා තව කොහේ හරි හරි හොඳ තැනක උප්පත්ති ලබයි. මොනව උනත් ඌත් පිනක් කරල තියනව මරණෙන් පස්සෙ මේ වගේ දාන මාන පින් කමක් හරි ලබන්න".
මුන් ඔක්කොම බොරු කාරයො. මම හිතමි. සතෙක්ගේ ජීවිතයක් ගැන මුන්ට ගාණක්වත් නැති හැටි.ජීවිතය ගැන උපන් මහත් තනිකම් සහගත හැඟීමකින් මම වෙළී යමි. මොවුන් කතා කරන්නේ බල්ලා මරණයට පත්කිරීම මා විසින් ඌ හට කරන ලද මහත් උපකාරයක් ලෙසිණැයි මට සිතේ. මිනිස් චිත්ත සන්තානය මහා ගුප්තය, මිනිස් ජීවිත දෙබිඩිය. මේ මොවුන්ගේ සැබෑ සිතිවිලි සහ අදහස්ද? නැතහොත් හුදෙක් මා සනසා මා හා හිතවත්කම් වර්ධනය කරගැනීමට යොදන උපක්‍රමයක්ද?

අසරණ සතා ගැන මහත් කම්පාවකින් මා ළයේ වේදනාව තව තවත් උග්‍ර වන්නට පටන් ගෙන ඇත.

බල්ලා මරණයට පත්වූයේ සහමුලින්ම මගේ වරදින් නොවේ. ඒ වග මම දනිමි. නමුත් එසේ දැන සිටීම මා හඟින වරදකාරී හැඟීම පහ කිරීමට කිසි සේත්ම ඉවහල් නොවේ. මගේ හෘද ශාක්ෂියට අනුව මම අපරාධකාරයෙක්මි. මගේ මොහොතක නොසැලකිල්ල නිසා අසරණ සතෙක් ජීවිතක්ෂයට පත් වීම කිසි සේත්ම සාධාරණීකරණය කල නොහැක්කක් සේ මම අදහමි.

"අනේද කියන්නෙ. දැන් බලන්න උතුරෙ කොල්ලො කොච්චර මැරෙනවද? ජීවිත දහස් ගණන් නැති වෙනව. ඔව ඔහොම තමයි දුක් වෙන්න හොඳ නෑ. මේවගෙ පවු මහත්තයට නෙමෙයි. බලු පැටවු පාරවල් පන්සල් ගානෙ අනාත කරල දාල යන උනටයි හෙන හතම වදින්න ඕනෙ".

තවත් උපාසිකා මාතාවක් කතාවට හවුල් වේ.
මගේ සිත බිඳුවකින්වත් නිවා දමන්නට මුන්ගේ වචන වලට බැරි හැටි. මුන් හදන්නේ මාව සුද්ධවන්තයෙක් කිරීමටැයි මට සිතෙත්ම මසිත නැගෙන්න මහත් තරහවකි.
ඊයේ සවස පන්සලෙන් පිටව යන්නට මත්තෙන් මොහොතකට මම මගේ කාරය යටට එබිකම් කර බැලුවානම් මේ නස්පැත්තිය සිදු නොවනු ඇත. මේසා අපරාධකාරී හැඟීමක් මා වෙලාගෙන මා සිත තලා පෙ‍ලා නොදමනු ඇත.

නමුත් දැන් සියල්ල සිදුවී හමාරය. නවතා තිබූ කාරය යට සැපට නිදා සිටි බලු කුක්කා රියසකට යටවී මලේය. පන්සලේ නටු බැල්ලට පැටවෙක් අහිමි විය. අනෙක් බලු කුක්කන්ට කෙළි සෙල්ලමට සඟයෙක්..
බල්ලෙකුට උනත් බැඳීම් කියා දෙයක් නොතිබෙන්නට බැරිය. නොතිබෙන්නට බැරි නොවේ එය එසේය..මියගිය බලු කුක්කා ගැන පමණක් නොව ඌගේ මරණයෙන් වියෝවට පත්ව ඇතැයි සිතන අවට බලු රැළ ගැනද මට මහත් දුක සිතේ.

බලු පැටවා මා අතින් මරණයට පත් නොවූයේ නම් මෙවන් හැඟීමක් මා සිතේ ඇතිවනු ඇද්ද? මසිත තුළ ඌ කෙරේ මේ සා බැඳීමක් ඇතී වන්නට හේතූව ඌ මා අතින් මරණයට පත් වීමද?

"පුතාගෙ අතින්ම මෙහෙම දේකට ගොදුරු වෙන්න උගෙ ඉරණමේ ලියවිලා තියෙන්න ඇති"


හිසෙන් නොනවත්වා ලේ දහරක් ගලා යන. ලේ විලක හිස තබාගත් බලු පැටවෙක් ජීවිත කාලය පුරාවටම මා මතකයේ හොල්මන් කරනු ඇත. කුහුඹුවෙක් වත් නොමරන මා අතින් මෙවන් වරදක් කෙසේ නම් සිදුවුනිද?

බල්ලාගේ මරණය හේතු කොටගෙන පසුවදාම බලු කපුටු දානයක් පිළියෙල කරන්නට කටයුතු සැකසුනේ මගේ අදහසට අනුවය.ඒ පවු සෝදා ගැනීමටවත්, සිත සනසාගැනීමටවත් වඩා ඌ වෙනුවෙන් ම හට කල හැකි යැයි මට සිතුණු එකම දෙය එය වූ නිසාවෙනි.සිත හදාගන්නට මට අවැසි නැත. සුව නොවූ තුවාලයක් නිය පිටින් පහරන්නාක් සේ මම විටින් විට මතක ගොල්ලේ මගේ වරද අභිෂේක නංවමි එක අතකට නිශ්ල යැයි සිතුණද මේ වරදකාරී බවින් මිදීමට මටද අවැසි නැති වග මට හැ‍ගෙයි. මම මාවම පෙළා ගනිමි. එය මා තුළ සැඟව පවතින ස්වපීඩා කාමුකත්වයක් නිසා වෙන්ද එසේත් නැතහොත් පවට ඇති මගේ රහස් බිය නිසාවෙන්දැයි මම නොදනිමි

දැන ගැනුමට මට අවැසිත් නැත.

"දැන් ඉතින් මේ කුසගින්නෙන් පෙලෙන අසරණ සතුන්ට දුන් දානමානාදියෙන් ඒ සත්වයා සසර ගමනේ නැවත මෙවන් අකල් මරණයකට ගොදුරු නොවෙන්න කියල මහත්තයම හිතින් ප්‍රාර්ථනා කරගන්න."

හාමුදුරුවන්ගේ වදන් මා ගැලී හුන් සිතුවිල්ලෙන් ඉවතට ඇද දමනු ලබයි. තෝරා බේරාගත් සැනසුම් වචන මගින් මා බෞතීස්ම කොට මාගේ පවු බර සෝදා හරින්නට තැත් දරණ දෙවුලොව නියෝජිතයින් අතර මා නැවත උපදිමි.

"මේ දඩාවතේ යන බලු කුක්කන්ට උනත් අද මේ රසට කෑම වේලක් හම්බ උනේ මැරිච්ච බලු කුක්කා හින්දානෙ. නැද්ද අපෙ හාමුදුරුවනේ?"
මෝඩ ගැමියෙක් කසට දත් පෙන්වා හිනාවක් නගයි.හිත බර කරන නිස්සාර අප්‍රියජනක වදන් මැද අතරමන් වනු බියෙන් මම පළායාමේ දැඩි අවශ්‍යතාවයක් හඟිමි.

"ඔය ඉතිරි එළවලු මාලු අඩුම කුඩුම ටික දාන ශාලාවෙන් භාජනයක් ඉල්ලගෙන ඒකකට ඉවර කරල දැම්මොත් හොඳයි මහත්තයො. ඔය පන්සලේ වැඩ පොල කරන කෙනෙක් හරි කන්නැතෑ".

මටත් අවශ්‍ය ඉක්මනින් මෙතැනින් පිට වෙන්නටය. දාන මානාදියෙන් හෝ අනිත්‍යය පසක් කිරීමෙන් හෝ හිතවත් වදන් වලින් ම‍ගේ සිත නිවී නොයන කල තව ඇත්තේ එක් තාවකාලික පිළියමක් පමණි.
භාජන වල ඇති හොදි බත් ආදිය අහවර කොට වහා මෙතැනින් පිට වන අදහසින් මම දාන ශාලාවට පියවර ඔසවමි.

ගෙදර ගිහින් ගල් බාගයක් වත් ගහන්න ඕනෙ.


...................................

මම දාන ශාලාවට ඇතුල් වෙමි.

ශාලාවේ කෙළවරක සැත්තෑ වස් පමණවූ වයසක මහල්ලෙක් වාඩි වී සිටියි. බුලත් විටක් සපන සේ ඔහුගේ හකුපාඩා චංචලය. මහල්ලා පන්සලේ ඇබිත්තයා හෙවත් ආවතේවකරු විය හැක.

"සීයෙ මේ හොදි බත් ටික ඉවර කරන්න මට භාජන ටිකක් දුන්නම්".

ඔහු නිහඬවම බඳුන් කිහිපයක් මා අත තබයි.

ආහාර බෙදා අවසන් කර මම නැවත ඔහු වෙත හැරෙමි. ඇබිත්තයා කුසගින්නේ ඇතැයි මම සිතමි

"බත් ටිකක් කනවද?"

"එපා මහත්තයො"
ඔහු මා දෙස බලා පිළිතුරු දී නැවත බිම බලා ගනී. ඇබිත්තයා මහ නෝංජලයෙක්. මම සිතමි

හිස් බඳුන් කිහිපයත් රැගෙන මම නැවත එන්නට හැරෙමි.

"මහත්තයො"

"ඇයි?"
මම ආපසු හැරී බලමි. මහල්ලා මා දෙස බලා හිඳී. ඔහුගේ දෙනෙත් දිළිහෙයි. මුව යමක් කීමට අර අදින්නා සේ වෙවුලයි.

"ඊයෙ දවල් වරුවෙ මම පන්සලේ උන්නෙ නෑ. රෑ ඇවිත් කන්න බත්පත අතට ගත් වෙලෙයි ආරංචිය මගෙ කණ වැකුණෙ. මම බත් පත එහෙමම පැත්තකට කරල දැම්ම මහත්තයො. මම හිතින් හිතුවා මොන පොට්ට කාලකණ්ණියද අර යස අගේට හිටි සතාව යට කරල දැම්මෙ කියල".

"මම ඉන්න හැම වෙලේම මගේ වටේම දැවටි දැවටි ඉඳපු සතා. වෙලාවකට වදයක් වෙන තරමටම මට ලෙංගතුයි. මම කොහේ ගිහිල්ල ආවත් මගේ බඩ උඩට ඉස්සරහ ගාත් දෙක දික් කරල පැනලයි මාව පිළි ගන්නෙ".

මම ඔහුගේ දෑස් දෙස බලමි. ඒවා හැඟීම් විරහිතය.නමුත් ඔහුගේ මුවේ මදහසකි.

"ඊයේ ඒ වෙලේ ඉඳන් තවම මට කන්න පිරියක් නැහැ මහත්තයො".

සිතේ බර සෑහෙන පොදියක් නිදහස් වූවා සේ මට හැ‍ගෙයි. උගුර සිරවී නෙත කදුලු කැට පිරී යයි. මහල්ලා පිළිබඳ උපන් මිත්‍රශීලී ස්නේහයකින් මසිත පිරී ගොසිනි. මේ ගෙවෙන තත්පරයේ මේ ලොව මට සිටින එකම හිතවතා, මා තේරුම් ගත් එකම තැනැත්තා ඔහු වග මට කිසිදු සැකයක් නැත.මොහොතකට නැවතී මහල්ලා වැළදගෙන හැඩීමට සිත්දෙන හැගුම ආයාසයෙන් වළක්වා ගනිමින් මම දාන ශාලාවේ දොරටුවෙන් පිටවෙමි


මහල්ලාගේ වදන් දාන ශාලා ‍දොරටුවද පසු කර දෝංකාර දෙමින් තවමත් මා පසුපස ලුහුබඳියි.

මා සිත නිවී යයි.
newer post older post